Monthly Archives: October 2011

කෙටිම කෙටි කතාවක් – සැන්දෑ කළුවර


වෙලාව රාත්‍රි දහය උනත් තාම සැන්දෑ කළුවර ගලා එන්න පටන් ගත්ත විතරයි. ගිම්හානයෙ අන්තිම දවස් නිසා රස්නයෙ අඩුවක් සාගරිකාට දැනුනෙ ගෙට ගොඩ උනාට පස්සෙ. දවසෙම වායු සමීකරන යන්ත්‍ර නොදැම්මොත් මේ දවස් වල ඉන්න අමාරුයි රස්නය නිසා. කම්මැලි කම යන්න එක්ක රූපවාහිනිය ක්‍රියාත්මක කරන ගමන් ඇය සාලයෙ සැටියෙ ඇල උනා.

අවුරුදු ගානකට පෙර ගත්ත එකක් උනත් සමින් නිම වුන සැටිය අළුත් එකක් මෙන් දිස්වුනේ පරිස්සමින් පාවිච්චි කළ නිසා නේද කියල ඇයගෙ සිතට ආවෙ ඉබේටම. සාගරිකා රූපවාහිනියෙ චැනල මාරු කළේ බලන්න පුලුවන් වැඩ සටහන් සොයමින්. චැනල ගනනාවක් තිබුනත් ඒ එකක වත් වැඩසටහන් ඇයගෙ සිතට හරි ගියෙ නැහැ. සතිපතා විකාශනය වන ඇමෙරිකානු විහිලු වැඩසටහනක ඇය අන්තිමට නැවතුනා. එහි තිබුන සිනා නොයන හැම විහිලුවකටම පසුබිමින් සිනා හඞවල් කවා තිබුනා.

සුසිරිපාල යාලුවෙකුගෙ ගෙදර ගියෙ හවස් ජාමයෙ. සමහරිවිට දෙන්න එක්ක බීර බෝතලයක් බොනවා ඇති, සාගරිකාට සිතුනා. ඇයගෙ සිත අතීතයට ගලාගෙන ගියේ ඇයටත් හොරා.

සාගරිකගෙ පවුලේ සහෝදර සහෝදරියො අට දෙනෙක් හිටියා.ඒ අයගෙන්  පසුගිය වසරේ මිය ගිය ලොකු අයියා සිහිවී ඇයගෙ නෙතට කඳුලක් නැගුනා. අනික් සේරම කට්ටිය ජීවත් වෙන්නෙ ලංකාවෙ. සාගරිකා සුසිරිපාල එක්ක විවාහ උනාට පසු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආව.

ඒක උනේ මෙහෙමයි. සාගරිකා උසස් පෙළ විභාගය නිම කර ගෙදර ඉන්න කොට සුසිරිපාල කපුවෙක්ගෙ මාර්ගයෙන් සාගරිකාට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා. සුසිරිපාලත් සාගරිකගෙ ගමේ කෙනෙක්. ඔහු සාගරිකලාට වඩා ටිකක් වැඩිමල්. සුසිරිපාල උසස් පෙළ නිම කරනවත් එක්කම කොළොඹ  ගියා. ඉන් වසර කීපයකට පසු ආරංචි උනා ඔහු ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් ඇති බව.

සාගරිකාට ඕනෙ වෙලා තිබුනෙ වැඩිදුර මොනවා හෝ ඉගෙන ගන්නයි. ඒත් අම්මගෙයි තාත්තගෙයි බල කිරිමත්, ඕස්ට්‍රේලියාවේ ගිය පසු ඉගෙන ගන්න පහසුකම් සලසා දෙනවයි කියලා සුසිරිපාල පොරොන්දු වුන  නිසාත් අන්තිමට ඇය විවාහයට කැමති උනා.

ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවට පස්සෙ සේරම වෙනස් උනේ ඉතා සීග්‍රයෙන්. බැඳලා වසරක් යන්න කලින් ලොකු පුතා සුනිමල් ඉපදුනා. ඉන් අවුරුදු  තුනකට පස්සෙ දුව ධනන්ජලි මෙලොවට ආවා. දුවගෙයි පුතගෙයි වැඩ වලට හිර උන සාගරිකාට ඉගෙනීමක් ගැන හිතන්න ඉස්පාසුවක් ලැබුනේ නැහැ. රූපවාහිනියෙන් එන සිනා හඬ  ඇයට දැනුනෙ තමන්ට සමච්ච්ල් කරන්නක් ලෙස.

සුසිරිපාල වැඩ කලේ ගෙවල් ගාව තිබුන සපත්තු කම්හලක. හොඳින්  වැඩකරපු නිසා ඔහුට කාලයත් සමග උසස්වීම් හම්බ උනා. සුසිරිපාල අන්තිමට නතර උනේ කම්හලේ කලමණාකරුවෙකු ලෙස.

උසස් විම් ලැබෙන්න ලැබෙන්න සුසිරිගෙ පඩියත් වැඩි උනා, වැඩකරන පැය ගානත් වැඩි උනා. සාගරිකාල මුලින්ම මිලදී ගත්තෙ කාමර තුනක කුඩා නිවසක්.ඔවුන් හතරදෙනාට ඒ නිවස හොඳටම සෑහුනා. නමුත් තමන්ගෙ මිතුරන් සේරම වගේ ලොකු ගෙවල් හදාගෙන පදිංචියට යනකොට, සාගරිකාත් සුසිරිත් තීරණේ කළා තට්‍ටු දෙකේ නව නිවසක් ඉදිකරන්න.

