When does that dark knight rise?


පසුගිය බ්‍රහස්පතින්දා  මා නැරඹුවා  The Dark Knight Rises චිත්‍රපටය. මේක පළමුවෙන්ම ඕස්ට්‍රේලියාවේ තිරගත කලේ එදා. කොහොමටත් පුතාට බලන්න ඕනේ වෙලා තිබුනා. මට ප්‍රවේශ පත්‍ර  දෙකකුත් නිකම් ලැබුනා. මා නම් පළමු දවසේ මේ වගේ නොවෙයි, මිට වඩා හොඳ චිත්රපටයක් උනත් බලන්න යන්නේ නැහැ. මොකද පෝලිම් වල ඉන්න වෙන නිසා. නමුත් ඉතින් නිකම් දුන්න අශ්වයාගේ දත් ගනින්නේ මොකටද? සිනිමා පටයේ කාලය පැය දෙකහමාරටත් වැඩි උනත්, කම්මැලි  කමකින් තොරව බලන්න පුළුවන් උනා.  “අති සම්භාව්‍ය” එකක් නම් නොවේ. කොමික් වලින් මොන සම්භාව්‍ය සිනමාද? හැබැයි, මේ වගේ සරල රසවින්දනයක් ගන්න හදන හැම සිනමා  පටයක්ම කම්මැලි කමකින් තොරව බලන්න බැහැ. මේකේ තියන විශේෂ ප්‍රයෝග (Special Effects) උනත් පමණට වැඩි නැහැ. ඒ විතරක් නොවේ ශාලාවත් පිරිලා හිටියා.

කෙනෙකුගේ රසාඥ්යතාවය කියන එක තරමක් විග්‍රහ කරන්න අසීරු එකක්. සමහරෙක් කැමති නැති වෙන්න උනත් පුළුවන් මේ වගේ සිනිමා පටයක් නැරඹුවා කියල උනත් කියන්න. මොකද “පිචන්” වෙන නිසා. මා නම් දැන් සෑහෙන කලක ඉඳන් සිනමා හලේ නරඹන්නේ මීටත් වඩා “ළමා” සිනිමා පට. මොකද, පුතාලා හා හවුලේ නරඹන්න ඕනේ නිසා. වඩාත් “දරුණු” ඒවා ඩිවිඩි පට ගෙනත් නැරඹුවත් සිනිමා හලේ රසය එන්නේ නැහැ. ඉඳලා හිටලා වැඩ කරන තැන “අවිවාහකයන්” සමග සමහර චිත්‍රපට බලන්න යන්නේ වෙලාවක් ලැබුනොත්. මේ බැට්මෑන්    ඕස්ට්‍රේලියාවේ වර්ග කරලා තිබුනේ වැඩිහිටියන්ට (for Mature Audiences). ලංකාවේ නම් පාසල් ළමුන්ව ඇදගෙන ගානක් කඩාගන්න පුළුවන් මෙහෙම “වැඩිහිටියන්ට පමණයි කියල හෝ වඩාත් සුදුසුයි” කියල  දැම්මහම.

මා හැමදාම විශ්වාස කරන දෙයක් තමා ඕනෙම කලාවක් පවතින්නේ, එය සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරනවා නම් විතරයි කියලා. ඒත් හැමදෙනාගේම රසාඥ්යතාවය එක වගේ වෙන්නේ නැහැ. එතකොට “සම්භාව්‍ය” යයි කියන කළා කෘතියක් රසවිඳින්න බැරි කෙනාගේ රසය “පිචන්” කියල ගරහන්න පුලුවන්ද? මේ දෙක අතරේ සීමාව මොකක්ද? මගේ නම් රසාඥ්යතාවයේ මහා වෙනසක් පහුගිය අවුරුදු දහය පහළොව තුල සිදු උනා කියල කියන්න බැහැ. හැබැයි මා රස විඳින දෙයක්, රස විඳිනවා යයි පිලි ගන්න මැලි වෙන්නේ නැහැ.සම්භාව්‍ය හා පිචන් රසය අතර වෙනස එක එක පුද්ගලයාට අනුව වෙනස් වෙන දෙයක් කියායි මා හිතන්නේ. ඒ නිසා හැමෝටම පොදු මානයක් යොදන එක ප්‍රායෝගික නැහැ.

