“පිරිමින්” අතට දෙහිගෙඩියක්‌ දී පිටත් කරන, The divine transformational facilitators!


මා කලින් සටහනෙන් කියන්න හැදුවේ, අපට නොයෙක් දේවල් විවේචනය කරන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් වන්නේ අපට කොයි තරම් දුරට ප්‍රායෝගිකව මැදිහත් වෙන්න පුළුවන් ද කියන කාරණය. දේශපාලනයේදී, එදිනෙදා ජීවිතයේදී, ආගම් ඇදහිමේදී හෝ නොඇදහිමේදී, යන්ත්‍ර ගුරුකම් පස්සෙන් යාමේදී යන කාරණා වලදී මේ කියන විවේචනයෙන් එහාට ගොස්, ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ කුමක්ද කියන එක එලියට එනවා.

මා ජිවන විලාසිතාවේ තේරීම් කියන්නේ අන්න ඒ, අපට ඇත්තටම ජිවිතයේ කරන්න පුළුවන් දේවල් ගැනයි. කොම්පියුටරයක් ඉස්සරහා ඉඳන් මේ ලියන දේවල් ඉතා පහසුයි කියන්න පුළුවන්. නමුත් අප මේ කියන දේවල් වෙනුවෙන් සැබෑ ජිවිතයේ ඇත්තටම පෙනී ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නය සමහර වෙලාවට අපට සිතට නැගෙන දෙයක්.

පසුගිය දවසක මට ලංකාවේ එක්තරා කෙනෙක් හමු වුණා. ඔහු කවුදැයි හඳුනා ගන්න යමක් මා ලියන්නේ නැහැ. එහිදී මා තේරුම් ගත්ත දෙයක් තමා, සමහර ව්‍යාපාර ඵලදායි තත්වයට පත් නොවන්න හේතුව මොකක්ද කියල. අර ගොනා පසු පස එන ගැල මෙන්, අතීත පොට්ටනි කරගසා ගෙන යාමත් එයට එක හේතුවක්. මේ පොට්ටනි ඇත්තටම විසි කරන්න නොහැකිද, නැත්නම් විසි කරන්න අවශ්‍ය නැති නිසාද කර ගහගෙන යන්නේ?

ඒ වගේම අනුන්ගේ මන්තර ගුරුකම් ගැන හිනා වෙන අප, ඇත්තම ජිවිතයේ මේවා පස්සේ යන එක තමයි කරන්නේ. ඒ කියන්නේ කේන්දර, කුල, නැකත් යනාදී මෙකී නොකී ගුඨ විශ්වාස තමන්ගේ ජිවිතයේ කොටස් කර ගනිමින් ජීවත් වෙමින් තමා අර හිනා වෙන්නෙත්.

ගුඨ විශ්වාස බැහැර කරනවා යයි කියන බහුතරය (ආසියානු රටවල) තීරණාත්මක අවස්ථාවලදී, ඒ දේවල් එක්ක අනුකුලව කටයුතු කරනවා. උදාහරණයකට ගත්තොත් කේන්දර-නැකත් මා නම් තකන්නේ නැහැයි කියමින් ඉඳල, මෙන්න සහකරුවෙක් සොයන විට හෝ දරුවෙක් ඉපදුන විටක ඒවා පසු පස යනවා. ඒ ගැන ප්‍රශ්න කලොත් අර “මුගාබේගේ කේස් එක” වගේ තමා, “සමාවට කරුණු” බොහෝ තියනවා.

මේ වගේ පිරිස් තමන්ට කැමති දෙයක් කර ගත්තට, අපට පාන්ද කියල කෙනෙක් අහන්න පුළුවන්. ඇත්ත, ඕනේ මගුලක් කර ගත්තට අපට මොකෝ නේද? හැබැයි මෙහෙම දෙයක් මා දකිනවා. ඔය “සංවාද” වලදී මේ වගේ එකඟ වෙන පිරිස් වලින් ලෝකය පිරි තිබුනත්, අර කලින් කියුවා වගේ, ඇත්තම ජිවිතයේ ඔවුන් බොහෝ දෙනා වැඩ කරන්නේ, අර සංවාද වලදී “එකඟ” වෙන කරුණු අනුව නම් නොවේ.