ඒ වෙනකොට සුනිමල් පාසල් අද්යාපනේ ඉවරකරළා සරසවියෙ ඉගෙනුම ලබමින් හිටියේ. දුව ධනන්ජලි  ජේස්ට කැලෑසීයෙ. නිවස හදන්න  ගත්ත ණය විශාල උන නිසා සාගරිකාත් කම්හලක සේවයට ගියා. ඒ වෙනකොට ළමයි  දෙදෙනා ගැන බලන්න ඕනෙ උනේ නැහැ. මුලුතැන්ගෙයි දූවිලි  බැඳුනු  විදුලි උදුනෙ මකුළුවෙක් දැලක් බඳිමින් හිටියේ ඇයගේ සිතුවිලි ගලා යනවාටත් වඩා වේගයෙන්. හෙටවත් ගේදොර ටිකක් අස්පරස් කරලා දාන්න ඕනෙ, සාගරිකා හිතා ගත්තා.

සුනිමල් සරසවි උපාධිය අවසන් කරනවාත් එක්කම ඈත නගරක රස්සාවක් හොයාගෙන ගියා. ධනන්ජලිට වැඩිදුර ඉගෙන ගන්න ආසාවක් තිබුනෙ නැහැ. ඇය පාසල් ගමන නතර කරනවාත් එක්කම ලොකු කොම්පැනියක පිලිගැනීමේ නිලධාරිනියක් ලෙස සේවයට  ගියා. ඒත් එක්කම වගෙ ඇය නගරයේ තට්‍ටු නිවාසයක කාමරයක් කුලියට අරගෙන පදිංචියට ගියේ සාගරිකාගෙත් සුසිරිගෙත් බලවත් විරෝධය මැද්දේ.

සාගරිකටයි සුසිරිටයි ඕනෑ උනේ දරුවෝ දෙන්නාගෙන් එක්කෙනෙක් හෝ වෛද්‍යවරයෙක් හෝ වරියක් කිරිමටයි. අමාරුවෙන් හෝ දුවව පෞද්ගලික පාසැලකට දැම්මෙ ඒ අදහස හිතේ තියාගෙන. ඒ දවස් වල හවසට ගෙදර එකම යුද්දේ. දුවටයි පුතාටයි දෙන්නටම අමතර පන්ති වලට යන්න බල කළේ ඒ දෙන්නාගෙම බලවත් විරෝධය නොසලකා.

අන්තිමට උනේ මොකක්ද? රජයේ පාසලට ගිය පුතා දොස්තර කෙනෙක් නොවුනත්  අඩුගානේ සරසවියට හෝ ගියා, පෞද්ගලික පාසැලකට යවපු දුව පිලිගැනීමේ නිලධාරිනියක් වුනා. විශාල ගෙදර මහා තනිකමක් සාගරිකාට දැනුනා.

තට්‍ටු දෙකේ ගෙදර පදිංචියට ආවහම තමයි තෙරුනේ කරපු මෝඩකම. සුසිරිපාල ගෙදර කිසිම වැඩක් කළේ නැහැ. කම්හලේ දවාලට වැඩ කරලා ගෙදර ආවත් සාගරිකාගේ දවස හැමදාම ඉවර උනේ රෑ දොලහට නැත්නම් එකට. කන්න උයලා, ගෙදර ටිකක් අස්පස් කරපුවහම හොඳ පණ යනවා. ඊට පස්සේ මැරුනා වාගෙ නින්ද යනවා.

අලුත් ගෙදර කුස්සියට නවීනතම උපාංග සවිකලත්, සාගරිකා කෑම ඉයුවේ  එලියේ පැගෝලාවේ සවිකරගත් කුඩා උදුනක. ඒ කුස්සිය විනාශ වෙයි කියන බයට විතරක් නෙමේ, තුනපහ දමපු කෑම ඉවීමෙන් ගෙදරත් ගඳ ගහයි කියන බයට. ශීත සෘතුවේ තමයි මේ වැඩේ හුඟක් අමාරු උනේ.

කොහොමහරි දරුවෝ දෙන්නා ගෙදරින් ගියාට පසුව මේ ගේ තමන්ට ලොකු වැඩිය කියලා සාගරිකාට හිතුනත්, කවදාවත් ඒ බව සුසිරිට කියන්න ගියේ නැහැ. රූපවාහිනියෙන් එන සිනා හඬ සාගරිකාගෙ කන් වලට දැනුනෙ කරච්චලයක් ලෙස. සාගරිකාගෙ හිත ආයිත් අතීතයට දිව්වා.

පොඩිකාලේ සාගරිකලාට තිබුනේ විශාල නිවසක් නෙමේ. ඒත් සාගරිකගෙ තාත්තාගේ තාත්තත්, අම්මත් ඒ කියන්නේ සීයත් ආච්චිත් ඒ ගෙදරම තමා හිටියේ. කාටවත් ගෙදර පොඩිය කියලා දැනුනෙ නැත්තේ ඇයි කියලා අදටත් හිතාගන්න අමාරුයි. ගේ හදන්න සුසිරි ගත්ත ණය ගෙවලා යන්තම්  ඉවර කළේ ගිය අවුරුද්දේ.

කල්පනා ලොවින් සාගරිකා එලියට ආවේ සුසිරිපාල ගෙට ගොඩ වන සද්දෙන්. “දන්නවද, අර සුනිල්ගෙ ලොකු කොල්ලත් යුනිවසිටි තේරිලා” සුසිරිපාල ගෙට ගොඩවන ගමන් කීවා.

නිමි.

7 Comments

Filed under Short story