කුකුලගේ කරමල! How far you should go to attend a school?


ඊයේ පෙරේදා මා ගියා වාර්ෂිකව කරන දත් කුට්ටම බලවා ගන්න. දත් දොස්තර තුමිය ලංකාවේ දෙමල කෙනෙක්. මා කොළඹත් ගියේ දෙමල දත් දොස්තර කෙනෙකු ලඟට, මෙල්බන් වලත් දෙමල දත් දොස්තර නෝනා කෙනෙකු ගාවට, දැන් මෙහෙත්.

මෙතන කවුන්ටරේ හිටියේ විශ්‍රාම ගත් දෙමල මහත්තයෙක්. ඔහු තොර තෝංචියක් නැතුව කතා කරනවා. ලංකාවේ තැපැල් කන්තෝරුවක මාස්ටර් කෙනෙක් විදිහට වැඩ කරලා, පසුව එංගලන්තේ ගිහින් කොම්පුටර ඉගෙනගෙන, එහෙ රස්සාවක් කරලා, ඉන්පසු ඕස්ට්‍රේලියා ඇවිත් දැන් විශ්‍රාම අරන් අතන වැඩ කරනවා.

මගේ විස්තර අහලා, ඔහු කියන්න ගත්තේ පාසල් යන කාලයේ උද්භිද විද්‍යාවට ඔහුගේ තිබුන කැමැත්ත. ඔහු පාසලෙන් අයින් වෙලා තිබුනේ මා ඉපදෙන්න වසරකටත් කලින්. ඔහුගේ මතකය මා මවිත කළා. පුටීකා, ප්‍රභාසන්ශ්ලේෂණය, ශයිලම හා ප්ලෝයම, වර්ණදේහ මේ සේරම පාසලෙන් පසුව ඔහුගේ කිසිම ඉගෙනීමකට අයත් නොවුනත්, ඔහුට තාමත් මතකයි.

අපට සමහර විටෙකදී අමතක වෙනවා, අප ලබන සමහර දේවල් වල අගය, විශේෂයෙන්ම ලබන දෙයට අප සාක්කුවෙන් නොගෙවනවා නම්. සමාජ වාදය ස්තාපිත කරන කම්, මේ අධිරාජ්ජවාදී ක්‍රමය තුල නම් නිදහස් අධ්‍යාපනය ගොඩ ගන්න බැරි බව කව්ද කියලා තිබුනා කියල මා ලඟදි කියෙව්වා.

මා රටවල් තුනකින් අධ්‍යාපනය ලබල තියනවා. තුනේම මහජන බදු මුදල් වලින්. “දියුණු වන රටක්” හැටියට ලංකාව අපට දුන්න අධ්‍යාපනය හොඳටම හොඳයි. අද උනත් මට තුනේ පන්තියේ ඉගෙන ගත්තු දේවල් මතක තියනවා. සමාජ අධ්‍යනයට ඉගෙන ගත් ඩයිනෝසරයන් ගැන, මිසපොටේනියාව, පර්සියාව, මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාර ගැන මගේ මතකය තාමත් අලුත්.

මා පාසල් යන කාලයේ එතරම් ආයාසයෙන් ඉගෙන ගත්තෙ නැහැ. මගේ පළමු ටියුෂන් පන්තිය දවසෙන් හමාර උනා. ඉන්පසු ටියුෂන් පිහිට පැතුවේ අපොස උපේ කරන්න. ඇත්තටම පාසලේ හරියට විෂය නිර්දේශය ඉවර කෙරුවා නම් ඒකටත් ටියුෂන් අවශ්‍ය වෙන්නේ නැහැයි කියල අද නිකමට හිතෙනවා. අපොස උපේට උගන්නපු ගුරුවරුන් හතර දෙනාගෙන් එක අයෙකුට හෝ නිර්දේශය උගන්නලා ඉවර කරන්න වැඩ පිළිවෙලක් හෝ ඒ වෙනුවෙන් ඕනේ කමක් හෝ තිබුනේ නැහැ. ඒවා නම් නියම රස්සා. එහෙම කළා කියල රස්සා කරගෙන ඉන්න බාධාවකුත් නැහැනේ.

