අනුරාධපුරේ දර පැලීම නොහොත් Conflict of interest in higher education in Sri Lanka


ගොඩක් දෙනෙක් හිතන්නේ කොළොඹ ඉස්කෝලෙකට ගියොත් සේරම හරි කියලා. කොළොඹ ඉස්කෝලෙක ඉගෙන ගන්න සේරම “වාසනාවන්ත” නැහැ. කොළොඹ ඉස්කෝලෙක වුනත්  හැම ළමයෙකුටම සමාන අවස්ථා ලැබෙන්නේ නැහැ. අපොස උපෙ වලට අපේ අවුරුද්දේ, අපේ ඉස්කෝලේ ජිව විද්‍යා පන්ති පහක් නැත්නම් හයක් තිබුණා. නමුත් එක පන්තියක් විතරක් සුපිරි පන්තියක්. ඒකට අපොස සාපෙ ඩී අට හෝ ඒ හා සමාන ප්‍රතිපල තියන අය තෝරලා තිබුණා. මේ පන්තියට පාසලේ හොඳින් උගන්නනව කියල සම්මත ගුරුවර ගුරුවරියන් ඉගැන්වීමට යොදා තිබුණා. මන් ඒ පන්තියට අයත් නැති බව ඔබට පැහැදිලි නේ. අපේ පන්තියත් ඩී අට ගත්ත දෙතුන් දෙනෙක් නොහිටියාම නෙමේ. කොහොම හරි වෛද්‍ය විද්‍යාලයට යන්න බොහොමයක් තේරුනේ අර කියපු පන්තියේ ළමයන් (අපේ පන්තියෙන් එකෙක්වත් නැහැ).

අපට උගන්නපු ගුරුවරුන්  ගැන නරකක් කියන්න බැහැ. නමුත් ඒ එක්කෙනෙක් වත් “සිලබස්” එක ඉවර කළේ නැහැ. අපට උගන්නපු එක ගුරුවරයෙකුටවත් විෂය නිර්දේශය උගන්වා ඉවර කරන්න ඕනේ කියලා හැඟීමක් තිබුනා කියන්න බැහැ. අපේ ඒ ගැන වැඩි බලාපොරොත්තුවක් තිබුනෙත් නැහැ. ටියුෂන් ගැන තමා වැඩි බරක් යෙදුවේ. මම අපොස සාපෙ දක්වා පන්ති ගියේ නැහැ. පාසලේ ලබපු අධ්‍යාපනය හොඳටම සෑහුනා. අපොස උපේ කරන කොට බස් වල ගමන් බිමන් සඳහා (ටියුෂන් හා පාසල් ගමන් සඳහා) මගේ කාලයෙන් වැඩි කොටසක් වැය උනා. ඒක ඉගෙන ගන්න එකට සෑහෙන  බාධාවක් උනා. කොහොම උනත් මගේ ප්‍රතිපල නරකයි කියල කියන්න බැහැ.

