කුංකුම අංජන ඉල්ලා ඉල්ලා හැඬුවෙමි, නෙත් යුග නැති ඔබ දකින තුරා! Great wealth and social justice, are they allies or enemies?


දැනට වසර කීපයකට පමණ පෙර මට එක්තරා නගරකදී මුණ ගැහුණ ශ්‍රී ලාංකිකයෙකු මෙහෙම කතාවක් කියුවා. ඔහුගේ දරුවන් දෙන්නා යන්නේ පෞද්ගලික පාසල් වලට. ලංකාවෙන් සංක්‍රමණය වෙලා ඕස්ට්‍රේලියාවේ වැඩ කරන ඔහුගේ චෝදනාව උනේ, වැඩිපුර බදුත් ගෙවලා, දරුවන් ආණ්ඩුවේ පාසල් වලට නොයවන නිසා එතනිනුත්, ආණ්ඩුවට මුදල් ඉතිරි කරන ඔහුගේ පවුලට  හරි නම් වැඩිපුර ගානක් ආණ්ඩුවෙන් දෙන්න ඕනේ කියල. නමුත් වෙන්නේ අනික, අඩු ආදායම් ලබන කට්ටිය ගෙවන බදුත් අඩුයි, දරුවන් යන්නෙත් ආණ්ඩුවේ පාසල් වලට, දරුවන් සඳහා ආණ්ඩුවෙන් ගෙවන සහනාධාරත් ඔවුනට වැඩියි. ඔහුට අනුව මහා අසාධාරණයක්.

මා කරුණු කිහිපයක් නිසා වාද කරන්න ගියේ නැහැ. එකක් තමයි, මේ වගේ කට්ටිය සමග වාද කරලා වැඩක් නැතිය කියල හිතීම. අනික තමා, ඔහු හා මා අතර මිත්‍රත්වයක් නොතිබීම, ඔහුව මට හමු උනේ වෙනත් නිවසක. තවත් කාරනා තිබුනා. ඒවා එතරම් වැදගත් නැහැ. කොහොම උනත්, මේ හාදයත් ලංකාවේ පාසල් හා තෘතිය අධ්‍යාපනය නිදහස්ව ලබා ගත්තෙක්. ලංකාවේ හිටියා නම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් “සටන්” කරන කෙනෙක් වෙන්නත් තිබුනා. මේක ඔහුගේ විතරක් නොවේ වෙනත් අයගේද අදහසක්. සමාජ පන්තියේ හා ආදායමේ වෙනස් වීම නිසා තමයි මේ පරස්පර මතාන්තරය.

කොහොම උනත් රටක, සමාජ රක්ෂණය සකස් විය යුත්තේ, අඩු වරප්‍රසාද ලාභින්ව රැකෙන ආකාරයෙන් කියල තමයි මා විශ්වාස කරන්නේ. ඕස්ට්‍රේලියාවේ අප හැමෝම සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා බද්දක් ගෙවනවා.  නමුත් සෞඛ්‍ය සේවය නිදහස්. දොස්තර කෙනෙක් හමු වෙන්නත්, ඉස්පිරිතාල වල සේවා සඳහාත්, බෙහෙත් වලටත් මේ බද්දෙන් ප්‍රතිපාදන සපයනවා. මේක සර්ව සම්පුර්ණ නැහැ. මේ බද්ද විතරක් නොවේ, ආදායම් බද්දත් ආදායම ඉහල යන විට, වැඩි වෙනවා. අර “ඕස්ට්‍රේලියානු -ලාංකිකයා” චෝදනා කලේ ඒ ගැනයි.

සෞඛ්‍ය සේවයට විතරක් නොවේ, නිදහස් පාසල් අධ්‍යාපනයට පවා ප්‍රතිපාදන සපයන්නේ මෙහෙම එකතු කරන බදු වලින්. නමුත්, ඉහල ආදායම් ලබන කෙනෙකුට, මේ සේවා ලබා ගැනීම අනිවාර්ය නැහැ. ඒ නිසා තමයි, අරයගෙ දරුවන් පෞද්ගලික පාසල් යන්නේ. එහෙම කරන්න කියලත්, කාගේවත් බලපෑමක් නැහැ. තමන්ට පුළුවන් නිසානේ කරන්නේ.

සර්වලෝක නිදහස් පාසල් හා සෞඛ්‍ය සේවාවන් තියන එක රටක වැදගත් අංගයක්. නමුත්, ඒකෙන්  අදහස් නොවිය යුතුයි, මේ සේවා ලබා ගැනීම සඳහා වත්කමක් තියන සමාජ තලයටත් ඒවා නොමිලේ සැපයිය යුතුයි කියලා. පසුගිය සතියේ, අර කලින් කියුවා වගේම මධ්‍යම පන්ති ලාංකිකයෙකු මට මුණ ගැහුනා. ඔහුගේ පුතා මෙහෙ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කරලා. ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහිඋන, මා වාගේම සාමාන්‍ය පවුලකට අයත්, පෞද්ගලික සමාගමක සේවය කරන ඔහුට ඒ සඳහා බර දරන්න පුළුවන්. එහෙම කරන්න උනා කියල, ඔහුගේ කිසිම චෝදනාවක් තිබුනේ නැහැ.

මේ සතියේ ඇමෙරිකානු රහස් ඔත්තු කවුන්සිලයේ ප්‍රධානියා ක්‍රිස්ටෝපර් කොජ්ම් ඉදිරිපත් කරපු විමර්ශනයකට අනුව ලෝකයේ මධ්‍යම පාන්තිකයන් ගණන 2030 වසර වන විට දැනට ඉන්න බිලියන එකේ සිට බිලියන දෙක  දක්වා ඉහල යාමට හැකියාව තියනවා. මේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ, ඇමෙරිකාවේ ඉදිරි ප්‍රතිපත්ති හා වැඩසටහන් සැකසීමට පාදක කර ගැනීමට. මෙසේ ඉහල යන මධ්‍යම පන්තිය නිසා ලෝකයේ සම්පත් සඳහා ඉල්ලුමත් ඉහල යනවා. එපමණක් නොවේ, දැනට තියන සමහර අසුබවාදී ආර්ථික අනාවැකි හරි ගියත් මෙසේ ඉහල යන මධ්‍යම පාන්තිකයන්ගේ ගණන බිලියනක් නොවුනත්, මිලියන ගණනක් විය හැකි බවයි කොජ්ම් කියන්නේ.

