අප ඉන්නේ ලෝක දෙකක හාමුදුරුවනේ! A box-ticking exercise!


ගිය සතියේ බණක් අහන්න පන්සලට ගියා. ගියේ යාලුවෙක් කරපු ඉල්ලීමක් නිසා මිසක් බණ ඇහීමෙන් අමුතු සුගතියක් ඇතිවේවි කියල හිතුන හින්දා නෙමේ. මේවගේ රටක පන්සලක් හැදීමටත් එය පවත්වාගෙන යාමටත් විශාල වෙහෙසක් දරන්න ඕනේ. මා නම් එවැනි දෙයකට කැපවන පුද්ගලයෙක් නෙමේ. එයට වැඩියක්ම හේතු වන්නේ ආගම මගේ ජිවිතයේ ප්‍රධාන අංගයක් නොවන නිසයි. ආගම කෙසේ වෙතත් පන්සල ශ්‍රී ලාංකික ජනතාවට (විශේෂයෙන් “සිංහල බෞද්ධ” පිරිසට) හමුවෙන්න, වෙනත් සංස්කෘතික කටයුතු පවත්වාගෙන යන්න හැකි කේන්ද්‍රස්ථානයක් වෙනවා.

දැන් අර බණට හැරෙමු. හාමුදුරුවන්ගේ බණේ මුලික තර්කය උනේ අප බෞද්ධයන් වීම හා බුදු බණ දැනගෙන සිටීම විශාල පිනක් හා විශාල වාසියක් බවයි. බුදු බණ නොදන්නා නිසා බටහිර ජාතින් විශාල ප්‍රශ්න (මානසික ආතතිය, දික්කසාද වැනි) සමූහයකට ගොදුරු වෙලා. හාමුදුරුවන් බණ ඉවර කලේ “තව ටික කාලෙකින් බටහිර කට්ටිය ඔය උපාසක කට්ටිය ගාවට එයි, එයාලගේ ප්‍රශ්න වලට විසදුම් හොයාගෙන.  ඒකට සුදානම් වෙලා ඉන්න” කියලා (මල කෙලියයි! කඩුව පොලිෂ් කරනවාට අමතරව, බුද්ධාගමත් ඉගෙන ගන්නයි වෙන්නේ!).

ගෙදර එන ගමන් මා කල්පනා කළේ හාමුදුරුවන්ගේ කතාවේ ගැනයි. අප බුද්ධාගම දැන ගැනීම හා ඇදහීම නිසා අපගේ ජීවිතවල විශාල වෙනසක් තියනවාද? කොහොමත් සුද්දෙකු ආවත් කියා දෙන්න අවශ්‍ය කරන ටික අප දන්නවාද? අනික් එක තමා සුද්දෙක් මොනයම් හේතුවක් නිසා හෝ බුදුදහම ඉගෙන ගන්න හිතුවොත් උන් අප ගාවට නම් එන්නේ නැහැ. බුද්ධාගම ගැන ඕනේ තරම් පොත පත ඉංගිරිසියෙන් ලියවී තියනවා.

මා පොඩි කතාවක් කියන්නම්. මේකත් හරියට සිදුහත් කුමාරයාගේ කතාව වගේ. මගේ සහකාරිය කලින් වැඩ කරපු තැන සේවය කරපු සුද්දෙක්ගේ පුතෙක් මහන වෙලා. බිරිඳ බෞද්ධයෙක් කියලා දන්නා නිසා විස්තර කියලා තිබුනා. සුද්දගේ පුතා තාමත් ඉලන්දාරි වයසේ පසුවන්නේ. කලින් වැඩ කරලා තියෙන්නේ සංගීත කණ්ඩායමක. කොහොමහරි බිබී නගරෙන් නගරෙට ගිහින් සින්දු කියල කියක් හරි හොයාගෙන දවස ගෙවන ජිවිත ක්‍රමය මිනිහට එපාවෙලා. පසුව ආගම් පොත් කියවන්න පටන් අරගෙන. නැවතිලා තියෙන්නේ බුද්ධාගමත් එක්ක. අන්තිමේදී මහන වෙලා. දැන් ආරාමෙක භාවනා කරනවා. පුතා නිසා අර සුද්දත් දැන් බුද්ධාගම් පොත් කියවනවා.