කේන්දර පැත්තකින් තියමු. දැන් බලන්න යහ පාලනය ගත්තොත්, රාජ්‍ය පාලනයේ දූෂිතබව ගැන අපට පිටු ගණන් ලියන්න පුළුවන්. අවුරුද්දේ තුන් සිය හැටපස් විසින් වැඩි කාලයක් මුගාබේට බැන බැන ඉන්න සමහර පිරිස්, ඇත්තටම ඔහුට එරෙහිද? නැහැ, එහෙම විරුද්ධ යයි කියන පිරිසෙන් විශාල කොටසක් ඔහුට ඇත්තටම පක්ෂපාතියි. ඒ තීරණය සාධාරණීය කරන්නත් කලින් බැන්නට වඩා ඔවුනට කරුණු දක්වන්න හැකියි. මේ වගේ එක දෙයකට පෙනී ඉන්නවා වග බාහිරට පෙන්නමින්, තවෙකක් කරන පිරිස් තමා මා හිතන්නේ the worst of the worst කට්ටිය.

සමහර රටවල් වල ආණ්ඩුත් මෙහෙම දේවල් කරනවා. එනම්, විපක්ෂයත් ඉන්නේ ආණ්ඩුවේ. ඒ විතරක් නොවේ විපක්ෂය කියන්නෙත් ආණ්ඩුවමයි. ඒවා ඇත්තම විරෝධතා කියල විශ්වාස කරන මිනිසුන් අර දෙහි ගෙඩි අරන් යන පිරිමින් වාගේ. මොවුන්ගේ සැබෑ ස්වරූපය තේරෙන්නේ “දෙහි ගෙඩි” අරන් ගොඩක් දුර ගියහම.

මාධ්‍ය අරක්ගෙන ඉන්න “ප්‍රවීන දේශපාලන විචාරකයන්” කියන කට්ටියද ඔය දෙහිගෙඩි අපේ අතට දෙන අයියලා. සමාජ ජාල වලද මෙවැනිම අය ඉන්නවා. රජ පවුල් රැකීම මොවුන්ගේ ඇත්තම රැකියාවයි. මේ දෙහිගෙඩි අතට ගන්න ඔබත් සුදානම්ද?

ඒ වගේ කපටි වැඩ මොහොතකට අමතක කරමු. මහා සමාජ ජීවිතය පැත්තකින් තැබුවත්, අපේ පෞද්ගලික කරුණු වලදී වත් අප පෙනී ඉන්න කරුණුයි, ඇත්තටම කරන දේවලුයි අතර යම් ගැලපීමක් කරා ලං වෙන්නට උත්සහ කිරීම මා හිතන්නේ අපට අවශ්‍යම දෙයක්. එය කොතරම් අමාරු කාරණයක්ද කියල නිකමට සිතා බලන්න. (03.10.2014)

http://www.divaina.com/2014/10/03/provin03.html
http://www.news.com.au/national/breaking-news/spiritual-healer-on-another-40-charges/story-e6frfku9-1227088896429
http://www.news.com.au/national/spiritual-healer-charged-with-sex-and-indecent-assault/story-fncynjr2-1226883944063
http://www.news.com.au/national/breaking-news/gold-coast-spiritual-healer-feared-killed/story-e6frfku9-1226827522638

ප ලි
හතරේ පංතියට වත් පාස් වෙන්න කලින්ම, සැබෑ බ්ලොග් කට්ටක අවසානයක් කරා යන ප්‍රවනතාවයක් තිබෙන නිසා, මේ කලින් ලියපු සටහන පළ කරන්න සිතුනා. මගේ බ්ලොගය පවත්වාගෙන යාම සඳහා තිබිය යුතුයි කියුව කරුණු දෙකෙන් එකක් ශුන්‍යව යනවා. නමුත් අනෙක තවම තිබෙන නිසා බලමු පුනර්ජීවනයක් ගන්න.

