පෙරේදා මා වැඩ ඇරිලා ගෙදර ආවිට තමා බිරිඳ කියුවේ ශීතකරණයේ පැස්චරිකෘත කිරි ඉවර වෙලා කියලා. මල්ලක් අරගෙන එලියට බහින්න හැදුවා විතරයි, දොරට තට්ටු කරන හඬක් ඇහුනා. දොර ඇරලා බලන කොට දැක්කේ “නාකි සුද්දන්” දෙන්නෙක්. මා දැන ගත්තා කාරණේ. මා ඔවුන්ට ඇහුම් කන් දුන්නේ විනීතව. සේරම අහගෙන හිටිය මා ඔවුන්ගෙන් ඇහුවේ, “මගේ ගෙදර කිරි ඉවරයි, මා දැන් කළ යුත්තේ කුමක්ද?” කියා. මා එන්නේ මොකාටද කියලා ඔවුන්ට නොතේරුනා වගෙයි. උත්තරයක් එන්න කලින් මා පැහැදිලි කළා. “ගෙදර කිරි ඉවර නම් මා කඩේට ගිහින් කිරි ගෙන්න ඕනෙනේ”. ඔවුන් ඔලුව වැනුවා. මොන කඩෙන්ද? නැහැ උත්තර. මා පැහැදිලි කළා. කොයි කඩෙන්ද කියා තීරණය කරන්නේ මායි. ගෙදර ළඟ තියන පොඩි “සුපර් මාර්කට්’ එකෙන්ද, නැත්නම් කිලෝමීටර දෙක තුනක් දුරින් තියන කඩපොලේන්ද කියා තීරණය කරන්නේ මායි. කව්රුවත් අපේ ගෙදරට කිරි අරන් එන්නේ නැහැනේ. ඔවුන් තව දුරටත් ඔලුව වැනුවා. මා තව දුරටත් පැහැදිලි කළා, අපේ ශීතකරණයේ කිරි ඉවර වෙලා, මා යන්නේ කිරි ගෙන්න, හැබැයි මගේ අධ්‍යාත්මය හිස් කියලා මා හිතන්නේ නැහැ. එහෙම හිස් කියලා තේරුන දවසක උනත් “මොන කඩෙන්ද කිරි ගන්නේ කියලා තීරණය කරන්න තරම් මා වැඩිහිටියෙක්” , ඔබේ සේවය මට ඕනේ නැහැ. ඔවුන් යන්න හැරුනා. ඔවුන්ගේ අතේ තිබුන පොත් මිටිය දුටු විට මගේ හිතට දුෂ්ට සිතිවිලි ගලා ගෙන ආවා. පොඩ්ඩක් ඉන්න. මා කැමතියි ඔබේ පොත් කියවන්න. ඔවුන් තියා ගිය පොත් ටික (සිංහල ද ඇතුළුව) කෙලින්ම ගියේ අපේ ප්‍රතිචක්‍රීය කුණු බඳුනට.