Thank you, හැබැයි don’t say good bye just yet!


“ෆෙයාෆැක්ස් මිඩියා” කියන්නේ ඕස්ට්‍රේලියාවේ විශාලම මාධ්‍ය සමාගම් වලින් එකක්. මේක පටන් අරන් තියෙන්නේ මිට වසර 181 එකකට පෙර. මුද්‍රණය කරන පත්තර වල කල දසාව හොඳ නැත්තේ දැන් වසර කීපයක් ඉඳන්නෙ. මේ සතියේ “ෆෙයාෆැක්ස් මිඩියා” එයාලගේ ඉදිරි වැඩ පිළිවෙල එලි දැක්වුවා. ඒ අනුව ඉදිරි වසර තුල එයාලගේ සේවකයන් 1900 ක් අයින් කරන්නත්, ප්‍රකාශනය කරන වැඩිම අලෙවිය තියන “හෙරල්ඩ්” කියන ලොකු ප්‍රමාණයේ පුවත්පත හා එහි සහෝදර තවත් පත්තර කිහිපයක් ලබන වසරේ ඉඳන් “ටැබ්ලොයිඩ්” ප්‍රමාණයේ ඒවා කරන්නත් සැලසුම් කරලා තියනවා. අර කප්පාදු කරන සේවක පිරිසෙන් 150 ක් දෙනා පත්තර සංස්කරණය කරන පිරිස්. මුද්‍රණාල දෙකක්ද වසා දැමෙනවා. බ්‍රිතාන්‍යයේ පඹ ගාලක පැටලිලා ඉන්න මර්ඩොක් අයියගේ “නිව්ස් ලිමිටඩ්” (ඕස්ට්‍රේලියානු අංශය) ද මේ හා සමාන සේවක ඉවත් කිරීම් හා ඔවුනගේ මුද්‍රිත පත්තර වලට දෙන තැන අඩු කරන්න සැලසුම් කරලා.

අප දැනගෙන හිටිය හා අපට වඩාත් සමීප මුද්‍රිත පත්තර වල අවසාන යුගයේ තමා දැන් ඉන්නේ. මේවා පවත්වාගෙන යන්න ප්‍රමාණවත් තරම් ඉල්ලුමක් අද ඩිජිටල් යුගයේ නැහැ. පාඨක සන්ක්යාවෙහි අඩු වීමත් සමග, මේවා ලාභදායක පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ දැන්වීම් ලබා ගන්න නොහැකි වෙලා. බොහෝ දෙනා දැන්වීම් හා ක්ෂණික පුවත් සඳහා අන්තර්ජාලය වෙත යොමු වීම දකින්නට පුළුවන්.

මට නම් මුද්‍රිත පුවත් පතක් තරම් අන්තර්ජාල පත්තර හරියන්නේ නැහැ. අන්තර්ජාලයේ තියන පත්තර වලින් ක්ෂණිකව පුවත් පාඨකයාට ගෙනෙන්න පුළුවන් තමා, ඒ වගේම ලෝකේ ඕනේ තැනක ඉඳන් අනික් රටවල පත්තර බලන්න පුළුවන්. නමුත්, මුද්‍රිත පුවත් පතක් බලන ආකාරයට මේවා බලන්න පුලුවන්ද? මා අද ගොඩක් වෙලාවට පත්තර කියවන්නේ කෑම වෙලාවේදී හෝ තේ වෙලාවේදී. නැත්නම් ගෙදර රූපවාහිනී වැඩ සටහනක දැන්වීම් යන අතර තුරේ. මේ වාසිය අන්තර්ජාල පුවත් පත් වල නැහැ. අනික තමා මට නම්, වෙන ලිපියක් උනත් අන්තර්ජාලයෙන් විතරක් බලල හරියන්නේ නැහැ. මුද්‍රණය කර ගන්නම ඕනේ. සමහර විට දීර්ඝ කාලීන පුරුදු වීම නිසා වෙන්න ඇති.

