පිහිනුම් තටාකයේදී හමුවුන මහලු මිනිසා! The world beyond the pool! (second edition)


එදා ඉරිදාවක්. පුතාවත් ලැහැස්ති කරගෙන පාරට බැස්සේ එයාගේ පිහිනුම් පන්තියට එක්ක යන්න. පිහිනුම් තටාකය ඉරිදා දවස් වල උදේට කොහොමටත් කලබල කාරියි. පුතාගේ ඇඳුම් මාරු කරවළා, වතුරට බැස්සාට පසු මා වට පිට බැලුවේ වෙනදා කයියක් ගහන ඉන්දියානු ජාතික සන්තෝෂ් ඉන්නවාද කියලා.

සන්තෝෂ් ව මා හඳුනා ගත්තේ පුතාගේ පිහිනුම් පන්තිය නිසා. ඔහුගේ පුතත් මේ වෙලාවටම වෙන පන්තියක පිහිනුම් ඉගෙන ගන්නවා. ඔහුගේ හා මගේ පුතා පිහිනුම් පන්තියෙන් පසුව තටාකයේ සෙල්ලම් කරන්නේ එකට. මෙයින් ඇතිඋන මිතුදම ගෙවල් දෙකට යන එක දක්වා දියුණු උනා. රජයේ සේවකයෙක් වන ඔහුටත් මටත් කතා කරන්න පොදු දේවල් තිබුනා. එදා සන්තෝෂ් දකින්න හිටියේ නැහැ. පොතක් හෝ පත්තරයක් නොගෙනීම ගැන මා මටම දොස් පවරා ගත්තා.

මා වටපිට බලන විට අස ගැටුනේ යාබද අසුනේ සිටි සුදු ජාතිකයාගේ කුළුපග සිනහව. එය කතාවකට උනන්දු කරවන්නක්. “ඔබේ මුනුපුරාද?” මා ඇසුවේ කතාවකට පොටක් පාදා ගන්නා අදහසින්. “ඔව්, මේ මගේ දුවනියගේ පොඩි පුතා, අද මා එක්ක ආවා” “ඔබ ලංකාවෙන්ද?” ඔහුගේ ඒ පැනයෙන් මා කුතුහලයට පත් උනා. සාමාන්‍යයෙන් මේවගේ කෙනෙක් අහන්නේ, ඔබ ඉන්දියාවෙන්ද කියලනේ.

ඔහු ලංකාවේ සංචාරය කරලා තියෙන්නේ බොහොම තරුණ වයසේ. ඒ එක්දහස් නමසිය හතලිස් ගණන් වල මුල හරියේ. ඒ වන විට ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්. සාමාන්‍ය පව්ලක කෙනෙකු වන ඔහු සිඩ්නි වලින් ආරම්භ උන නැවේ ගමනට මුදල් එකතු කරගෙන තියෙන්නේ අසීරුවෙන්. අද දවසේ හැටියට සුළු ගානක් වගේ පෙනුනත් එදා ඒ මුදලේ වටිනාකම මට හිතා ගන්න පුළුවන්.

“ඔබට මොකද ලංකාවටම යන්න හිතුනේ” මට ඒ ප්‍රශ්නය නොඅහා ඉන්න බැරි උනා. “නිකම් හිතුනා” ඔහු කිවේ සිනා සෙමින්. නුවර, ගාල්ල, ත්‍රිකුණාමලය හා කොළොඹ වැනි නගර නම් වලින්ම ඔහුගේ මතකයේ තිබීම මගේ විස්මයට හේතු උනා. පිහිනුම් තටාකයේ දඟලන ළමුන් ගේ ගෝශාව අපේ කතාවට බාධාවක් උනේ නැහැ. ලංකාවේ කෑම ගැන ඔහු කතා කලේ අභිරුචියෙන්. ඒ ගමන අපේ කතාව කන ජාති දෙසට යොමු උනා. අද ළමයි ආසා කරන මැක්ඩොනල්ඩ්ස් කෑම ගැන ඔහු කතා කලේ උපහාසයෙන්.

ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය පලාතක ඉපිද හැදී වැඩි ජිවත් වෙන ඔහු කැන්බරා ඇවිත් ඉන්නේ දුව සමග ටික දවසක් ගත කිරීමට. “රස්සාවෙන් විශ්‍රාම අරගෙනත් දැන් හුඟ කලක් වෙනවා ” ඒ ඔහුගේ කට හඬ. අප කොයි කාලේද ඔස්ට්‍රේලියාවට ආවේ, කවදද කැන්බරා ආවේ යනාදී දේ දැනගන්න ඔහු උනන්දු උනා.

“තාත්තේ, මා තව ටිකක් සෙල්ලම් කරන්නද?” අපේ පුතාගේ පන්තිය ඉවරයි. වෙලාව යනවා දැනුනේ නැහැ. “මටත් යන්න වෙලාව හරි” ඔහු ලඟට දිව ආපු මුණුපුරාගේ අත අල්ලා ගනිමින් ඔහු කීවා. “නැවත හමුවෙමු” එහෙම කියමින් අප සමු ගත්තා. කව්ද දන්නේ ලෝකය එච්චර විශාල නැහැ මා තනිවම හිතුවා.

