පසුගිය බ්‍රහස්පතින්දා මා නැරඹුවා The Dark Knight Rises චිත්‍රපටය. මේක පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ තිරගත කලේ එදා. කොහොමටත් පුතාට බලන්න ඕනේ වෙලා තිබුනා. මට ප්‍රවේශ පත්‍ර දෙකකුත් නිකම් ලැබුනා. මා නම් පළමු දවසේ මේ වගේ නොවෙයි, මිට වඩා හොඳ චිත්රපටයක් උනත් බලන්න යන්නේ නැහැ. මොකද පෝලිම් වල ඉන්න වෙන නිසා. නමුත් ඉතින් නිකම් දුන්න අශ්වයාගේ දත් ගනින්නේ මොකටද? සිනිමා පටයේ කාලය පැය දෙකහමාරටත් වැඩි උනත්, කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන් උනා. “අති සම්භාව්‍ය” එකක් නම් නොවේ. කොමික් වලින් මොන සම්භාව්‍ය සිනමාද? හැබැයි, මේ වගේ සරල රසවින්දනයක් ගන්න හදන හැම සිනමා පටයක්ම කම්මැලි කමකින් තොරව බලන්න බැහැ. මේකේ තියන විශේෂ ප්‍රයෝග (Special Effects) උනත් පමණට වැඩි නැහැ. ඒ විතරක් නොවේ ශාලාවත් පිරිලා හිටියා.
කෙනෙකුගේ රසාඥ්යතාවය කියන එක තරමක් විග්‍රහ කරන්න අසීරු එකක්. සමහරෙක් කැමති නැති වෙන්න උනත් පුළුවන් මේ වගේ සිනිමා පටයක් නැරඹුවා කියල උනත් කියන්න. මොකද “පිචන්” වෙන නිසා. මා නම් දැන් සෑහෙන කලක ඉඳන් සිනමා හලේ නරඹන්නේ මීටත් වඩා “ළමා” සිනිමා පට. මොකද, පුතාලා හා හවුලේ නරඹන්න ඕනේ නිසා. වඩාත් “දරුණු” ඒවා ඩිවිඩි පට ගෙනත් නැරඹුවත් සිනිමා හලේ රසය එන්නේ නැහැ. ඉඳලා හිටලා වැඩ කරන තැන “අවිවාහකයන්” සමග සමහර චිත්‍රපට බලන්න යන්නේ වෙලාවක් ලැබුනොත්. මේ බැට්මෑන් ඕස්ට්‍රේලියාවේ වර්ග කරලා තිබුනේ වැඩිහිටියන්ට (for Mature Audiences). ලංකාවේ නම් පාසල් ළමුන්ව ඇදගෙන ගානක් කඩාගන්න පුළුවන් මෙහෙම “වැඩිහිටියන්ට පමණයි කියල හෝ වඩාත් සුදුසුයි” කියල දැම්මහම.
මා හැමදාම විශ්වාස කරන දෙයක් තමා ඕනෙම කලාවක් පවතින්නේ, එය සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරනවා නම් විතරයි කියලා. ඒත් හැමදෙනාගේම රසාඥ්යතාවය එක වගේ වෙන්නේ නැහැ. එතකොට “සම්භාව්‍ය” යයි කියන කළා කෘතියක් රසවිඳින්න බැරි කෙනාගේ රසය “පිචන්” කියල ගරහන්න පුලුවන්ද? මේ දෙක අතරේ සීමාව මොකක්ද? මගේ නම් රසාඥ්යතාවයේ මහා වෙනසක් පහුගිය අවුරුදු දහය පහළොව තුල සිදු උනා කියල කියන්න බැහැ. හැබැයි මා රස විඳින දෙයක්, රස විඳිනවා යයි පිලි ගන්න මැලි වෙන්නේ නැහැ.සම්භාව්‍ය හා පිචන් රසය අතර වෙනස එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙන දෙයක් කියායි මා හිතන්නේ. ඒ නිසා හැමෝටම පොදු මානයක් යොදන එක ප්‍රායෝගික නැහැ.
ලංකාවට ගිය වෙලාවේ, ලංකාවේ දැන් තියන පත්තර බලන්න වත්, රූපවාහිනී බලන්න වත්, ගුවන් විදුලියට සවන් දෙන්නවත් ආසාවක් ඇති වුනේ නැහැ. ඒවායින් දැන් මට රස වින්දනයක් ගන්න අමාරුයි වගේ. මෙල්බර්න් ඉන්න කොට ඉඳ හිට පෙන්වන ලංකාවේ සිංහල චිත්‍රපටයක් බලන්න ගියාමත් දැනුනේ ඒ ගතියමයි. මෑතක නිපදවපු චිත්‍රපට අතරින් මා ආසාවෙන් නැරඹුවේ, ප්‍රසන්න විතානගේ ගේ සිනිමා පට විතරයි. එතකොට ඇයි එහෙම වෙන්නේ? මෙහෙ ගොඩක් දෙනා ලංකාවේ රූපවාහිනී වල පෙන්වන “ටෙලි ඩ්රාමා” කියන ජාතිය ඩිවිඩි වලට පටිගත කරපුවා ආසාවෙන් බලනවා. මට නම් ඒවා බලනවා කියන එකත් අප්පිරියයි.
