ඕස්ට්‍රේලියානු තෘතීය අධ්‍යාපන වෙළඳාම් පැණි වරකාවට හෙන ගහයිද? International student numbers fall in Australia


අර සමහරු කියනවනේ “නිදහසෙන්” පසුව කෙරුනා වගේ මිෂනාරි පාසල් ටික රජයට පවරලා ගන්නේ නැතුව, රජයේ පාසල් වෙනම ඇති කරලා, සිංහල බාෂාවෙන් ඉගැන්වීම ඇරඹුවේ නැත්නම් අද ලංකාව ආසියාවේ අධ්‍යාපන වෙළඳාම් මධ්‍යස්ථානය වෙනවා කියල. “මෙහෙම උනා නම්” හෝ “අරම උනේ නැත්නම්” කියල පටන් ගත්තොත් අපට සිහින ලෝක වල ගොඩක් දුර ඇවිදින්න පුළුවන්. නමුත් ඒකෙන් එච්චර වැඩක් නැත්තේ “උනේ එහෙම” නොවන නිසා. මා ලියන්න යන්නේ වෙන කරුණක් ගැන. කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.

තෘතිය අධ්‍යාපනය විතරක් නෙමේ, පාසල් අධ්‍යාපනය අතිනුත් ඔස්ට්‍රේලියාව හොඳ තැනක ඉන්නවා. ප්‍රාථමික හා ද්විතිය අධ්‍යාපනය නිදහස් විතරක් නෙවේ, ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්යයි. මෙහෙ අනිවාර්ය දේවල් තව තියනවා. පුරවැසියෙක් නම් චන්දය ප්‍රකාශ කිරීමත් අනිවාර්යයි. ඒ ගැන වෙනම ලියන්නම්. තෘතිය අධ්‍යාපන වෙළඳාම ඕස්ට්‍රේලියාවේ හොඳ ආදායම් මාර්ගයක්. මේ ගැන මන් කලින් ලියල තියනවා. මේකෙන් ලැබෙන ආදායමට වැඩිය ලොකු අපනයන වෙළඳාම් තියෙන්නේ තව දෙකක් නැත්නම් තුනක්. ඒවා නම් ගල් අඟුරු, යපස් හා රන්. වසරකට ඩොලර් බිලියන 15 -20 ක් අතර ගානක් තෘතිය අධ්‍යාපන වෙළඳාමෙන් ඔස්ට්‍රේලියාව හොයා ගන්නවා. ලොකු ගානක්.