පුදපු ගමන් කාපී යකා කියා මා අමතර පන්ති යන්න පටන් ගත්තේ නැහැ. උසස් පෙළ පටන් අරගෙනත් ටියුෂන් යන්න ටික කලක් ගත උනා. ඉස්කෝලේ වැඩේ හරියන්නේ නැහැ කියලා තේරෙන කොට පන්ති යන්න පටන් ගත්තා. සත්ත්ව විද්‍යාවට අසංග අබේසුන්දර මහතාගේ හා රසායන විද්‍යාවට දෙව්රුවන් අල්විස් මයා ගාවට තමයි ගියේ. ඔය අව් අස්සේ තමා අසංග මහතා, තමන්ගේ ගෝලයෙක් වන හිරාන් අමරසේකර මහත්තයව ටියුෂන් වලට අඳුන්වා දුන්නේ. ඒකටත් යන්න ගත්තා (හිරාන්ගේ පළමු වැනි පන්තිය තිබුනේ අර රේල්වේ ඇවනියු වල උඩ කෑල්ලේ තිබුන පොඩි තුන්හුලස් පන්තියේ). ජීව විද්‍යා විෂය කරන අයට සාපේක්ෂව අමාරු යයි සලකන භෞතික විද්‍යාවට තාමත් පන්තියක් නැහැ. විභාගය ලංවනවිට, ලඟදි දෑත් සවිමත්  කරන්න ආණ්ඩුවට හේත්තු වුන මොහාන් ලාල් ග්‍රේරෝ මහත්තයාගේ පුනරීක්ෂණ පන්තියකට යන්න ගත්තා. ඔහු දක්ෂ ගුරුවරයෙක්. නමුත් ඉල්ලුමට අනුව සැපයුම දෙන එකනේ ටියුෂන් කියන්නේ. ඉතින් වසර දෙකේ පන්තියක මුළු අවුරුද්දක්ම කරන්නේ “ආලෝකය” ( ළමයි හිතා ගෙන ඉන්නේ මට ආලෝකේ ගෙන දේවි සංසාරයේ කියලා.  නමුත් විභාගය ලං වන විට අඳුරේ කියලා වැටහෙනවා).  ඔහුම ඒ දවස්වල කියනවා, එහෙම කළේ නැත්නම් ළමයි හැලෙනවා කියලා. හැබැයි මා ගිය පුනරීක්ෂණ පන්තිය ඔහු උනන්දුවෙන් කළා. ශාලාවේ මුලු පුටු ගානට ළමයින් ගත්තේ නැහැ. ගණන් ටික පන්තියේම හැදුවා. පන්තියේ කතා කරන ළමයින්ව එලෙව්වා. මා භෞතික විද්‍යාවට හොඳ ලකුණු ගත්තා. ග්‍රේරෝ මහතා නොවන්නට එහෙම වෙන්නේ නැහැ.

අද තමයි තේරෙන්නේ, අපොස සාපෙන් පසු පාසල් යාමට ගත කළ කාලය වැඩකට නැහැ කියලා. ඒ කාලේ හොඳයි, විෂය මාලාවට පරිබාහිර අනික් වැඩ (ක්‍රිකෙට්, කැඩෙට්, ශිෂ්‍ය සංගන් නායකකම්) කළ අයට. මීට අමතරව බහුතරයක් වන සාමාන්‍ය සිසුන්ට මේ කාලය පාසල් යාමට අවශ්‍ය නැහැ. පෞද්ගලික  විශ්ව විද්‍යාල වලට එරෙහි වන අයගේ මූලික තර්කයක් වන්නේ අපොස උපේ අඩු ලකුණු ගන්න යන අය මේවට යන එක වැරදියි කියන එකනේ. මා නම් හිතන්නේ එස් තුනක් ගත්ත කෙනෙකුට උනත් ඔය කියන ලොකුම උපාධි කරන්න පුළුවන්. අපොස සාපෙ ප්‍රතිපල වලට අනුව මා හරිනම් අනුරාධපුරේ දර පලමින් ඉන්න ඕනේ.

කොහොම උනත් පෞද්ගලික  විශ්ව විද්‍යාල ඇති කළොත්, රජයේ ඒවා ටික වලපල්ලට යන්නේ එස් තුන ගත්ත සිසුන් මේවායේ ඉගෙන ගන්න යාම නිසා නොවේ. මොහාන් ලාල් ග්‍රේරෝ කියන්නේ අද අන්තර්ජාතික යයි කියන ලංකාවේ තියන පෞද්ගලික  ප්‍රධාන පාසල් කීපයක හිමිකරුවෙක්. එහෙම කෙනෙක් ආණ්ඩුවට එකතු උනහම ඔහුට දෙන්නේ “රජයේ පාසල් අධීක්ෂණය” කරන්න. මෙතන අර පංගු කාරත්වයේ ගැටීම (conflict of interest) කියන එක නැත්ද? එහෙම කෙනෙක් අවංකව රජයේ පාසල් දියුණු කරනවද? මෙහෙම අයෙකුට මෙවැනි තනතුරක් දීමත් එය බාරගැනීමත් දෙකම පෙන්නා දෙන්නේ අපේ නොදියුණු දේශපාලන සංස්කෘතිය. අනාගතයේදී බිහිවන පෞද්ගලික  විශ්ව විද්‍යාල හිමිකරුවෙක් ලංකාවේ උසස් අධ්‍යාපන ඇමති වීමේ ඉඩකඩක් නැත්ද?