පුවත් පතක තියෙන්නේ පුවත් පමණක් නොවේ. කර්තෘ වාක්‍යය හා ඇතුළු පිටු වල තියන අනිකුත් ලිපි හා තීරු ලිපි කියවන්න බලාපොරොත්තු වන පිරිසක් ඉන්නවා. තවත් දේවල් පුවත් පතකින් පාඨකයා බලාපොරොත්තු වෙනවා. කාටුන්, චිත්‍ර කතා, ඕප දූප, වෙනත් විශේෂාංග (පුවත් නොවන). විජේවීරගේ “පච පත්තර වර්ජනය කරමු!” කියන සටන් පාඨය ජනතාවට ගෙන්න කලින්, කරන්න තිබුනේ නියමුවා හා සීනුව හුදු සටන් පාඨ වලින් පිරි පත්තර දෙකක් නොවී ඉහත ගුණාංගත් ඒවාට එකතු කරන එකයි.

ඉහත ගුණාංග සහිතව පත්තර පවත්වා ගෙන යන්න ගුණාත්මක සංස්කාරක මණ්ඩලයක් අවශ්‍යයි. මේ වියදම් කපන ක්‍රියාවලියට, සංස්කාරක පිරිස් අඩු කර ගැනීමත්  ඇතුලත්. ඉදිරි කාලයේ අපට, අද තියන ගුණාත්මක බැවින් යුතු පත්තර දකින්න ලැබෙන එකක් නැහැ.

පත්තර කියන්නේ මිනිස් ශිෂ්ඨාචාරයේ වැදගත් කාර්ය භාරයක් ඉටු කරපු සන්නිවේදන ක්‍රමයක්. මා බොහෝ විට දැක තියනවා, බටහිර ජන මාධ්‍ය හා ජන මාධ්‍ය වෙදියන්ව එකම “අධිරාජ්‍ය” වාදී ගොඩට දාල ලියන බ්ලොග් සටහන්. මේ කට්ටිය මේ සටහන් ලියන්න කරුණු හොයා ගන්නත් මේ “බටහිර” ජනමාධ්‍යවේදියන් ලියපු දේවල් වලින් කියල ඔවුන්ට අමතකයි. ජන මාධ්‍ය අයිති කාරයන්ට (රජයේ හෝ වේවා පව්ද්ගලික හෝ වේවා) අරමුණක් තියන එක ගැන අහන්නත් දෙයක්ද? හැබැයි මේ පත්තර හෝ වෙනත් ජන මාධ්‍ය අයිති කාටද කියන එක අප වගේ සාමාන්‍ය පාඨකයෙකුට/ නරඹන්නෙකුට/අසන්නෙකුට වැදගත්ද? නැත්නම් අප ඒ ගැන සැලකිලිමත් වෙනවාද?

ලංකාවේ පත්තරවල ස්වර්ණමය යුගය කියන්නේ විජේවර්ධනගේ ලේක් හවුස් යුගය කියා නේ කියවෙන්නේ. අර බටහිර පත්තර වලට බනින කට්ටිය අමතක කරන දෙයක් තමා විජේවර්ධන යටතේ මාර්ටින් වික්‍රමසිංහත්, පසු කාලීනව අනික් (උපාලි) විජේවර්ධන යටතේ දයාසේන ගුනසිංහත් වැඩ කළා කියන එක. මා ගත්තේ පත්තර කාරයන් දෙදෙනෙකු පමණයි. මේ දෙදෙනාගේම ප්‍රතිපත්ති හෝ මානව හිතවාදී බව ගැන අපට ප්‍රශ්න නැහැනේ. මේ වැනි කොපමණ දෙනෙක් අර “ධනපති” දේශපාලන යටි අරමුණු තිබුන පත්තර කන්තෝරු වල වැඩ කලාද? බටහිර තත්වයත් මිට වෙනස් වෙන්නේ නැහැ. මේ පත්තර විතරක් නොවේ, අනික් මාධ්‍ය වලත් “යටි අරමුණු” වලට වඩා උඩ හැමෝටම පේන අරමුණ තමා ලාභ උපයන ලෙස පවත්වාගෙන යාම. ඒ හින්දා ප්‍රතිභාවක් තියන, මිනිසුන්ගේ සුවඳ අඳුනන පත්තර කාරයන් වැඩට නොගෙන ඉන්න බැරි වෙනවා. විජේවර්ධනලා (අද ඉන්න රංජිත් නොවේ) යටතේ වගේම බටහිරත් පත්තර කන්තෝරු වල දක්ෂ හා මානව හිතවාදී  මිනිසුන් ඕනේ තරම් වැඩ කරනවා. ඔවුන් මුදල් වලටම ආත්මය පාවාදෙන්නන් නොවේ. මේ පත්තර කියවන කෙනෙක් නම් ඒක තේරුම් ගන්නවා.

