දේශපාලකයෙකුට තිබිය යුතුම දේ මොකක්ද? You’ve either got it or you don’t!


මගේ කලින් ලියපු සටහන අදට වඩාත් කාලෝචිත එය අවසානයේ ලියපු දෙය දෙය අද සැබෑවී තියන නිසා. ඕස්ට්‍රේලියානු දේශපාලනය මගේ සටහන් කියවන සිමිත පිරිසට වැඩක් නොවුනත්, එහි තියන සර්වලෝක ස්වභාවය නිසා නොලියත් බැහැ.

කෙවින් රඩ් 2007 වසරේදී පැවති ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය ජයගන්න කලින්, ඕස්ට්‍රේලියානු කම්කරු පක්ෂය (පෙඩරල්) නායකයන් ගණනාවක් අත්හදා බැලුවා. නමුත් ජෝන් හාවර්ඩ් යටතේ පැවති සන්ධාන රජයට අභියෝගයක් වෙන්න ඒ එක නායකයෙකුටවත් නොහැකි උනේ ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්තිවල වරදකට කියා කියන්න අමාරුයි. ඔවුන් එක අයෙකු වත් ප්‍රමාණවත් ජනතා ආකර්ෂණයක් ලබා ගන්න නොහැකි උන එක තමයි ප්‍රධාන හේතුව.

අන්තිමට කම්කරු පක්ෂය කෙවින් රඩ්ව තෝරා ගත්තහම, පක්ෂයේ ඉරණම වෙනස් උනා. එහි ප්‍රතිපලයක් ලෙස 2007 පැවති මහා මැතිවරණයෙන් කම්කරු පක්ෂය හොඳ ජයක් වාර්තා කළා. නමුත් කලින් ලියපු පරිදි, රඩ්ට අගමැති පදවියේ ඉන්න පුළුවන් උනේ වසර දෙකක් පමණ කෙටි කාලයක්.

රඩ්ව එලවපු වෙලාවේ කම්කරු පක්ෂය හෝ ඉන්පසු අගමැතිනිය වුණ ජුලියා ගිලාර්ඩ් හෝ, රඩ්ව එලෙව්ව හේතුව ජනතාවට කියූවේ නැහැ. ආසන්නම හේතුව ලෙස ඒ කට්ටිය යොදා ගත්තේ රඩ්ගේ ජනප්‍රියතාවය පිරිහීම. එක වකවානුවක, රඩ් ඕස්ට්‍රේලියානු දේශපාලන ඉතිහාසයේ ජනප්‍රියම නායකයා වුණා. එහෙම හිටපු ඔහුව, එක රැයකින් ඉවත් කිරීම මහ ජනතාවගේ ප්‍රසාදයට හේතු වුණේ නැහැ.

කොහොමහරි, මේ සිද්දියෙන් වසරකට පමණ පසුව පැවති පෙඩරල් මහ මැතිවරණයෙන්, කම්කරු පක්ෂයේ ගිලාර්ඩ්ට, කලින් පැවති කම්කරු පක්ෂ රජයට තිබුන බහුතර ආසන ගාණ රැක ගන්න බැරි වුණා. ඇය, රඩ් ගේ දෙවෙනියාව ඉඳලා, රඩ්ව කපා දමා අගමැතිනිය වීම නිසා, කම්කරු පක්ෂයට හිතවත් විශාල චන්ද දායකයන් පිරිසක්, එක්කෝ හරිත පක්ෂයට චන්දය දුන්නා, නැත්නම් ස්වාධින අයෙකුට චන්දය දුන්නා. අනික තමා, ඇයට මහජන ආකර්ෂණයක් දිනාගන්න පුළුවන් ගතියක් නැහැ.

සම්ප්‍රදායිකව කසාද බැඳලා නැති (ඇයට සහකරුවෙකු සිටිනවා. ඔවුන් එකටයි ජිවත් වෙන්නේ), දෙවියන් නොඅදහන ඇය, බහුතර චන්දදායක පිරිසකගේ “ගණයට” වැටෙන්නේ නැහැ. බටහිර ලිබරල් කියන සමාජයේ උනත් මේවාට ලොකු වටිනාකම් ලැබෙනවා.

අනික තමා, චන්ද ව්‍යාපාරයකදී වුණත්, දරුවෙකු වඩා ගන්න විට, එය “ස්වභාවිකව” කරන්න පුළුවන් අය ඉන්නවා, එහෙම කරන්න බැරි කට්ටිය ඉන්නවා. මෙය ‘ජනකාන්ත’ බවේ ලක්ෂණයක්. එක්කෝ ජනකාන්ත බව කෙනෙකුට තියනවා. නැත්නම් නැහැ.

ප්‍රතිරුප නංවන සමාගම් තිබුනත් ජනකාන්ත බව කෙනෙකුට ආරෝපණය කරන්න බැහැ. එවැනි කෙනෙක් තමා ගිලාර්ඩ්. එයිට අමතරව ඇය කරපු දේශපාලන වරදක් යයි කියන්න පුළුවන් මහජන චන්දයෙන් පත්වුණ, රඩ්ට පිහියෙන් ඇනීමත් අවතාරයක් ලෙස ඇය පිටුපසින් එනවා.

