ගොයම් කොලය!


අපේ තාත්තා කරපු දෙයක් තමා පරම්පරාවෙන් ලැබුන කුඹුරු ටික වැපිරීම. ලංකාවේ කුඩා කුඹුරු හිමියා කියන්නේ අතින් කයිට් කරගෙන වගා කරන හාදයෙක්. වැඩි දෙනා කුඹුරු කරන්නේ කඩෙන් කනවාට වඩා ලාභදායක නිසා නොවේ. වෙනත් හේතුන් නිසයි. තාත්තා වෘත්තියෙන් වෙනත් දෙයක් කලාට, කුඹුරු වැපිරීම නිසා මහත් තෘප්තියක් වගේම, ශරීරයට අවශ්‍ය ව්‍යායාමයත් ලැබුවා. බොහෝ වෙලාවට වැඩ කර ගත්තේ කුලියට උනාට, මඩවන එකේ ඉඳලා වී පාහා ගන්නා තෙක්ම තාත්තා හැම වැඩකටම දායක උනා. නිල්ල වැදීගෙන එන කුඹුරක උදේට කරක් ගහන එක බොහොම ආශ්වාද ජනක දෙයක්.

ලංකාවේ වී වගාව විතරක් නොවේ, අනෙක් වගා සඳහාද කෘෂිකර්ම පර්යේෂණ ආයතන මගින් විශාල අනුග්‍රහයක් ලැබුනා. මෙම ආයතන වල ක්‍රියා කාරිත්වය කාලයත් සමග වියැකී යන්න පටන් ගත්තේ අපේ දේශපාලන ක්‍රමයේ තියන පසුගාමීත්වය නිසා මිසක, එම ආයතන වල වරදක් නිසා නොවේ. මෙම ආයතන වලින් අඳුන්වා දුන් දෙමුහුන් බීජ නිසා අස්වැන්න වැඩි උනා පමණක් නොවේ, වෙනත් ප්‍රයෝජන මෙන්ම අවාසිද සිදු උනා. මට මතකයි හැත්තෑ ගණන් වල ප්‍රථම වරට, තාත්තා එච් හතර කියන බිත්තර වී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවන් ගෙනත් වපුරන කොට, යායේ කව්රුත් වැපුරුවේ සුපුරුදු වී වර්ග. සම්ප්‍රදායික වී වර්ග උසයි. නමුත් බොහෝ විට අස්වැන්න අඩුයි. ගහේ කඳ බට ගස් වගේ උනාට, කරල විශාල නැහැ. ඒ අතරේදී එච් හතර ඉතා කුඩා වී පඳුරක් උනා.

මිනිසුන් මේ කුඩා වී වර්ගය දෙස වපරහින් බැලීම පුදුමයට කරුණක් නොවේ. වෙනදට කැපුවහම ගොයම් ලොකු ගොයම් කොලයක් හා තව කුඩා එකක් ගහන්න පුළුවන් කුඹුරෙන් මේ එච් හතරෙන් ලැබුනේ කුඩා ගොයම් කොලයකට සරිලන “අස්වැන්නක්” විතරයි. මේ ගොයම් කොලය දැකපු ඒ දවස් වල අපේ ගෙදර නිතර එන හාදයෙක් එක වාරුවෙන් මේක පාගලා දෙන්නම් කියල බාර ගත්තා.මේ දවස් වල ගොයම් පෑගුවේ මී හරක් නැත්නම් මිනිසුන්. මුළු කොලේටම ඉල්ලුවේ පොඩි ගානක්. පහුවදා මිනිහා ඇවිත් මේක පාගන්න පටන් ගත්තා. දවස ඉවර උනා, කොලෙන් බාගයක් වත් ඉවර නැහැ. ඉස්සර බට ගස් වගේ ගොයම් හින්දා තමයි අර විදිහට ගොයම් කොලේ ලොකු වන්නේ. නමුත් මිටි ගොයමේ ප්‍රමාණය පොඩි උනාට, අස්වැන්න නැත්නම් කරල් ගණන ඉස්සරට වඩා වැඩියි. ඒ වගේම කරලෙන් ඇට හලා ගන්න එක කලින් තරම් ලෙහෙසිත් නැහැ. මේ කරුණු දැන ගෙන නොහිටිය අපේ මිත්‍රයා අමාරුවේ වැටුනා. දෙවෙනි දවසේ මිනිහා තව කෙනෙක් උදව්වට අරන් ආවා. එහෙම තව දවසක් (ඒ කියන්නේ දවස් තුනක්) පාගලා තමයි වැඩේ ඉවර කලේ. පොරගේ ගාණ නැවත කතා කරලා සංශෝදනය කර ගත්තා කියල මට මතකයි. ඉන්පසු කන්නයේ අනික් බොහෝ දෙනාත් මේ අලුත් වී වර්ගය වගා කළා. කාලයත් සමග තවත් අලුත් දෙමුහුන් වී වර්ග වෙළඳ පොලට ආවා.