තව කරුණක් තමා, මා වගේ කෙනෙකුට අපේ පාසලට යන්න පුළුවන් උනේ තිබුන ක්‍රමයේ සාධාරණ කම නිසා.  පාසල ඉදිරිපිට කාර් වලින් බහින ළමයින් හිටියා නම් අතලොස්සයි. මා අදහස් කලේ බහුතරය අයත් උනේ මගේ දෙමව්පියන් වැනි සාමාන්‍ය මධ්‍යම පාන්ති පවුල් වලටයි. ඕනෙම ක්‍රමයක් පැවතෙන්නේ සමාජයේ අවශ්‍යතාවයට අනුව.

මා මීට කලින් ලියා ඇති. උපේ කරන කට්ටිය පාසලේ  නේවාසිකාගාරයේ තියා ගත්තේ නැහැ. ඉතින් පාසල් ගියේ ගෙදර  ඉඳන්. ඒ දවස්වල මගේ සීසන් එක දකිනකොට කොන්දොස්තරලට යකා නගිනවා. ඔබ දන්නවානේ සීසන් එකක කොතන ඉඳන් කොතනටද යන්නේ කියලා තියනවාට අමතරව, මාරුවෙන ඉස්තානත් තියනවානේ. මගේ මාරුවෙන ඉස්තාන උනේ, බණ්ඩාරගම, පානදුර, බම්බලපිටිය, පුරහල,පොකුණුවිට හා පිළියන්දල යන ඒවායි. කතිරේ ගහන්නත් බැහැ, රවුම් අඳින්නත් බැහැ, තිතක් තියන්නත් බැහැ. ඉතින් මොකුත් නොකර ආපහු මගේ අතට දෙනවා.

ඒක උනේ මට තුන් පැත්තකින් (මාර්ග තුනකින්) පාසලට යන්න පුළුවන්කම තිබුන නිසා. බණ්ඩාරගම හරහා එකක්, පොකුණුවිට පැත්තෙන් තව එකක් හා පානදුර හරහා තව පාරක්. පහු කාලෙක කොහෙද ඩිපෝවක හිටපු ගොනෙක්, උඹට මෙච්චර මාර්ග තියාගන්න බැහැ කියලා එක මාර්ගයක් අයින් කළා. මේ කොයි පාරේ ගියත් පාසල් යන්න පැය එකහමාරක් දෙකක් ගියා.

මා කියන්න හැදුවේ, උසස්පෙළ කරන කාලයේ මට ප්‍රධාන බාධාව උනේ යන්න තියන දුරයි. උදේට පාසල් යනකොට හොඳටම හති වැටිලා. පාසලේදී (උසස් පෙලේදී) එච්චර වැඩක් කෙරුනෙත් නැහැ. ඉන්පසු ටියුෂන් වල ගාටලා ගෙදර යනකොට රෑ දෙගොඩහයාමේ. ඇඟ සෝදලා නිදාගන්න විතරයි පුළුවන්. ආයිත් උදේ හතරහමාරට හෝ පහට නැගිටලා පාසල් යන්න ඕනනේ. මේක උනේ ගෙදර ඉඳලා යන්න පුළුවන් උනත් දුර වැඩියි. නමුත් ප්‍රමාණවත් තරම් ලඟත් නැහැ. යන්න බැරි තරම් දුරක හිටියා නම් වෙන විකල්පයක් නැති නිසා ළඟක නවතින්න වෙනවානේ. අද තියන අත්දැකීම් එදා තිබුනානම්, මා පාසල් යාමට වෙහෙසෙන්නේ නැහැ. ටියුෂන් වලින් පමණක් ජාම බේරා ගන්නවා.

