අවුරුදු හතලිස් හයේ “නාකියා”! How old is old?


එක්තරා පුවත් වෙබ් අඩවියක පුවතක මාර්තුකාව උනේ නාකි මිනිසෙක් කළ ළමා අපයෝජනයක්. මේ “නාකි” මිනිසාගේ වයස අවුරුදු හතලිස් හයක් බව පුවත කියවාගෙන යනකොට දැනගන්න ලැබෙනවා. අදාළ පුවතට ප්‍රතිචාර දැක්වූ සමහර දෙනෙක් පුවතින් වේදනාවට පත්ව තිබුණා. මොකද ඒ බොහෝ දෙනෙකුගේ අදහස අනුව අවුරුදු හතලිස් හය නාකි වයසක් නෙමේ.

නාකි කම හැමවිටම සාපේක්ෂ දෙයක්. අවුරුදු පහක දරුවෙකුට හිතෙන්න පුළුවන් අවුරුදු විස්සක “තරුණයෙකුත්” නාකියෙක් කියල. ඒ කොහොම උනත් මගෙත් වයස අර වයසට ආසන්නයි.මා තරුණ වයස පහු කර ඉන්නේ කියා අමුතුවෙන් කවුරු හෝ මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. එක නොවේ මගේ කතාව.

යම් පුවතක් වෙබ් අඩවියක හෝ පුවත් පතක පළ කරන විට පිළිපැදිය යුතු ආචාර ධර්ම තියනවා. එක පුද්ගලයෙක් වරදකට චෝදනා ලද විගසම, ඒ මිනිසා වැරදි කරුවෙකු ලෙස හුවා දැක්වීම වැරදියි. අනික තමා එක කෙනෙක් වරදක් කලබවට චෝදනා ලද විට හෝ වරදක් කළ බවට උසාවියකින් තීන්දු කළවිට, ඒ තැනැත්තාගේ පවුලේ, යෙදෙන වෘත්තියේ, කුලයේ, ජාතියේ අනික් සියලු දෙනා, හාමුදුරු නමක් නම් සියලු පන්සල් වල හාමුදුරුවන්, පල්ලියේ දේවගැති කෙනෙක් නම් අනික් සියලු දේවගැති වරුන් ආදී වශයෙන් පොදුවේ ඒ සියලු දෙනාම අපකීර්තියට, අගතියට පත් කිරීම වැරදියි.

අර පුවත ලියපු කෙනා මේ දෙකම එකවර කරළ තිබුණා. අවුරුදු හතලිහ පැනපු “නාකි” කීප දෙනෙක් තමන්ට ඇති වුන හිත් තැවීම ගැන ප්‍රතිචාර දක්වා තිබුනත්, ප්‍රතිචාර නොදැක්වූ තවත් බොහෝ දෙනෙක් ඉන්න පුළුවන්. ඒ අතර අදාළ ජාතියට අයත් නීති ගරුක සදාචාර සම්පන්න මිනිස්සු, හාමුදුරුවරු,ගුරුවරුන්, හමුදාවේ සේවය කරන අය ඉන්න පුළුවන්.

ලංකාවේ පත්තරයක ස්ත්‍රී දුෂණයක් ගැන වාර්තා කරන හැමවිටම ලියන්නේ ” රූමත් කාන්තාවක් දුෂණය කරයි” කියල. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියවන්නා තුල ලිංගික උත්දීපනයක් ඇති කිරීම. පුවත ලියන කෙනාගේ සහෝදරියක් මේ අතවරයට ලක් වූනා නම් එයා මේ පුවත ඒ විදිහට ලියයි ද? වැදගත් වන්නේ දුෂණයට ලක් වුනේ රූමත් කෙනෙක්ද, කැත කෙනෙක්ද කියන එක නෙමේ. රූමත්කමත් සාපේක්ෂ දෙයක්.