ලංකාවට ගිය වෙලාවේ, ලංකාවේ දැන් තියන පත්තර බලන්න වත්, රූපවාහිනී බලන්න වත්, ගුවන් විදුලියට සවන් දෙන්නවත් ආසාවක් ඇති වුනේ නැහැ. ඒවායින් දැන් මට රස වින්දනයක් ගන්න අමාරුයි වගේ. මෙල්බර්න් ඉන්න කොට ඉඳ හිට පෙන්වන ලංකාවේ සිංහල චිත්‍රපටයක් බලන්න ගියාමත් දැනුනේ ඒ ගතියමයි. මෑතක නිපදවපු චිත්‍රපට අතරින් මා ආසාවෙන් නැරඹුවේ, ප්‍රසන්න විතානගේ ගේ සිනිමා පට විතරයි. එතකොට ඇයි එහෙම වෙන්නේ? මෙහෙ ගොඩක් දෙනා ලංකාවේ රූපවාහිනී වල පෙන්වන “ටෙලි ඩ්රාමා” කියන ජාතිය ඩිවිඩි වලට පටිගත කරපුවා ආසාවෙන් බලනවා. මට නම් ඒවා බලනවා කියන එකත් අප්පිරියයි.

එහෙම උනත්, ඇමෙරිකාවේ නිපදවන බොහෝ රූපවාහිනී වැඩසටහන් මා සමහර වෙලාවට ආසාවෙනුත්, තවත් සමහර වෙලාවට කම්මැලි කමකින් තොරවත් නරඹනවා. සිනමා පට ගත්තොත් ඇමෙරිකානු ඒවා තමා වැඩිපුර නරඹන්නේ. මේවායින් බොහොමයක් පිචන් කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවනි. සයිමන් අයියා ගේ සංකල්පනා වලට හදපු රියලිටි වැඩසටහන්ද මා නරඹනවා. නමුත් ඒවායේ කොපි ලෙස හදන ලංකාවේ වැඩසටහන් නරඹන්න හිතෙන්නේ නැහැ. එතකොට මගේ පිචන් කමේ වර්ගය මොකක්ද? ඒකයි මා කලින් කියුවේ පිචන් හා සම්භාව්‍ය කමේ සීමාව  එක එක පුද්ගලයාට ආවේනික දෙයක් මිස පොදු මිනුම් දණ්ඩකින් මනින එක සාර්ථක නැහැයි කියලා.

මා කලින් කියුව සිනිමාපටය බලන්න ආපු ඇමෙරිකානු ප්‍රේක්ෂකයන් ගොඩකට ඉතාම කනගාටු දායක දෙයක් උනා කියල දැනගන්න ලැබුනේ ඊයේ. මේවගේ සිද්දීන්ට මුලත් මේ වගේ චිත්‍රපට කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. මේ සිද්දියේදී වෙඩි තියපු ආචාර්ය උපාධි අපේක්ෂකයත් ඇඳගෙන ඉඳලා තියෙන්නේ චිරපටයේ ඉන්න ද්‍රෝහියාට සමානව කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ලංකාවෙත් මේ දිනවල කෙරෙන තර්කයක්නේ ජංගම දුරකථන භාවිතාව නිසාත්, අන්තර්ජාලය භාවිතාව නිසාත් අපරාධ, කාන්තා දූෂණ, ළමා අපචාර ඉහල ගිහින් තිබීමට හේතුවක් කියලා. අප පොඩි කාලේ කියවපු චිත්‍රකතා නිසාත් මෙහෙම වෙනවා කියල තර්ක තිබුනා. මේවා සංකීර්ණ සමාජ කරුණක්  ඉතා සරල කරන්න ගන්න උත්සහ මිසක් වෙන දෙයක් නොවේ (හාමුදුරුවනේ, ළමයෙකුගේ සිත දුෂිත වෙන්න වැඩිපුර බලපාන්නේ පාර අයිනේ තමන්ගේ සහෝදරයාව මරලා පුච්චන එක දකින එකද, නැත්නම් ජංගම දුරකතනයෙන් දරුණු දර්ශන සහිත පොඩි සිනමා කෑල්ලක් බලන එකද?).