සමහර දෙමව්පියන් කල්පනා කරන හැටි ටිකක් හිතා ගන්න අමාරුයි. මෙල්බර්න් වල ඉන්න කොට අපේ පුතාලා ගිය ප්‍රාථමික පාසල තිබුනේ අපේ ගෙදරට ඉතාම කිට්ටුව. පයින් යන්න පුළුවන්. පාසලේ කිසිම වරදක් අපට නම් දකින්න තිබුනේ නැහැ. හිටපු විදුහල්පති තුමා හරිම හොඳ කෙනෙක් වගේම දක්ෂයෙක්. කොච්චර හොඳද කියනවා නම්, වික්ටෝරියානු අධ්‍යාපන දෙපාර්තමේන්තුව එයාට වැඩි කල් ඒ පාසලේ ඉන්න දුන්නේ නැහැ. පසු කාලෙක, පොකුරු පාසල් කීපයක අධීක්ෂණ විදුහල්පති කෙනෙක් කරලා යැව්වා.

අපේ නිවසට කිට්ටුව හිටපු අපේ මිතුරෙක් එයාගේ, දරුවන් යැව්වේ දුරින් තියන වෙනත් පාසලකට. අප දන්නා තරමින් ඒක, මේ ගෙදර ළඟ තිබුන එකට වඩා හොඳයි කියන්න කිසිම සාධකයක් තිබුනේ නැහැ. එකම දේ දුර උන එක විතරයි.

Advertisements

10 Comments

Filed under Social

10 responses to “කුකුලගේ කරමල! How far you should go to attend a school?

  1. // ඉන්පසු ටියුෂන් වල ගාටලා ගෙදර යනකොට රෑ දෙගොඩහයාමේ. ඇඟ සෝදලා නිදාගන්න විතරයි පුළුවන්. //

    මං නොකලෙත් ඒකම තමයි.

  2. ටියුෂන් එකක් නැත්තං මෙහෙ දෙමාපියන්ට කහනව වගේ…

    • කියන්නේ ඉන්දික ඔහෙත් හරි වැස්ස මෙහෙත් හරි වැස්ස! දරුවෙකුගේ අඩුපාඩුවක් හදා ගන්න, පොඩ්ඩක් උදව් වෙන්න ටියුෂන් යවන එක ගැන මා මොකවත් කියන්නේ නැහැ. නමුත් එකම විෂයකට ටියුෂන් පන්ති දෙක තුනකට යවන විට හිතන එකේ පොඩි අඩු පාඩුවක් තියනවා වගේ (ලංකාවේ නොවේ මෙහෙත්!). ලංකාවේ උදේ පහට, පහේ ශිෂත්වයට ටියුෂන් යනවා කියලා මා අහල තියනවා. අපේ පාසල් නිදහස් අධ්‍යාපනයට වල කපන්නේ මේ තිබුන ආණ්ඩු හෝ ඊළඟට එන ආණ්ඩු නොවේ, පාසලේ වැඩ අතපසු කර ටියුෂන් වලට වැඩි බරක් දෙන ගුරුවරුන්, ළමයින් හා දෙමාපියන්.

  3. Kenji. Japan.

    රයිගම; පලමුව ස්තුතිය් සිංහලෙන් ලියන්න පුරුදු කලාට.දෙවනුව ලංකාවේදී වගේ ඔහෙදිත් දොස්තර නෝනලා ලගටම ගියේ දොස්තර මහත්තයල කොල්ලගේ ලස්සනට තියාගන ඉන්න දත් වලට අතවරයක් කරයි කියල බයටද?ලංකාවෙනම් දියවන්න ඔයේ තියෙන ස්පිරිතාලේ දත් දොස්තරලයි,උගන්වන කඩ කරපු /කරන අයයි,මළපොතේ දැනුමක් නැති ජාවාරම් කාරයොයි කොල්ලෝ /කෙල්ලෝ ඇතුළු මුළු ජනතාවගේම දත් ගලවනවා කියල මට හිතෙනවා.