මේ මධ්‍යම පාන්තිකයන් “මධ්‍යම පාන්ති සාරධර්ම හා අපේක්ෂා” වලින්ද සන්නද්ධ වෙන  නිසා, එම පන්තිය ඉහල යන රටවල් පාලනයද අසීරු වනු ඇති කියා ඔහු තව දුරටත් කියනවා. ඒ කියන්නේ ඒකාධිපති පාලන ක්‍රමයන් පවත්වාගෙන යාම එන්න එන්නම අසීරු වනවා. ඔවුනගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමත් අභියෝගාත්මක වන බවයි කොජ්ම් කියන්නේ. මේක ගණනය කරපු අනාවැකියක් උනත්, සැබෑ වෙන්න ඉඩ තියනවා. එහෙම උනොත් මේ පෘථිවිය දැනට වඩා හොඳ තැනක් වේවිද? නැත්නම් දැනටත් වඩා සම්පත් හා ආහාර වල ඉල්ලුම ඉහල යාමට අමතරව, මට අර කලින් හමු උන කෙනාගේ වගේ  කන් කෙඳිරි ගෑම් වැඩි ලෝකයක් වේවිද?

මේකට අදාලවම මා කලින් සටහනෙන් ලියුව දෙයක් තියනවා. ඒ තමා කොජ්ම් කියන දෙය හරි ගියොත්, මේ මධ්‍යම පාන්තිකයන්ට අවශ්‍ය “මධ්‍යම පාන්ති” ආහාර වේලවල් සපුරා ලීමත් අසීරු දෙයක්. කොජ්ම් ගේ අනාවැකියට අනුව ඉදිරි අවුරුදු 18 තුල ලෝක ආහාර ඉල්ලුම 50% කින් ඉහල යන්නේ ජනගහනය බිලියන 7.1 සිට බිලියන 8.3 පමණක් දක්වා ඉහල යද්දී. වසර 2030 වන විට ලෝක ජනගහනයෙන් 50% ජිවත් වන්නේ ජලය හිඟ ප්‍රදේශ වල. නමුත් මා මගේ සටහනෙන් බලාපොරොත්තු පළ කරපු දේමයි කොජ්ම් ද කියන්නේ. ඒ තමයි, නව තාක්ෂණ සොයා ගැනීම් මේ අභියෝගය ජය ගැනීමට මිනිසාට උදව් කරන බව.
Advertisements

25 Comments

Filed under Agriculture, Education, Food, Social

25 responses to “කුංකුම අංජන ඉල්ලා ඉල්ලා හැඬුවෙමි, නෙත් යුග නැති ඔබ දකින තුරා! Great wealth and social justice, are they allies or enemies?

  1. මම අන්තිම කාරණාව දකින හැටි විතරක් කියන්නම්. බැලූ බැලූ අත දකින්නට තියෙන්නෙ තාක්ෂණයට එරෙහිවීම. ඒක දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන ට්‍රෙන්ඩ් එකක්.

    උදාහරණයක් විදියට ලමයි ලියන රචනාවල් බලමු. හැම විටම ලමයි ලියන්නෙ රථවාහන වලින් පරිසරය හානි වෙන බවත්, ඒ වෙනුවට බයිසිකල් පැදියයුතු බවත්.

    මේකත් එක්තරා අන්තවාදයක් හැටියටයි මම දකින්නෙ. . බයිසිකල් වලින් ඔබේ බත්පතට එන දේවල් වත් ප්‍රවාහනය කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙ ඇහුවාම උත්තර නෑ. කිලෝමීටර් 25ක් ඈත් සෙවාස්ථානයට හැමදාම බයිසිකලයෙන් යන්න එන්න පුලුවන්ද කියලා ඇහුවාම තමයි ඒ ගැන හිතන්න පටන් ගන්නෙ. මේකත් ගිරවු වගෙ තමන්ට ඇහෙන දේ ප්‍රතිරාවය කිරීමක්. බයිසිකල් පැදීමේ ගුණාගුන ගැන විවාදයක් නෑ. තියෙන්නෙ මේක ප්‍රායෝගික භාවයයි. මම මේ ලමයි විවේචනය කරනවා නෙවෙයි. ඔවුනුත් සමාජයේ පැතිකඩක්නෙ.

    මෝටර් රථයෙන් වෙන පරිසර දූශණයට එකම විසඳුම බයිසිකල් පැදීම නොවෙයි, මෝටර් රථය නිපදවීමට යෙදූ තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කරලා පරිසර දූෂණය අවම කිරීමට තැත් කිරීම බවත්, තාක්ෂණයට එරෙහිවීම මෝඩකමක් බවත් කිව්වාම හුඟ දෙනෙක් පුදුම වෙනවා.