 

13 Comments

Filed under Lifestyle, Opinion

13 responses to ““පිරිමින්” අතට දෙහිගෙඩියක්‌ දී පිටත් කරන, The divine transformational facilitators!

  1. Pingback: “පිරිමින්” අතට දෙහිගෙඩියක්‌ දී පිටත් කරන, The divine transformational facilitators! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Only an atheist until the plane starts to fall. කියනවා අහලා නැද්ද බං? මම දැක්කා මැක්ගයිවරුත් පල්ලියක් ඇතුලේ හැංගිලා ඉන්න ගමන් පිං කැටේටත් කාසියක් දාලා කියනවා We need all the help we could get කියලා.

    මමත් එහෙමයි.

  3. BTW, what the heck does your PS mean?

  4. රයිගම්…..උඹගේ සටහනේ ඇති කිසිවක් බැහැර කරන්න බැහැ. මම පෞද්ගලිකව මේ කිසිම කිසිම කිසිම දෙයක් කරන කෙනෙක්වත්, කරපු කෙනෙක්වත් නෙමේ. බැන්දෙත් මට ඕන වෙලාවට.

    දෙහි ගෙඩිය මිනිහගේ අතට දීලා ගෑණිගේ වංගෙඩියට අත තියන්න බලන් ඉන්න කට්ටඩි හැතිකරේ ගාවට යන එවුන්නේ බන් මේ කරුමෙට වගකියන්න ඕන.

    රයිගම්……මේ බ්ලොග් එක නවත්වන්න එපා. මං වගේ එවුන් මේ තුලින් යම් කියවා රස විඳීමක් මෙන්ම යම් යම් දේ අහුලාගන්නවා ජීවිතේටත්, බුද්ධියටත්. මම වගේ උදවිය තව ඇති.

  5. ඇණයා

    අනේ ලියන එක නවත්තන්න එපා කිව්වොත් ඒක අසාධාරනයි, ඒත් මෙතනින් හිතන්න ගොඩක් දේ අහුල ගත්ත, නිවැරදි දැකීමකට මඟ පෙන්වන්නේ ආගම් සාශ්තෘෘ වරුන් නෙවෙයි ඔබ වැනි නිදහස් අදහස් ඇති අය, හැකි පමණින් ලියන්න උත්සාහ කරන්න.

  6. ඔව් හෙන්රි ගොඩක් දෙනා අර වතුරේ ගහගෙන යන විට පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ, ඔය වගේ දේවල් කරනවා. එය එයාලගේ කැමැත්ත. මා නම් නැහැ. කිසි දින ඔවැනි යකදුරු කම් වලින් මට නම් අබ මල් රේණුවක සහනයක් ලැබෙන්නේ නැහැ. මොකද එවැනි දේවල් ගැන කිසි විශ්වාසයක් නැති නිසා.

    හිරේ යනවා (විවාහය) කියන්නේ අර වගේ වතුරේ ගහගෙන යනවා වගේ දෙයක් නිසා, පොඩ්ඩක් “පිදුරු ගහක” එල්ලුනත් වරදක් කියන්න බැහැ නේද? 😀

    දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර යට අරූට හා ඇනයාට දී ඇති.