    • එක අතකට මාත් මේ ගැන කල්පනා කරලා තියනවා කෙන්ජි. ලංකාවෙන් බිහි වන දෙමල දත් දොස්තර නෝනලා ගණන වැඩිද? නැත්නම් ඒ අය දක්ෂද? මා ගිය තුන් දෙනාම මගේ සිත් ගත්තා. ඔවුන් තිදෙනාම වැඩේ හරියට දන්නවා විතරක් නොවේ වෘත්තීය සදාචාරයද තියන අය. අපේ නෝනා ගියා කොහුවල හන්දියේ “කඩයක් දාගෙන” හිටිය “සිංහල” දත් දොස්තර මහතෙකු ගාවට. මෙයා අර “diposable” රබර් අත්වැසුම් නැවත නැවත පාවිච්චි කරන අයෙක්!

  4. ටියුෂන් කියන්නේ මාෆියාවක් දැන්! අපේ පැත්තේ ඉඳලා කොළඹ යන්න පැය 2ක් යනවා ඉස්සර..මගේ යාලුවෝ හිටියා උදේ 5ට ගෙදරින් ගිහින් හවස 4.30ට ගෙදර එන.ජීවිත කාලෙන් භාගයක්ම වෑන් එකේ!අපේ සෙල්ලමෙත් භාගයක් ඉවර උනාම තමා උන් ගෙදර එන්නේ!

    • ලංකාවේ ටියුෂන් මාෆියාවක් වෙලා තියෙන්නේ ඒවාට තියන අසීමිත ඉල්ලුම නිසා. මා සමහර බ්ලොග් වලත් කියවල තියනවා, සමහරක් “ගුරුවරුන්ගේ” අකට යුතු කම් ගැන කියල අඬල කියන කතා. වැඩේ තියෙන්නේ අඬ අඬ, එම ගුරුවරයා ගාවටම යනවා. තමන් ගැන තියන විශ්වාසයට වඩා, වෙන කෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීම නිසා එහෙම වෙනවා. ලංකාවේ අධ්‍යාපන ඉඩ ප්‍රස්තා පුළුල් නොවීම ලොකු ඛෙදවාචකයක්. අපොස උපේ ලියන සියයට කී දෙනෙකුට විශ්ව විද්‍යාල වරම් ලැබෙනවාද. ජනගහන වර්ධනයට සාපේක්ෂව හා අපොස උපේ කරා ඉගෙන ගන්නා සන්ක්යාවෙහි වර්ධනය සාපේක්ෂව මෙම ප්‍රමාණයෙහි වර්ධනයක් සිදු නොවීම බොහෝ සිසුන්ගේ අපේක්ෂා භංඝත්වයටත් එමගින් සමාජයෙහි අපේක්ෂා භංගත්වයතටත් හේතු වෙලා කියල මට හිතෙනවා. එමෙන්ම මේ අතිශය තියුණු තරඟය මේ “ජනප්‍රිය” ටියුෂන් ගුරුවරුන්ට අසීමිත බලයක් අරන් දීලා.

      අනික් අතට අර වරම් ලබා ගන්නා සුළු පිරිසටත් එම වරමෙහි සැබෑ වටිනාකමක් දැනෙනවා කියල මට හිතෙන්නේ නැහැ. සාධාරණ සමාජයක් ගොඩ නැගීම, සැම දෙනාට සමාන අවස්ථා ලබා දීම වැනි දේ උතුම් සංකල්ප තමයි. නමුත් සරසවි වල පුර්ණ කාලින දේශපාලනය කරලා බිහි වෙලා තියන මිනිසුන් දිහා බලන්න. එස් බි දිසානායක , නන්දන ගුණතිලක වැනි දේශපාලකයන් හා වෙනත් තැන වල ඉන්නා මාධ්‍ය වේදියන්, පරිපාලන නිලධාරින් මේ සියල්ලන්ටම පොදු දෙයක් තමා, ඔවුන් අර කලින් වැඩ කරපු උතුම් සංකල්ප හා ඒ සංකල්ප හා බැඳුනු (ඔවුන් කලින් වැඩ කරපු) පක්ෂ කෙරෙහි බද්ධ වයිරයෙන් කටයුතු කිරීම. දැන් ඔවුන් තමන්ට නැතිවුන කාලය ගැන කනගාටු වෙනවා වගෙයි. අනික් එක තමා, සරසවි කාලේ හරියට ඉගෙන නොගත් නිසා කල්පනා ශක්තියත් අඩු වගේ. සරසවි කාලේ මේ සමාජවාදී අදහස් වලින් එතරම් බැඳී කටයුතු නොකරපු සමහර දෙනා ඔවුන්ගේ වෘත්තීය දිවිය තුල වඩාත් මානව හිතවාදීව කටයුතු කරන බව සමහර වෙලාවට පේන්න තියනවා. මේ නිසා තමයි, එස් බි දිසානායක කියන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ඇමති මිසක් ලංකාවේ හරි උසස් අධ්‍යාපන ඇමති නොවේ කියල සමහරු කියන්නේ.