බෝග වල මේ විපර්යාසය සිදු උනේ ලංකාවේ පමණක් නොවේ. ඊට කලින්ම ඉඳන් වෙන රටවලත් මේ වගේ සම්ප්‍රදායික බෝග ඉවතට ගිහින් නවීන දෙමුහුන් බෝග වර්ග ජනප්‍රිය උනා. වැඩි අස්වැන්නක් ලැබීම, රෝග වලට ඔරොත්තු දීම, වල් පැළෑටි වලට වැඩි තරඟයක් දීමට හැකි වීම වගේ විශේෂ වාසි මේ දෙමුහුන් බෝග වර්ග ජනප්‍රිය වීමට හේතු වශයෙන් කියන්න පුළුවන්. දැන් ජාන තාක්ෂනය යටතේ දෙමුහුන් කරණය තවත් වටයකින් ඉදිරියට ගිහින් තියනවා.

හැබැයි මෑතක සිට තේරුම් ගත්ත දෙයක් තමා, මේ දෙමුහුන් කරණයේදී සමහර වාසි දායක ලක්ෂණ හැලී ගිහිල්ල කියල. විශේෂයෙන් පොළොවෙන් උඩ කොටස කුඩා වීමේදී, පොළොවෙන් පහල කොටසත් කුඩා වීම එක ප්‍රධාන ප්‍රශ්නයක්. ජලය හා පොහොර ප්‍රශස්ත තත්ත්ව යටතේදී කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් දැන් වැඩිපුර දකින්න ලැබෙන වියලි තත්ත්ව යටතේදී මේ කුඩා බෝග වර්ග අසීරු අවස්ථාවකට මුහුණ දෙනවා. ඒ වගේම පසේ තියන පෝෂ පදාර්ථ උපරිම ලෙස ප්රෝයෝජනයට ගැනෙන්නේ නැහැ.

පසුගිය වසර තිහ හතලිහ ඇතුලත ලෝකයේ නයිට්‍රිජන් භාවිතාව නම ගුනයකින්ද, ෆොස්පරස් පොහොර භාවිතාව හතර ගුනයකින්ද ඉහල ගොස් තිබුනත්, ලෝකයේ ධාන්‍ය නිෂ්පාදනය (සාමන්‍යය) ඉහල ගොස් තියෙන්නේ දෙකයි දශම අට ගුණයකින් විතරයි. මේ පොහොර භාවිතාව අවම කරගන්න අවශ්‍ය වගා වලින් ලැබෙන ලාභාංශය එන්න එන්න පහල යන නිසා (වියලි කාලගුණ තත්ත්ව වැනි අනිකුත් හේතුන්ද නිසා).

කෘෂිකර්මය නිසා  (ඇත්තටම මේක පටන් ගත්තේ වසර දහදාහකට පමණ පෙර සිට මිනිසා ගොවිතැන ආරම්භ කරපු අවධියේ සිට) කැලෑවේ වැවුන “වල්  තෘණ” බෝග ලෙස වවන්න ගත්තහම ඒවායේ  තිබුන තව ලක්ෂණ අහිමි වෙලා තියනවා. පසේ තියන ආම්ලික තාවයට හෝ ලවනතාවයට මිලියන ගණනක් තිස්සේ හැඩ ගැසුණු ලක්ෂණද සමහරවිට අහිමි වී ගිහින්. අද දෙමුහුන් කරණයේදී යලිත් අර කලින් තිබුන “වල්” ගස් වලටම අර ලක්ෂණ සොයා යන්න පටන් අරන්. ලංකාවේ වගේ රටවල සමහර විට අර මුල් බීජ හොයා ගන්නත් තියනවාද කියා මා දන්නේ නැහැ.