    • හෙන්රි, විහිළුවට නොවේ මේ ගැන මා අදත් කතා කළා අපේ වැඩ කරන තැන යෙහෙලියක් සමග. මෙහෙත් හරිත පක්ෂයේ සමහර යෝජනා ඔය වගේ. මට දවසක්, මෙහෙ සරසවියක ව්‍යාපෘති කළමනා කරුවෙකුත් ඔයට සමාන කතාවක් කියුවා. ඒ තමයි, කැන්බරා නුවර, මෝටර රථ පාවිච්චිය (වැඩට යන්න) නතර කරන්න ඕනේ කියලා. එයා ඉන්නේ නගර මධ්‍යයේ. දරුවන් පාසල් යන්නේ පයින්. මා බයිසිකල් පැදලා හරි බස් එකේ හරි වැඩට යන්න කලින්දා රෑ තමයි පටන් ගන්න ඕනේ. මේ හරිත පක්ෂයට සහයෝගය දක්වන බොහෝ දෙනාත් ඉන්නේ නගරයේ තට්ටු නිවාස වල කුලියට. ඔවුනට දරුවන් හෝ නිවාස ණය බොහෝ වෙලාවට නැහැ. බස් එකේ යන්න පුළුවන් නැත්නම් පයින් යන්නේ. එතකොට සියලුම මිනිසුන්ගේ ජිවිත ඒ වගේ කියල හිතනවා. ඔවුනගේ හොඳ ප්‍රතිපත්ති තියනවා. නමුත් ගොඩක් වෙලාවට ඉන්නේ වෙන ලෝකෙක කියල හිතෙනවා. ඔබ කියන තාක්ෂණයට ගැරහීම, විද්යාව අවඥ්යාවට ලක් කිරීම,සත්ත්ව පරිණාමය සම්බන්දව මහා බොරු ප්‍රචාරය කිරීම ආදී දේවල් අද ගොඩක් වෙලාවට විලාසිතාවක් වෙලා. ප්‍රධාන ජන මාධ්‍ය වල මේවා කරන කට්ටියට එවැනි විෂයන් සම්බන්දයෙන් දැනුමක් හෝ ඉගෙනීමක් නැහැ ගොඩක් වෙලාවට. වටේට පිරිස එකතු වෙන නිසා ගිරව් වගේ කියවනවා. ග්‍රීන් පීස් වැනි සංවිධානත් මේ වගේ. දියුණු වෙමින් පවතින රටවල් හා ඒවායේ ජනතාව මුහුණ දෙන මුලික ප්‍රශ්න ගැන හෝ මෙයාලට වැටහීමක් නැහැ. මා කලින් කියුව ජාන තාක්ෂණයෙන් ආහාර බෝග දියුණු කිරීමට එරෙහි වෙන්නෙත් මේ වගේ තමා. ඔබ පාසලේදී මේවා හොඳින් දකිනවා ඇති. කුඩා ළමුන් දකින්නෙත් මේ අයියලා ගේ දේවල් නේ. සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන මෙකී නොකී හැම ක්රෙශ්‍රයකම අද තියන තත්වයෙන් තවත් ඉදිරියට යනවා මිසක් ආපසු ගමනක් නැහැ. මේ අයියලා ඉන්න බටහිර ලෝකෙට වඩා, ගොඩක් පල්ලෙහායින් ඉන්න රටවලට මේ තරම් වත් ජිවන තත්වයක් ගන්න තව කොච්චර කලක් යාවිද?

  2. /* දැනට වසර කීපයකට පමණ පෙර මට එක්තරා නගරකදී මුණ ගැහුණ ශ්‍රී ලාංකිකයෙකු මෙහෙම කතාවක් කියුවා. */

    ඔහොම එවුන් ලංකාවේ හිටියත් ඔය වගේම අමන මරිමෝඩ කතාම තමයි කියන්නේ. ඔහේම තියාගන්න එයාව.

    • එහෙම කියන එක හරි නැහෙනේ කකා, මා කැමතියි ඔහුව බෙදා ගන්න. මෙයා ලංකා-ඕස්ට්‍රේලියානු සමාජයේ කැපී පෙනෙන කෙනෙක්. ඔහුගේ ඉහල නැගීම කෙනෙකුට ආදර්ශයක් ලෙස ගන්න පුළුවන්. මා නගරයක් සඳහන් නොකළේ ඒ හින්දයි. අදහස් ගත්තොත්, ලංකාවේ එක්තරා “වාමාංශික” පක්ෂයකට බරයි. සාමාන්‍ය පව්ලක උපන් ඔහු ප්‍රාථමික වසරේ සිට තෘතිය අධ්‍යාපනය ලබල තියෙන්නේ ලංකාවේ නොමිලේ. මෙහෙට සංක්‍රමණය වෙලා දැන් ඉන්න තත්වයට එන්න හුඟක් මහන්සි වෙලා තියනවා. තමන්ගේ ක්රේශ්ත්‍රයේ රකියාවකයි දැන් ඉන්නේ. මා මේ ටික ලියුවේ යමක් කියන්න මිසක් ඔහුට ගරහන්න නොවේ. කොතරම් ඉක්මනින් අපට අමතක වෙනවාද කියන එක. ලංකාවේ තිබුනේ පෞද්ගලික පාසල් හා තෘතිය අධ්‍යාපන ආයතන විතරයි නම් ඔහු පහේ පන්තියට යාද කියලත් සැකයි. මෙහෙ සංක්‍රමණය වෙලා මුල් අවධියේ අර සහනාධාර සේරම ගන්න කොට, බදු අය කරන එකේ තියන විෂමතා ගැන කතා කලයි කියල මා හිතන්නේ නැහැ. දැන් තමා එක පාරටම ඕපපාතිකයෙකු වී තියෙන්නේ!

  3. Anupa

    මට තියෙන ප්‍රශ්න

    1.ආන්ඩුවේ පාසල් වල උගන්නනේ නොමිලේද?
    2.රජයේ පාසලකට ළමයක් යවන්න පුළුවන් ඕස්…යානු පුරවැසියෙකුට විතරද,සන්ක්‍රමණිකයකුගෙ ලමයෙකුට එහෙම යන්න බැරිද?
    3.ඕස්….වට සන්ක්‍රමණය වන කෙනෙකුට කෙටි කලකින් පුරවැසිභාවයට අයදුම් කරන්න පුලුවන් නේද?

