අසිරිමත් මිනිස්සු The kindness of a stranger


අසිරිමත් මිනිසුන්

කැන්බරා නුවර රස්සාවක් හම්බ උනහම හිතට නැගුන ප්‍රධාන ප්‍රශ්නය උනේ ඉන්න තැනක් සොයා ගන්න එක. නවාතැන් පොළවල් ගැන සොයන්න වෙබ් අඩවි වල ටිකක් කරක් ගහල බැලුවා. රටකින් රටකට මාරු වෙනවා වගේම රටක් ඇතුලේ මාරු වීමත් පහසු කටයුත්තක් නෙමේ. මේ නිසාම අප වගේ සංක්‍රමණිකයන් බොහෝ දෙනෙකු තමන් මුලින්ම ආපු නගරෙම පැලපදියම් වන්නේ. මේ නිසා තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක නියැලීමට වෙන නගරකට මාරු වීමට වඩා මොකක් හෝ රැකියාවක් කරමින් තමන්ට පහසු තැන ජිවත් වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වනවා. කොහොමහරි වෙබ් අඩවි වල තිබුන දැන්වීම් වලින් මට ගැලපෙනවායි හිතුන තැන් වලට කතා කරන්න පටන් ගත්තා. මෙහෙම බලාගෙන යනකොට එක දැන්වීමක් දෙස මගේ ඇස ගියේ අදාළ නවාතැන මගේ සේවා ස්තානයට කිට්ටු වීමත්, එය කුලියට දෙනු ලබන දිනයන් මගේ අලුත් රස්සාව පටන් ගන්න දිනයට කිට්ටු වීමත් පමණක් නොව, එය පළ කරපු තැනැත්තා සිංහල නමක් ඇති කෙනෙක් වීම නිසා කියල කිව්වොත් (අර විනාඩියක් පමණයි වගේ) නිවැරදියි. කොහොම හරි තෙලබනුවෙන් කතා කලහම සුපුරුදු අපේ කටහඬක් එහාකොනෙන් ඇහුනා. වැඩි වෙලා නොගිහින් අප සිංහලෙන් කතා කරන්න පටන් ගත්තා. ඔහු මගේ විස්තර ඇහුවේ දන්නා හඳුනන කෙනෙක් පරිද්දෙන්. මගේ අවශ්‍යතාවය ගැන කියපුහම ඔහු කිවේ ඉල්ලුම්පත් කීපයක් තියනවා, මොනවා උනත් මට මොකද වෙන්නේ කියල කියන්නම් කියා. ඉන් දවස් කීපයකට පසුව මා නැවත ඔහුට කතා කළා. ඔහු කීවා තාම තීරණයක් නැහැ ඉක්මනින් කියන්නම් කියලා. ඉන්පසු දෙතුන් වරක් මා කතා කලත් ඒ හැමවිටම උත්තර දුන්නේ ඔහුගේ පුතයි. තාත්තාට පණිවිඩය දෙන්නම් කියා පුතා කිව්වා. ඉන්පසු මා ඒ පස්සේ යන එක නතර කළේ ඒක නොකෙරෙන වැඩක් කියල දැනගෙන. ඔය අතරේ මා විස්තර අහපු තවත් නවා තැනකින් මට පිළිතුරු ලැබුනා. එය සුදු කාන්තාවකගේ නිවසක කාමරයක්. මගේ විස්තර ඇසීමෙන් පසු ඇය කිව්වා මට කාමරය දීමට නම් මුලින්ම මා සමග මුහුණට මුහුණලා කතාකල යුතුයි කියා. මගේ රස්සාව පටන් ගන්න තව මාසයක් පමණ තිබුනා. ඒ අතර කාලය තුල මට කැන්බරා නුවර යාමට පුළුවන් කමක් තිබුනේ නැහැ. මාසයක් බලා ඉන්න ඇය කැමති උනේ මා බලා පොරොත්තු නොවූ පරිදි. කොහොමෙන් හෝ මගේ රස්සාව පටන් ගන්න දිනය ලංවන විට ටික දවසක් නැවතීම සඳහා හෝටලයක කාමරයක් වෙන් කරවා ගත්තේ සුදු කාන්තාවගේ නවාතැන ගැන මගේ විශ්වාසයක් නොතිබූ නිසයි. ඔන්න ඉතින් මගේ රස්සාව පටන් ගන්න දින කීපයක් තියල මා කැන්බරා ආවා. එදාම හවස සුදු කාන්තාව හමුවන්න යොදාගත්තේ ඒක හරි නොගියොත් වෙනතක් බලාගන්න කල් තියන නිසා. ඇය හරිම ප්‍රියමනාප කාන්තාවක්. මා ගැන තොරතුරු ඇසීමෙන් පසු ඇය කාමරය මට දීමට කැමති වීම මගේ ලොකු අස්වැසිමකට හේතු උනා. පසු දින සෙනසුරාදාවක් උනත් ඇයට නිවාඩු තිබුනේ නැහැ. ඇය නිවසේ නොසිටියත් යතුරු මා කැමතිනම් එවලේම දෙන්න පුළුවන් කියා ඇය පැවසුවා. ඇය මගේ නවාතැන් ප්‍රශ්නය විසඳුවා පමණක් නෙමේ, මුල් මාස කීපයේ නාඳුනන නගරයේ මට විශාල ලෙස උදව් කළේ තමන්ගේ නෑදෑයෙකුට පරිද්දෙන්. අලුත් නගරයට හුරු වීමෙන් මාස කීපයකට පසු මා වෙනත් නවාතැනකට මාරු උනේ බිරිඳ හා දරුවන් අලුත් නගරයට ආව නිසයි. නන්නාඳුනන කෙනෙකුගේ කාරුණික කම මිනිස්කමේ අසිරිය ගැන මට නැවත වරක් මතක් කර දුන්න.

2 Comments

Filed under Social

2 responses to “අසිරිමත් මිනිස්සු The kindness of a stranger

  1. මෙවැනි අත්දැකීම් මා පෞද්ගලිකව ලබා නැතත් එබඳු අත්දැකීම් ලැබූ බොහෝ දෙනකුගෙන් ඒ ගැන අසා ඇත්තෙමි. පිටරටකදී තමන්ගේ කෙනෙකුට උදව් කරන්නට ශ්‍රී ලාංකිකයන් බොහෝවිට මැලිවන්නේ මන්දැයි යන්න ගැටලුවකි. ඒ ඔවුන් එසේ උදව් කරන්නට ගොස් පාඩම් ඉගෙන ගෙන ඇති නිසාද?

  2. සමහරවිට ඒක වෙන්න පුළුවන්. මට ඔහු ගැන කහට සිතක් නැහැ. හැබැයි පොරොන්දු උන පරිදි අඩුගානේ මට තීරණේ දන්නාවී කියලා බලාපොරොත්තු උනා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.