මේ බැට්මෑන් සිනමාපටයේ එන “Bane” “ත්‍රස්තවාදියාගේ” චරිතය පවා නොයෙක් විදිහට විග්‍රහ කරන්න පුළුවන්. ඔහු එක අතකින් පිඩිත පන්තිය වෙනුවෙන් සටන් කරපු වීරයෙක් කියල කෙනෙකුට තර්ක කරන්න නිදහස තියනවා. මේ කට්ටිය ගොතම් නගරය අල්ලාගෙන “ධනපතීන්ට” නඩු තීන්දු දුන්න විදිහටම අපේ රටෙත් දැනටත්, කලිනුත් “මේ වගේ ජනතා අධිකරණ” මගින් නඩු තීන්දු දුන්නා. මේවායේ අරමුණු  පාතාලය මඩින එකේ සිට ද්‍රවිඩ ජනතාවගේ විමුක්තියත්, පිඩිත පන්ති ආඥ්යාදායකත්වය ඇති කිරීම දක්වා පරාසයක විහිදුනා. ඒ තීන්දු දුන්නේ අර නඩු අහපු අය “අපරාධ” කියන්නේ මොනවාද කියල ඒ අය අදහන මතවාද අනුවයි. Bane ගේ අධිකරණයෙන් නම් අඩු ගානේ දඬුවම “මරණ” දඬුවමද නැත්නම් නගරයෙන් “පිටුවල් වීමද” කියන එක වත් තෝරා ගැනීමට චුදිතයින්ට අවකාශය ලැබුනා (දෙකේම ප්‍රතිඵලය එකම උනත්).

Advertisements

11 Comments

Filed under Social

11 responses to “When does that dark knight rise?

  1. මම නම් චිත්‍රපටියක් බලන්නේ හිතට සැහැල්ලුවක් ගන්න , ඒ නිසා බොහොම සරල සිනමා නිර්මාණ වලට තමයි කැමති , සිනමාත්මක නිර්මාණ සරල කථා තේමාවන් ඇතුලේ ඕනි තරම් දකින්න පුලුවන් ලංකාවේ හැර .

    • අන්න හරි බුවා. ලංකාවේ විචාරකයන් කළේ ඔබ (හා මා) වැනි කට්ටියට පරිභව කිරීමයි. මගේ සටහනේ අරමුණ උනෙත් ඒ ගැන කියන එක.

  2. චිත්‍රපටි බැලිල්ල වගේම ඒ ගැන කියවන, කතාකරන එකත් මම හෙන කැමති වැඩක්. ඉස්සර ඒකට හරියන්න හිටපු උන් ටිකෙන් ටික ඈත් වෙලා ගිහින් නිසා මම දැන් තනියම චිත්‍රපටි විඳිනවා. ඕකෙ සම්භාව්‍ය පීචං කතාවක් නෑ. ඒක අතිශය පුද්ගලිකයි කියල මමනම් දන්නෙ. දෙන්නෙක් ගත්තොත් ඒ දෙන්නට එකම චිත්‍රපටිය එක විධියට දිරවන්නෙ නෑනෙ. ඒ වගේම දෙන්නටම නූලටම සෙට් වෙන චිත්‍රපටිත් තියෙන්න පුළුවන් (ඇත්තම කිව්වොත් චිත්‍රපටි විතරක් නෙවෙයි, ජීවිතේ බොහොම දේවල් සම්බන්ධව ඇත්ත ඒකනේ) ඒ නිසා චිත්‍රපටි පොදුවේ වර්ග කරන එක කරන්න අමාරු වැඩක්. තමන්ගෙ චිත්‍රපටි වර්ග කරන එක ඒ නිර්මාණකරුවන්ගෙ වැඩක්. බන අපි ඒව වර්ග කරගන්නෙ අපේ ක්‍රම වලට.