    (අර පුද්ගලයට කරන්න තිබුනේ පුරවැසිභාවය ගන්නකන් ඉවසල ඊට පස්සේ ලමයව රජයේ පාසලකට යවන්න )

    ප.ලි.- අර තාක්ෂණික සොයා ගැනිම් හරි වෙලාවට හොයා ගත්තොත් හොදයි

    • හලෝ අනුප! ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික හා ද්විතියික පාසල් අධ්‍යාපනය අනිවාර්ය හා නිදහස් එකක්. ඒ කියන්නේ ළමයෙකුගේ වයස අවුරුදු 5-6 සිට 16-17 දක්වා ඉගෙනීම නොමිලේ. පාසල් අධ්‍යාපනයට ප්‍රතිපාදන සැපයීම, නඩත්තුව, ගුරුවරුන්ට පඩි ගෙවීම, විෂය නිර්දේශ හැදීම ආදිය ප්‍රාන්ත ආණ්ඩු වල කාර්යයක්. පොත් පත්,පෑන් පැන්සල් හා පාසල් නිල ඇඳුම් ආදිය සපයන එක දෙමාපියන්ගේ කාර්යයක්. මෙවැනි පාසලකට ළමයෙකු යවන්න සුදුසු කම් සපුරලා තියනවා නම් (වයස හරිනම්) පුරවැසි භාවය අනිවාර්ය නැහැ. කෙනෙක් ඉස්තිර පදිංචි විසා යටතේ සංක්‍රමණය වෙලා දෙවෙනි දවසේ ඉඳලා උනත් දරුවන් පාසල් යවන්න පුළුවන්. ශිෂ්ශත්ව යටතේ උනත් මෙහෙ ඉගෙන ගන්න එන විදේශිකයන්ගේ දරුවන්ට, මේ වගේ නොමිලේ දරුවන් පාසල් යවන්න පුළුවන් කම තියනවා. දැනට තියන රෙගුලාසි වලට අනුව කෙනෙක් පුරවැසි භාවය ගන්න අයදුම් කරන්න කලින් වසර හතරක් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉඳල තියෙන්නත්, ඒ කාලය ඇතුලත මාස 12 කට වැඩි කාලයක් රටෙන් බැහැරව නොගොස් තියෙන්නත්, අයදුම් කරන දිනයට කලින් අවුරුද්ද ඉස්තිර පදිංචි විසා යටතේ ඉඳල තියෙන්නත්, ඒ අන්තිම අවුරුද්දේ දින 90 කට වැඩි කාලයක් රටෙන් බැහැරව නොගොස් සිටින්නත් ඕනේ වෙනවා.මේ රෙගුලාසි කලින් කලට වෙනස් වෙනවා. මා මතකයෙන් ලියුවේ. මා ලියුව කෙනා පුරවැසි භාවය ගන්න එකටත් එහා ගිය කෙනෙක්. ඒ විස්තර ලියන්න බැහැ.
      තාක්ෂණික සොයා ගැනීම් වෙලාවට කෙරෙයිද කියන එක නොවේ ප්‍රශ්නය අනුප, මේ සොයා ගැනීම් වල ප්‍රතිඵල හා යහපත කොපමණ දෙනෙකුට භුක්ති විඳින්න ලැබේද කියන එක!

  4. ඔන්න මෙහෙම කියමු. ස්කැන්ඩිනේවියානු රටක ඉන්න ලංකාවේ කෙනෙක් තමන්ගෙ දරුවන් යවන්නේ ඔහු පදිංචි නගරයේ තියෙන ඉන්ටනැශනල් පාසැලකට. බාසාව බැහැනේ. එයා වැඩකරන්නෙ අගනුවර නෙවෙයි හැබයි ලෝක ප්‍රසිද්ධ කොම්පැනියක.

    අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ ස්කැන්ඩිනෙවියන් රටවල් වල සුභසාදන ආර්තිකයක්, මාර ටැක්ස් ගැහිල්ලක් නේ තියෙන්නෙ. හැබැයි ටැක්ස් ගැන ස්කැන්ඩිනෙවියන් රටවල් වල අය හරි ආඩම්බරයි. ඒ ගොල්ලන්ගෙ සමාජ ආරක්ෂන පද්ධතිය ලෝකේ කොහෙවත් නැති අපූරු එකක් විදියටයි සලකන්නෙ.

    ලංකාවෙන් ආපු ලංකාවේ විශ්ව විද්‍යාලයක් උගත් මෙයාට ටැක්ස් ගැන කිසි අවුලක් තිබුනේ නෑ. ඒත් අගනුවර එම්බසියේ පාටියකට ගියා දවසක්. එහෙදි දැනගත්තා ලංකාවේ ඩිප්ලොමැටික් සර්විස් එකේ අයගේ ලමයි යන්නේ එහේ ඔක්කොම ඩිප්ලොමැට්ස්ලාගේ ලමයි යන (සුපර්) ඉන්ටනැශනල් පාසැලට කියලා. එදා ඉඳල හැම හමුවීමකම එයාගේ කරච්චලය වුනේ ලංකාවේ එම්බසි වල ලංකාවේ අය වැඩට දාන්නේ මොකටද, එවා මෙහේ ඉන්න අයට කරන්න දුන්න නම් ඉවරයි නේ කියන එක. ලංකාවේ සල්ලි ඉතුරුකරන්න වගේ කතාව ඇදිල ගියාට අන්තිමට නවතින්නේ අර ඉන්ටනැශනල් ස්කූල් කතාවෙන්.

    “අර ආට්ස් කරපු අපේ බැච් එකට පහලින් උන්න මිස්ට ප්‍රතාපසිංහගේ ( 2nd secretary) ලමයි යන්නෙත් අරකට”

    පස්සෙයි මටත් තේරුනේ මේක පිටි පස්සේ ඇත්තම කතාව.

    රටක රාජ්‍ය තාන්ත්‍රීය වැඩ වලට කැපවුන තානපති සේවයක් වෙනත් රටක මිනිස්සු දම්මල කරන්න පුලුවන් කියන මෙයා ලංකාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයකින් තාක්ෂණ-ඉංජිනේරු උපාධියක් ගත් උගතෙක්!

    මේකේ උතුර-දකුණ ගලප ගත්තම මට තනියම හිනා! ආට්ස් කරපු ප්‍රතාපසිංහ මෙහෙට ගෙන්න ගන්නවත් වටිනවද? නැද්ද?