දැන් යලි හැරෙමු අර ළමා අපචාර පුවත දෙස. අදාළ පුවත පළ කළ ආකාරයේ වැරැද්ද කීප දෙනෙකු පෙන්නුම් කර දුන්නත් ඒක නිවැරදි කිරීමක් කළේ නැහැ. පුවත් පතක් වගේ නෙමේ වෙබ් අඩවියක පුවතක් ඕනෙම වාර ගානක් සංස්කරණය කරන්න පුළුවන්. නමුත් අදාළ සංස්කාරකට ඒක එතරම් වැදගත් කටයුත්තක් නෙමේ. ලෝකේ ඉන්න අනික් හැම කට්ටියම විවේචනේ කරන්න අප හරි සුරයෝ, නමුත් තමන්ව විවේචනේ කරගන්නේ නැහැ. අර ස්ත්‍රී දුෂණය ගැන ලියන පත්තරකාරයන් වගේ, මේ පුවත ලියපු කෙනා කොලුගැටයෙකු වෙන්න පුළුවන්. අවුරුදු හතලිහ පැන්නහම මෙයා මේ පුවතම මේ විදිහට ලියන එකක් නැහැ.

ළමා අපචාර වලක්වා ගැනීම හා ළමා අපචාර වලට සම්බන්ද අයට නීතියෙන් දඩුවම් ලබා දීම සඳහා කැපවීම අප හැමෝගෙම වගකීමක්. මොකද අපචාරයට ලක්වන දරුවන්ට, තමන් අපචාරය ලක්වුනා කියල තේරුම් යන්නේ වැඩිහිටියෙක් උනහම. මේ ගැන දරුවන් දැනුවත් කිරීමත් දෙමාපියන්ගේ වගකීමක්. පාසල් නේවාසිකාගාර, පන්සල්, පල්ලි ළමා අපචාර වල කෙම් බිම්. මේක ලංකාව වගේ දියුණු වන රටකට විතරක් නෙමේ, ගොඩක් දියුණු යි කියන බටහිර රටවලටද පොදු කාරනාවක්.

මේ සියලු තැන්වල ළමා අපචාරයේ යෙදෙන්නේ දරුවන්ගේ ආරක්ෂාව සඳහා පෙනීසිටින පුද්ගලයන් නිසා ඔවුන් ගැන වැඩිහිටියන් සැක කරන්නේ නැහැ. අනික් අතට දරුවන්ට අප හැමවිටම කියල දෙන්නේ අදාළ ආයතන වල පුද්ගලයන්ට නමස්කාර කරන්න කියලනේ. ඉතින් ඔවුන් මේ මිනිසුන් ගැන තමන්ගේ අම්මලට තාත්තලට පවා කියන්න බිය වෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. මෙතැනදී අප අවධාරණය කලයුතු ප්‍රධාන කරුණ තමා, කිසියම් වෘත්තියක හෝ ආයතනක පුද්ගලයෙක් අපරාධයක් කළ පමණින් අදාළ වෘත්තියේ හෝ ආයතනයේ සියලු දෙනා යක්ෂකරණය (demonize) නොකල යුතුයි.

පසු වදන
නාකි කතාව ගැනත් පොඩ්ඩක් නොලියුවොත් මේ සටහන අසම්පපූර්ණයි. අර පුවතින් මට හිත් කලකිරීමක් හෝ වේදනාවක් ඇති නොවුනත්, කව්රු හරි මට මුණටම නාකියා කීවොත් නම් මටත් තරහ යාවි (හෙක්). මීට අවුරුදු හතරක පහක චායාරූපයක් සමග සංසන්දනය කරනකොට මා වයසට ගිහින් කියලා හොඳටම තේරෙනවා. නමුත් මා නම් ජිවත් වන්න පටන් ගත්ත විතරයි. අවුරුදු තිහක් පමණ ගත කළේ ඉගෙන ගන්න. ඉන්පසු රස්සාවක් හොයාගෙන, පරස්ථාවක් කරගෙන, රටවල් ගානේ කරක් ගහල දැන් තමා යම් තැනකට ආවේ. මට විශ්‍රාම ගන්න තව අවුරුදු විසි ගානක් තියනවා. ජිවත් උනොත් මේ ටික තමා මගේ හොඳම වයස. ඉගෙනගෙන ඉවරයි (මට කරන්න තව උපාධි නැහැ), ළමයි හදලා ඉවරයි, ගේ දොර, යානවාහන ගැන දැනට වඩා ඉහල බලාපොරොත්තු නැහැ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ අඩියක් හීනියට ගහල ජිවිතේ විඳින්න. (මේකෙන් අදහස් වෙන්නේ නැහැ කලින් අඩි නොගැහුව කියල; හැබැයි ගැහුවේ හීනියට නෙමේ).

Advertisements

Comments Off on අවුරුදු හතලිස් හයේ “නාකියා”! How old is old?

Filed under Social

Comments are closed.