Monthly Archives: August 2011

කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ. To read or not to read?


ඉස්සර මිහිර පත්තරේ ගිය ටික්කා කියල කැමිලස්ගේ දවසෙන් ඉවර වෙන චිත්‍ර කතා පෙළක්. ප්‍රධාන චරිතය ටික්කා. ටික්කාට හිටියා පැටෝ කියල කතා කරන ගිරවෙකුත්. දවසක් පැටෝ පොත් කියවනවා. මොකද පොතක දැකලා කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල. මේක දැක්ක ටික්කා කියනවා “පැටෝ උඹට නම් සම්පුර්ණ මිනිහෙක් තියා මිනිස් භාගයක් වත් වෙන්න බෑ” කියලා. ඒක අහපු පැටෝ ඉගිලිලා යනවා “ඔව් මන් කුරුල්ලෙක්නේ” කියල.

ඉහත සඳහන කලේ කරුණු දෙකක් කියන්නයි. එකක් (පොත්) කියවීම කියන එක වෙන කිසිම ක්‍රියාකාර කමකින් (රූපවාහිනි බැලීම, අන්තර් ජාලයේ කරක් ගැසීම, වීඩියෝ සෙල්ලම් කිරීම වැනි) විස්ථාපනය කරන්න බැහැ. අනික තමා මා  පුංචි කාලේ තෝරලා බේරලා කියෙව්වේ නැහැ. චිත්‍ර කතා හා ඩීමන් ආනන්දගේ පොත් වල ඉඳලා මාර්ටින් වික්‍රමසිංහලාගේ පොත් දක්වා හැම එකක්ම කියෙව්වා. අර ටික්කගේ කතාව මට තාම මතක ඒකෙ ප්‍රතිඵලයක් හැටියට. පාසල ටියුෂන් පන්ති වලින් විස්ථාපනය වෙන්න පටන් ගත්තට පස්සේ හා ජේ ආර් ගේ යුගයෙන් පස්සේ පොත් කියවීම ශ්‍රී ලංකා සමාජයෙන් ටික ටික තුරන් වෙන්න ගත්තා. සරච්චන්ද්‍රලට පහරදීම හා සාහිත්‍ය, ඉතිහාස විෂයයන් ඉවත් කිරීම තුලින් බලාපොරොත්තු වුනේ කියවන හා ලියන මිනිස්සු දුර්මුඛ කිරීම කියල මට හිතෙන්නේ.

අපේ පාසල ඉදිරිපිට තිබුන පොඩි සිල්ලර කඩයක්. මේකේ පත්තර, සීනිබෝල, ප්ලේන් ටී විතරක් නෙමේ (විසිතුරු) මාළුත් විකිණුවා. ඒකෙ එල්ලලා තියනවා ඩීමන් ආනන්දගේ පොතුත්. එකක් ශත හැත්තෑ පහයි. ශත හැත්තෑ පහක් දීල පොතක් අරගෙන අප කීප දෙනෙක් කියවල කඩේට ආපහු ගිහින් දුන්නම ශත පනහක් ආපසු මුදලාලි අපේ අතට දෙනවා. ඒකට  ශත විසිපහක් දාල තව පොතක් අරගෙන කියවලා අර දේම ආපසු කරනවා. ඩීමන් ආනන්දත් පොත් හෙන ගානක් ලියුවනේ! මේ පොත් කියෙව්වා කියල අප පාසලේ පුස්තකාලයත් අමතක කළේ නැහැ. අපට තිබුන අනර්ඝ පුස්තකාලයක්. ඒකෙන් අරන් කියවපු සමහර ඉතිහාස පොත් අදත් මට නැවත කියවන්න ඇත්නම් කියල හිතෙනවා.

මං මිට කලින් ලියුවනේ පන්තියේ අන්තිමය උනත් පහේ ශිෂ්‍යත්වයෙන් මා  පාසලෙන් (මේ වෙන පාසලක්) ඉහල ලකුණු ගත්තා කියල. ඒකට එක හේතුවක් වුනේ මගේ කියවීම. සිංහල ප්‍රශ්න පත්තරේ කියවීමේ ඡේදයට තිබුනේ ආර් එල් ස්පිටල් ගේ සුදු වැද්දා කතාවෙන් ගත්තු කොටසක් (අම්මප මට තාම මතක හැටි!). අහල තිබුන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට අර ඡේදය කියවන්න අවශ්‍ය උනේ නැහැ. මොකද ඒ වෙන කොට මා  ඒ පොත කීප සැරයක් පට්ට ගහල ඉවරයි.

අපිට හිටපු ගුරුවරු බොහොමයක් විෂය කරුණු වලට අමතරව දේශපාලන, සමාජයීය හා සාහිත්‍යය  කරුණු කතා කරපු නිසා කියවන්න අපේ උනන්දුව වැඩි උනා. මගේ පුංචි පුතා සමග හැරී පොටර් එක සිනමා පටයක් බැලුවට පස්සේ මා ඇහුව කොහොමද සිනිමා පටය කියල. පුතා කියුවේ පොත වැඩිය හොඳයි  කියල. එයාගේ කල්පනා ලෝකය (imaginary world) තරම් සිනිමා කරුවාගේ ලෝකය චිත්තාකර්ශනීය නැහැ. මේක අපත්  අත්දුටුවා. මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා වලින් අපි මවාගත් දේ ලෙස්ටර්ගේ  සිනිමා පටවල මා නම් දැක්කේ නැහැ. නවකතාවෙන් ලැබුන ආශ්වාදය සිනිමා පටයකිනුත් නොඅඩුව ගන්න පුළුවන් වුන  එකම සිංහල චිත්‍රපටය ලෙස මා දකින්නේ තිස්ස අබේසේකරගේ විරාගයයි.

පොඩිකාලේ ඉඳන් හිටු කියල කරගෙන ආපු කියවිල්ල අපොස උපේ කරන වයස වෙන කොට අඩුවෙන්න පටන් ගත්තා. එයට හේතුව වෙනම ලියන්නම්. කොහොමහරි මට තාත්තා නම් කියුවේ “පුතේ පත්තර කාරයෙක් වෙලා නම් වැඩක් නැහැ” කියල. ඒ මා පත්‍රකාරයෙක් වෙයි කියල බයේ. අද හැම රටකම දරුවන් කියවීමට ගත කරන කාලය අඩුයි. විශේෂයෙන් රූපවාහිනී, කොම්පියුටර, ඉලෙක්ට්‍රොනික සෙල්ලම් වල කාලය ගත කරන එක තමා ගොඩක් දරුවන් කරන්නේ. කියවන එක ගොඩක් දෙමාපියන්ද උනන්දු කරන්නේ නැහැ. පොත් අනෙක් කිසිම දෙයකින් හිලව් (replace) කරන්න බැහැ කියලයි  මගේ අදහස. අනික් කරුණ තමා අප පොඩි කාලේ කියවන දේවල් වලින් ජිවිතයේ පසු කාල වලටත් පදනම වැටෙනවා විතරක් නෙමේ එහි ආශ්වාදය හැමදාම විඳ ගන්නත් පුළුවන්.

7 Comments

Filed under General, Social