    ඔබට හමුවූ කෙනා වඩා තාර්කිකයි නේද?

    • මගේ කතාවේ ඉන්න එක්කෙනාගේ ප්‍රොෆයිල් එකෙන් පොඩි කොටසක් මා කකා සමග බෙදා ගත්තා. එහෙම තමයි ඩොඩෝ. අධ්‍යාපනය තමයි ලෝකේ හැම තැනම මේ “පන්ති ඉනිමගේ” ඉහලට හෝ පහලට යන්න තියන ප්‍රධාන මෙවලම. අඩු වරප්‍රසාද තත්ත්ව යටතේ ඉන්න කොට, මේ නිදහස් හෝ රජයේ කියන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබාගෙන, ඉහල ගියාට පසු එම ක්‍රම වේදයන් එපා කියන කට්ටිය ඕනේ තරම් ඉන්නවා. ඔබ කියන කෙනාගේ මනස ඊටත් පල්ලෙහා තියෙන්නේ. ලංකාවේ මේක ටිකක් පටලවා ගෙන තියනවා. අප නිදහස් අධ්‍යාපනය හැමදාම එක විදිහට සියලු දෙනාටම එක වගේ තියෙන්න ඕනේ කියල කියන එකේ තමයි වැරැද්ද තියෙන්නේ. කලින් නිදහස් අධ්‍යාපනය ලබල, මධ්‍යම පන්තියේ ඉහල ගිය, තමන්ගේ දරුවන්ට වියදම් කරලා උගන්වන්න පුළුවන් හා ඒ සඳහා කැමති දෙමාපියන්ගේ බරත් පොදු සමාජයම දරා ගත යුතු නැහැ. එවැනි හැකියාව තියන කට්ටියට මුදල් වියදම් කර ඉගෙන ගැනීමේ අවස්තාව තියෙන්න ඕනේ. නැත්නම් එවැනි නිදහස් අධ්‍යාපන ක්‍රමයක් පවත්වාගෙන යන්නත්, තවත් පුළුල් කරන්නත් අවස්තාව නැහැ. ලංකාවේ සමහර මධ්‍යම පාන්තිකයන්, දැන් තමන්ගේ දරුවන් ලංකාවේ සරසවි වලට ඇතුල් කරන්න ඉලක්ක කරගෙන උගන්වන්නේ නැහැ. ඔවුනට තියන විකල්ප ගැන කලින් ඉඳලාම හිතනවා. මට හමු උන දෙවෙනි ලාංකිකයා එවැනි කෙනෙක්.

  5. Anonymous

    ඔබට එකඟ නොවීමට අවසර දෙන්න. මා හිතන්නේ ඔබට කථා කළ පුද්ගලයා නිවැරදියි. මට එහෙම හිතෙන්නේ මාත් ඔය අසාධාරණයට ලක් වන කෙනෙක් නිසා.

    මා මහන්සි වෙලා යමක් හොයනවා. මා එයින් යම් කොටසක් ආණ්ඩුවට දෙන්නේ නිකම් නෙවෙයි මට යමක් නැවත ලබා ගන්නත් සමඟ. එයින් කොටසක් අනෙකාට යන එකට මා විරුද්ධ නෑ. හැම දෙනාටම ඉහළට යන්න පුළුවන් විය යුතුයි. නමුත් ආණ්ඩුව මගේ අවශ්‍යතා මුලින් සැලකිල්ලට ගත යුතුයි. මොකද ආණ්ඩුව ගන්නේ මා දහඩිය මහන්සියෙන් හම්බ කරන මුදලින් කොටසක්.

    හැම දෙමාපියෙක්ම වගේ මාත් කැමැතියි මගේ දරුවන්ව හොඳ ඉස්කෝල වලට යවන්න. ඒක බලාපොරොත්තු වෙන්න මට අයිතියක් තියෙනවා, මන්ද මා ඊට අවශ්‍ය තරම්ටත් වඩා වැඩියෙන් බදු මුදල් ගෙවන නිසා. ඒත් ආණ්ඩුව කියනවා නම් හොඳ ඉස්කෝලයක් දෙන්න පුළුවන් ඒක කිට්ටුව ඉන්න කෙනෙකුට විතරයි, මගේ දරුවා ඒ තරම් පහසුකම් නැති, හොඳ ගුරුවරුන් නැති පාසලකට යැවිය යුතුයි කියලා එහි ඇති සාධාරණත්වය කුමක්ද? ඇයි ආණ්ඩුව මෙතරම් බදු ගෙවලත් මගේ දරුවන්ගෙන් පළි ගන්නේ?

    අනෙක ආණ්ඩුව මාව පැත්තක දමා “පොඩි මිනිහාට” තැන දෙන්නේ අවංක අරමුණින් නෙවෙයි. මගේ තනි ඡන්දටට වඩා ආණ්ඩුවට ඔවුන්ගේ vote banks වටිනවා. ඔහුගේ ඡන්දය ගන්න. එනිසා මේක ලෝක කුපාඩි කමක්. ඔබට එය විවේචනය කළ හැක්කේ ඔබ ඉන් පීඩා විඳින්නෙක් නොවන නිසා. මම (හා මගේ දරුවන්) පැහැදිළිවම ඉන් පීඩා විඳින්නන්.

    මං අහන්නේ මෙච්චරයි. මං මෙච්චර බදු ගෙවලත් ඇයි ආණ්ඩුව මගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්නට ඉඩ නොදෙන්නේ? ඒකට උත්තර දෙන්න.