කොහොම හරි කම්කරු පක්ෂයේ ප්‍රතිපත්ති වලට වඩා, එහි නායකයාගේ ප්‍රතිරූපය මත තමා ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිපල තීන්දු වන්නේ. දැනට පෙනෙන ලක්ෂණ වලට අනුව ජුලියා ගිලාර්ඩ්ගේ නායකත්වය යටතේ කම්කරු පක්ෂය පරදවා, සන්ධානය බලයට පත්වන ගතියක් තමා තියෙන්නේ. ලබන සඳුදාට තියන කම්කරු පක්ෂයේ නායකත්ව සටනෙන්, කෙවින් රඩ් පරාදවෙන බව කව්රුත් කියනවා. ඒ පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහයෝගය ඔහුට නොමැති නිසා. නමුත් මහජනතාව අතර ඔහු ගිලාර්ඩ්ට වැඩිය දෙගුණයකින් පමණ ජනප්‍රියයි.

ඔහු පක්ෂයේ නායකත්වයට ආවොත්, එක්කෝ කම්කරු පක්ෂය ලබන මැතිවරණයෙන් දිනනවා (එයට සම්භාවිතාවය අඩුයි). නැත්නම්, අඩුම ගානේ පරාජයේ විශාලත්වයවත් අඩු කර ගන්නවා. නමුත් කම්කරු පක්ෂයේ අයියලා කියන්නේ ඔහු (රඩ්) කණ්ඩායම් හැඟීමක් නැති, ක්ෂුද්‍ර කලමනකාරිත්වයට බර, වැඩටම අසීමිතව නැඹුරු වුණ, බොහෝ විට පරුෂ හා ඔහු සමග වැඩ කරන අයට ගරුත්වයක් නොදක්වන, ස්තුති නොකරන චරිතයක් බවයි. නමුත් මහජනතාව අතරට පැමිණි විට ඔහු ජනතාවගේ තරුවක්.

ලංකාවේ නම් මොන ප්‍රතිපත්තිද නේද? දෙන්නම් ඇට අටට, තියන දෙක තුනත් නැති කර ගත්තු අපිනේ. නමුත් ඉහත කතාවෙන් ලංකාවේ දේශපාලනයටත් වැදගත් වෙන කතාවක් තියනවා. ජේආර්-ප්‍රේමදාස අවිචාර සමය ඉවර කර ගන්න බැරි වුනේ ඒ දෙන්නගේ විශාල ජනාකර්ශනය නිසා නොවේ. විපක්ෂයේ ජනකාන්ත නායකයෙකු නොමැති වුණ නිසා හා එය භේද භින්න වෙලා තිබුන නිසා. පාලන කාලයේ වැරදි කරලා තිබුනත්, එවැනි ජනාකර්ශනයක් ගන්න පුළුවන්කම තිබුන සිරිමාගේ කකුලට විලංගු දාන්න ජේ ආර් ගොයියා මුලින්ම වැඩ කළේ ඒ හින්දයි. ඉන්පසු විජයට අකාලේ මරු තුරුලට යන්න උනෙත් ඔහුගේ තිබුන අසීමිත ජනකාන්ත බව නිසා.

චන්ද කාලේ කව්රුත් ළමයි වඩා ගන්නේ බොරුවට.හැබැයි, මේ බොරුව “හරියට කරන්න නම් යම්කිසි මනුස්ස කමත් ඇඟේම තියෙන්න ඕනේ. ඒක ලන්ඩන් වල ප්‍රතිරූපවර්ධන කොම්පැනියකින් කුලියට ගන්න බැරි දෙයක්. බොරුවවත් “හරියට” කරන බව පෙන්නුම් කරන්න බැරි නම්, අනිකාට බැනලා වැඩක් නෑ. එක්කෝ ඔබ ජනකාන්ත දේශපාලකයෙක්, නැත්නම් නෑ.

Advertisements

4 Comments

Filed under Politics

4 responses to “දේශපාලකයෙකුට තිබිය යුතුම දේ මොකක්ද? You’ve either got it or you don’t!

  1. Raigama

    රනා ඔබගේ දීර්ග ප්‍රතිචාරයට ගොඩක් තුති! ඔබ බලන්න ඇමෙරිකානු ජනාධිපති වරණෙ. කොච්චර දරුවෝ වඩා ගන්නවද? ඇත්තම කියනවා නම් මේ වගේ දේවල් ලංකාවේ දේශපාලකයන්ට කරන්න කියන්නේ, බටහිර සමාගම් වලට බර ගානක් ගෙවා හදා ගන්න ලද ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමේ වැඩ සටහන් වලින්. ජනකාන්ත චරිත ලක්ෂණ ඔබ කියන පරිදි හදා ගන්න අමාරුයි. මගේ මුළු සටහනින්ම කියන්න උත්සහ කලේ ඒකයි. ගිලාර්ඩ් කියන්නේ අගමැති වෙන්න කලින් මා ප්‍රිය කළ දේශපාලන චරිතයක්.