  7. හිරු

    මාත් ජීවිතේටම ඔය කේන්දර, නැකත් මළ මගුල් එකක්වත් සත පහකට ගනං ගන්නෙ නැතුව ඉඳලා කසාදෙදි වැඩිහිටියන්ගෙ ඕනෙකමට … ඕනෙ එකක් කරගත්තට කමක් නෑ මට ඕනෙ මිනිහව මට කසාද බඳින්න දීලා … කියල පැත්තකට උනාම ඒ දවසට කරපු විකාර ඔක්කොම එක්ක අද නං පැහැදිලිවම කියල තියෙන්නෙ ආයිත් නං ඕවා ගැන මාත් එක්ක කතා කරන්න එන්න එපා කියල… ( අද තියෙන බුද්ධාගම් කතන්දර වලටත් එක්කම…)

    ඒ උනාට අපේ රටේ මහතැනගෙ ඉඳලම ඔක්කොම ඔලුවෙ තියං ඉන්නෙ ඔය විකාරනෙ රයිගම්…. ඉතිං ආයිත් තව කතා මොකටද… ( පත්තරයක් අතට ගත්තම ජීවිතේම එපා වෙනව…)

  8. ඇත්තටම අරූ, අපට “නැකත්” තේරුවේ මගේ සහකාරිය. මාත් පොඩි ‘සහයෝගයක්’ දුන්න. කරුමෙට කියන්නේ අපේ “නැකත්” වැටිලා තිබුනේ සිකුරාදාවක හවස් යාමයේ. මොකද කිසි කෙනෙකුට බොන්න බැහැනේ! 😀

    උඹ වගේ දෙතුන් දෙනෙක් මෙය කියවන නිසාමයි ලියන්නේ. ඒ වගේම යමක් අහුලා ගත්තා නම් එයමයි මගෙත් සතුට!

  9. ඇත්තටම අරූ හා ඔබ කියන කරුණ ගැන, ඔබට කලින් හිතුව නිසා තමයි මේ සටහන දැමුවේ. ඔබට පෙනෙනවා ඇති මේ බ්ලොගය පටන් ගත්ත දා සිට මේ වන තෙක් තිබුන සියලු මාස වලින් මට මගහැරී තියෙන්නේ මේ වසරේ (2014) ජනවාරිය විතරයි. ඒ මා දීර්ඝ නිවාඩුවක් ගත කරපු නිසා. එසේ නොකඩවා ලිවිම, අර කවුද කියනවා වගේ ලොකු දෙයක්. හැබැයි එය මට එතරම් දැනුනේ නැහැ. එයින් පසුව මා මාසයක් බ්ලොග් ලිවීමෙන් ඈත්ව සිටියේ මේ මාසයේ.

    මෙදා වෙනස්. මා හිටියේ ගෙදර. ගෙදර කියන්නේ, නිකම් ගෙදරට වෙලා හිටියා නොවේ. වෙනදා වගේ වැඩට ගියා. නමුත් මේක ලියුවේ නැහැ. අර සමහර දේවල් අප “ඇසියුම්” කරලා කරනවානේ. බ්ලොග් ලිවීමත් අන්න ඒ වගේ. මේකෙන් විනෝදයක් ලැබෙනවා කියල හිතනවා. නමුත් නොලියන විටදී, තේරෙනවා එය (ලිවිම) ලොකු විනෝදයක් නොවේ කියල. මොකද ඒ කාලයත් වෙන දෙයකට යොදවන්න පුළුවන්.

    මේ වසර තුන තුල මගේ විවේක කාලය වැඩි වෙලා තියනවා. එයට ප්‍රධාන හේතුව, දරුවන් ලොකු මහත් වීම. ඔවුන් වෙනුවෙන් අපේ කාලය කොතරම් යට කර තිබුණාදැයි එමගින් පේනවා. ගොඩක් දෙනාට නැති දෙයක් තමා විවේක කාලයක්. තිබුනත් ඔවුන් ඒවා “ප්‍රයෝජනවත්” අයුරින් ගත කරනවා.

