Monthly Archives: June 2012

Blog ලොවේ වසරක්!


මේ පින්තුරේ මා ගත්ත එකක් නොවේ  (ලබන ආත්මේ වත් චායාරූප ශිල්පියෙකු වෙන්න ඕනේ!). මා ඊයේ පෙරේදා කියවපු යාහු සෙවන් නිව්ස් (ඕස්ට්‍රේලියා) වෙබ් අඩවියේ ප්‍රවුර්ති පිටුවේ තිබුනේ. ඉන්නේ කිම් කඩාෂියන්  කියන ඇමෙරිකානු නිරුපිකාව, නැත්නම් රියලිටි වැඩසටහන් තරුව, නැත්නම් විව්‍යසායිකාව කියල කියන්න පුළුවන් (ඔන්න පොඩි පුතාල දැන් ආපු හින්ද මේක බලල ගියාට කමක් නැහැ. මේක වර්ණයෙන් මුද්‍රණය කරලා, ලැමිනේටින් කරලා පාඩම් පොත් අස්සේ දා ගන්න එහෙම එපා).

කඩාෂියන්ලා ගැන ඒ දවස් වල රූපවාහිනියේ රියලටි (ඇමෙරිකානු) වැඩසටහනක් ගියත්, මා එය බලන්න කිසිදා පෙළඹුනේ නැහැ (මා බලන කුණු ඇමෙරිකානු වැඩසටහන් වලටත් වඩා කුණු එකක් වීම නිසා). නමුත් මෙයාව බර ගානක් ගෙවලා පසු ගිය වසරේ මෙල්බර්න් කුසලාන (තුරඟ තරඟ) වාර්ෂික උළෙලට සෙනග අද්දවා ගන්න ගෙනාපු වෙලාවේ, මෙහෙ හැම ජන මාධ්‍යයකම මෙයා ගැන තමයි කියවුනේ. දේශපාලන සාකච්ඡා වල පවා. පෘථිවි උෂ්ණත්වය ඉහල යාම ගැන කතා කරන අස්සෙත් කිම් ගැන වචනයක් හෝ කියන්න අමතක කළේ නැහැ (සමහරු කියන පරිදි ඇයත් “hot” නිසා ඇගේ දායකත්වයකුත් තියෙන්න ඇති). ඒ හින්දා තමයි මාත් විස්තර ටිකක් හොයා ගත්තේ. ඇත්තටම ඇයට ජනමාධ්‍ය අතර එවැනි තැනක් ලැබුනේ, ඇයගේ පුවත්, ඕපාදූප, ඇයගේ රූපයට ජනතාව අතර තිබුන ඉල්ලුම නිසා කියන්න පුළුවන්.

මගේ සටහන් ලියන්නේ අර ජනමාධ්‍ය අනුගමනය කරමින් නොවේ. මේකත් හරියට දින පොතක් නඩත්තු කරනවා වගේ වැඩක්. මා, මට කියවන්න බැරි හෝ අපහසු දෙයක් ලියන්නේ නැහැ. මා පළමු කොටම ලියන්නේ මටයි. ඒ නිසා ලියන දේවල් ඔබට නීරස වෙන්න පුළුවන් තමා. නමුත් අනුන්ට ලියනවා කියල, තමන් කැමති නැති දෙයක් ලියනවා කියන්නේ, ලිවීමේ අර්ථය නැති කරගන්නවා කියන එකනේ. අමාරු දේ තමා තමන් කැමති දෙයක්, අනුන්ට බලන්න හිතෙන අන්දමට ලිවිම.

අප නොයෙකුත් හේතුන් නිසා දිනයන් හා සංවත්සර සමරනවානේ. මා නම් සමරනවා. අපේ විවාහ සංවත්සරය, අපේ උපන් දින, මව්-පිය දිනයන් ආදී වශයෙන්. කෙනෙකුගේ  හත් දවසේ දානය, එක් අවුරුදු දානය වැනි දේ පවා මෙවැනි සංවත්සර නැත්නම් සිහි කිරීම්. එක අතකින් දින 365 හම එක වගේ උනොත් මොකද වෙන්නේ. අද සටහන මගේ බ්ලොග් සටහන් ලියන්න පටන් අරන් වසරක් පිරිම නිමිත්තෙන්.

මේ නම් තියෙන්නේ මා අරගත් චායාරූපයක්.  මගේ බිරිඳ කියන්නේ “අනේ ඔයාට කැමරාවක් අහුවුනොත් ඒකෙ කොහෙද මිනිස්සු” කියලා (කොහෙද කිම් ලා හැම තැනම නැහැනේ. අනික හිටියත් ස්වභාවික සෞන්දර්යය වහගෙනනේ ඉන්නේ!). මේ තණකොළ මල තිබුනේ කැන්බරා නගර මධ්‍යයේ උද්‍යානයක තණකොළ ගොල්ලේ. ගිම්හානයේ අන්තිම දිනවල දැකපු, ඒ මල හොඳටම පරිනත වෙලා විසිරී යන්න ඔන්න මෙන්න. හුළඟක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගෙයි. මේක අරන් ටික වෙලාවකට පසු, මගේ චූටි පුතා අර මල කඩලා අතට අරන්, පිඹලා මල් ටික විසිරෙව්වා.

පුතා  විසිරෙව්ව, මල් වල ඇට වලින් තණකොළ ගහක් හැදෙන්න තියන හැකියාව 5% කටත් වඩා අඩු වෙන්න  පුළුවනි. නමුත් තෘණ කියන්නේ පරිසරයට හොඳින්ම ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයට පරිණාමය තියන ශාක කොට්ටාශයක් නිසා අර ප්‍රතිශතය හොඳටම ඇති ඊළඟ වසන්තයේ, අලුත් තණකොළ පරම්පරාව බිහි කිරීමට.

ඔබට ස්තුතියි. මගේ සටහන් කියවුවාට, ඉඳහිට ප්‍රතිචාරයක් දැමුවාට.

18 Comments

Filed under Anniversary