    • ඔබගේ කතාවට උත්තර කොහෙන්ද පටන් ගන්නේ කියල හිතන්න දැන් රෑ උනා වැඩියි වගේ. හෙට ලියන්නම්.
      (පසුව දා) ඇනෝ, ඔබ කියන එක මා හරියට තේරුම් ගත්තද මන්දා? “හැම දෙමාපියෙක්ම වගේ මාත් කැමැතියි මගේ දරුවන්ව හොඳ ඉස්කෝල වලට යවන්න. ඒක බලාපොරොත්තු වෙන්න මට අයිතියක් තියෙනවා, මන්ද මා ඊට අවශ්‍ය තරම්ටත් වඩා වැඩියෙන් බදු මුදල් ගෙවන නිසා. ඒත් ආණ්ඩුව කියනවා නම් හොඳ ඉස්කෝලයක් දෙන්න පුළුවන් ඒක කිට්ටුව ඉන්න කෙනෙකුට විතරයි, මගේ දරුවා ඒ තරම් පහසුකම් නැති, හොඳ ගුරුවරුන් නැති පාසලකට යැවිය යුතුයි කියලා එහි ඇති සාධාරණත්වය කුමක්ද? ඇයි ආණ්ඩුව මෙතරම් බදු ගෙවලත් මගේ දරුවන්ගෙන් පළි ගන්නේ?” මා හිතන්නේ ඔබත් කතා කරන්නේ අසමමිතික බදු අය කිරීම ගැන වෙන්න ඕනේ.

      දැන් ඔබගේ ප්‍රශ්නය, ඔය පළාතේ ඉන්න සේරටම තියනවානේ. මා ලියුවේ, ඔබට දරුවන්ව පෞද්ගලික පාසලකට යවන්න පුළුවන් කම තියනවා නම්, එහෙම කරලා කෙඳිරි ගාන්න එපා කියල.
      දැන් බලමු ඕස්ට්‍රේලියාවේ පුද්ගල ආදායම් බදු අය කරන ආකාරය
      Financial year 2012-13
      Taxable income Tax on this income Effective tax rate
      0 – $18,200 Nil 0%
      $18,201 – $37,000 19c for each $1 over $18,200 0 – 9.7%
      $37,001 – $80,000 $3,572 plus 32.5c for each $1 over $37,000 9.7 – 21.9%
      $80,001 – $180,000 $17,547 plus 37c for each $1 over $80,000 21.9 – 30.3%
      $180,001 and over $54,547 plus 45c for each $1 over $180,000 30.3 – less than 45%
      The above rates do not include the Medicare levy of 1.5%
      හැමෝගෙන්ම සමාන ප්‍රතිශතයක් බදු අය කලොත් $18201 ක් හොයන කෙනා ගෙනුයි, $200000 ක් හොයන කෙනාගෙනුයි එකම ගානක් අය කරන්න ඕනේ. එම ප්‍රතිශතය 20% ක් උනොත් අර $18201 ක හොයන කෙනාට මොනවාද ඉතුරු වෙන්නේ? දැන් උදාහරණයකට $125000 ක් හම්බ කරන කෙනා 25% ක විතර බදු ගෙවන ගමන්, තමන්ගේ පුතාව පෞද්ගලික පාසලකට යවලා කියනවා, හරි නම් ආණ්ඩුවෙන් මට සල්ලි ටිකක් දෙන්න ඕනේ කියලා. රටක බදු ප්‍රතිපත්තියක් එහෙම ගෙන යන්න පුලුවන්ද. එතකොට ඔබ දැන් රජයෙන් කරන යටිතල පහසුකම් දියුණු කිරීම, අධ්‍යාපනයට වියදම් කිරීම, සෞඛ්‍යය, ප්‍රවාහනය යනාදී ක්ෂේත්‍ර වල වැඩ සේරම නතර කරලා, “තමන්ගේ ආරක්ෂාව තමන්ම බලා ගන්න” කියුවොත් මේ රට කොච්චර වෙනස් වේවි කියල ඔබ හිතනවද? දැන් ඔබ හිතනවා ගෙවන බදු වලට ඔබට හොඳ පාසලක් නැහැ කියලා. නමුත් ඔබ සතයක් වත් බදු නොගෙවා, ඉහත සේරම පෞද්ගලික අංශයෙන් ලබා ගන්න උනොත්, ඔබ දැන් ගෙවන බදු මුදලෙන් සේරම කරන්න පුලුවන්ද? අමතක කරන්න එපා ඔබ දරුවා පෞද්ගලික පාසලකට දැන් දාන මුදලට ඔබට දාන්න හම්බ වෙන එකක් නැහැ, මොකද මේවාටත් දෙන රජයේ ආධාර එතකොට නැහැනේ. ඒ වගේ තමයි දොස්තර කෙනෙක් නොමිලේ හම්බ වෙන්න, ඔබ දැන් ගන්න මුදලට බෙහෙත් ගන්න, ඔබේ ඇස් බලවා ගන්න මේ සේරම මුදල්. හැම පාරක්ම ටෝල් වේස්. ඔබ හදිසි අනතුරක් වෙලා ඉස්පිරිතාලේ ගියොත්, ඔබේ රක්ශනේ නැත්නම් මලා තමයි.දරුවා හදිසියේ සරසවි තේරුනොත්, එයාට දැන් ගෙවන ගානට ඉගෙන ගන්නවත්, ණයක් ගන්නවත් ලැබේවිද? මේ ලෝකය ඔබ දැන් නොදකින එකක් වෙනවා.
      ඉතින් ඔබ කියනවා නම් බදු කොහොමවත් අය නොකරන්න කියලා ඒක විහිළු කතාවක්. නැත්නම් ඔබ කියනවා නම් හැමෝගෙන්ම එකම ගානක් බදු අය කරන්න කියලා, එහෙම කරන්න නම් බදු ප්‍රති ශතය 10 ක් ක් විතර කරන්න වෙනවා,නැත නම් අර අඩු ආදායම් ලබන කට්ටියට දෙවි පිහිටයිනේ. එතකොටත් ආණ්ඩුවට දැන් වගේ වියදම් කරන්න බැහැ, ඔබ ඔය කියන ඉස්කෝලේ ඔයිටත් නරක් වෙනවා. දැන් තියන විදිහට විෂම බදු අය කරන කොට, ඔබ වැඩිපුර බදු ප්‍රතිශතයක් ගෙවන කෙනෙක් නම්, ඔබේ පුතාට විශේෂ සැලකිල්ලක් කරන්න කියනවා නම්, එහෙම ඉන්නේ ඔබේ පුතා විතරක් නොවේ. ඩොලර 18201 කේ සිට වැඩි වන හැම ඩොලරයක් ගානෙම වැඩියෙන් හොයන හැමෝටම ගෙවන බදු ප්‍රතිශතය වැඩි වන නිසා, ඒ ඒ ප්‍රතිශතයට අනුව විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. එතකොට එකම ප්‍රදේශයේ පාසල් 50 ක් විතර හදලා දෙන්න ඕනේ, ඒ ඒ කාණ්ඩ වල දරුවන් යවන්න. එහෙම කරන්නත් පුලුවන්ද? එතකොට ආයිත් බදු වැඩි කරන්න ඕනේ.

