My Food Experiences-2


ඊයේ පෙරේද ඕස්ට්‍රේලියානු විශේෂ රූපවාහිනියේ (SBS) පෙන්නපු මානව පරිනාමය පිලිබඳ වැඩ සටහනක තිබුනේ හෝමෝ ඉරෙක්ටස් ගැන. ගස් වලින් බිමට බැහැපු මේ අයට මුලින් කොටි, සිංහ හා වෙනත් මස් කන සතුන්ගෙන් සෑහෙන හිරි හැර වෙලා තියනවා. හමු උන ඉස් කබල් වලින් පේනවා කිව්වේ, සතුන්ගේ ගොදුරු බවට මේ අය ගෙන් වැඩි දෙනා පත් උන බව.

මෙහෙම යනකොට තමා, කට්ටිය වේගයෙන් දුවන්න ගත්තේ, වැඩිපුරම මේ සතුන්ගෙන් බේරෙන්න. ඒකට වැඩිපුර ශක්තිය අවශ්‍ය වුණා. කොළ අතු, පලතුරු වලට අමතරව මස් කන්න පටන් ගත්තේ ඒ ශක්තිය ලබා ගන්න. ඉන්පසු තමා හෝමෝ ඉරේක්ටස්ගේ මොලය වර්ධනය වුණේ කියලයි වැඩ සටහනේ මේ කොටසේ තිබුනේ.

මගේ මතකය නිවැරදි නම්, මිනිස් (වානර) මොලය තුන් ගුණයකින් විශාල වීමට හේතු උනේ මේද සහිත සත්ව මස් කෑම පටන් ගත්තාට පස්සේ. මේක කොටස් තුනක වැඩසටහනක්. නම Becoming Human. අප සමාජ අධ්‍යනයට ඉගෙන ගත්ත දේවල්, නව ජාන තාක්ෂනය හා නව පුරා විද්‍යා කැනීම් වලින් සොයා ගත්ත දැනුමින් පෝෂණය කරලා අලුතින් කියන කතන්දරයක්.

මා රුසියාවට යන්න කලින් මස් පිළිබඳව තිබුනේ අදත් සමහරු ලියන පරිදි “අපොයි සුද්දෝද, උන් මස් කන්නේ නිකම් අමුවෙන් නේ ” වගේ ආකල්පයක්. මා මුලින් හිටිය තෂ්කන්ට් නුවර, එළිමහනේ හදන රසවත් කෑම ජාති දෙවර්ගයක් තිබුනා. එකක් තමයි “ප්ලෝප්” කියන බත් වර්ගය. මෙය කුකුල් හෝ බැටළු මස්, හාල් සමග කැරට් දාල හදන එකක්. අනික තමා “ෂශ්ලික්” කියන මස් කූරු. බැටළු මස් කැබලි, පීකුදු හෝ අඹරපු මස් කූරක දවටලා, උදුනේ පුළුස්සා ගැනීම (බාබ කිව්).

කඩ පෙළවල් තියන තැන්වල දුම් දමන මෙවන් ෂශ්ලික් හදන තැන් හා අර ප්ලෝප් මහා කල්දේරම් වල හදන තැන් දැක ගන්න පුළුවන්. මුලින්ම ෂශ්ලික් හදනවා දැක්ක ගමන් මට හිතුනේ මේක වැදී ක්‍රමයක්නේ කියලා. මොකද ලංකාවේ දී මස් ඒ වගේ කාල තිබුනේ නැති නිසා. නමුත් කෑවට පසුව තමා එහි රසය හඳුනා ගත්තේ.