    මේ බ්ලොගය නිසා මට වාසි හා අවාසි සිදු වුණා. ප්‍රධාන වාසිය නම් ලෝකයේ සිංහල කියවන like-minded පිරිසක් සමග කුඩා වුනත් සංවාදයකට/අදහස් හුවමාරුවකට යන්න හැකි වීම. මෙය කියවන්න හා ප්‍රතිචාර දමන්න නිතර එන්නේ ඔවුන්. එවැනි පිරිස් අතර ස්ත්‍රීන්, පුරුෂයන්, නොයෙක් වයස් කාණ්ඩ වල අය, විවිධ රැකියා කරන අය, විවිධ රටවල ජිවත් වන අය, විවිධ ඉගෙනීම් සහිත අය යනාදී වශයෙන් ලොකු විවිධත්වයක් තිබෙනවා. ඔවුන්ගෙන් මාත් දේවල් ඉගෙන ගත්තා (තුති).දෙවැන්න තමා, මා සාහිත්‍ය පොත පත (සිංහල නොවේ) වෙත, මහා කාලයකට පසු නැවත නැඹුරු වීම.

    සිදු වුණ “අවාසියක්” තමා මේ බ්ලොගය ලියන්න පටන් ගන්න විට මගේ මුළු කියවීම ප්‍රතිශතයක් ලෙස ගත්ත විට එයින් 10-20% ක වගේ තිබුන, සිංහලයෙන් ලියවෙන දේවල් කියවන ප්‍රමාණය 30-40% නැත්නම් එයිටත් වඩා ඉහල යාම. එය අවාසියක් ලෙස මා දකින්නේ, එවැනි බොහෝ දේවල් මට යමක් එකතු කර දෙනවාට වඩා, නිකම් කාලය කා දමන, සිතට අසන්තෝෂයක් ගෙන දෙන දෙයක් වීමයි. මේවා ගැන මට බොහෝ විවේචන තිබුණත්, දිගින් දිගටම අකමැති, වැඩකට නැති දේවල් කියවීමත්, විවේචන ඉදිරිපත් කිරීමත් මට යහපතක් සිදු කරන්නේ නැහැ. නමුත් බ්ලොගය ලිවීමේදී “සිංහල පරිසරයේ” තිබෙන දේවල් දැන ගැනීම අවශ්‍ය දෙයක්.

    නොලියා සිටිය මේ මාසයේ මා තේරුම් ගත්තා, ලිවීමට වඩා, නොලිවීම මගින් මට එම කාලය වෙනත් දෙයකට යොදවන්න පුළුවන් කියා. ඒ වගේම ආත්ම තෘප්තිය ගත්තොත්, වෙනත් විනෝදාංශ සොයා ගන්න පුළුවන්. ඒ ගැනත් මා පසුව පුළුවන් වුණොත් ලියන්නම්.

    මා මේ බ්ලොගය පවත්වාගෙන යාම සඳහා තිබිය යුතු සාධක දෙක ගැන කලින් ලියා තියනවා. එකක් තමා මගේ ආත්ම තෘප්තිය. අනෙක තමා කියවන පිරිස. දැන් සමීකරණයෙන් ආත්ම තෘප්තිය කියන අගය අඩුවෙමින් යනවා. හැබැයි වසර තුනකට පසුව, අද මෙය කියවන ස්ථාවර පිරිසක් ලෝකයේ විවිධ රටවල ඉන්නවා. ඒ විතරක් නොවේ, ඔබ, අරූ, හෙන්රි, මල්මි ඇතුළු කිහිප දෙනෙක්, මෙයින් යමක් අහුලා ගන්නවා කියා සමහර වෙලාවට කියනවා. එය මට මේ සතියේ ඔළුවට ආවේ අර අබ සරණ සටහනේ මල්මි දමපු ප්‍රතිචාරය නැවත නෙත ගැටීමෙන් හා වෙනකෙකු සමග කළ කතා බහකින් ( 😉 ). නමුත් මේ මාසයේ මට යමක් ලියන්න නොහැකියි. මේ මාසය පාලුවට නොයවන්න තමා කුණු ගොඩේ තිබුන කලින් ලියපු මේ සටහන දැම්මේ.