      මෙතන තියන “සරල සත්‍යය” මේකයි. ඔබේ ප්‍රදේශයේ තියන පාසල තමා හැමෝටම යන්න තියන පාසල. ඔබ වැඩියෙන් බදු ගෙවනවා නම්, ඔබේ ආදායමත් වැඩියි. ඒ කියන්නේ ඔබට දරුවාව පෞද්ගලික පාසලකට දාන්න උනත් පුළුවන් කම තියනවා. එහෙම කරන්න බැරි හා කරන්න පුළුවන් කම තිබුනත් ඕනේ කමක් නැති දෙමාපියන්ගේ දරුවන් සඳහා තමයි අර පාසල තියෙන්නේ. ඔබගේ පුතාට විතරක් විශේෂයක් කරන්න ආණ්ඩුවට බැහැ, මොකද එහෙම විශේෂ කරන්න ගියොත් තව ගොඩක් දෙනා ඉන්නවා.

      මේක දිග වෙනවා. දැන් බලමු රජයේ පාසල් හා නොමිලේ අධ්‍යාපනය නැත්නම්, ඔබ බදු මුදල් ලෙස ඉතිරි කරන මුදලෙන් ඔබගේ දරුවාව පෞද්ගලික පාසලකට යවන්න ඔබට පුළුවන්. සමාජයේ ගොඩක් දෙනාට එහෙම කරන්න පුළුවන් වෙන්නේ නැහැ. කන්න හා අඳින්න වියදම් කලහම මොන අධ්‍යාපන ද? එතකොට සමාජයේ බහුතරයක් හොරුන්, කුඩුකාරයන්, අපරාධකරුවන් වෙන්න ඉඩ කඩ වැඩියි. මොකද හොඳ නරක් දන්නා පිරිසක් බිහිවෙන්න ඉඩක් නැහැනේ. ඔබ පුතාව හෝ දුවව පාසලට දාලා වැඩට ගිහින් ගෙදර එන කොට සේරම අතපත ගාගෙන ගිහින්. දැනුත් මේවගේ දේවල් වෙන කොට අරම සමාජයක තරම ඔබට හිතා ගන්න පුළුවන් නේද? ඔබ එහෙම සමාජයක ඉන්න කැමතිද?

      මේකට අදාළ නැති උනත් මේකත් ලියන්නම්. පාසලක් “හොඳ” හෝ “නරක” වීමට කරුණු විශාල ගානක් බලපානවා. රජයෙන් දෙන ප්‍රතිපාදන එකක්. විදුහල් පති හොඳ හෝ නරක වීම තව එකක්. ඔහු තමා ගුරුවරුන් තෝරා ගන්නේ. ගුරුවරුන් තව එකක්. ඉගෙන ගන්න ළමයින් තව එකක්. හැබැයි සේරටම වඩා විශාලතම කරුණ තමා ඒ ළමයින්ගේ දෙමාපියන්ගේ සමාජ හා ආර්ථික පසුබිම. ගොඩක් මුදල් හොයන “වැඩකරන” පන්තිය ඉන්න ප්‍රදේශයකයි, ඊට වඩා අඩුවෙන් මුදල් හොයන “මධ්‍යම පාන්තිකයන්” ඉන්න ප්‍රදේශයකයි පාසල් දෙකක් අරඹලා, එකම සම්පත්, සමාන හැකියාව තියන ගුරුවරු දමලා පාසල් දෙක වසර දෙකක් දුවන්න. ඔබට වෙනස තේරුම් ගන්න හැකි වේවි. දෙමාපිය සිතුම් පැතුම්, අපේක්ෂා, අධ්‍යාපන තත්වය මේ සේරම ළමයින්ගේ අධ්‍යාපනයටත්, බල පානවා. ඒ බලපෑම ඒ ගොල්ලෝ හොයන ආදායමටත් වඩා වැඩියි.
      දැන් බලන්න සන්කරමනිකයන් බොහෝ දෙනෙක් ජිවත් වන්න තෝරා ගන්නේ “වැඩ කරන ජනතාව” බහුලව ඉන්න ප්‍රදේශ වල. හේතුව පැහැදිලි කරන්න ඕනේ නැහැනේ. නමුත් ඒ අයගේ සිතුම් පැතුම් විතරක් නොවේ අධ්‍යාපන තත්වය උනත් සමාන වෙන්නේ ඉහල හෝ මැද මැද පන්තියේ සිතුම් වලටයි. එතකොට තමන් ඉන්න ප්‍රදේශයේ පාසල හොඳ මදිය කියල පේන්න ගන්නවා. මේකට මොකද කරන්නේ? ඔබම හිතල බලන්න. මට තවත් ලියන්න පුළුවන්. මගේ පාසල ආශ්‍රයෙන්ම. නමුත් මෙහෙම දේවල් ලියල හරි යන්නේ නැහැ.