නමුත් මෙහෙට පැමිණෙන විදේශ සිසුන් ගාන පහත වැටෙන බවයි අලුත් වාර්තා පෙන්නුම් කරන්නේ. මිට ඉහත අධ්‍යයන වර්ෂය සඳහා ලැබුණු ඉල්ලුම් පත් වල 10% ක හා අලුත් අධ්‍යයන වර්ෂය සඳහා 20% අඩුවිමකුත් තියන බව මා රේඩියෝවෙන් ඇහුවා. මෙල්බන් සරසවියේ උසස් අධ්යාපනාන්ශයේ මහාචාර්ය සයිමන් මාර්ගින්සන්ට අනුව මේ වැටීම 60% දක්වා ඉහල යන්න පුළුවන් ඉදිරි වර්ෂ වල. මේකට හේතු කීපයක් දැක්වෙනවා. එකක් තමයි ඉහල යන ඕස්ට්‍රේලියානු ඩොලරය. අනික්වා තමයි ලෝක ආර්ථික අර්බුධය හා ශිෂ්‍ය විසා හා ඉස්තිර පදිංචි විසා සඳහා වන නීති වල 2009/2010 වසර වල සිදු උන වෙනස් කම්. මේ සේරටම අමතරව තව එක කරුණක් තියනවා. ඒ තමයි 2009 වසරේදී බහුලව මෙල්බන් හා සිඩ්නි නගර වල සිදුඋන ඉන්දීය සිසුන්ට පහර දීමේ සිද්දීන්. මේ නිසා ඉන්දීය සිසුන්ගේ 85% ක පහත වැටීමක් ඊට පසු අධ්‍යයන වර්ෂයේ වාර්තා උනා. ඩොලරයේ අගය වැඩිවීම හා ලෝක ආර්ථික අර්බුධය ගැන මා ලියන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවට වැඩියෙන්ම ඉගෙන ගන්න එන්නේ චීනයෙන් හා ඉන්දියාවෙන්. මිට අමතරව ලංකාව , මැලේශියාව, ඉන්දුනීසියාව හා සිංගප්පුරුව වගේ අනිකුත් රටවල් වලින්ද සිසුන් පැමිණෙනවා. හැබැයි මේ අයගෙන් ගුටි කෑම් හා පහර දීම් වලට වැඩියෙන්ම ලක් උනේ ඉන්දීය සිසුනුයි. මට මතකයි 2008/09 අධ්‍යයන වර්ෂය සඳහා පැමිණි ඉන්දීය සිසුන්ගේ විශාල වර්ධනයක් තිබුනා. සන්ක්‍යා ලේඛන බලන්න ඕනේ උනේ නැහැ. මොවුන් ගෙන් බොහෝ දෙනෙක් ආවේ “විසා කර්මාන්ත ශාලා” (visa factories) ලෙස හඳුන්වපු අංජබජල් පාඨ මාලා (dodgy courses) කරපු ආයතන වලටයි (ඉංගිරිසි වදන් යෙදුවේ අර දිවයිනේ ආරක්ෂක ලිපි ලියන කෙනා අනුගමනය කරමින් නම් නොවේ). පලාමල්ලෙහි පෙට්ටි කඩ කියල අඳුන්වලා තිබුනේ මෙන්න මේවයි. මේවායේ ඉගැන්නුවේ කොන්ඩේ කැපීම, ඉවීම,සමාජ සුබසාදනය වැනි දේවල් (hair dressing, cookery, community welfare). එක දිනක් විදේශ සිසුන් මුහුණ දෙන ප්‍රශ්න ගැන රේඩියෝ වැඩසටහනකට ඉවීම ඉගෙන ගන්න ඉන්දීය සිසුවෙක් කියුවේ “උයන්න ඉගෙන ගන්න ගොඩක් දෙනා ඉන්නවා (ඉන්දීය) වැඩේ තියෙන්නේ කන්න කවුරුවත් හොයා ගන්න පුළුවන් වේද කියලා” (සේරම උයන නිසා හෝ ඔවුන් උයන කෑම කන්න බැරි නිසා- ඔහු අදහස් කළේ පළමු එක, නමුත් ඔවුන් ඉගෙන ගන්නේ අංජබජල් ආයතන වල හින්දා දෙවන එකත් වලංගුයි).

කෙනෙකුට හිතෙන්න පුළුවන් මොනවටද යකෝ මේවා ඉගෙන ගන්න ඔහෙට යන්නේ කියලා. පිළිතුර සරලයි. ඒ දිනවල ඉස්තිර පදිංචි විසා සඳහා ඉල්ලපු ප්‍රමුඛතා රස්සා ලැයිස්තුවෙහි මේ කියන සුදුසුකම් වලට ලැබෙන රස්සා ටික ඉහලින්ම තිබුනා. එකයි මේවා උගන්නපු ආයතන වලට විසා කර්මාන්ත ශාලා කියල කිව්වේ. එකම අරමුණ උනේ සිසුන්ට ස්තිර පදිංචි විසා සඳහා සුදුසුකම් අරන් දීම. සමහර ආයතන වල ඉගෙන ගන්න හිටියේ ලංකාවේ හා ඉන්දියාවේ කට්ටිය පමණයි. හැබැයි ඕස්ට්‍රේලියානු ආණ්ඩුව 2009/10 වසර වල සිදුකල විසා සඳහා අවශ්‍ය සුදුසුකම් වල වෙනස්කම් නිසා මේ ආයතන වලට ආතක් බූතක් නැතුව ගියා. සමහරු ඉවර කරන කොට ඒකෙන් මෙහෙ විසා වලට ඉල්ලුම් කරන්න බැහැ. අනික සමාජ සුබසාදනය ඉගෙන ගෙන ඉන්දියාවට හෝ ලංකාවට ගිහින් මොනවා කරන්නද? ඔස්ට්‍රේලියාවට ඉගෙන ගන්න එන විදේශ සිසුන්ගෙන් 40% ක පමණ දෙනාගේ අරමුණ මෙහෙ ඉස්තිර පදිංචි විසා ලබා ගැනීම කියල මා සඟරාවක කියෙව්වා. ඉතින් වගේ අංජබජල් කෝස් කරන්න එන කට්ටිය නැති උනා. ඒ හින්දා සමහර අංජබජල් ආයතන නිකම්ම වැහිලා ගියා.