එහෙම උනත්, ඇමෙරිකාවේ නිපදවන බොහෝ රූපවාහිනී වැඩසටහන් මා සමහර වෙලාවට ආසාවෙනුත්, තවත් සමහර වෙලාවට කම්මැලි කමකින් තොරවත් නරඹනවා. සිනමා පට ගත්තොත් ඇමෙරිකානු ඒවා තමා වැඩිපුර නරඹන්නේ. මේවායින් බොහොමයක් පිචන් කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවනි. සයිමන් අයියා ගේ සංකල්පනා වලට හදපු රියලිටි වැඩසටහන්ද මා නරඹනවා. නමුත් ඒවායේ කොපි ලෙස හදන ලංකාවේ වැඩසටහන් නරඹන්න හිතෙන්නේ නැහැ. එතකොට මගේ පිචන් කමේ වර්ගය මොකක්ද? ඒකයි මා කලින් කියුවේ පිචන් හා සම්භාව්‍ය කමේ සීමාව එක එක පුද්ගලයාට ආවේනික දෙයක් මිස පොදු මිනුම් දණ්ඩකින් මනින එක සාර්ථක නැහැයි කියලා.
මා කලින් කියුව සිනිමාපටය බලන්න ආපු ඇමෙරිකානු ප්‍රේක්ෂකයන් ගොඩකට ඉතාම කනගාටු දායක දෙයක් උනා කියල දැනගන්න ලැබුනේ ඊයේ. මේවගේ සිද්දීන්ට මුලත් මේ වගේ චිත්‍රපට කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. මේ සිද්දියේදී වෙඩි තියපු ආචාර්ය උපාධි අපේක්ෂකයත් ඇඳගෙන ඉඳලා තියෙන්නේ චිරපටයේ ඉන්න ද්‍රෝහියාට සමානව කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ලංකාවෙත් මේ දිනවල කෙරෙන තර්කයක්නේ ජංගම දුරකථන භාවිතාව නිසාත්, අන්තර්ජාලය භාවිතාව නිසාත් අපරාධ, කාන්තා දූෂණ, ළමා අපචාර ඉහල ගිහින් තිබීමට හේතුවක් කියලා. අප පොඩි කාලේ කියවපු චිත්‍රකතා නිසාත් මෙහෙම වෙනවා කියල තර්ක තිබුනා. මේවා සංකීර්ණ සමාජ කරුණක් ඉතා සරල කරන්න ගන්න උත්සහ මිසක් වෙන දෙයක් නොවේ (හාමුදුරුවනේ, ළමයෙකුගේ සිත දුෂිත වෙන්න වැඩිපුර බලපාන්නේ පාර අයිනේ තමන්ගේ සහෝදරයාව මරලා පුච්චන එක දකින එකද, නැත්නම් ජංගම දුරකතනයෙන් දරුණු දර්ශන සහිත පොඩි සිනමා කෑල්ලක් බලන එකද?).
මේ බැට්මෑන් සිනමාපටයේ එන “Bane” “ත්‍රස්තවාදියාගේ” චරිතය පවා නොයෙක් විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඔහු එක අතකින් පිඩිත පන්තිය වෙනුවෙන් සටන් කරපු වීරයෙක් කියල කෙනෙකුට තර්ක කරන්න නිදහස තියනවා. මේ කට්ටිය ගොතම් නගරය අල්ලාගෙන “ධනපතීන්ට” නඩු තීන්දු දුන්න විදිහටම අපේ රටෙත් දැනටත්, කලිනුත් “මේ වගේ ජනතා අධිකරණ” මගින් නඩු තීන්දු දුන්නා. මේවායේ අරමුණු පාතාලය මඩින එකේ සිට ද්‍රවිඩ ජනතාවගේ විමුක්තියත්, පිඩිත පන්ති ආඥ්යාදායකත්වය ඇති කිරීම දක්වා පරාසයක විහිදුනා. ඒ තීන්දු දුන්නේ අර නඩු අහපු අය “අපරාධ” කියන්නේ මොනවාද කියල ඒ අය අදහන මතවාද අනුවයි. Bane ගේ අධිකරණයෙන් නම් අඩු ගානේ දඬුවම “මරණ” දඬුවමද නැත්නම් නගරයෙන් “පිටුවල් වීමද” කියන එක වත් තෝරා ගැනීමට චුදිතයින්ට අවකාශය ලැබුනා (දෙකේම ප්‍රතිඵලය එකම උනත්).