    ඔය ඩාක් නයිට් රයිසස් චිත්‍රපටිය ගැන මුලින්ම දැනගත්තම මට ආසාවක් ඇතිවුණා පරණ චිත්‍රපටි ටික බලන්න. ඉතිං මම ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ බැට්මෑන් චිත්‍රපටි දෙකම බැලුවා. (බැට් මෑන් නමින් තියෙන අනිත් චිත්‍රපටි හෙන කෘතිමයි වගේ මටනම්) කොහොමත් මගේ ප්‍රියතම චිත්‍රපටි කාණ්ඩය ඇක්ෂන්, ඇඩ්වෙන්චර් කියලයි මට හිතෙන්නෙ. හැබැයි කතාකරන්න දේවල් ගොඩක් තියෙන්නෙ ඩ්‍රාමා වර්ගයේ චිත්‍රපටිවල කියලත් මට තේරිල තියෙනවා. ඔය බැට්මෑන් ගැන අපේ යාළුවෙක් හෙන ෆිලෝසොපිකල් පෝස්ට් එකක් ලිව්ව. කියවල බලන්නකෝ…

    http://hippiesjournal.blogspot.com/2012/02/saga-of-caped-crusader.html

    • ජිවිතේ හැම දෙයක්ම එහෙමයි හරේ. එකම විදිහට දෙදෙනෙකුට දැන්නෙන්නේ එහෙමත් වෙලාවක තමා. චිත්‍රපට විතරක් නොවේ මොනම කලාකෘතියක් වත් මෙහෙම වර්ග කරලා වෙළඳපොළට දාන එක ගොන් කමක්. මේවා විචාරය කරන්න පුළුවන්. එම විචාරත් අපට, මේවා රස විඳින්න උපයෝගී කර ගන්න පුළුවන්. නමුත් අර ලංකාවේ තිබුනා වගේ “සම්භාව්‍ය මණ්ඩලය” කියලා එක වර්ගයකට සීමිත චිත්‍රපට ගණනක් වර්ග කරලා දැමීම හරිම ගොන් වැඩක්. මේ “සම්භාව්‍ය” උනේ කාටද? ප්‍රේක්ෂකයන් (අප) බලන්නත් කලින් එහෙම තීරණයක් අප වෙනුවෙන් ගත්තේ කව්රුද ? (මේකට තමයි මිල්ටන් කියුවේ “කියන්න කව්ද ඔබ කියා, අහන්න උනිමි සොය සොයා” කියල). නොලන්ගේ කලින් දෙකට වැඩිය මේ තුන්වන එක හොඳයි කියා මට හිතෙනවා. නමුත් ඔබ කියන්න වගේ, වෙන කෙනෙකුට එහෙම නොහිතෙන්න පුළුවන්. කට්ටියත් එක්ක චිත්‍රපට බලන එකත් හොඳ වැඩක්. මාත් ඉගෙන ගන්න කාලේ එහෙම කළා. එතකොට ජිවිතේ අද තියන “ප්‍රශ්න” තිබුනේ නැහැ. අප රුසියාවේදී මේ වගේ චිත්‍රපට බලන්න යනකොට, “ෆිල්ම් හෝල්” එක ඉස්සරහ “කිඕස්ක්” එකෙන් බ්‍රැන්ඩි බෝතලෙකුයි, රටකජු පැකට් එකකුයි ගන්න අමතක කලේ නැහැ. එතකොට මේ ඇමෙරිකානු චිත්‍රපට හරියටම රස විඳින්න පුළුවන් උනා.