ඕස්ට්‍රේලියාවේ හිටපු කම්කරු පක්ෂ අගමැති, ඔහුව කම්කරු පක්ෂේ අගමැති අපේක්ෂකයා කලහම ඔහුගේ බිරිඳට ප්‍රශ්නයක් උනා. ඇයට රැකියා ඒජන්සියක් තිබුනා. ඒකෙ එක අංශයක් ඕස්ට්‍රේලියාවෙත් තිබුනා. දැන් මහත්තයා අනාගත අගමැති උනොත්, ඇයගේ ව්‍යාපාරයයි, මහත්තයාගේ රස්සාවයි අතර අර කියන පංගු කාරත්වයේ ගැටීම කියන එක එනවා. ඒ නිසා ඇය ඕස්ට්‍රේලියාවේ ඇයට හිමි කොටස මැතිවරණයට කලින් විකුණා දැම්මා. ලංකාවේ දේශපාලනේ කරන්නේ ව්‍යාපාර නැති කට්ටිය ව්‍යාපාර පටන් ගන්නත්, තියන කට්ටිය ඒවා වැඩි දියුණු කරගන්නත් නේ. අර ශිෂ්‍ය සංගම් හා වෛද්‍ය සංගමය ඉදිරිපත් කරන තර්ක බොරු ඒවා උනත් ඔවුන්ගේ බිය සාධාරණයි. හැබැයි ශිෂ්‍ය සංගම් මේ ප්‍රශ්නයේ කොටසක් මිස විසඳුමේ කොටසක් නම් නොවේ.

ප. ලි.
සිංහලෙන් ලියන ගොඩක් දෙනා හෙවත් හා නොහොත් කියන වචන දෙක  “ටපලවා” ගන්නවා. නොහොත් කියන වචනේ හරි තේරුමෙන් පාවිච්චි කරන්න තාම මතක තියෙන්නේ අපට හිටපු සිංහල ගුරුවරුන් නිසා නොවේ. අසංග මහතා නිසා. ඔහුගේ නිසඳැස් හරි අපූරුයි. මා ඔහු විසින් පළ කරපු “මානව” සඟරාවට ලියුවා. ඔවුන් වැනි ගුරුවරුන් “නිදහස් පාසල් අධ්‍යාපනේ” කොටස් කරුවන් නොවුනත්, ඔවුන් නිසා බොහෝ දෙනෙකුගේ උසස්පෙළ “අධ්‍යාපනේ නිදහස්” උනා (ගොඩ ගියා).

Advertisements

6 Comments

Filed under Education

6 responses to “අනුරාධපුරේ දර පැලීම නොහොත් Conflict of interest in higher education in Sri Lanka

  1. අසංක

    දෑනටත් සල්ලි වලට උපාදිය ගන්න පුලුවන් තෑන් තියනවනේ,නමුත් එම ආයන වලට ඇතුලත් වන සිසුන් ගෙන් 100%ක්ම උපාදිය ගන්නවා කියලා කියන්න බෑ උදා-SLIIT එක ගත්තොත් හොදටම පෑහෑදිලි වෙයි,මෙතන වෙන්න ඕන පුත්ගලික කෑම්පස් එකක් දානවා වගේම ප්‍රමිතියකට විශය නිර්දේශය තියෙන්නෙ ඕන,ඔන්න ඔය ප්‍රශ්නේ තමයි මම හිතන්නේ ලොකුවටම බලපාලා තියෙන්නේ.

    • අසංක, සල්ලි දීල ඉගෙන ගන්න කෙනෙකු උපාධිය සාර්ථකව නිම කරන එක හෝ නැති එක එයාගේ කටයුත්තක්. කලින් පටන් ගත්ත රාගම වෛද්‍ය විද්‍යාලයේ විෂය නිර්දේශය ගැන ප්‍රශ්න තිබුනේ නැහැ මා දන්නා පරිදි. ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල උනත් විෂය නිර්දේශ වෙනස් වෙන්න ඕනේ.