ඕස්ට්‍රේලියාවේ ලිබරල් වාදීන් සමහර වෙලාවට චෝදනා කරන දෙයක් තමා ජනමාධ්‍ය (විශේෂයෙන් පත්තර) වල හා විශ්ව විද්‍යාල වල පමණට වඩා ප්‍රතිශතයක්  වමට බර පිරිස් වැඩ කරනවා කියල.

කොහොම උනත් අර කලින් කියපු “ෆෙයාෆැක්ස්” ආයතනයේත් සංස්කාරක මඩුල්ලට ඇඟිලි ගැහීමට වර්තමාන කලමනාකරිත්වට නොහැකි වන ලෙසයි ඔවුනගේ ප්‍රතිපත්ති සැකසී තියෙන්නේ. දැන් මේකේ තනි කෙනෙකුට තියන වැඩිම කොටස් තියෙන්නේ මට මතක හැටියට 18% ක්; ඒකත් ලඟදි ගත්තේ) ලෝකේ ධනවත්ම කාන්තාව වන ජිනා රයින්හාර්ට. ඇය මේ කොටස් ප්‍රමාණය 22% ක් දක්වා ඉහල දමාගෙන සංස්කාරක මණ්ඩලයට බලපෑම් කරන්න අවශ්‍ය බලතල ලබා ගන්න උත්සහ කරනවා කියල අහන්නට තියනවා. එහි අරමුණ වන්නේ දැනට තියන කම්කරු පක්ෂ ආණ්ඩුව පලවාහැරීමට ජනමතය සකස් කිරීම (ඇයගේ වියාපාර වන්නේ ගල් අඟුරු පතල්. කම්කරු පක්ෂ ආණ්ඩුව මේවයින් ගන්න බදු වැඩි කළා. එමෙන්ම කාබන් බද්ද කියල තව බද්දක් ගෙනාව).

ඇගේ වැඩපිළිවෙල හරි ගියත් රටේම මතය වෙනස් කරන්න හෝ ආණ්ඩු මාරු කරන්න මේ පත්තර වලට පුලුවන්ද? මට නම් හිතෙන්නේ ජනතාවගේ මතයට යම් බලපෑමක් කරන්න ජනමාධ්‍ය වලට පුළුවන් උනත්, අංශක 180 කින් හරවන්න බැහැ කියලා. බොහෝවිට මේ අය කරන්නේ වල යන අතට මැස්ස ගහන එක. අයිවන් අයියගේ රාවය කළා වගේ. අයිවන් අයියා චන්ද්‍රිකාව ගෙනාව නම් දෙවෙනි පාර උත්සහ කළ පරිදි රනිල්ව ගේන්න ඔහුට නොහැකි උනේ ඇයි? මට මතකයි එවර මැතිවරණයට කලින් දවසේ රාවයේ මුල් පිටුවේ “කරට කර සටනක්, හැබැයි රනිල් ටිකක් ඉදිරියෙන්” කියල තිබුන හැටි. මේ ජනමත විමසුමක ප්‍රතිඵල නොවේ. නිකම් අතේ හදපු “ජනමතයක්”.