    අතට “ගාණක්” නොඑන දෙයක් පවත්වාගෙන යන්න නම්, සිතට ගාණක් ලැබෙන්න ඕනෙනේ. මේ දෙකම නැති නම්, දෙයක් පවත්වාගෙන යාම අසීරුයි. හැබැයි අප සේරම මේ වගේ ‘මාධ්‍ය’ වලින් ඉවත් වෙමින්, නියන්ඩතාල් යුගයක් ගැන කතා කිරීමම විසංවාදියි කියා මට සිතෙනවා.

    ඔබලා කිහිප දෙනා සමග කරන මේ සංවාදය, මා අත හරින්න බලාපොරොත්තුවක් නැහැ. හැබැයි ඉස්සර තරම් නිතර ලියන්න හැකි වේවිද කියන එක මට තවම ෂුවර් එකක් නැහැ. සමහරවිට වැඩිපුර ලියාවි, නැත්නම් අඩුවෙන් ලියාවි. මොක වුණත් ලියන දේවල්, වල්-පල් අඩුවෙන්, ඔබටත් මටත් ප්‍රයෝජනවත් අයුරින් ලියන්න බලන්නම්.

    මේ වසර තුන තුලදී, මා ප්‍රතිචාර වලට පිළිතුරු දෙන්න යොමු කරපු කාලය, බ්ලොගය ලියන්න යොමු කළ කාලයට වඩා වැඩියි. මොකද යමෙක් කියවීමෙන් නොනැවතී, ප්‍රතිචාරයක් දමන්නේ යම් හේතුවක් නිසා. ලබන මස හමු වෙමු! 🙂

  10. අර ගැලපීමක් කරා ලඟා වන්න අපහසු ඇයිද කියන එකට, එක හේතුවක් තමා ඔය වගේ වැඩිහිටියන් හා සහකරු-සහකාරියන්ගේ බලපෑම. එය අප කාටත් තියන දෙයක්.

    ඔබ වගේ මනුෂ්‍යයන් ගැහැණු-පිරිමි බේධයකින් තොරව මේ ලෝකයට අවශ්‍යමයි. ඒ කියන්නේ මේවට විරුද්ධ වන විතරක් නොවේ, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින අය. මාත් එවැනි කෙනෙක්. අපේ දෙමාපියන් ගේ හොඳක් වුණේ, මේවා අපේ ඇඟේ ගැහුවේ නැහැ. අපේ තාත්තා පෝරුවක් නැති එක ගැන මට මතක් කෙරුවේ, “පුතේ එහෙම කලොත් හොඳ නැත්ද” කියා විතරයි.

    ඔය කේන්දර බලලා බඳින හැටියට, ලෝකයේ “වාසනාවන්තම කපල්” ඉන්න ඕනේ ලංකාවෙනෙ. අනික ඔය මත්තල පවා නැකත් වලට විවුර්ත කරන හැටියට, ලෝකයේ සාර්ථකම ව්‍යාපෘති තියෙන්න ඕනේ ලංකාවේ. නැකත් බලල ගෙවල් හදන හැටියට මිනිසුන් කිරි-පැණි උතුරලා මෙලහකට මැරෙන්න ඕනේ.

    මේ වගේ පසු ගාමී ගෝත්‍රික වැඩ රටේ නායකයාත් කරනවා නම්, පුරවැසියන් ගැන කවර කතාද? ඇත්ත, අද ලංකාවේ පත්තර හොඳයි සෝවියට් දේශයේ ප්‍රාව්දා වගේ පස්ස පිහ දාන්න.