මා ප්ලෝප් නම් තවමත් ගෙදර හදනවා. එයත් අර එදා කාපුවා  වගේ නම් නැහැ. ඒ අතරම, මෙච්චර කලක් ගිහිල්ලත් අර කාපු ෂශ්ලික් වල රසය නම් අමතක වෙන්නේ නැහැ. මේ දෙකට අමතරව තව මතකයේ තියන කෑමක් තමා “ලග්මාන්”කියන සූපය. පිටි අනලා එවලේම හදා තම්බා ගන්න නුඩ්ල්ස් එකකට සුප් එකක් දාල දෙනවා. මේ නුඩ්ල්ස් එක දිගම දිග තනි එකක්. කොනකින් අරන් සමහරුන් එක හුස්මට මේක ඇදලා දානවා.

අර මාර්ටින් වික්‍රමසිංහගේ කළුවර ගෙදර නිමල් යනවනේ, කොළොඹ ඉන්න අද්වකාත් සිරිමල් අයියලාගේ දිහා. එතකොට සිරිමල් අයියගේ නෝනා හදල දෙනවා මස් පෙති ටිකක්. යන්තම් ගම්මිරිස් දාල. නිමල් ගමේදී කන්නේ වැඩිපුර තුනපහ දාල උයපු හොර හරක් මස්. මට මතක හැටියට තුනපහ වැඩිපුර දාල රස මරලා ගමේ හදන හරක් මස් හොද්දට වඩා අර කොළොඹ දී කාපු මස් එකට නිමල් කැමති උනා (මා මේ නව කතාව කියෙව්වේ පාසල් යන කාලයේදී. මතකය හරි යයි හිතනවා).

මේක වික්‍රමසිංහගේ අත් දැකීමක් වෙන්න ඇති. අපේ බොහෝ කට්ටිය උදුනේ පුච්චන (බාබකිව් එකේ) මස් හදන කොටත් හොඳටම පුච්චනවානේ. මස් වල තියන වතුර ගතිය ගිහින් නිකම් රබර් පට්ටයක් වෙනවා. අප බොහෝ විට අනික් අය කන හැටි නරකයි කියන්නේ අපේ දිව හුරුවී තියන අන්දමටයි. මා නම් මස් කන එකත්, හදන හැටිත් අර ෂශ්ලික් කන්න පටන් ගත්තට පස්සේ වෙනස් උනා. හැබැයි හෝමෝ ඉරේක්ටස්ගේ වගේ මොලය වර්ධනය වුනාද  කියල නම් සැකයි.

මීට කලින් දාපු සටහනට ආපු ප්‍රතිචාර දෙක තුනකට ලියපු පිළිතුරු නිසා මෙයත් එක් කරන්න කැමතියි. මගේ සටහන් වල අරමුණ මස් කන එක හෝ එළවලු පලතුරු පමණක් කන එක හෝ හොඳයි හරි නරකයි හරි කියන එක නොවේ. සමහර ආහාර පුරුදු ගැන මගේ අත්දැකීම් ලිවීම පමණයි. කොයිම දේත් පමණට වඩා කන්න හොඳ නැහැ.

Advertisements

6 Comments

Filed under Food

6 responses to “My Food Experiences-2

  1. vimukthi

    අනිවා…ලංකාවෙ කෑමකාල පුරුදු අපිට පිටරටකට ගියාම එහෙකෑමට දිවහුරුවෙනවතමා ඒත් කොච්චර උනත් ලංකාවෙ විදිහටම කෑමක් ලැබෙනකම් දිවමගබලන් ඉන්නෙ,ඔය බාබක්‍යු සීන්එකත් රබර් විදියට කන්නෙ,අපි ලංකාවෙ පුරුදු වෙලාඉන්නෙ කොයිදේත් පැයභාගයක් විතර තම්බල කන්නනෙ.මෙහෙත් මාළු අමුවෙන් කනව,මුලදිඅප්පිරිය හිතුනත් දැන්අව්ලක් නෑ.නමුත් ඕක ලංකාවට කිව්වාම දෙය්යෝ සාක්කිලු…ඒඒ රටවල කල්චර් එකතමා