      මේකට තව දෙයක් එකතු කරන්න කැමතියි. “තමන්ගෙ චිත්‍රපටි වර්ග කරන එක ඒ නිර්මාණකරුවන්ගෙ වැඩක්”. හැබැයි හරේ තමන්ගේ නිර්මාණයක් උනත් මේ විදිහටයි රස විඳිය යුත්තේ හෝ තේරුම් ගත යුත්තේ කියල නියෝග කරන්න නිර්මාණ කරුවාට උනත් අයිතියක් නැහැ. එයාට යෝජනා කරන්න පුළුවන් එහෙම, නමුත් මේ නිර්මාණ අප අප තේරුම් ගන්න ආකාරය ගැන උපදෙස් හෝ නියෝග දෙන්න එයාලට අයිතියක් නැහැ. දැනට වසර දෙක තුනකට පමණ පෙර මහා කලාකරු ජැක්සන් ඇන්තනි ඕස්ට්‍රේලියාවට ආපු වෙලාවක එයාගේ “සම්භාව්‍ය හා අති දැවැන්ත” සිනමා නිර්මාණය ගැන එස් බි එස් ගුවන්විදුලියේ සිංහල අංශය සමග සම්මුඛ සාකච්චාවක් තිබුනා. නිවේදකයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. “ජැක්සන් ඔබේ මේ සිනමා නිර්මාණයේ කාන්තාවන් ඔලුව වහගෙන ඉන්න එක ගැන ප්‍රේක්ෂකයන් දකින්නේ මුස්ලිම් කාන්තාවන් හිජාබ් පැළඳගෙන ඉන්නවා වගේ” කියල. ඊළඟට කතා කරපු එක්කෙනා මහා කලාකරුද නැත්නම්, අප වැඩිය නොදන්නා අර ඉස්සර සුහද පත්තරේ චිත්‍රකතා ඇඳපු හා ඉන්පසු සිත්තර පත්තරේ ඇන්ටන් බි පෙරේරා ඉවත් උනහම ඔහුගේ කතා “ජැක්” යන නමින් ඉදිරියට ගෙන ගිය එක්කෙනාද නැත්නම් මේ දෙදෙනාගේ සංකලනයක්ද කියන ප්‍රශ්නය මා තුල නැඟුනා. මොකා උනත්, ඔහුට තරහ ගියා. ඔහු කියුවේ මේක මුස්ලිම් කාන්තාවන් අඳින එක නොවේ “උතුරු සළුව” ඔළුවට දාගෙන කියලා. උතුරු සළුව නොවේ දකුණු එක උනත්, නිවේදකයා ඇහුවේ ප්‍රේක්ෂකයා දකින හා තේරුම් ගන්නා විදිහ. එහෙම නොවිය යුතුයි කියලා කෑ ගැහුවට, ඒකෙ වෙනසක් වෙන්නේ නැහැ.

      • මගේ ප්‍රියතම කැටගරි වෙන්නේ ඇක්ශන්-කොමඩි සහ රොමැන්ටික් කොමඩි කිව්වොත් නිවැරදියි , ඊට අමතරව නිකන්ම කොමඩි සහ ඇක්ශනුත් හරි . ලොඩ් ඔෆ් ද රින්ග්ස් මාදිලියේ ෆැන්ටසි වලටත් කැමතියි ඉමෝර්ටල්ස් වල වගේ ඔලු කුඩු වෙන පතබාන දර්ශන නැත්නම් , ඩ්‍රාමා කැටගරිය බැලුවොත් ගොඩක් වෙලාවට මම දොයි 🙂

  3. මේ පෝස්ට් එක හොඳ ප්‍රවේශයක් වෙලා ඔය බෙදීම ගැන සංවාදයක් ඇති වුනොත් හොඳයි.