ගොඩක් දෙනා පත්තරයක් හෝ වෙනත් දෙයක් බලන කොට එක මතයක “already” ඉන්නවා. මා ලංකා ඊ නිව්ස් හෝ ලංකාදීප බැලුවා කියල මගේ දේශපාලන හෝ සමාජමය ආකල්ප වෙනස් කරනවද? අප ගොඩක් වෙලාවට බලන්නෙත් තෝරලා. විමල් විරවංශගේ වෙබ් අඩවිය බලන කෙනෙක් ලංකා ඊ නිව්ස් බලන්නේ නැති වෙන්න තියන ඉඩ කඩ වැඩියි. ජනමාධ්‍ය වලින් මොලේ සෝදන්න පුළුවන් නම්, ඒ මොලේ ලාමක වැඩියි. කරන්න තියෙන්නේ ලාමක ගතිය නැති කර ගන්න එකයි. ඒකට නම් තෝරලා කියවල හරියන්නේ නැහැ.

14 Comments

Filed under Media

14 responses to “Thank you, හැබැයි don’t say good bye just yet!

  1. හොඳට බොන්න පුලුවන් නම් නැමෙන එක ප්‍රශ්නයක් කරගන්න එපා , බොන්න දුන්නාම ඕනි චණ්ඩියෙක් නමා ගන්න පුලුවන් බව අදාල ඇත්තන් හොඳින් දන්නවා . රනිල්ව ගෙන්න බැරි වීම ගැන කියල තියෙන්නේ 1999ද? 2005ද? මේ දෙකේම සාමාන්‍ය තත්වය කණපිට ගැහුවා නෙව . පරිදින්න හිටපු චන්ද්‍රිකා නෝනගේ ඇහ ගලවල ප්‍රභාකරන් උන්දැව දිනෙව්වා . 2005 උතුරේ ඡන්ද ටික නවත්තලා මහින්දව දිනෙව්වා . අහිංසක අයිවන් මක්කොරන්නද ?(2005 බහුතරයක් මාධ්‍ය වැඩ කලේ රනිල්ට )

    ඕනි කරන මතය හදාගන්න බැරි වුනා කියල ප්‍රශ්නයක් නැතුව දැන් ඔය යස අපුරුවට කඩේ යන්නේ කට්ටියම එක පෝලිමට (අයිවන් ගොය්යත් ඇතුලුව )

  2. කාලෙකින් බුවා, මන් අද උදේ ඔබගේ ක්‍රිකට් ලිපිය බැලුවා (සනත්ව මුලින් දාල තිබුන හින්ද ප්‍රතිචාරයක් ලියුවේ නැහැ-විහිළුවට).

    මා කියුවේ 1999. ඔබ හරි බුවා, අයිවන් අයිය පළි නැහැ තමා. මාත් කියන්නේ ඒකමයි. මෙයාල කරන්නේ වැල යන අතට මැස්ස ගහල කියනවා, මැස්ස ගැහුව හින්ද තමා ඔය වැල ඔය පැත්තට ගියේ කියල.

  3. Kenji. Japan.

    ඇත්තටම යුරෝපාකරයේ එක එක ප්‍රදාන පෙලේ නිෂ්පාදන ආයතන සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා ඒවායේ වැඩ කල ජනතාව එලියට දමන විට එම මිනිසුන්ට යන කල දසාව ගැන මට හිතා ගන්නත් බැහැ. රයිගම; ඔබ ලංකාවේ ගොවියකු නොවීම ගැන මම සතුටු වෙමි, මොකද ලංකාවේ ගොවියන්ට වෙන්නේ වස බී නසින්ට. ලංකාවේ මාධ්‍යකරුවකු නොවී අද අප සමග මෙසේ අදහස් බෙදාගෙන නිදහසේ සිටීමට ලැබීම ගැන ඉමහත් සතුටට පත්වන්න, මොකද ඔබ වැනි කෙනකු මාධ්‍යකරුවකු උනානම් ඇත්ත ඇති සැටියෙන් ජනතාවට දැනගැනීමට සලස්වනවා නොඅනුමානය, එසේ වූවානම් වෙන්නේ ඔබට සුදු වැන් රථයක ගමන් කොට ජිවිතයට “සුවද” දෙන්න නෙමේ “සමු” දෙන්නය.ඒ ගැන සතුටු වන්න. ලංකාවේ 99% ක්ම පත්තරකාරයන්ට බොන එකනම් [දෙවියන්ගේම පිහිටය ] අනිවාය.ඔබට ඒ අය වගේ බොන්න හැකියි කීවාට දකින දකින එකාලට කොන්ද නැමීම සහ ඇදුම් නැතිව කඩේ යාමේ සහජ හැකියාව ඔබට නැතැයි මම සිතමි. මම මෙසේ ලියුවේ ඔබගේ ලිපි කියවා, ඔබව තේරුම් ගත් නිසාවටය.[මටත් ඔබට වඩා චුත්තක් අඩුවෙන් බොන්න හැකිය]

