කොහේද, කොහේද, අපේ ලොවක්? The best democracy!


අන්තර් ජාලයෙන් චන්දය ප්‍රකාශ කිරීම ඕස්ට්‍රේලියාවේ ඉදිරි මැතිවරණකදී බොහෝ විට ප්‍රායෝගික දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් චන්දය දැමීම ලෝකයට අඳුන්වා දුන්නේ ජේආර් කිව්වොත් නිවැරදියි. ගෙදර ඉඳන් නෙමේ, එලොව ඉඳන් උනත් චන්දෙ දාන ක්‍රමය මුලින්ම අඳුන්වා දුන්නේ ජේආර් ගොයියා.

ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අවශ්‍ය මූලික දේ මොකක්ද? පොඩ්ඩක් නවතින්න. ඔබ කියාවි නොයෙක් පිළිතුරු! නමුත් ප්‍රධාන දේ තමයි ජනතා සහභාගිත්වය.

පසුගිය ජනාධිපති වරණයේදී, ලංකාවේ ලියාපදිංචි චන්දදායකයන්ගෙන් 80% ක් පමණ චන්දය ප්‍රකාශ කළා (මා වැරදි නම් නිවැරදි කරන්න, එසේම කොම්පුටර ජිල් මාර්ට්* අමතක කරන්න). ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්වේ මොකක්ද? ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තියන ජනතා සහභාගිත්වය අගය කරන බවයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ” රන් දෙවොල” එහෙම කිව්වේ ඇයි?

ඇමෙරිකාවේ චන්දය ප්‍රකාශ කරන සාමාන්‍යය ලියාපදිංචි චන්ද දායකයන්ගෙන් 50% ක් පමණයි. ඒ ලියාපදිංචි වුණ අය විතරයි. ජනාධිපති ඔබාමා මුහුණ දුන්න පසුගිය ජනාධිපති වරණයේදී, ඇමෙරිකානු ජනතාව වෙනදාට වැඩියෙන් චන්ද පොලට ආවා. ඒ ඔබාමාගේ කථිකත්වය නිසාත්, ඔහුගේ පසුබිම නිසාත්.

ඒ වතාවේ ඇමෙරිකානු ජනතාව ලියාපදිංචි චන්දදායකයන්ගෙන් 60% ක් චන්දය ප්‍රකාශ කළේ පරණ වාර්තා කඩමින්. මෙයට එක හේතුවක් වුණේ, වෙනදාට අඩුවෙන් චන්ද පොලට එන කළු ඇමෙරිකානු ජාතිකයන් 68% ක් පමණ පිරිසක් චන්දෙ දාන්න ආව.

හැබැයි ඕව යටයි ඕස්ට්‍රේලියාවේ සංඛ්‍යා ලේඛන ගත්තහම. මෙහෙ චන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය චන්දය හිමි ජනගහනයෙන් 95% ක් පමණ. ලෝකයේම ඉහලම ප්‍රතිශතයක්.

මා, ඇමරිකාවත්, ඕස්ට්‍රේලියාවත් අතර වෙනස පැහැදිලි කරන්නම්. අන්තිම ඇමෙරිකානු ජනාධිපතිවරණයේදී චන්දය ප්‍රකාශ කරපු මුළු ගාණ, මිලියන 131 ක් විතර වෙනවා. ඒ කියන්නේ  චන්දෙ දීමට සුදුසුකම් තියන (නමුත් චන්දෙ නොදුන් හෝ චන්දය දාන්න ලියාපදිංචි නොවූ) ගණනින් (මිලියන 212.7) 62% ක්. ජනාධිපති ඔබාමා ගත්තේ මිලියන 69 ක් පමණ චන්ද ප්‍රමාණයක් (චන්දය දුන් පිරිසෙන් 53% ක් පමණ) . මේක අර මුළු චන්ද හිමිකම් තියන (නමුත් චන්දෙ නොදුන් හා චන්දෙට ලියාපදිංචි නොවුන) ජනගහනයෙන් 32% ක් විතර වෙනවා.

කොළා නේද? ඇමෙරිකාවේ ජනාධිපතිවරයාට තියෙන්නේ 1/3 ක ජනතා කැමැත්තක්. මේ ටිකක් ඉහල ජනතා සහභාගිත්වයක් තිබුන ජනාධිපති වරණයකදී. මින් ඉහත තිබුන ජනාධිපති වරණ වල තත්වය තව නරකයි. ප්‍රජාතන්ත්‍රවාදයේ “හෙළුව”පෙන්නන්න සීතල යුද්ද සමයේ මේ සංඛ්‍යා ලේඛන සොවියෙට් දේශය ප්‍රයෝජනයට ගත්තා.

හැබැයි ඕස්ට්‍රේලියාවේ තත්වය වෙනස්. චන්දය දෙන්න සුදුසුකම් තියන පිරිසෙන් 95% ක් පමණ චන්දය දෙනවා. අම්මට හුඩු, දේශපාලන වශයෙන් අවදියෙන් ඉන්න ජාතියක්නේ!