    මේ වගේ වැඩ නිසා රටේ සමස්ත ආර්ථිකයට වන හානිය කිසිවෙකු ගණන් බලා තියනවද? දැන් බලන්න, විවාහයකට “නැකත්”, සතියේ දිනක වැටීම නිසා වසරකට අහිමි වන වැඩ කරන පැය ගණන. ඒ වගේම රජයේ ව්‍යාපෘති ආරම්භ කිරීම, අවසන් කිරීම වගේ දේවල් වලදී අහිමි වන මුදල, ගෙවල් ඉදි කිරීමේදී නැකත් සඳහා නිවාඩු ගැනීම් යනාදී වශයෙන් වසරකට සමස්ත ආර්ථිකයට වන හානිය.

    ලංකාව වැනි රටවල් තවමත් දියුණු වෙමින් පවතින්නේ ඇයිද, ඕස්ට්‍රේලියාව වගේ රටවල් දියුණු ඇයිද කියන එකට එක උත්තරයක් මෙතන තියනවා (රටේ සාරය උරා බොන, ඇමෙරිකන් කාරයන් ඇතුළු, රජ පවුල් ඉන්න එක ප්‍රධාන කරුණක් වුවත්).

    ඔව්, හිරු මෙහෙත් ඉන්නවා, වශී බෝල මිරිකුවේ නැතත්, ආගමික විශ්වාස ලෞකික රාජ්‍ය පාලනයට ගාව ගන්න “අයියලා”. ඒ වගේම අර “ඩිවයින් ට්‍රාන්ස්ෆොර්මෙෂනල් ෆැසිලිටේටර්ස්ලා” පසු පස යන කට්ටිය. ඔවුන් බහුතරය නොවේ. ප්‍රධාන වෙනස එයයි.

  11. මං පැතුවෙම මොලෝ ආගමක් අදහන්නැති ,නැකත් ගැන දන්නෙවත් නැති මිනිහෙක්.නැතිනම් ඔය කාළකණ්නි දේවල් ඊළග පරම්පරාවටත් යනවා.
    ඕවයින් ඔලුව පුරෝගත්තම පාට කණ්නාඩියකින් බලනවා වගේ.තමන්ගේ කියලා දැක්මක් මතයක් නැහැ.

    මාමි නැකත් බහුබුත විස්වාස කරනවා කියලා එයාගේ නෝනාව හෙම දැක්කම කෝමවත් හිතෙන්නැහැ.ඒත්,එයා නැකැත් නොගත්තොත් කතිර වැටෙන එකක් නැහැකියලයි මට නම් හිතෙන්නේ
    මල්මි

  12. මේ කමෙන්ට් එකේ හුගක් දේවල් මටත් අදාලයි.
    ගැහැනු අය දිර්ගකාලිනව (සිංහල) බ්ලොග් නොලියන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති.
    ගැහැනු අයගේ ලිස්ට් එකේ බ්ලොග් ලිවිල්ල තියෙන තැනින් උඩට වෙන දේවල් එනවා වැඩියි වෙන්න ඇති.මටත් අලුතින් එක්වෙන හැම දෙයක්ම ප්‍රමුකතා ලයිස්තුවේ බ්ලොග් ලිවිල්ලට උඩින්මයි එකතු වෙන්නේ.

    කමෙන්ට් කරන්න මම කෝමත් කම්මැලියි.ඒත්,මාසෙකට දෙකකට සැරයක් වත් බ්ලොග්වල රවුමක් යන්න වෙලාව හදාගන්නවා.
    යළි හමුවෙමු.!
    🙂

  13. ඔබේ ප්‍රතිචාර දෙකටම එක පිළිතුරක් ලියන්නම්.

    ඇත්තටම කාන්තාවන් අතර ඔබ හා හිරු වැනි පිරිස් ඉන්න එක මා දකින්නේ හරිම සුබ වාදීව. මොකද කියනවා නම්, අප පිරිමින්ට වඩා “අනාගත පරපුර” කෙරෙහි ඔබලා ගේ බලපෑම වැඩියි.

