Monthly Archives: February 2012

කොහේද, කොහේද, අපේ ලොවක්? The best democracy!


අන්තර් ජාලයෙන් චන්දය ප්‍රකාශ කිරීම ඕස්ට්‍රේලියාවේ ඉදිරි මැතිවරණකදී බොහෝ විට ප්‍රායෝගික දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් චන්දය දැමීම ලෝකයට අඳුන්වා දුන්නේ ජේආර් කිව්වොත් නිවැරදියි. ගෙදර ඉඳන් නෙමේ, එලොව ඉඳන් උනත් චන්දෙ දාන ක්‍රමය මුලින්ම අඳුන්වා දුන්නේ ජේආර් ගොයියා.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අවශ්‍ය මූලික දේ මොකක්ද? පොඩ්ඩක් නවතින්න. ඔබ කියාවි නොයෙක් පිළිතුරු! නමුත් ප්‍රධාන දේ තමයි ජනතා සහභාගිත්වය.

පසුගිය ජනාධිපති වරණයේදී, ලංකාවේ ලියාපදිංචි චන්දදායකයන්ගෙන් 80% ක් පමණ චන්දය ප්‍රකාශ කළා (මා වැරදි නම් නිවැරදි කරන්න, එසේම කොම්පුටර ජිල් මාර්ට්* අමතක කරන්න). ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්වේ මොකක්ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තියන ජනතා සහභාගිත්වය අගය කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ” රන් දෙවොල” එහෙම කිව්වේ ඇයි?

ඇමෙරිකාවේ චන්දය ප්‍රකාශ කරන සාමාන්‍යය ලියාපදිංචි චන්ද දායකයන්ගෙන් 50% ක් පමණයි. ඒ ලියාපදිංචි වුණ අය විතරයි. ජනාධිපති ඔබාමා මුහුණ දුන්න පසුගිය ජනාධිපති වරණයේදී, ඇමෙරිකානු ජනතාව වෙනදාට වැඩියෙන් චන්ද පොලට ආවා. ඒ ඔබාමාගේ කථිකත්වය නිසාත්, ඔහුගේ පසුබිම නිසාත්.

ඒ වතාවේ ඇමෙරිකානු ජනතාව ලියාපදිංචි චන්දදායකයන්ගෙන් 60% ක් චන්දය ප්‍රකාශ කළේ පරණ වාර්තා කඩමින්. මෙයට එක හේතුවක් වුණේ, වෙනදාට අඩුවෙන් චන්ද පොලට එන කළු ඇමෙරිකානු ජාතිකයන් 68% ක් පමණ පිරිසක් චන්දෙ දාන්න ආව.

හැබැයි ඕව යටයි ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන ගත්තහම. මෙහෙ චන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය චන්දය හිමි ජනගහනයෙන් 95% ක් පමණ. ලෝකයේම ඉහලම ප්‍රතිශතයක්.

මා, ඇමරිකාවත්, ඕස්ට්‍රේලියාවත් අතර වෙනස පැහැදිලි කරන්නම්. අන්තිම ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී චන්දය ප්‍රකාශ කරපු මුළු ගාණ, මිලියන 131 ක් විතර වෙනවා. ඒ කියන්නේ  චන්දෙ දීමට සුදුසුකම් තියන (නමුත් චන්දෙ නොදුන් හෝ චන්දය දාන්න ලියාපදිංචි නොවූ) ගණනින් (මිලියන 212.7) 62% ක්. ජනාධිපති ඔබාමා ගත්තේ මිලියන 69 ක් පමණ චන්ද ප්‍රමාණයක් (චන්දය දුන් පිරිසෙන් 53% ක් පමණ) . මේක අර මුළු චන්ද හිමිකම් තියන (නමුත් චන්දෙ නොදුන් හා චන්දෙට ලියාපදිංචි නොවුන) ජනගහනයෙන් 32% ක් විතර වෙනවා.

කොළා නේද? ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට තියෙන්නේ 1/3 ක ජනතා කැමැත්තක්. මේ ටිකක් ඉහල ජනතා සහභාගිත්වයක් තිබුන ජනාධිපති වරණයකදී. මින් ඉහත තිබුන ජනාධිපති වරණ වල තත්වය තව නරකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ “හෙළුව”පෙන්නන්න සීතල යුද්ද සමයේ මේ සංඛ්‍යා ලේඛන සොවියෙට් දේශය ප්‍රයෝජනයට ගත්තා.

හැබැයි ඕස්ට්‍රේලියාවේ තත්වය වෙනස්. චන්දය දෙන්න සුදුසුකම් තියන පිරිසෙන් 95% ක් පමණ චන්දය දෙනවා. අම්මට හුඩු, දේශපාලන වශයෙන් අවදියෙන් ඉන්න ජාතියක්නේ!

වැඩේ ඒක නෙමේ. මෙහෙ චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයි. චන්දෙ ප්‍රකාශ නොකලොත් (කටු ගෑවට ප්‍රශ්නයක් නැහැ) දඩ. අන්න ඒක හින්දා තමයි ඉහල ජනතා සහභාගිත්වයක් තියෙන්නේ. චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීද කියන එකම, බෝතල් (තේ වතුර) දෙක තුනක් බොන්න ඕනේ පුරස්නයක් නම් තමා. නමුත්, මගේ මතයේ හැටියට නම් මෙහෙ (විතරක් නොවේ  ප්‍රකාශ කිරීම අනිවාර්ය අනෙක් රටවල් කිහිපයේත්)  තමා නියම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. කව්රු රටේ නායකයා උනත්, ඔහුට බහුතර ජනතාවගේ කැමැත්ත තියනවා. ඇමෙරිකාව වගේ 30% ක නොවේ.

පලි
කොම්පියුටර ජිල්මාර්ට් කතාවේ නිර්මාතෘම 2012 වසරේ සැප්තැම්බර මාසයේ කියනවා ඒ කතාව බොරුවක් කියලා.

3 Comments

Filed under Politics