  2. මමත් ගියේ ඔය කියන තැන් හතරටම තමයි…. කොයි කාලෙ වගේද ?
    මම ගියේ 92, 93 වසරවල පුනරීක්‍ෂණ පන්ති වලට…
    ඒ කාලෙ අපි තමයි ඔය තැන් රජ කරගෙන හිටියේ… විශේෂයෙන් මානව ශ්‍රවණාගාරය අපේ ගෙදර වගේ… බොහෝ වෙලාවට අපි හිටියෙ අසංග සර්ගෙ ගෙදර….. හිරාන් සරුත් ඒ දවස්වල පන්ති කළේ මානව ශ්‍රවණාගාරයෙ…
    ඒ කාලෙ හිටිය නං දැකලා නැතිව ඉන්න විදියක් නෑ…

    ඒ වගේමයි… මේ සම්බන්ධ මගේ අදහස් බොහොමයක් ඔබ හා එකඟ වෙනවා… මමත් මේ ගැන ලියන්නයි හිටියේ…. දැන් නම් දෙතුන් දෙනෙක්ම ලියලා තියෙන නිසා ඒ ගැන ගොඩක් ලියවිලා වගේ කියලයි හිතෙන්නේ.

    • ඇල්කෙමියෝ, මා ඔබගේ බ්ලොගය කියවනවා. ඔබ ඔය කියන කාලේ මා රුසියාවේ, ඒ කියන්නේ ඔබට වඩා වැඩිමල්. අපේ කාලේ මානව ශ්‍රවනාගාරය හදනවා. පව්ද්ගලික විශ්ව විද්‍යාල පනත ගැන ඔබ කියන දේ හරි. ඒ ගැන බොහෝ දෙනා ලියුවා. එකට පළ වෙන අදහස් කළු හා සුදු. කැමති අය මේ පනත ගෙන්න කියනවා. අකමැති අය තරහෙන් බනිනවා. ශිෂ්‍ය සංගම් අසීමිත අයුරින් දේශපාලනය කිරීම නිසා අපගේ විශ්ව විද්‍යාල පිහිටුවා තියන මුලික අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ කියලා මට හිතෙන්නේ. මේ අව් අස්සෙත් අර මාතර තව ගෑනු ළමයෙක් රෝහල් ගත කරලා (ම්ම්ම්! මට උසස් අද්යාපන ඇමතිකම හම්බ උනොත් මොකද කරන්නේ? -(පහේ ශිෂ්සත්ව ප්‍රශ්න පත්තරේ රචනා ප්‍රශ්නයක්). කොහොම උනත් මට ලියන්න ඕනේ කළේ උසස්පෙළ කරපු හැටි ගැනයි. ඒක “නිදහස්” නැහැනේ.

  3. ලෝකයේ ගොඩක් අරගල වලට හේතුව විවිධාකාරයේන් ‘ නිදහස’ සීමා කිරීමයි….නිදහස නැති තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා…..

    ලංකාවේ අධ්‍යාපනයටත් නිදහස අවශයයි..ලමයෙකුට තමන් කැමති විශය පථායක් හැදේරීමට නිදහස ත්බිය යුතුයි…සම්පත් සීමිත තාවය නිසා මේ නිදහස ලංකාවේ සීමා වෙලා…පෞද්ගලික අංශයටත් අධ්‍යාපනය අතුලු වීමට ඉඩ දිය යුතුයි…

    ඕනෑම භාශාවක නාමපද හා ක්‍රියාපද කියා තිබෙනවා..අද්‍යාපනය පෞද්ගලික කිරීම නාමපදයක් ලෙස හරියටම හරි,,,එහෙත් ක්‍රියාපදයක් ලෙස ගත්තම හැමදාම ලංකාවේ ඕනැම දයක් හරියට ක්‍රියාපද කරගන්න තේරෙන්නේ නෑ….

    • මයියෝ, මේ ගැන තීරණය කරන එක ජනතාවට දෙන්න ඕනේ. එහෙම අවංකව තමන්ගේ ප්‍රතිපත්ති මැතිවරණයට කලින් ජනතාව ඉදිරියට ගේන ක්‍රමයක් ලංකාව තුල නැති එක ප්‍රශ්නයක් තමා. අර රාගම වෛද්‍ය විද්‍යාලය ඇරපු කාලයට වඩා ජනතාවගේ හා විශේෂයෙන් සිසුන්ගේ (සරසවි යන්න බැරි බහුතරයකගේ) ආකල්ප හා බලාපොරොත්තු අද වෙනස් වෙලා කියල මට හිතෙනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s