      මා පෞද්ගලික උසස් හෝ පහත් අධ්‍යාපන ආයතන බිහි කරනවාට විරුද්ධ නැත්තේ එමගින් හෝ අධ්‍යාපන අවස්ථා පුළුල් වන නිසාත්, මුදල් ගෙවා ඉගෙන ගන්න පුළුවන් සමාජයේ ඉස්තරයට, නිදහස් අධ්‍යාපනය දීම අවශ්‍ය දෙයකුත් නොවන නිසා. ඉතියෝපියාවෙත් තත්ත්වය එයයි. ලංකාවේ තියන පෞද්ගලික “පහත්” අධ්‍යාපන ආයතන ගැන කාගේවත් විරෝධයක් නැති වීම පුදුමයි. ඒ අතරම ඒවායින් බදු මුදල් ගන්න එක ගැනත් විරෝධයක් නැහැ. මේ අන්තර්ජාතික පාසල් වලින් බිහිවන ළමයිගේ අයිතිවාසිකම් අපොස උපෙන් පසු කප්පාදු කරලා. ඔවුන්ට යන්න තැනක් නැහැ. ඒ අධ්‍යාපනයේ තියන අරමුණ මොකක්ද? එහෙනම් ඇයි ඒ ආයතන වලට පවතින්න ඉඩ දීලා, ඔවුන්ගෙන් බදු අය කර ගන්නේ. මා හිතන්නේ ඒ පාසලක ඉගෙන ගන්න ළමයෙකුට ලංකාවේ උසාවියේ මුලික අයිතිවාසිකම් අහිමි කිරීම ගැන නඩුවක් ගොනු කරන්න පුළුවන් වෙන්න ඕනේ. පාසල් නොගිහින් ටියුෂන් පන්ති යාම ගැනත් විරෝධයක් නැහැ.

      තත්වය එහෙම තියෙත්දී එස් බි හා පවතින රජය කරන දේ වලින් පෙන්නේ, ඔවුන් හිතන්නේ රාජ්‍ය විශ්ව විද්යාල බංකොලොත් කිරීම තුලින් පමණයි පෞද්ගලික විශ්ව විද්‍යාල බිහි කරන්න පුළුවන් කියා. උන්මාදනීය විශ්ව විද්‍යාල සිසු දේශපාලනය මෙම ප්‍රශ්න අවුල් කරනවා පමණයි.

      හැබැයි සාබිත, මගේ සටහන ලියන්න හේතු උනේ හාත්පසින්ම වෙනත් හේතුවක් නිසා. ඉතිහාසය නැවත දිග හැරෙනවා මා මේ රටෙහි දුටුවා. විශ්ව විද්‍යාලයට තේරීම ජීවිතයත් මරණයත් අතර දෙයක් නොවන මේ රටේදී පවා බොහෝ දෙනාට ලංකාවේ තත්ත්වය අමතක කරන්න අමාරුයි වගේ. ඒ කතාවට නම් ඔබ ඔය කියන අලුත්ගම ඉඳන් කොළොඹ පාසල් එන කතාව හරියටම සම්බන්දයි.

  5. හොඳ ලිපියක්. ඇයි මේ දෙපාරක් දාලා?
    henryblogwalker the Dude

    • ඔබට බොහොම තුති හෙන්රි! දෙපාරක් වැටෙන්නේ ඇයි කියා මා දන්නේ නැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s