    ඇයට ජනතාව හා සම්බන්ද වෙන්න නොහැකියාව අද කම්කරු පක්ෂයට තියන ප්‍රධාන ප්‍රශ්නයයි. පහුගිය දිනවල ඇය, ජනතාවට ආමන්ත්‍රණය කරන ආකාරය පිලිබඳ පුහුණුවකුත් ලැබුවා කියල පත්තරේ තිබුනා. නමුත් එයින් වැඩක් වුණ බවක් නම් පෙන්නේ නැහැ.

    මා ලංකාවේ උදාහරණ ගන්නේ නැහැ. නමුත් සමහරු අත ඔසවලා ආචාර කරන කොටම පේනවා එහි තියන ව්‍යාජත්වය. කෙවින් රඩ් මිනිසුන් අතරට ගියහම ඔහුගේ “ව්‍යාජ ” බවක් දකින්න නැහැ. මා චන්දෙ දාන කොට පක්ෂය හා ප්‍රතිපත්ති වලට පසුව තමා පුද්ගලයා ගැන හිතන්නේ. නමුත් කොච්චර ප්‍රියමනාප, ජනකාන්ත කෙනෙක් චන්දෙ ඉල්ලුවත් මා කවදාවත් චන්දෙ නොදෙන පක්ෂයකට චන්දෙ දෙන්නේ නැහැ.

    ඔබ කියන එකක් හරියටම හරි. මෙහෙ තියන “සිස්ටම්” එක නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ. නැත්නම් මේ ඉන්න දේශපාලකයන් නිසා නොවේ. හිටපු අගමැති හාවර්ඩ් අන්තිම කාලේ වෙනකම් කිය කිය හිටියේ, පක්ෂයට (ලිබරල්) එපා උනහම යනවා කියලා. එයා පරදින බව පේන කොට, පක්ෂයේ ජේෂ්ටයන් එයාට අයින් වෙන්න කියුවා. එතකොට අර කලින් කියපු දේ වෙනස් කරලා, එයාගේ පවුලේ කට්ටිය කිව්වොත් තමා යන්නේ කිව්වා. අන්තිමට තමාගේ ආසනයත් පරාද වුණේ මිනිස්සුන්ගේ කතිරෙන්! බලය ගත්තහම අතහරින්න අමාරුයි!

  2. ඉතා වටිනා සටහනක්.
    ලෝකේ මොන රටේ හිටියත් මිනිස්සු මිනිස්සුමයි කියලා හිතෙන්නේ මේක කියෙව්වම.
    දියුණු බටහිර රටවලුත් අපි වගේ “දරුවන් ඉන්න දෙමව්පියන්” වගේ දේවල්වලට ඡන්දය දෙනවා කියලා හිතන්නත් අමාරුයි.
    ඒ වගේම “දරුවන් වඩාගැනීම” ඕස්ට්‍රේලියාවේත් මාකට් වෙනවද?

    රටක් පාලනයට අවශ්‍ය ජනකාන්ත බව නෙමේ ජනහිතකාමී බව.
    ජනකාන්ත බව තුන්වන පාර්ශවයකට ඇතිකළ නොහැකි වුවත් ටික කාලයක් පුරුදු පුහුණු වීමෙන් ජනකාන්ත චරිත ලක්ෂණ ඇතිකරගන්න පුළුවනි. උදාහරණ විදියට දරුවන් වඩාගැනීම, ජනතාවට අත ඔසවා ආචාර කිරීම, හිතෛශීව සිනාසීම වගේ දේවල්.
    ඒත් ජනහිතකාමී බව එන්නේ හදවතින්.
    ඒක හදාගන්න පුළුවන් ඒ පුද්ගලයාටම පමණයි.
    ප්‍රතිරූපය එකක්, ජනහිතකාමී බව තව එකක්.

    දියුණු රටවල සිස්ටම් එකක් තියෙන්නේ හොද වෙලාවට. නැත්තං ජනකාන්ත නායකයින්ගේ විකාර වැඩ නිසා ඒ රටවලුත් නිකාං සවුත්තු වෙන්න පුළුවනි.

    ඊළග මැතිවරණයේදී වඩාත් ජනකාන්ත අපේක්ෂකයාට වඩා වඩාත් ජනහිතකාමී අපේක්ෂකයාට සහය දෙන්න…

    අපේ ශ්‍රී ලංකාව ගැන කියනවානං,
    මේ රටේ ඉන්න බහුතරයක් ආත්මාර්ථකාමී ජනතාවට ජනහිතකාමී හෝ ජනකාන්ත කමෙන් වැඩක් නෑ.
    තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ මුදුන් පමුණවාගන්න ලේසි කාගෙන්ද…
    එයාව බලයට ගේනවා.

    ඕක තමා මෙහේ දේශපාලනයේ හැටි…

    ජය වේවා…

  3. srilanka94

    ….//දේශපාලකයෙකුට තිබිය යුතුම දේ මොකක්ද? ….//
    තිබිය යුතුම දේනම් මං දන්නැහැ. නොතිබිය යුතුම දේ නම් ලැජ්ජාව කියලයි මට හිතෙන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s