    ඇත්තම කියනව නම් ඔය බැට් මෑන් , වගේ සුපිරි වීරයොන්ගේ කතා නම් මට අප්පිරියයි. මම නම් හුඟාක් ආශාවෙන් බලන්නෙ කුතුහල දනවන සිනමා පට. අන්තිම මොහොත දක්වාම කුතුහලය රඳවාගන්න එකක් නම් සම්පූර්ණයෙන්ම රියැලිටි එකෙන් මිදෙන්න පුලුවන්: (උදා- Seven). ඔය අපරාධ සම්බන්ද ඩොකියුමන්ට්‍රීස් සමහර වෙලාවට නාට්‍ය වලට වඩා හොඳයි (උදා- FBI files). සමහර වෙලාවට මූවි එකේ කාලක් විතර ගියාට පස්සේ බලන්න ගත්තම තවත් ශෝක්, ඒකේ උතුර-දකුන ගැට ගහගන්න මාරම ගේමක් දෙන්න වෙන්නව 😀

    ඒත් ඉතින් ඒ මගේ කැමැත්ත. මොනව වුනත් අපි සිනමා පටයක් හරි, ටී වී එකේ යන නාට්‍යයක් හරි බලන්නේ රියැලිටි එකෙන් පැනල යන්නම යි කියලයි මට නම් හිතෙන්නේ.

    • එහෙම සංවාදයක් ඇති වෙන්න මෙහෙ ගොඩක් කට්ටිය එන්නේ නැහැ.එහෙම සංවාද මේ සිංහල බ්ලොග් වල දකින්නත් නැහැ. ඒකෙ ඇති වරදකුත් නැහැ. මා එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මොකද අර හරේ කලින් කොමෙන්ටුවක කියල තිබුනා වගේ අන්තිමට ඉතුරු වෙන්නේ අදහස් ගොන්නක් පමණයි. හැබැයි, මගේ බ්ලොගය බලන ඔබ වගේ දෙතුන් දෙනා ගේ අදහස් හා ඒවා පළ කරන ආකාරය ගැන මට සතුටුයි.

      මා නම් පොඩි කාලේ සරත්මධුගේ යුනිකො වැනි චිත්‍රකතා ආසාවෙන් බැලුවා. මේ වගේ සිනමා පටයක් රස විඳින්න පුළුවන්, ඒ කුඩා කාලයේ මා තුල හිටපු රසිකයා තාමත් ඉන්න නිසා වෙන්න පුළුවන්. මට නම් එෆ් බි අයි පෙන්නන්න බැහැ. නව කතාවක් උනත්, සිනමා පටයක් උනත් මුල ඉඳන් නොවේ, මැද ඉඳන් බලන්න ගත්තොත් වැඩිය හොඳයි. මොකද එතකොට මේක ඉවර වෙන්නේ කොහොමද කියන කුතුහලය විතරක් නොවේ, පටන් ගත්තේ කොහොමද කියන කුතුහලයත්, අවසානය දක්වාම තියනවා. 😀

    • දැන් සංවාද කියල ජාතියක් නෑ. සංවාද කියල තියෙන ඒවයෙත් සංවාද වෙනුවට ගුටි කෙලි තමයි තියෙන්නෙ. මොකද හැමෝම දන්න අය ඉන්නේ. ඒ නිසා කෙනෙක්ගෙ වෙනස් වෙන්න දෙයක් නැති තරමි. අනික ඕන කෙනෙක්ට ඕන එකක් හිතාගෙන ඉන්න පුළුවන්. සංවාදෙට එන්න කලින්ම කෙනෙක් දන්නවා සංවාදෙන් පස්සෙ එලියට යද්දිත් තමන්ගෙ වෙනසක් වෙන්නෙ නෑ කියලා. ඒ අද කාලෙ නිදහසේ තවත් දිගුවක්.. 😉