  4. මමත් පත්තරේක තියනෙ තීන්ත සුවඳට, සර සර සද්දයට ප්‍රියයි. ලැප්ටොප් එක ගෙනියන්න පුලුවන් තැන් සීමා සහිතයිනෙ. උදාහරණයක් විදියට ටොයිලට් එකට කෑම මේසයට, නින්ද යනකල් කියවන්න ඇඳට ගෙනියන්න වඩාත් ගැලපෙන්නෙ කඩදාසි පත්තරේ, නැද්ද?

  5. අන්න හරි, හෙන්රි ඔබ පත්තර කියවන කෙනෙක් කියල ඒකෙන්ම පේනවා. මා දැකපු වැඩිපුරම පත්තර කියවපු ජාතිය තමා රුසියානුවන්. ඔවුන් උදේට “ප්රාව්දා” පත්තරය ගන්න අමතක කරන්නේ නැහැ. මේක කොපෙක් පහද කොහෙද. ඔබ කියනවා වගේ ටොයිලට් එකට යන වෙලාව පවා අපතේ දමන්නේ නැහැ. මුල් පිටේ කාල් මාර්ක්ස්, ලෙනින් ඉන්න පින්තුර තියන “ප්රාව්දා” ඒකටත් අරන් යනවා (කාලේ රන් හා සමානයිනෙ!). ඔන්න ටික වෙලාවකට පස්සේ “බ්රාස්ස්” කියල පත්තරේ ඉරෙන සද්දේ ඇහෙනවා. සොවියෙට් සංගමය අභ්‍යවකාශේ තරණය කරන්න කෝටි ගණන් වියදම් කළා, ඒත් ප්‍රමාණවත් තරම් “ටොයිලට් පේපර්” නිපදෙව්වේ නැහැ!

  6. ඔබ කියල තියන දේ හරි වැදගත්; අර රැකියා අහිමි වෙන එක ගැන. මේකට ටිකක් දිග පිළිතුරක් පසුව ලියන්නම්.

  7. අපොයි! මේ කතාව ඇත්තක්ද? නැත්තම් මඩක්ද? 🙂
    මොනවා උනත් මුද්‍රිත පත්තරේ තරම් ජාල පත්තරේ හොඳ නෑ. ඒක බැළුවට කිසිම ගතියකුත් නෑ.
    මගේ නම් ප්‍රියතම පත්තරය ලක්බිම. දර්ශන කරුණාතිලකගේ කාටූන් එකෙන් හා මානිගේ තීරුවෙන් පටන්ගත්තම මුළු පත්තරේම එක හුස්මට කියවන්න පුළුවන් ගතියක් එහි තියෙනවා.
    අනිත් පුවත්පත් වල ස්වභාවය කාලෙන් කාලෙට වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස රිවිර ඉස්සර තරම්ම රසවත් නෑ කියලයි මට හිතෙන්නෙ.

