Monthly Archives: September 2011

සත් වසක් රුසියාවේ! My nostalgic second motherland!


සමහරුනට මව්බිම නැත්නම් මරණයනේ. මව් බිමෙන් සැතපුම් දහස් ගානක් ඈතින් ඉන්න මං එහෙම ලියන්නේ නැහැ. හැබැයි මව් බිමට හෙන ගහල ගියත් මට කමක් නැහැ කියල සිතන්නෙත් නැහැ. කතාව ඒක ගැන නෙමේ. මට දෙවන මව් බිමක් ලෙස දැනෙන ලෝකයේ තිබුන රටක් තමා පැරණි සොවියට් දේශය. කරුණු කීපයක් නිසා. එහි ගත කළ කාලය සුන්දර වගේම, අද මා කරන රැකියාවට අවශ්‍ය මුලික සුදුසුකම් ලබාගත්තෙත් එහිදී. මෙතැනදී රුසියාව කියල පහසුවට කියුවත්, සෝවියට් දේශය කියන්නේ මහා විශාල රටක්.

කොහොම හරි අප සෝවියට් දේශයට යන විට අර ගොර්බෝචෝව් මාමා රට කඩන වැඩේ පටන් අරගෙන තිබුනේ. දෙයියන්ගේ පිහිටෙන් අප පළමු වසර ගතකල නගරයේ කන බොන දේවලින් අඩුවක් තිබුනේ නැහැ. ඒ කොහොම උනත්, සරසවි පාලනාධිකාරිය මගින් අපේ නේවාසිකාගාරයට දෙසතියකට වරක් හරක්, බැටළු මස් හා මුදූ මාළු ගෙනත් දුන්නා (අප සල්ලි ගෙවන්න ඕනේ). මේවට අමතරව සිගරට් ද ගෙනත් දුන්නා. අප අතර දුම් පානය කරන කව්රුත් හිටියේ නැහැ (මා ඇරෙන්න). ඉතින් හැමෝගෙම සලාකය මන් ගත්ත.

රුසියානු සිගරට් බොහොමයක ෆිල්ටර තිබුනේ නැහැ. ඒත් අපිට ගෙනත් දුන්නේ “රදොපි” කියන ෆිල්ටරි සහිත බල්ගේරියානු සිගරට් වර්ගය. ලංකාවේ ඉස්සර තිබුන බ්‍රිස්ටල් වලට සමානයි. (දැන් මම දුම් පානය නතර කර ගොඩක් කල්). අපේ නේවාසිකාගාරට මඳ දුරකින් බීම හලක් තිබුන. මට මතක හැටියට වොඩ්කා බෝතලේ රූබල් තුනයි පනහද කොහෙද. ඊට අමතරව පොර්ට් වයින් තිබුන. රුසියාවේ මෑතක් වනතුරු බීර අයත් වුනේ ආහාර කාණ්ඩයට මිසක් මත්පැන් කොටසට නෙමේ.

කොහොම හරි සෝවියට් දේශයට යනකොට මා ඇතුළු බොහෝ දෙනෙක් උයන්න දැනගෙන හිටියේ නැහැ. අප අතර කොල්ලෝ හතර දෙනෙක් හා කෙල්ලෝ තොගයක් (ලංකාවේ අය ගැනයි මා කියන්නේ) හිටිය. කොල්ලෝ දෙදෙනෙකුට ඒක කාමරය ගානේ හම්බ උන. මගේ කාමරේ අනිත් යාලුවා හොඳ මනුස්සයා. අනික් කොල්ලෝ දෙන්න ගැහැණු ළමයින්ගේ කාමර වලට පූට්ටු උනා කන්න. ඒක වුනේ මෙහෙමයි.

අපි හතර දෙනා ඉව්ව මුල් දවසේ. මගේ කාමරේ යාලුවා සහ මම නෙමේ කුස්සියේ මුල් තැන ගත්තේ. අනික් දෙන්න. බත් හා බැටළු මස් හොද්දක් ඉවුව. බත් එක චොර. මස් කෑල්ලක් අවුරුද්දක් හැපුවත් ඉවර වෙන්නේ නැහැ. දෙවෙනි දවසේ ඉඳලා අරුන් දෙන්න ‘කෙල්ලන්ට සෙට්’ උනා. මා හා මගේ කාමරේ යාලුවා සුපුරුදු පරිදි අපිම ඉවීම කරගෙන ගියා. අපිට ගන්න තිබුන හාල් බෙරි නොකර උයන්න අමාරුයි. එය හරියට තම්බා ගන්න ඉගෙන ගත්ත කියන්නේ දෙකෙන් එකක් ගොඩ.

අපේ රුසියානු භාෂා කුසලතාවය හා අපේ ඉවීමේ කුසලතාවය කාලය සමග දියුණු උණා. අපේ ජේස්ට “අයියල” හා “අක්කල” ගැනත් පොඩි සඳහනක් නොකොළොත් අඩුවක්. ලංකාවේ සරසවි වල නවක වධ දෙන කට්ටිය වගේ නෙමේ අපේ “අයියල” අප ආපු ගමන් අපිට උයන්න හට්ටි වලන්, එළවලු, පලතුරු ගෙනත් දුන්නා. අයියල කියල කොමා ඇතුලේ දැම්මේ අප ඔවුන්ට නම මිසක් අයියේ කියුවේ නැහැ. අන්න එහෙමයි හත් වසරකට ආසන්න මගේ සෝවියට් ජීවිතය පටන් ගත්තේ.

භීෂණ කාලේ නිසා ලංකාවේ සරසවි වලට තේරුන සමහර දෙනෙක් අපත් සමග රුසියාවට ඇවිත් තිබුනා ඉගෙන ගන්න. ජවීපෙ සුන්නත් දුවිලි කලාට පසු අප අතර සිටි එවැනි දෙදෙනෙක් ආපසු ලංකාවට ගියා. මටත් එහෙම කරන්න පුළුවන්කම තිබුනත්, මගේ ස්ථානය ඊළඟ කෙනාට දෙන්න කියා මා ප්‍රතිපාදන කොමිසමට ලියා ඇරියා. එය මා, මගේ ජිවිතයේ මෙතෙක් ගත්තු හොඳම පියවරක් කියා, හැරී බලන විට සිතෙනවා.

Advertisements

2 Comments

Filed under Social