මා සුදු වෑන් වලට බයයි නංගියේ! White van terror in Canberra!


අද වාහනය ගෙදරින් එලියට අරගෙන කිලෝමීටර දෙකක් වත් යන්න ලැබුනේ නැහැ, පාරේ අයිනේ නවත්තලා තිබුන සුදු වෑන් එක දැකලා ඇඟ කිලිපොලා ගිහින් හදවතේ ගැස්ම වැඩි උනා. මගේ ඇස් එකවර යොමු උනේ මගේ රථයේ වේග මීටරය දිහාට. හොඳ වෙලාවට ඒක කිලෝමීටර 60 ටේ සිමාවේ තිබුනා. මේ වෑන් එකෙන් ආයුධ ගත්තු කට්ටිය බැහැලා ආවේ නැහැ. ඒක ඇතුලේ යකඩ පොලු, කළු රෙදි පටි, තුවක්කු ආදිය ඇත්තෙත් නැහැ. වෑන් රථයේ මෙහෙම සටහනක් තිබුනා “Your speed has been checked”, රථය ඇතුලේ කැමරාවක් සවිකර තිබුනා. ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටෝරි ප්‍රාන්තයේ වේග සීමා ඉක්මවන රියදුරන් හඳුනා ගෙන දඩ ගසන එක ක්‍රමයක් තමා මේක. රාලහාමි! මේක ගොඩින් බේරා ගන්න බැරිද කියලා අහන්න කිසිවෙකු ඒ රථයේ නැහැ.ඔබ වැරැද්දක් කලාද නැත්ද කියන්න කිසිවෙකු නැහැ. දඩ කොලය ගෙදරට එන්නේ තැපෑලෙන්. (මෙවැනි දඩ කොළ දෙකතුනක් මාසෙකට ආවොත් කාලා කෙසේ වෙතත් බීලා හමාරයි).

මහා පාරේ වේගයෙන් වාහන පදවන ඒක නවත්තන්න ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයයන් විවිධ පියවර ගත්තත්, සමහර රියදුරන්ගේ මෝඩ ක්‍රියා නැත්තට නැති කරන්න හැකි වී නැහැ. ගිය මාසයේ මෙවැනි වේගයෙන් රියවල් පදවාගෙන යන කඳු පැල්ලමක් සහිත ඉස්තානයක සාමාන්‍ය වේගය මනින කැමරා සවි කෙරුනා. කලින් තිබුනේ එක කැමරාවක් විතරයි. වැඩේ හරි ගියේ නැහැ. මේ කොයිවා කලත්, ගෙදරට දඩ කොළ ආපුවහම, ඒ වෙලාවේ රථය පැදෙව්වේ තමන් නොවේය කියන දිව්රුම් පෙත්සම් ගණන එන්න එන්නම වැඩි වෙන නිසා ඒ ගැනත් නව නීති ගෙන්න මෙහෙ ප්‍රාන්ත රජය සැරසෙනවා. මීට වසර කීපයකට පමණ පෙර සිඩ්නි නුවර විනිසුරුවරයෙක් මේ වගේ මාර්ග නීතියක් කඩ කරලා $77 ක දඩ කොලයක් ගෙදරට ආවහම, දිව්රුම් පෙත්සමක් දුන්නා වාහනය පැදෙව්වේ එයාගේ යාළුවෙකු කියලා. පසුව හොයා ගත්තේ අර යාලුවා ඒ වෙනකොට මැරුණ අයෙක්. අන්තිමට මෙයාගේ රස්සාවටත් හෙණ ගැහුවා.

අද අප්‍රේල් 16 සඳුදා. මා මේ සටහන ලියන්න ගත්තේ අද ලංකාදීප පුවත්පතේ හා “Canberra Times” පුවත්පතේ තිබුන එකිනෙකට හාත්පසින්ම වෙනස් ප්‍රවුර්ති දෙකක් නිසා. ලංකාදීපේ උදේ මෙහෙම පුවතක් තිබුනා.
“අද උදෑසන හයට අවසන් වූ විසිහතර පැයේදී පොලිස් සැරයන වරයකු ඇතුළු පස් දෙනකු රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. සීගිරියේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් පොලිස් සැරයන් වරයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිද සහ දරුවා ‍දඹුල්ල රෝහලට ඇතුලත් කරනු ලැබූහ. දිවුලපිටියේදී ද, පන්නල දී ද යතුරුපැදි කරුවන් දෙදෙනකු මියගිය අතර මහියංගනදී ත්‍රී රෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් අයකු මරුමුවට පත්විය. මහියංගනය කෙසෙල්පොත ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටීමෙන් පදිකයෙක් මියගියේය”. හවස් වෙනකොට තව පුවතක්! “අද උදේ හයට අවසන් වූ විසි හතර පැයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරු දහයකින් හත් දෙනකු තුවාල ලැබූ බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය කියයි. ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ද ඒ අතර වෙති. අධ්වේගී මාර්ගය විවෘත කළ පසුගිය නොවැම්බර් 27 වැනි දා සිට සිදු වූ අනතුරු ගණන 190කි. මේ වසරේ පමණක් අනතුරු 139කි. මියගිය ගණන දෙකකි”.

දැන් බලමු Canberra Times පුවත. ගෙවුන අව්රුද්ද ඕස්ට්‍රේලියාවේ 1946 න් පසු සිදුඋන අඩුම මාර්ග අනතුරු වලින් සිදුඋන මරණ සංක්‍යාව වාර්තා උනා. එක දහස් නමසිය හතලිස් හයේ මෙහෙ ජනගහනය අද ඉන්න සන්ක්යාවෙන් තුනෙන් එකක් පමණයි. ඊට දශකයකත් පසුව තමා තුන් කොන් ආසන පටි අඳුන්වා දුන්නේ. ගිය වසරේ සිදු උන 1292 ක් වූ මරණ සංක්‍යාව 2020 දී 700 යකටත් වඩා අඩුවිය හැකි යයි බලාපොරොත්තු වන්නේ වාහන වල ආරක්ෂක පද්ධති දියුණු වෙමින් පවතින නිසා. ඒ හැරත් කාලය සමග ඕස්ට්‍රේලියාවේ මාර්ග අනතුරු හා මරණ සන්ක්‍යා අඩුවෙමින් පවතින්නේ නිතිය ක්‍රියාත්මක වීම නිසා පමණක් නොවේ, නීති පතාම මේ ගැන ජනතාවට මතක් කර දෙන නිසා.

ඔස්ට්‍රේලියාව වගේ නොවේ, ලංකාවේ ජනගහන ඝනත්වය හරි ඉහලනේ. අපේ මාර්ග වල තත්වයත් මෙහෙ හා සසඳන්න බැහැ. නමුත් මාර්ග වල සිදුවන මරණ ගණන නම් මේ කිසිවකින් සාධාරණියකරණය කරන්න බැහැ. ලංකාවේ අධිවේගී මාර්ගයේ වේග සීමාව වැඩි කළ යුතුයි කියලා පසුගිය කාලේ යෝජනා කර තිබුනා. මෙපමණ හොඳ මාර්ග පද්ධතියක් තියෙත්දිත් ඕස්ට්‍රේලියාවේ අධිවේගී මාර්ග බොහොමයක් පැයට කිමි 100 හෝ 110 සිමාවේ තියෙන්නේ.

Advertisements

Leave a comment

Filed under Social

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s