වැඩේ ඒක නෙමේ. මෙහෙ චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයි. චන්දෙ ප්‍රකාශ නොකලොත් (කටු ගෑවට ප්‍රශ්නයක් නැහැ) දඩ. අන්න ඒක හින්දා තමයි ඉහල ජනතා සහභාගිත්වයක් තියෙන්නේ. චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කිරීම ප්‍රජාතන්ත්‍රවාදීද කියන එකම, බෝතල් (තේ වතුර) දෙක තුනක් බොන්න ඕනේ පුරස්නයක් නම් තමා. නමුත්, මගේ මතයේ හැටියට නම් මෙහෙ (විතරක් නොවේ  ප්‍රකාශ කිරීම අනිවාර්ය අනෙක් රටවල් කිහිපයේත්)  තමා නියම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ. කව්රු රටේ නායකයා උනත්, ඔහුට බහුතර ජනතාවගේ කැමැත්ත තියනවා. ඇමෙරිකාව වගේ 30% ක නොවේ.

පලි
කොම්පියුටර ජිල්මාර්ට් කතාවේ නිර්මාතෘම 2012 වසරේ සැප්තැම්බර මාසයේ කියනවා ඒ කතාව බොරුවක් කියලා.

Advertisements

3 Comments

Filed under Politics

3 responses to “කොහේද, කොහේද, අපේ ලොවක්? The best democracy!

  1. //ප්‍රජාතන්ත්‍ර වාදයේ හෙළුව පෙන්නන්න සීතල යුද්ද සමයේ මේ සන්කයා ලේඛන සොවියෙට් දේශය ප්‍රයෝජනයට ගත්තා.//

    සෝවියට් ඒකාධිපතීත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී හෙලුව හොඳා , දැන් නම් ලංකාවේ ගෙදර ඉඳන් ඡන්ද දාන්න බැ . හැඳුනුම්පත් කේස් එක නිසා . ජිල් මාට් පිහිට තමා (එහෙම කරන්න පුලුවන් නම් )

  2. Raigama

    ලංකාවේ අර ලොකුම දේ හදන එක වගේ, සෝවියට් දේශයේත් 100% ක් තියන ඒවා කියල දේවල් ටිකක් තිබුනා. අකුරු හැකියාව, රැකියා නියුක්තිය වගේම, චන්දෙ දාන ප්‍රතිශතයත් ඉන් එකක්. කොහොම ගණන් හැදුවද මන්දා පක්ෂයෙන් දාන එක අපේක්ෂකයාට “100%” ක් මිනිසුන් චන්දය දානවා.

    “ප්‍රජාතන්ත්‍රවාදය” ස්තාපිත කරලා දැන් සෑහෙන කලක් උනත් අප ඕස්ට්‍රේලියාවේ දකින ප්‍රජාතන්ත්‍ර වාදය රුසියාවට ලැබෙන්න තව සෑහෙන කලක් යාවි. පුටින් නම් කියන්නේ බටහිර ප්‍රජාතන්ත්‍ර වාදේ ඒ අයුරින් රුසියාවට ගැලපෙන්නේ නැහැ කියලා.

    හැබැයි කව්රුත් වැඩිය නොකියන දේකුත් තියනවා. සෝවියට් දේශය කඩා වැටුනයින් පස්සේ, පවත්වපු මහා මැතිවරණ වලදී “ජිල් මාර්ට්” නොදැම්මා නම් කොමියුනිස්ට් පාටියේ ගෙනාදී සුගානොව් අගමැති වෙනවා. පුටින්ගේ පළමු වන ජනාධිපති වරනෙන් දිනුවෙත් නොයෙක් ජිල්මාර්ට් දාල තමයි. එකයි පුටින් කියන්නේ බටහිර ප්‍රජාතන්ත්රවාදේ එයාලට නොගැලපෙනවා කියලා.

    හැබැයි ලංකාවේ අන්තිම ජනාධිපති වරණයේදී කලයි කියන “ජිල් මාර්ට්” වලින් අන්තිම ප්‍රතිපලයට බලපාන වෙනසක් උනයි කියල වෙබ් අඩවි කරන ප්‍රචාර මා නම් ඒ තරම් විස්වාස කරන්නේ නැහැ.

  3. Reblogged this on raigamahandiya and commented:

    ඉස්සර උනුත්, එකයි මුනුත් එකයි කියපු, දැන් උනුත් එකයි, මුනුත් එකයි, අරුන් සේරටම වඩා හපන් කියන මහත්තයල බලාපොරොත්තු වන්නේ බලාගෙන යනකොට සුළු ධනේශ්වර ජිවන විලාසිතාවක්නේ. ඕකද ඔය අමාරුවෙන් කියන්න දත කන්නේ. හැබැයි ලංකාවේ සුළු ධනේශ්වර ජිවන විලාසිතා හදන්න, සිඩ්නි නුවර ජිවත් වන සුළු ධනේෂ්වර අයියලට කියල වැඩක් නැහැ.