වැඩේ තියෙන්නේ මෙච්චර සිසුන් හා අප වගේ සන්ක්රමනිකයෝ ඉන්දැද්දී ඉන්දීය සිසුන් විතරක් තෝරා බේරා ගෙන ගැහුවේ කොහොමද කියන එකයි. මේ ගැහිල්ල දිගටම යනකොට ඕස්ට්‍රේලියානු මහා රජයෙන් හෝ ප්‍රාන්ත ආණ්ඩු වලින් ඉක්මන් ක්‍රියාමාර්ගයක් නොගැනීම කනගාටු දායකයි. සල්ලි හොයන්න විතරයි පුළුවන්. මේ ආණ්ඩු සේරම හා පොලෝසිය කියුවේ මේ පහර දීම් ජාති වාදයක් අනුව සිදු නොවන බවයි. ඔවුන් ප්‍රකාශ කලේ මේ සිසුන්, ලුම්පන් කල්ලි වල මෘදු ඉලක්ක (soft targets) පමණයි කියලා. ඒ කියන්නේ වැරදි වෙලාවට වැරදි තැන ඉඳීම. ඒකෙත් නැත්තකුත් නැහැ. නමුත් මේ පහර දීම් පිටුපස සුදු ජාතිවාදය තිබුනා. නමුත් මේවා කලේ බොහෝවිට පොඩි කොල්ලෝ.ඉන්දීය රජයත් මේ පහරදීම් ගැන කනස්සල්ල පළ කළා. එහෙ පත්තර ඔස්ට්‍රේලියාව පතුරු ඇරියා ඒ දිනවල. මෙහෙ දේශපාලක අයියලා ඉන්දියාවටත් ගියා. හැබැයි වැඩිපුර ඉන්න චීන සිසුන්ට නැතුව ඉන්දීය එවුන්ටම ගැහුවේ ඇයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

මා හිතන්නේ කාරණේ මේකයි. ඉන්දියාවෙන් එන බොහෝ දෙනෙක් මේ කෝස් වල සල්ලි හොයා ගන්නේ මෙහෙ වැඩ කරලා. ලංකාවෙන් එන අපේ අයත් (තාත්ත දේශපාලකයෙක් නොවේ නම්) කරන්නේ මේ ටිකම තමයි (කොහෙද බන් ඔච්චර සල්ලි කන්දරාවක් සාමාන්‍ය පව්ලක ළමයෙකුට). ඉන්දීය සිසුන් වැඩි උන වසර වල, ඔවුන් කපුටෝ වගේ හැමතැනම හිටියා. සමහර වෙලාවට කිසි චාරෙකුත් නැහැ (සමහර වෙලාවට අපටත් හිතෙනවා දෙකක් අනින්න-විහිළුවට). සිසුන්ට කරන්න තියන වැඩ අවේලාවෙනේ තියෙන්නේ. ඉතින් රෑ දෙගොඩහා යාමේත් පාරවල් වල. මේවගේ වෙලාවට පාරවල් වල ඉන්නේ කාටහරි ගහන්න බලාගෙන ඉන්න කට්ටියනේ. චීන සිසුන් දන්නවා (සිසුන් විතරක් නෙමේ කොයි චිනත්) කොහේ ගියත් ජාම බේරාගෙන ජිවත් වෙන්න (ලංකාවේ අපේ කටිටියගේත් බොහෝ වෙලාවට ඒ ගතිය තියනවා). අනික තමා අප වගේ සන්ක්රමනිකයෝ රෑ ජාමේ දුම්රිය පොළවල් වල කරක් ගහනවා අඩුනේ. මේ කරුණු හින්ද තමා ඉන්දීය සිසුන් විතරක් ගුටි කෑවේ කියලයි මා හිතන්නේ. මොනවා එළිපිට කිව්වත්, මේ පහරදීම් පිළිබඳව පොලෝසිය ක්‍රියාමාර්ග ගත්ත කියල හිතෙන්නේ, එක පාරම ඒවා අන්තර්දාන උන නිසා.