      • ඔබ හරි. ගුටි කෙලි තමා තියෙන්නේ. එකඟ නොවෙන්න පුළුවන් හරේ, නමුත් ගරහන්නේ නැතුව යමක් කියන්න පුළුවන් වෙන්නත්, අනුන් කියන දෙයක් අහන්න පුළුවන් වීමත් සදාචාරයේ ලක්ෂණයක්. කොහොමත් හරේ, පුද්ගලයෙක් කියන්නේ, එක පොතකින්, එක ගුවන් විදුලියකින්, එක රුපවාහිනියකින්, එක නාට්‍යයකින්, එක නවකතාවකින්, එක චිත්‍රපටයකින්, එක ගුරුවරයකුගෙන් වෙනස් කරන්න හැකි කෙනෙක් නොවේ (බ්ලොග් කියන්නේ ගණන් ගත යුතු දෙයකුත් නොවේ මේ ලයිස්තුවේ). මේ ගොඩක් තැන් වල කියනවා සිරස නිසා ලංකාව විනාශ උනා, ලංකාදීපේ නිසා සිංහලය විනාශ උනා ආදී වශයෙන්. මේවා ගොන් කතා. මිනිහෙක්ගේ සිතුම් පැතුම් හා ඇදහිලි යන දේවල් කාලයක් තිස්සේ වර්ධනය හා හැඩ ගැසෙන දෙයක්. ඒකට ගොඩක් දෙනා හා ගොඩක් දේවල් දායක වෙනවා. අපේ දෙමාපියන්, පාසල, ගුරුවරුන්, ඇසුරු කරන මිත්‍රයන්, නෑදෑයන් ආදී ගොඩක් දේවල් හා ගොඩක් දෙනා. ජන මාධ්‍යත් මින් එකක් පමණයි. හැබැයි මාධ්‍ය උනත් අපට මුලින් ලං කරලා දෙන්නේ අපේ දෙමාපියන් ගුරුවරුන් ආදී අය. ඒ අයගේ තේරීම අපටත් පසු කාලයකදී නොදැනීම බලපෑම් කරනවා.
        දැන් බලන්න ඔබ මගේ බ්ලොගය බලන්න එන්නේ, මා කියන සමහර දේවල් වලට ඔබගේත් එකඟ තාවයක් තියන නිසා. මා ඔබගේ බ්ලොගය බලන්නෙත් ඒ නිසා. එහෙම නොවෙන ඒවා අප අල්ලලා දමනවනේ. කුඩා කාලයේ මේ වගේ මතවාද වල එල්බ ගෙන නොමැති විටෙක අප කියවන දේවල්, බලන දේවල් ගැන මෙහෙම තැකීමක් කරන්නේ නැහැ. ඒ ඇත්තටම ඒ දේවල් මගින් කියන ඇත්තම දේ අපට තේරුම් යන්නේ නැති නිසා. ලෝකය දකින්න දකින්න අප අල්ලා ගන්නා මතාන්තරයේ තවත් තදින් එල්බ ගන්නවා. අප එහෙම කරන්නේ අනික් අය ඉදිරිපත් කරන මතාන්තරය අපට “නොදිරවන” නිසා. එහෙම තියෙත්දී මේ වගේ සංවාදයකදී එක පාරටම අපේ අදහස හෝ අදහස් වෙනස් වෙයිද? කවදාවත් වෙන්නේ නැහැ.
        දැනට මාස දෙක තුනකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ ඒ බි සි රුපවාහිනියේ තිබුනා රිචර්ඩ් (ඩෝකින්සන් ) හා ඕස්ට්‍රේලියානු පල්ලියේ දේවගැතිවරයෙක් අතර සංවාදයක්. මේකේ කතා කලේ මැවීම හා පරිනාමය හා ස්වභාවික වරණය පිළිබඳව. මට අර දේවගැති වරයාගේ කතා හරිම නරුමයි කියල තමයි හිතුනේ. නමුත් එතන හිටපු කට්ටියගෙන් භාගයක් (ඒ විදිහට තමා එයාලව වැඩ සටහනට තෝරලා තිබුනේ) ඒ අදහස් වලට අත්පොලසන් දුන්නා. රිචඩ්ගේ කතා මා දන්නා, ඉගෙන ගෙන තියන මා එකඟවෙන දේවල්. මේ වගේ සංවාදයකිනුත් එක පැත්තක ඉඳලා අනික් පැත්තට යන කෙනෙක් ඉන්නවයි කියල හිතන්න බැහැ.
        හැබැයි හරේ අපට දෙපැත්තක ඉන්න බැහැ. කෙනෙක් ජාතිවාදයට විරුද්දයි නම් ඒ දේවල් අනික් පැත්තෙන් ප්‍රමෝට් කරන්න බැහැ. ගොඩක් දෙනා කියනවා කේන්දර හඳහන් විශ්වාස කරන්නේ නැහැ කියලා. නමුත් සාමාන්‍ය ජිවිතයේ ඊ මේලයක් ආවොත් මේක දහ දෙනෙකුට යැවුවේ නැත්නම් කෙල වෙනවා කියලා, ඔන්න බය වෙනවා.