අද වැඩිවෙමින් පවතින ජනගහනයට අවශ්‍ය ආහාර සපයන්න “විස්මිත” බෝග වර්ග අවශ්‍ය වේවි. අපට අවශ්‍ය කරන හැම හොඳ ගුනයක්ම තියන බෝග වර්ග හදන්න නම් සම්ප්‍රදායික දෙමුහුම විතරක් නම් මදි. ඉදිරියේදී ජාන තාක්ෂණයෙන් බිහිවූ ධාන්‍ය වර්ගයකින් වත් අර කලින් කියුව “විස්මිත” බෝගය හැදේවි කියල මා හිතනවා. පසුගිය වසරේ ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරපු තිරිඟු වර්ගයක ප්‍රථම ක්ෂේත්‍ර පර්යේෂණය “ග්‍රීන් පීස්” ලා විනාශ කළා. වැඩිවෙමින් පවතින ආහාර හිඟකමට මෙයාලා විසදුම් ඉදිරිපත් කරනවාද?

 

 

About these ads

6 Comments

Filed under Agriculture

6 responses to “ගොයම් කොලය!

  1. මිනිස්සු ප්‍රමාණය එක්ක ගැටිල පරිසරය පරාජය වෙයිද? ඒක කියන්න බෑ. සමහර විට ප්‍රතිඵලය ලැබෙන්න සෑහෙන්න කල් යන්න පුළුවන්.

    • දැනටම අප ජිවත් වන්නේ කෘතීම පරිසරයකනේ හරේ. කාලයත් සමග මේක තවත් කෘතීම වේවි. අද අපට අඩුගානේ සබන් නොගා නාන්නේ නැතිව කී දවසක් ඉන්න පුලුවන්ද? (මට නම් අවුරුද්දක් විතර :D). ඒ අතරේ කෑ ගහනවා ඔන්න පරිසරය විනාශ කරනවා කියල.

  2. රයිගම්හන්දිය, කිසිදාක කුඹුරක් අයිතිව නොහිටි පවුලකට අයිති මට මේ ගැන අදහස් දක්වන්න තරම් කෘෂිකාර්මික දැනුමක් නම් නෑ. නමුත් මම මේ විෂය ගැන කියවලා තියෙන පුවත්පත් ලිපි වලින් සියයට අනූ නවයක්ම ජාන තාක්ෂණයට සහ දෙමුහුන් වී ප්‍රභේද වලට එරෙහිවයි ලියවිලා තිබුනේ.

    • ඔය පුවත් පත් වල ඔය ගැන ලියන අයියලා ගොඩක් දෙනා හෙන්රි, හොඳට කාල දිරවන්න තමා ඔය ලිපි ලියන්නේ. දෙමුහුන් නොවන කිසිම “වල්” බෝගයක් ලෝකේ දැන් නැහැ. එහෙම අලුත් වැඩි දියුණු කල බෝග නිපදෙව්වේ නැත් නම් ලෝකේ මෙයිට වඩා සාගතයක්. තාමත් අෆ්රිකාවේ හා ආසියාවේ තියන ආහාර හා කෘෂිකාර්මික ප්‍රශ්න වලට විසදුම් හොයන්න නව බෝග අවශ්‍යයි. මේ සේරටම එරෙහි වන අයට ලෝකේ පරිසරයත් රැක ගන්න ඕනේ, තුන්වන ලෝකේ සූරාකන එක නවත්වන්නත් ඕනේ, වගා බිම් වැඩි කරන්න කැලේ කපන්නත් හොඳ නැහැ, දෙමුහුම් බෝගත් එපා, ජාන තාක්ෂණයත් එපා. හැබැයි ඔය කට්ටිය මේ “දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් වල” සුව පහසු ජිවිත ගත කරනවා.

      • Prabath

        මහත්වරුනි, දෙමුහුන් තාක්ෂණයේදී කරන්නේ ස්වාබවයේම පවතින වඩාත් ශක්තිමත් ප්‍රබේද දෙකක්/හෝ කිහිපයක් මිශ්‍ර කර ගැනීමයි. ජාන තාක්ෂණයේදී කරන්නේ ස්වබාවය වෙනස් කරන්න උත්සහ ගැනීමයි. මේ දෙකෙන් ලැබෙන ප්‍රතිපල වල හොඳ හෝ නරක ඒ අනුව හිතා ගනිමු.

        • Raigama

          මහත්මයාණනි, තවම කෘතීම ඩීඑන්ඒ නිපදවා නැහැ. මා කතා කරන්නේ එම අර්ථයෙන්. අනික ප්‍රභාත් ස්වභාව ධර්මය අප කොතරම් වෙනස් කරගෙන තියනවාද? ඒ සියල්ල අමතක කරන්න එපා. මිනිසා අද ලබාගෙන තියන ප්‍රතිශක්තිකරණය පවා ස්වභාව ධර්මයාට එරෙහිව යාමක්. ඔබලා වැනි පිරිස් මේ කතාව නැවත නැවතත් මුලටම ගෙනියනවා. :(

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s