බිත්තරය නැතුව කිකිළිව ගන්න ක්‍රමයක්! Which came first, the chicken or the egg?”


අව්රුදු ගානකට පස්සේ හිතේ කිසිම බරක් නැතුව ගෙවෙන නිවාඩු කාලයක්. අපත් හරියට අර ලිඳට වැටුන මිනිහා වාගේ. ළිං කටින්ම ඕනේ ගොඩ එන්න. එක මගුලක් යන්තම් ඉවර කරලා බතක් බුලතක් කරගෙන ඉන්නවිට තව මොනවා හරි එකක් (ඉගෙනුමක්) කරන්න වෙනවා. දැන් නම් ඉවරයි කියල මට හිතුනත් අර කියනවනේ “you never know” කියලා.

ලංකාවේ ඉන්න මගේ යාලුවෙක් (පරණ යාලුවෙක්- දැන් නම් නහය ලඟින් ගියත් අඳුන ගන්න එකක් නැහැ) ලඟදි ඇහුවා මෙහේ (ඕස්ට්‍රේලියාවේ) මොන වගේ රස්සා වලටද එයාට ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. ඔහුට හා ඔහුගේ පව්ලට මෙහෙ ඉස්තිර පදිංචි විසා හම්බ වෙලා කලක් උනත්, තවම තීරණයක් නැහැ මොකද කරන්නේ කියා. මට එකපාරටම කියන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඇත්තටම රස්සාවක් හොයන එකත් වෙනම රස්සාවක් (නිකම් නොවේ පුර්ණ කාලීන). තමන්ට ඉල්ලුම් කරන්න පුළුවන් මොනවටද කියලා හොයන්න වෙන්නේ තියන රස්සා පීරලා බලල තමා. දැන් අවුරුදු දෙකකට කලින් මගේ යාලුවෙකුගේ යාලුවෙක් මෙහේ ආවා. මගේ යාලුවා විස්තර දීල තිබුන නිසා ඔහු ආවා මා හම්බ වෙලා විස්තර අහන්න. යාලුවා මට කියල තිබුනා පුලුවන්නම් රස්සාවක් හොයන්න උදව් කරන්න කියලා. නමුත් අරයට මට මොකුත් කියන්න තිබුනේ නැහැ. ඔහු ඒ වන විටත් රැකියා ඒජන්සි කීපයක ලියා පදිංචි වෙලා, රස්සාවක් (ඔහු ඉංජිනේරුවෙක් වෘත්තියෙන්) අද හෝ හෙට ලැබේවි කියලයි බලාපොරොත්තු උනේ. ඔහුගේ බලාපොරොත්තු කඩ කරන්න මට හැකියාවක් තිබුනේ නැහැ. කොහොමහරි මාස දෙකතුනකට පසුවත් ඔහුට තමන්ගේ වෘත්තියේ රැකියාවක් නොලැබෙන විට සේරම අල්ලා දාලා ඇඟපත වෙහෙසවන රැකියාවකට ගියා. මෙතන පාඩම් දෙකක් තියනවා. අධි බලාපොරොත්තු තියා නොගැනීම හා බලාපොරොත්තු මොනම හේතුවක් නිසාවත් කඩ නොකරගෙන දිගටම ඉල්ලුම් කිරීම.

ලංකාවෙත් සරසවියකින් පිට වෙලා (වෛද්‍ය වරයෙකු ලෙස නොවේ නම්) රැකියාවක් හොයා ගන්න එක පහසු කටයුත්තක් නොවේය කියල අමුතුවෙන් ලියන්නත් දෙයක් නොවේනේ. ඉතින් වෙන අද්යාපන ක්‍රමේක ඉගෙන ගෙන, වෙන සංස්කෘතියක හැදිලා, වෙන භාෂාවක් කතා කරලා, කොච්චර රස්සා තියන රටකට ආවත්, රස්සාවක් හොයාගන්න එක ලෙහෙසි දෙයක් නම් නොවේ. නමුත් අර ලංකා ඊ නිව්ස් කළා වගේ රටවල් සරලව සංසන්දනය කරන්නට බැහැ. මේකට ‘එන්ටර්’ වෙන හැටි උගන්නන්න වෙන කෙනෙකුට බැහැ. එක එක්කෙනාගේ මාර්ග එකිනෙකට වෙනස්. උපාධියක් ගත් අලුතම නම් උපාධියට ඇති වටිනාකම වැඩියි. නමුත් පසුවට රැකියා අත්දැකීම් වලට ඇති වටිනාකම වැඩියි. හැබැයි මේ අත්දැකීම් අර උපාධියේ විෂය පථයට ගැලපෙනවනම් තමා නියම වටිනාකම ලැබෙන්නේ. නැත්නම් ඒත් හබක් තමා. ඔන්න ඉතින් මුලින්ම ලංකාවෙන් හෝ වෙන රටකින් ආව කෙනෙකුගෙන් අහන ප්‍රශ්නක් තමා “දේශීය අත්දැකීම්” මොනවාද කියල. “කොහොමද යකෝ දේශීය අත්දැකීම් තියෙන්නේ රස්සාවක් දෙන්නේ නැතුව”. නමුත් එහෙම අහන්න බැහැනේ. කොහොම හරි මේ කඩයිම පනින්න ඕනේ. මා අර යාලුවට (ලංකාවේ ඉන්න) මෙහේ රැකියා පළවන ප්‍රධාන වෙබ් අඩවි කීපයක විස්තර යැව්වා. මේ කොහොම උනත් ඔබ වෙන රටකට සංක්‍රමණය උනොත්, ඔබට මොනම හෝ සහතිකයක් ගන්න වෙන අවස්තාව වැඩියි (තමන්ගේ “ක්‍රේෂ්ත්‍රයේ” රැකියාවක් සොයනවානම්).

කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල කියන්න පුළුවන් වෙන්නේ රස්සාවක් (ආදායම් මාර්ගයක්) තියන මිනිහෙකුට විතරයි. මේ මොන කෙහෙල්මල කරන්න හෝ ලියන්න ජීවත්වෙන්න මාර්ගයක් තියෙන්න ඕනේ. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍ර වාදය මේවා ගැන තලුමරන්න පුළුවන් වන්නේ ජිවත් වෙන්න ආදායම් මාර්ගයක් ඇතොත් පමණයි කියලා තේරෙන්නේ රස්සාවක් නැති කෙනාට පමණයි.නැත්නම් මේවා නිකම් ඩිම්බ කෝෂය, උණ්ඩුක පුච්චය වැනි බර වචන ගොඩක් විතරයි. මට හිතෙන හැටියට ලෝකේ කොහේ උනත් රස්සාවක් හොයනවා නම් මුලින්ම කළ යුත්තේ තමන්ට ඉල්ලුම් කරන්න පුළුවන් හැම රස්සාවකටම ඉල්ලුම්පත් දාන එක. ඉල්ලුම්පත් දැම්මා කියලා, මේවාට සම්මුඛ පරීක්ෂණ වලට කැඳවීම් ලැබෙන්නේ නැහැනේ. දෙවෙනි එක තමා ලැබෙන පළමු වන රස්සාවට (“කොතරම් පුංචි”/”තමන්ට නොගැලපෙන”/”ඉගෙන ගත්ත දේවලට අදාළ නොවන”) එකක් උනත් බාරගන්න එක. මා අර කරුණු උදෘත ලකුණු අතරේ ලියුවේ ඒවා ඇත්තටම සැබෑ කරුණු නොවන නිසා. පළමු වන එක බාර නොගත්තොත් දෙවෙනි එකක් නොලැබෙන්න තියන ඉඩ අමතක කරන්න එපා. අනික තමා, ඔබ උපාධියකට ඉගෙන ගත්ත “විෂය කරුණු” රස්සාවකට හැම වෙලාවෙම අවශ්‍ය වන්නේ නැහැ. වැඩි දුර යන්න ඕනේ නැහැ. ඔබ කෘෂිකර්ම උපාධියක් තියෙන අයෙක් නම් කෘෂිකර්මයට අදාළ රස්සාවක් ලැබෙන එකට තියන ඉඩකඩ ඉතාම අඩුයි. ඉංජිනේරු,වෛද්‍ය,වාස්තු විද්‍යා වැනි ක්‍රේෂ්ත්‍ර කීපයක් ඇරුනහම අනික් හැමෝටම මේකට මුහුණ දෙන්න වෙනවා.

ලංකාවේ රැකියා විරහිත උපාධි ධරයන්ගේ අපට “ආණ්ඩුවේ රැකියා දියව්” කියන සටන් පාඨයට මා හරිම අකමැතියි. මේ අයට රජය විසින් සෑහෙන වියදමක් දරා තියනවා, ඉගැන්වීම සඳහා. එතකොට අර අපොස සාපෙ හෝ උපේ සමත් අය මොකද කරන්නේ. ඔවුන්ට රජයේ රැකියා ඉල්ලීමට නැති අයිතියක්, උපාධි ධරයන්ට තියනවාද? රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ප්‍රතිපත්ති සැකසීම හා ඒ සඳහා පරිසරය සකස් කිරීම රජයේ කාර්යයක්. එවැනි රජයක් පත්කර ගැනීම ජනතාව සතු කාර්යයක්.

මා මෙම සටහන ලියුවේ ලංකාවේ අපේ ඤාති නැගණියකගේ කතාවක් ඇසීමෙන්. ඇය උපාධිය (විද්‍යා) අවසන් කර කලක් වෙනවා. දැන් බැංකුවක රැකියාවක් ලැබිලා. ඇය යන්න බැහැ කියනවා එම රස්සාවට, මොකද කලින් බැංකුවක කවදාවත් වැඩ කර නොමැති නිසා.

Advertisements

Leave a comment

Filed under Careers/Employments

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s