කොහොමහරි අපිත් දානයක් දෙන්න අර ආරාමෙට ගියා. එතැනදී දානේ ශාලාවක ලැහැස්ති කරනවා. අපට හාමුදුරුවරු සේරම මුණ ගැහෙන්නේ නැහැ. හාමුදුරුවරුන් තමන්ම දානය බෙදාගෙන වළඳ ලා, පස්සේ තමයි බණ කියන්නේ. වැඩ කරන තැන යාලුවාගේ පුතා නිසා බිරිඳත් පිරිකරක් අරන් ගියා අර තරුණ හාමුදුරුවන්ට දෙන්න. කොහොම හරි අන්තිමේදී එතන හිටපු ඇබිත්තියෙකුට කන් කෙඳිරි ගාල, තරුණ හාමුදුරුවන් ගෙන්න ගත්ත. මගේ සහකාරිය පිරිකර පූජා කරන විට තරුණ හාමුදුරුවන් පිට බැලුවා. මට වැඩේ තේරිලා පිරිකර මගේ අතින් දුන්නහම ගත්තා (මට නම් ටිකක් තරහ ගියා. පිරිකර කාගේ අතින් ගත්තත් මොකද? ගෙනාපු කෙනාගේ අතින්ම එය ගත්තානම් නේද වඩා හොඳ? බුදු හාමුදුරුවෝ සුජාතාවගේ කිරි පිඬු දානය පිළිගත්තේ පිරිමියෙක් ගේ අතින්ද?). කොහොමෙන් හරි මේ තරුණ හාමුදුරුවෝ අප ඉදිරියේ ම ඔතපු කඩදාසි ඉවත් කරලා ගෙනත් තියෙන්නේ මොනවාද කියා බලන ගමන් සිනා සෙමින් කිවේ “ලංකාවේ අය කොහොමත් ඕනෙම දෙයක් හුඟක් දවටලානේ දෙන්නේ” කියල.

ඉතින් අර කලින් බණ කියපු හාමුදුරුවෝ වදාළ විදිහට සුද්දන් බුද්ධාගම ඉගෙන ගන්න අප ගාවට ඒවි කියල හිතන්න බැහැ (යන්තම් ඇති, පුතේ, මේ මලලසේකර ශබ්දකොශේ ගෙහුං තියපන්! ). අනික් එක ආවත් අපට කියන්න තියෙන්නේ මොනවාද? මා ලංකාවේදී දැනගෙන හිටපු බුද්ධාගම ගැන ගැඹුරු වැටහීමක් තිබුන අයගේ එදිනෙදා ජිවිතයේදී  ඒ බව පිළිබිඹු උනේ නැහැ. පන්සල් යන, දානේ දෙන, බෝධි පූජා තියන අප වාගේ සාමාන්‍ය බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙකු තුලත් සාමාන්‍ය ජීවිතයේදී “බෞද්ධ” ලක්ෂණ දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්.

මේක බුද්ධාගමට සීමා වුන  දෙයක් නෙමේ. අනික් ආගම් අදහන බොහෝ දෙනෙකු ගෙන් ඒ ආගම් වලින් උගන්වන දේ සාමාන්‍ය ජීවිතයේදී දැක ගන්න ලැබෙන්නේ නැහැ. අප කවුරුත්  කරන්නේ “බොක්ස් ටික්” කරන ආගම් ඇදහීමක්. පන්සිල් ගන්නවා (ටික් එකයි) දානයෙන් පස්සේනේ, බීලා බොරු කියන්නේ, දානේ දෙනවා, පන්සල් හදනවා… මේ සේරම කරන්නේ අර පුරුද්දට වගේ. කෙනෙක් මිනිස්සු මරල හරි සත්තු බේර ගන්නකොට අප හිතනවා ඒක පිනක් කියල. තව කෙනෙක් මස් මාළු නොකා මිනී මරනවා. මිනී මැරීම සුළු දෙයක්, මස් මාළු නොකෑම ලොකු පිනක්. දවාලක හිඟන්නෙකුට ශත පනහක් දීල පින් බලාපොරොත්තු වන කෙනෙක්, මහ රෑ ඒ යාචකයාගේ ඔලුව පොඩිකර මරා දැමීම සලකන්නේ නගර අලංකරණයේ එක අංගයක් හැටියට.

Advertisements

Leave a comment

Filed under Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s