කුඩා දරුවන් පිහිනන තටාකයේ එක් එක් අතට විහිදී යන දිය රැළි මත, විදුරු බිත්තිය හරහා එන හිරු එලිය වැටී ඇතිකළේ චමත්කාර දර්ශනයක්. පුතා දෙස බලා ඉන්න ගමන් මා කල්පනා ලොවේ ගිලුනා.

දැනට සති දෙකකට පමණ පෙර මා හා බිරිඳ අපේ හිතවතියකගේ අම්මාගේ අවමගුලකට සහභාගී උනා. කළු හමකට ඇති අය ලෙස සිටියේ අප දෙන්නා විතරයි. මේ සුදු ජාතික හිතවතිය අප හඳුනා ගත්තේ පුතාගේ පාසල නිසා. පළමු පාසල් වාරයේ දෙවෙනි දිනයේදී, මා පුතාව පන්තියට හැරලන්න රථ ගාලේ සිට යමින් ඉන්න කොට ඇය මට මුණගැහුනා “මා ශෝනා, උඹගේ පුතත් ඉන්නේ මගේ පුතාගේ පන්තියේ” ඇය තමාව මට හදුන්වා දුන්නා.

දයිවයේ සරදමකට වාගේ අපේ පුතුන් දෙන්නා පසු කාලෙක අඹ යහළුවන් උනා. ඇය අපට මිතුරියක පමණක් නොවේ, ඥාතියෙකු වගේ. ඇයගේ මව මිය ගියේ මාස කිහිපයක් අසනීපව සිටීමෙන්. අන්තිම කාලේ ඇය මව අසලම සිටිමින් සාත්තු සප්පායම් කළා. ඒ කිසිවක් ඇයගේ සිත සනසා ගන්න උදව් කළේ නැහැ. මට මතක් වෙන්නේ අප බොහෝ විට කතා කරන්නේ බටහිර සමාජය කියන්නේ මිනිස් කම් වලින් තොර, මාපිය, දු දරු සම්බන්දතා වලින් තොර වියලි සමාජයක් කියලනේ. මට අද හමු උන මහලු මිනිසා මට මතක් කර දුන්නේ අපේ තාත්තා නැති නම් අපේ සීයා.

දැනට මාසයකට පමණ පෙර රුපවාහිනි සංවාදයක ඕස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික ප්‍රතිපත්තිය ගැන කතා කළා. මේ වැඩ සටහනට සහභාගී උන එක් අයෙක් තමා “සුදු පමණක්” ප්‍රතිපත්තිය වෙනස් කිරීමෙන් පසු මෙහෙ සරසවි වලට බඳවාගත් ප්‍රථම විදේශීය සිසුන් සමග සරසවි නේවාසිකාගාර කාමරයක් හවුලේ පාවිච්චි කළ සුදු ජාතිකයෙක්.

ඔහු කිවේ ඉන්පෙර නොදුටු ලෝකයක් දුටුවා කියල. ඔහු කාමරේ බෙදා ගත් (චීන හෝ මැලේෂියානු) ජාතිකයා කලින් හිතුවා වගේ ‘අප්‍රිය ජනක, වනචාරියෙක්’ නොවන බව හා ඔහුත් බුද්ධිමත් හොඳින් ඉංගිරිසි කතා කළ හැකි විනීත ශිෂ්ඨ සම්පන්න මිනිසෙකු බව හඳුනා ගත් අයුරුත් අර සුදු ජාතිකයා කියුවේ සිනා සෙමින්. පළමු වරට බත් කෑ හැටි  කියන්න කරන්න ඔහු අමතක කළේ නැහැ.

එදා හා සසඳන විට අද ඕස්ට්‍රේලියානු සමාජය දුර ගමනක් ඇවිත්. නමුත් අද පවා මට දැනිල තියන දෙයක් තමා සුද්දන් අතරේ උනත් ලෝකය දැකපු මිනිසුන් තමා හැම විටම සමාජය දෙස යහපත් ආකාරයෙන් බලන්නේ.

“තාත්තේ මට ඇති , අපි යමුද?” මගේ පුතාට සෙල්ලම් කරලා ඇති වෙලා වගේ. තටාකයේ කලබල ගතිය උදේට වඩා අඩුයි. මා පුතාගේ අත අල්ලාගෙන ඇඳුම් මාරු කරන කාමරය දෙසට පිය මැන්නා.

Advertisements

2 Comments

Filed under Social

2 responses to “පිහිනුම් තටාකයේදී හමුවුන මහලු මිනිසා! The world beyond the pool! (second edition)

  1. Kenji. Japan.

    Hugak pita ratawala aya [vayasaka aya] Ceylon, Ceylon Tea, world first lady Prime minister gana ahanawa ethkota mama hari aasawen uththara denawa. Dan Lankawe wena ewa gana ahauwwama mata denna uththara naha.

    • Raigama

      සිරිමා ගැන අහන අය නම් දැන් නැහැ මගේ හිතේ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s