    • ඔබගේ කතාවට මාත් එකඟයි විමුක්ති. ලංකාවේ විදිහට තමයි අප වැඩිය කැමති. දවස් දෙක තුනක් මෙහෙ කෑම විතරක් කන කොට මිරිස් ටිකක් යහමින් දාපු කෑමක් කන්න පුදුම ඕනේ කමක් දැනෙනවා. අර ගොනා (කකුල් හතරේ එකා) හැරෙන්නේ පොල් පැලේ පැත්තට වගේ අපේ දිව හැරෙන්නේ පුරුදු රසයට තමා. කොහොමද පරිප්පු හොද්දයි, කලටි පොල් සම්බෝලෙයි, බැදපු හාල් මැස්සොයි එක්ක බත් ටිකක්! කොරියානු කෑමත් බොහොම රසයි නේද?

  2. සිමල් ගේ බොස් ගේ ගෙදර පාටියකින් පසු ඉතුරු වෙන කෑම වළදානවා ය කියා තිබුණා මට මතකයි.

    බැටලුවන්ගේ ටෙස්ටිකල්ස්, අශ්වයින් ගේ ඔළු හේම කෑවේ නැද්ද?

    • ඔබ හරි කකා. ගෙදර වැඩ කරන කටිටියට කන්න දුන්නේ නැහැ. ඒවා වල දැමුවා කියල තිබුන. අම්මප, මෙච්චර කල් ගත වෙලත් ඒ කාලේ කියවපු දේවල් තාමත් මතක තියනවා. අර බැටළු වෘෂණ නම් උත්සහ කරලා තියනවා. නමුත් වමනෙට එනවා. රසය හින්ද නොවේ, මොනවාද කියල දන්නා නිසා. අශ්ව ඔලු නම් කාල නැහැ (මගේ ඔලුව නම් අපේ නෝනා කනවා-විහිළුවට). ටිකක් බිව්ව වෙලාවට නම් ඕනේ දෙයක් කන්න බැරි කමක් නැහැ. ඒ දිනවල රුසියාවේ කොහෙන්ද ආනයනය කල ගෙඹි කකුල් ඕනේ තරම් තිබුනා. කවදාවත් ගෙනත් හදලා කන්න බැරි උනා.

  3. කෑම ජාති ගැන කියලා තියන හැටි ලස්සනයි. ආසා හිතෙනවා. 😀

    • ඔබට ස්තුතියි! ඇත්තටම ප්‍රවීනා මේ කෑමත් රසවත්. ඔබගේ ප්‍රතිචාරය දැක්කහම මගේ මතකයට ආවේ ලංකාවේ රුපවාහිනි සේවා වල යන ඉවුම් පිහුම් වැඩ සටහන් හා පත්තර වල (තරුණි, නවලිය වගේ-ඔබ මේවා කියවලා තියනවද දන්නේ නැහැ) පළ වන ආහාර වට්ටෝරු. මේවා හැම එකක්ම එකම “වට්ටෝරුවේ”. කිසිම ජීවී බවක් නැහැ. එකක් තමා, එක්කෝ උයන්නේ එකෙක්, විස්තර කරන්නේ තව කෙනෙක්. ඉතින් කොහොමද රසවත්ව ඉදිරිපත් කරන්නේ. අනික හීනියට කපා ගන්න, ඉන්පසු රන්වන් පාට වන තුරු බැද ගන්න. මේක තමා බොහෝ විට ඉදිරිපත් කරන විදිහ. කිසි කතන්දරයක් නැහැ. ඒක නිසා ගතියකුත් නැහැ. අනික තමා මේ කට්ටිය උයන දේවල් සාමාන්‍ය ජනතාවට අවශ්‍ය කරන දේවල් නොවේ. මේ වට්ටෝරුවෙන් මිදිලා ඉවුම් පිහුම් ඉදිරිපත් කලේ පබිලිස් මහතා. ඔහු උයන දේවල් වගේම, ඉදිරිපත් කරන විලාශයත් සිත්ගන්නා සුළුයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s