  8. මා ගාව මඩ නැහැ ලකී! ඔබත් පත්තර බලන කෙනෙක් කියල දැන ගන්නත් සතුටුයි. ඒ වගේම ඔබ ලියා තියන ප්‍රතිචාරයටත් මා කැමතියි. හැබැයි ලකී, ලංකාවේ පත්තර ගැන කව්රුත් දන්නා කතාව නිර්මාල්ගේ තීරු ලිපියට කරපු දෙයින් පැහැදිලි වෙනවානේ.
    http://centrelk.blogspot.co.uk/2012/06/blog-post_23.html

    මා පහතින් දාන්නේ අද ඉරිදා දිවයිනේ ලිපියක අන්තිම චේදය.

    “තවත් කාරණාවක්‌ තිබේ. ජූලම්පිටියේ අමරේ එක්‌තරා පුද්ගලයෙක්‌ පමණි. ඔවුන් තොරොම්බල් කළයුතු මහා සාධක නොවේ. අමරේලා නිර්මාණය වන්නේ නීතියත් එහි උත්තරීතර ආධිපත්‍යයත් බලහත්කාරයෙන් දූෂණය කිරීමෙන් අනතුරව හටගන්නා අවජාතක දේශපාලන කළල ලෙසය. ඔහු හරහා එළි දකින්නේ සියලු සමාජ හරයන් ගණිකා වෘත්තියේ යොදවා නන්නත්තාර කළ කාලකන්ණි සමාජයක වේදනාත්මක ප්‍රකාශනයක්‌ පමණය.”

    සියලු සමාජ හරයන් ගණිකා වෘත්තියේ යොදවා නන්නත්තාර කළ කාලකන්ණි සමාජයයක් බිහි උනා නම්, ඒකට මේ පත්තර වලත් දායකත්වය නොසලකා ඉන්න බැහැ. පත්තරේ විකුණා ගන්න මේ වගේ එක ලිපියක් ඉඳල හිටලා දැමුවාට වැඩක් නම් නැහැ.

  9. මම ප්‍රව්දා පත්තරේ ගැන අහලා තිබ්බට ඔය ප්‍රයෝජනේ දැනගෙන හිටියෙ නෑ. 😀
    දැන් බලන්න ලැප්ටොප් එකේන් ඔය වැඩේ කලෑකිද? 🙂

  10. vimukthi

    ඔන්න ටික වෙලාවකට පස්සේ “බ්රාස්ස්” කියල පත්තරේ ඉරෙන සද්දේ ඇහෙනවා.//හිහ්හී,,ඔයසද්දේ මමත් නිතරම අහලතියේ,කොරියාවේදී,
    උදේඉඳලපත්තර කියෙව්වත් ලැපෙයිපත්තරෙයි වෙනස තේරුනේදැන්නොවැ හරියටම,,,

  11. ඕකනේ විමුක්ති ගොර්බෝචෝව් අයියා මොනවා කලත් “කම්කරු පන්ති විඥ්යානයට” ආමන්ත්‍රණය කරන ප්රාව්දා මුද්‍රණය කරන එක නතර නොකළේ. අර මර්ඩොක් අයියා වගේ “спасибо и до свидания” කියල පත්තරේ ගහන එක නතර කළා නම් සෝවියට් සංගමය කඩා වැටෙන්නේ මීට කලින්!

  12. හැබැයි මේකට ලැප්ටොප් පාවිච්චි කළා නම් හෙන්රි, උදේට ඉස්පිරිතාල ඉස්සරහ ලොකු පෝලිමක් තියෙන්න පුළුවන් (මැහුම් දාගන්න 😀 ).

  13. ඇත්ත තමා පත්තරයක් කියවනවා වගේ නෑ මෙ ජාලේ පත්තර බැලිල්ල. ඒත් එපා වෙන්නේ ගේ පුරා අප්පච්චි පත්තර කෑලි පිටු දාලා තියන කොටයි. 🙂

  14. පත්තරේ ගෙනාපු විදිහටම තියනවා කියන්නේ ඒක කියවන්නේ නැහැ කියන එකනේ ප්‍රවීනා. මාත් බලන්නේ පත්තරේ වනා ගෙන තමයි. 🙂

Leave a reply to praveena

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.