කොහේ ගියත් දේසේ හැටියට බාසේ තියෙන්නේ ඕනේ. අනික තමා, මා නම් කියන්නේ ඔබට ඉගෙන ගැනීමට වෙන රටක අවස්තාවක් ලැබුනොත් ඒක අතහරින්න එපා. ඉගෙන ගන්න යන දේත් වැදගත් තමයි. නමුත් ලැබෙන “exposure” ඒක ඊට වඩා ලොකුයි.

ප ලි

මේ කතාව මට කිව්වේ තව කෙනෙක්. ඒ නිසා ඇත්තද බොරුද කියන්න මා දන්නේ නැහැ. ඔන්න ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ආපු ලංකාවේ සිසුන් දෙදෙනෙක් එක කාමරේක ජිවත් උනා. එක් කෙනෙක් ගේ අම්ම තාත්තට ටිකක් සල්ලි බාගේ තියනවා. අනික් කෙනා සාමාන්‍ය පව්ලක ළමයෙක්. සල්ලි බාගේ ඇති ළමයා ඉගෙන ගත්තා විතරයි, සල්ලි හොයන්න වැඩ කළේ නැහැ. අනික් කෙනා සතියට පැය විස්සකට වඩා වැඩ කළා. වැඩ නොකෙරුවා උනත් අර කලින් කියුව සිසුවා ඉගෙන ගත්තේ අමාරුවෙන්. දෙවෙනියා ඉගෙන ගන්න දක්ෂයි. සරසවියේ විෂයයන් හොඳට පාස් උනා. එක වාරයක විෂයක් සල්ලි කාර සිසුවා අසමත් උනා. ඇති උන ඉරිසියාවට එයා මොකද කළේ, අනික් සිසුවා අවසර තියන පැය ගානට වඩා වඩා කරනවා කියල ඕස්ට්‍රේලියානු ආගමන දෙපාර්තමේන්තුවට ඔත්තුව දුන්න. අර සිසුව වැඩ කරන වෙලාවක කඩා පැන්න නිලධාරීන් ඔහුව අල්ලාගෙන, ශිෂ්‍ය විසා  අවලංගු කරලා ලංකාවට පිටත් කළා. ඇත්ත හෝ හදපු කතාවක් උනත් මේකෙන් ගන්න පුළුවන් ආදර්ශය/ආදර්ශ කුමක්ද?

වෙලා තියනවනම් මේකත් බලල යන්න.
Advertisements

4 Comments

Filed under Education

4 responses to “ඕස්ට්‍රේලියානු තෘතීය අධ්‍යාපන වෙළඳාම් පැණි වරකාවට හෙන ගහයිද? International student numbers fall in Australia

  1. මරු අත්දැකීම් ටික වැදගත් ලිපියක්..

  2. වැදගත් අපි නොදන්න අදහස් කිහිපයක් , ඔය ඉන්දියන් කාරයින්ට ගහන එක ගැන ඕහෙ ඉන්න මගේ යාලුවෙක් කිව්වේ

    අනේ බන් උන් ඕස්ට්‍රේලියාවත් ඉන්දියාව කියලනේ හිතාගෙනනේ ඉන්න හදන්නේ ,ඒකයි ගුටි කන්නේ . අපි වගේ ශේප් එකේ පැත්තකට වෙලා හිටිය නම් මොකුත් අවුලක් නැ

    කියල

    • Raigama

      ඕකනේ බුවා පුරාණ ඉරිසිවරු කියලා තියෙන්නේ දේසේ හැටියට බාසේ තියෙන්න ඕනේ කියල. මුළු විශ්වයම කැරකෙන්නේ තමන් වටේය කියල හිතාගෙන ඉන්න කොට, විශ්වය කෙසේ වෙතත් නැති කරදරත් ඇඟට කඩාගෙන වැටෙන එක පුදුමයක් නෙමේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s