ලුමුම්බා උපාධිය කුරුම්බා කපන්නද? A hawker with an university degree?


මෙහෙම ලිපියක් අසුව දශකයේ දිවයින ඉරිදා සංග්‍රහයේ පළවුණා. එම ලිපියෙන් කියවුනේ පැරණි සෝවියට් දේශයේ උපාධි ලබාගත් වෛද්‍ය විශේෂඥයන්ට,  ලංකාවේ රැකියා ලබා ගත නොහැකිවීම ගැන. ඇත්තම කියනවනම් වෙන රටකින් උපාධියක් අරගෙන ලංකාවට ගියහම ලොකු බාධකයට මුහුණ දෙන්න වෙනවා, දේශීය උපාධි ලබාගත් බහුතරයගෙන්.

මේක තවත් ලොකු වෙනවා ඉස්සර සමාජවාදී රටවලින් ආපු උපාධිධාරීන්ට. එම උපාධි ලංකාවේ උසස්  අධ්‍යාපන  අමාත්‍යංශයෙන් පිළිගත්තත්, බොහෝ සම්මුඛ පරීක්ෂණ වලදී නොයෙක් ජරා කතා කියපු  කට්ටිය හිටියා.  විශේෂඥ වෛද්‍ය උපාධි ලබාගත් බොහෝ දෙනෙකුට ලංකාවේ ලියාපදිංචි වීමේ නොහැකියාව ගැන තමා දිවයින පත්තරේ තිබුනේ. ආයතනික හා සමාජ වැට කඩොලු වලට අමතරව, ඇතිවන අනික් ප්‍රධාන බාධකය වෙන්නේ භාෂාව. ඉංගිරිසි හැර වෙන භාෂාවකින් ඉගෙන ගෙන එක පාරටම ඉංගිරිසි වලින් වැඩකරන්න අමාරු වෙනවා.

අනික් අතට දේශීය උපාධිධාරීන් හිතන්නේ, පිටරට උපාධිධාරීන්ට රස්සා දුන්නොත් ලංකාවේ නිදහස් අධ්‍යාපනේ වලපල්ලට යනවා කියල. නිදහස් අධ්‍යාපනේ වලපල්ලට යාම කෙසේ වෙතත්, වෙන රටක ඉගෙන ගත් කෙනෙකුගෙන් ලබා ගන්න පුළුවන් සේවය දේශීය උපාධිධාරියෙකුගෙන්  ලබන සේවයට වඩා වෙනස් වීමට ඇති ඉඩකඩ වැඩියි. මේක බටහිර රටවල සමහර රැකියා වලට තෝරා ගැනීමේදී සලකා බලන එක කරුණක්. ඔය මොනවා කලත් අන්තිමේදී කුසලතාවය කියන දෙය කොහොමත් වැදගත් වෙනවා.

කොහොම උනත් මට ලියන්න අවශ්‍ය උනේ ඒ ගැන නෙමේ. බොහෝ අපේ මිතුරන් රට හැර ගියා නොයෙක් හේතුන් නිසා. උපාධියට ඇති කැපිල්ලත් එක හේතුවක් උනත් ප්‍රධාන හේතුව නෙමේ. නමුත් කුරුම්බා කැපීම කොහොම උනත්, ලංකාවෙත් පිටරටත් මේ අය බහුතරය තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවල නියැලෙනවා. එයට ප්‍රධාන හේතුව හැටියට මා දකින්නේ ඔවුන් ලබාගත් අධ්‍යාපනයම නෙමේ. ඔවුන්ට ඇති ප්‍රධාන වාසිය තමා ලබපු “exposure” එක. අනික තමා ස්වාධින ජිවිතයක් ගත කරන හැටි ප්‍රායෝගිකවම ඉගෙන ගෙන තිබීම.