  4. රයිගම්හන්දිය, මම නම් James Hadley Chase ගෙ පොත් වලින් පොත් කියවන්න ආරම්භයක් ලබා ගත්තා කිව්වොත් හරි. හුඟ දෙනෙක් කියන්නෙ Chase පීචං ලේඛකයෙක් කියලා. නමුත් ඔහු තමයි මට කියවීමේ රුචිය දුන්නෙ.
    මම කොළඹදි උගන්නපු ඉස්කෝලෙ හිටපුපොරක් මට හිනාවෙනවා මම Reader’s Digest කියවනවා කියලා. මම ඇහුවමමොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද කියලා, පොර කියනවා ඕක බොළඳ රසාස්වාදයලු, කියවපං ටයිම්ස් නිව්ස්වීක් වගෙ ඒව කියලා. ඒ වගේම මම සතුට චිත්‍ර කතා පත්තරෙත් කියෙව්වා. කොහොම කොහොමහරි පස්සෙ ඔය වැඩ කාරයොන්ගෙ පොත් කියවන්න අඩිතාලම වැ‍ටුනෙ ඔය විදියටයි.

    • මා කියවපු පොත් ගැන කියන්නත් බැහැ. පත්තරේකට කියල බැලුවේ අර ඉංගිරිසියෙන් පළ උන අස්සයන්ගේ නම් තියන එක. විහිළු නොවේ හෙන්රි, කුඩා කාලේ ඔය “ගැඹුරු ශාස්ත්‍රීය” පොත් වැඩිපුර බැලුවා නම් මාත් අද කියවන කෙනෙක් වේ යයි හිතන්න බැහැ. අර යාලුවා ටයිම්ස්, නිව්ස් වීක් බලලා හැදිලද? (මාත් මේ දායක වෙන්න හදන්නේ). සරල රසාස්වාදයත් ජිවිතයට අවශ්‍යයි. අර ජෝතිපාලත් කියලා තිබුනේ “මල්ලි, ඔය කව්රුත් දෙකක් දා ගත්ත වෙලාවට අහන්නේ මගේ පිචන් සින්දු” කියලා. හැබැයි හෙන්රි, මුළු ජීවිතේම “පිචන්” කර ගන්න ඕනේ නැහැ. ඔබ අර ඔබගේ පොස්ටුවක, කොමෙන්ටුවකට දාපු, කොමෙන්ටුවකට (කොමා වැඩිද ?) කියල තිබුන දේ හරි අගෙයි. මා ලියන්නේ සරල රසයක් දෙන්න පොඩි පණිවිඩයකුත් එක්ක කියල (ඔබගේ වචන මීට වෙනස්). ඔබ ඔය ලියන විදිහ, ඔබගෙන් ඉල්ලීමක් කල ඒ කොමෙන්ටුව ලියපු කෙනා කියපු පරිදි, වෙනස් කෙරුවොත් මා සමහර විට, ඔබගේ සටහන් කියවන එකකුත් නැහැ (ආයිත් කොමා වැඩිද?).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s