    //ගැහැනු අය දිර්ගකාලිනව (සිංහල) බ්ලොග් නොලියන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති.// මෙයට හේතුව තරමක් දුරට පැහැදිලියි. ඔබලාට, අපට වඩා අඩත්තේට්ටම් වැඩියි. මේ බ්ලොග් ලෝකයේ පවා. දෙවෙනි කරුණ, ඔබලාට තියන ගෙදර දොර “වගකීම්” වැඩියි. මේවා ගැන මා නිතර ලියනවා.

    මා, ඔබ සමග 100% ක් එකඟයි. ආගමික මතවාද, ගූට විශ්වාස අපේ ජීවිතය සංකීර්ණ කරනවා. තේරෙන වචන වලින් කියුවොත් වණ කරනවා. ඇත්තටම ආගමික සංකල්ප වල මුල් කතෘ වරුන්, බොහෝ විට ලෝකය දෙස වෙනස් ව බලපු නිදහස් මත ධාරීන්. අද අපේ අයියල ඔවුන් කියපු දේවල් යයි සිතිය හැකි ඒවා, තමන්ගේ පටු ලෝක තුල සිර කර තියනවා. මෙය සැබවින්ම ඛේදාන්තයක්.

    මාමි ගැන නම් කතා කරලත් වැඩක් නැහැ. එයාට කඩේ යන අයට ඉඩ දී අපි අයින් වෙමු!

    දෙපිට කාට්ටු ලෝකය ගැන කතා කිරීමේදී, මගේ බ්ලොගයත් දැන් උදාහරණයට ගන්න පුළුවන්. “ලබන මාසේ” හම්බ වෙමු කියුවත්, අද මා ලියන්න ගත්තහම, වෙනදා ලැබෙන උත්තේජනය නැහැ. ලත් තැනම ලොප් වුණා. ඒ වෙනුවට ඔබට උත්තරයක් දෙන්න හිතුව.

    1917 න් පසුව උත්සහ කළ සමාජ වාදී රාජ්‍ය ක්‍රම අසාර්ථක වීමේ පළමු හේතුවත් “ඒක පුද්ගල අභිලාෂයන්” වලට තැනක් නොදීමයි. ඔවුන් තැන දුන්නේ පක්ෂයේ ඉන්න පිරිස් වලගේ “ඒක පුද්ගල අභිලාෂයන්ට” විතරයි. එයින් පිටත සමාජයේ බහුතරය අමතක කෙරුවා. අදත් මේ මොඩලය ක්‍රියාත්මක කරන්න දත කන අයියල ඉන්නවා. ඔවුන් අතීතයෙන් පාඩම් ඉගෙන ගත්ත අය නොවේ.

    මේ බටහිර සමාජය කඩා වැටෙන කම් බලා හිටියට කවදාවත් එය වන්නේ නැහැ. නොයෙක් අර්බුධ පැන නගිනවා තමා. නමුත් මෙහි පුද්ගල අභිලාෂයන් සාක්ෂාත් කර ගන්න සෑහෙන දුරට ඉඩ තියනවා. එයම තමා සමාජ පැවැත්මේ මුලික අංගය.

    දැන් බලන්න අනුන්ට ලියනවා කියල හිතුවට, මගේ ආත්ම තෘප්තිය ලැබෙන්නේ නැත්නම් මේකවත් මට ලියන්න බැහැ. අනෙක් මහා සමාජ කර්තව්‍යයන් ගැන කවර කතාද?

    මේ කරුණු ඔබේ ප්‍රතිචාරයට එතරම් ගැලපෙන්නක් නොවේ. නමුත් අඩුම ගානේ ඔබට පිළිතුරු ලිවිම තුලින් මා නැවත ලියන්න පටන් ගැනීම හොඳ ආරම්භයක් නේ. හමු වෙමු!

    ඒක නොවේ, අර සොයපු කෙනා හම්බ වුණාද? (මං පැතුවෙම මොලෝ ආගමක් අදහන්නැති ,නැකත් ගැන දන්නෙවත් නැති මිනිහෙක්). 🙂 (නිකම් කුතුහලයට).

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.