අපේ නිදහස් අධ්‍යාපනේ ලොකුම වැරැද්ද තමා, එය ලබන කෙනාට අගයක් නොදැනීම. මහජන මුදල් වැය කලත් අපිට කෙලින්ම ඒක දැනෙන්නේ නැහැ. විශ්ව විද්‍යාලවල ළමයි අධ්‍යාපනයට වඩා, සනාතන කම්කරු රාජ්ජය ගොඩ නැගීමේ සටනට තාවකාලිකව කැප වන්නේ ඒ නිසයි. බොහෝ දෙනාට මේ වසර කීපය තවත් වැඩි කර ගැනීමට අවශ්‍යද කියන සැකය පිට ඉඳන් බලන කෙනෙකුට ඇති වෙනවා. පාසල් ළමුන් වගේ නොවේ සරසවි සිසුන් කියන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් වැඩිහිටි පිරිසකට.

සරසවි වල පුර්ණ කාලින දේශපාලනේ කරලා, හරියට ඉගෙන ගන්නෙත් නැතුව පිටට ආපු බොහෝ දෙනා, ජීවිතේ පසු කාල වල කරන ඒවා දැක්කහම මෙයාලගේ සමාජවාදේ තියන තිරසාර හා අකලංක කැපවීම ගැන වැටහීමක් ගන්න පුළුවන්.

අපේ අධ්‍යාපන  ක්‍රමයට පොදුවේත්, උසස් අධ්‍යාපන ක්‍රමයට විශේෂයෙනුත් ප්‍රතිසංවිධාන අවශ්‍යයි. අපේ ආණ්ඩු වල අරමුණුත් හැමවිටම යහපත් නොවුනත්, ප්‍රතිසංවිධාන ගැන කතා කරපු ගමන් පළමුවෙන් යක්ෂාවේශ වෙන්නේ ශිෂ්‍ය සංවිධානයි. ඔවුන් පසුපස ඉන්නේ මේ කියන අධ්‍යාපන ආයතන හෝ ලෝකේ වෙනයම් අධ්‍යාපනික ආයතනයකින් හෝ වැඩක් ගත්ත පිරිසක් නොවේ.

Advertisements

2 Comments

Filed under Careers/Employments, Education

2 responses to “ලුමුම්බා උපාධිය කුරුම්බා කපන්නද? A hawker with an university degree?

  1. නිකං

    //අපේ නිදහස් අධ්‍යාපනේ ලොකුම වැරැද්ද තමා, එය ලබන කෙනාට අගයක් නොදැනීම
    හරියටම හරි රයිගම්, පිට රටකට ගිහිල්ලා එක විෂයකට රුපියල් ලක්ෂයකට එහා ගෙවන්න වුනාම තමා නිදහස් අධ්‍යාපනයේ අගය හා අධ්‍යාපන ක්‍රමය කොතරම් ඵලදායීව දියුණු කල යුතුද\හැකිද බව වැටහෙන්නේ.

  2. ලංකාවේ සරසවි අධ්‍යාපනයට විශාල විනාශයක් කළේ සරසවි හෝ වෙනත් අධ්‍යාපනයක් නොලද පිරිසක් විසින් හසුරවන ළද ශිෂ්‍ය ව්‍යාපාරය නැත්නම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කියා මා හිතනවා. අද වුනත්, මෙවැනි ශිෂ්‍ය නායකයන් දොඩවන වල්පල් මේ ලෝකේ තේරුමක් නැහැ. මෙයාල විසින් දිවි හිමියෙන් ආරක්ෂා කරනවා යයි කියන නිදහස් අධ්‍යාපනයේ අද ශෝචනීය තත්වයට ඔවුන්ගේ බලපෑම විශාලයි. මා වෙන රටක ඉඳන් මේක කියන කොට කිසි වැඩක් නැහැ තමා. නමුත් මට දැනෙන ඇත්ත එයයි. වෙනස් කම් අවශ්‍ය විටදී හා අවශ්‍ය තැන් වලදී ඒ වෙනස් කම් කිරීමට ඉඩ නොදුන්නේ ඔවුන්.