      මට ඇත්තටම ලියන්න ඕනේ උනේ මේකයි. ගොඩක් දෙනාට සමාජයේ පන්ති ඉනිමගේ ඉහලට යන්න උදව් කරන්නේ ලබන අධ්‍යාපනයයි. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසා වරප්‍රසාද නොලත් බොහෝ සමාජ කොට්ටාශ වල මිනිසුන්ට මේ ඉනිමගේ ඉහල නගින්න පුළුවන් කම ලැබුනා. ඕස්ට්‍රේලියාව වගේ රටවලත් එහෙමයි. අතේ සතේ නැතිව මේ රටට ආපු සමහර සංක්‍රමණිකයන්, තමන්ගේ හැකියාව හා ඉගෙනීම නිසා ඉහල මැද පන්තියට හා ධනපති පන්තියට පවා නැගල තියනවා. මා ගත්තොත්, අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් නැතුව තිබුනා නම්, අපේ දෙමාපියනට මට කොතරම් දුරට අධ්‍යාපනයක් දෙන්න පුළුවන් වේද කියා දෙයියෝ තමයි දන්නේ. නමුත් මා අද ලංකාවේ හිටියා නම්, මගේ දරුවන් සමහර විට කුඩා හෝ “ජාත්‍යන්තර” පාසලකට දමන්න ඉඩ තිබුනා. රජයෙන් දෙන අත හැම පරම්පරාවකට එකසේ දෙන්න ඕනේ නැහැ. ජනතාවම තමන්ගේ ආර්ථික ශක්තිය අනුව, ඔවුනගේ දරුවන්ට දෙන්න පුළුවන් අධ්‍යාපනය ගැන තීරණ ගන්නවා. එකම දේ තියෙන්නේ, එහෙම නිදහස් තීරණ ගන්න ඉඩ ප්‍රශ්තාවත් රජය විසින්ම සලසා දෙන්න ඕනේ (අවශ්‍ය ප්‍රතිපත්ති සකසා). විශේෂයෙන් ජනතාවගේ ආර්ථිකය දියුණු වෙන්න වෙන්න ඔවුනගේ අවශ්‍යතා සිතුම් පැතුම් වෙනස් වෙනවා. චීනයේ පවා ඉංගිරිසියෙන් උගන්වන පෞද්ගලික පාසල් ගාණ වැඩි වෙනවා. අපේ රටේ අධ්‍යාපන අවස්ථා ගාණ හා අධ්‍යාපන විවිධාන්ගිකරණය ජනගහනයේ වැඩි වීමත් සමග ඉහල ගියේ නැහැ. මේකට රජයයන් වගේම විශේෂයෙන් විශ්ව විද්‍යාල සිසු දේශපාලනයත් එකසේ වග කියන්න ඕනේ. අද තියන අපොස උපේ ප්‍රශ්නයට උනත්, එයට කෙලින්ම අහුවෙලා ඉන්න දෙමාපියන් හා සිසුන්ගේ තියන වේදනාව, බහුතර සමාජයේ පිරිසකට දැනෙන්නේ නැහැ. මොකද සරසවි තේරෙන්නේ කොතරම් සුළු පිරිසක්ද? මේ නොතේරෙන බහුතරයට දැන්නෙන්නේ “අනේ අපිට මොකද, ඕකුන් කැම්පස් ගියත්, ඒවායින් පිට වෙලා ආවත්, කරදරයක් විතරයි” කියල. එකට දශක ගණනාවක් තිස්සේ කෙරෙන සනාතන සරසවි අරගල බලපාල තියනවා. මේ අරගල කරලා සමාජයට එන “උපාධිදාරින්ගෙන්” සීයට කී දෙනෙක් තමන් ලබපු නිදහස් අධ්‍යාපනයත්, ඒ දුන්න සමාජයත් දෙස යහපත්ව බලනවාද? මා මේ සටහනේ මුලින් සඳහන් කරපු සන්ක්රමනිකයාත් අයිති වන්නේ ඒ ගොඩට. ඔහුට තමන් ලබපු නිදහස් අධ්‍යාපනයත්, ඉන්පසු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා මුල් අවධියේ බුක්ති විඳපු හා දැනටත් බුක්ති විඳින සමාජ ආරක්ෂණ පද්ධතිය දැන් අමතකයි. මොකද දැන් සල්ලි ටිකක් තියන නිසා. ඔහු මේ කෙඳිරි ගාන්නේ, ඔහුට කලින් පරම්පරාව, ඔහුව මේ තැනට ගෙන්න කරපු කැපවීම් අමතක කරලා. අධ්‍යාපනය හැමවිටම නොමිලේ විය යුතු යයි කියන සරසවි සිසුන්,ගුරුවරුනුත් හා ඒ ඒ ක්රෙශ්ත්‍ර වල නිදහස් අධ්‍යාපනයේ බිහි උන පිරිස් කරන්නේ අධ්‍යාපන ඉඩ ප්‍රස්තා පුළුල් වීමට එරෙහි වීමයි. මේකේ කුහක කම කියන්නේ, සරසවි යන්න පෙනී සිට විභාගයට සල්ලි දීලා ඉගෙන ගන්න එකට කව්රුත් විරුද්ධ නැහැ. අනික තමා අර කියපු මැද හා ඉහල මධ්‍යම පන්තියේ දැන් ඉන්න මේ අධ්‍යාපන ක්‍රමයෙන්ම බිහි උන පිරිස්, තමන්ගේ දරුවන්ට වෙනත් විකල්ප අධ්‍යාපන අවස්තා හිමි කර දෙනවා (දොස්තරලාත් සරසවි ගුරුවරුන්ද මේ කොට්ටාශයට අයත්). මේ අයත් මගේ කතාවේ සන්ක්රමනිකයාත් එකම කාසියේ දෙපැත්ත.
      ඔබ ඇනෝ එහෙම කෙනෙක් නොවේ යයි මා බලාපොරොත්තු වෙනවා.

      • Anonymous

        ඔබේ අවබෝධය වැරදියි. මා කතා කරන්නේ අසමමිතික බදු අය කිරීම ගැන නොවේ. බදු අය කර ගැනීම ගැන ගැටළුවක් නැහැ. ඒ බදු ගෙවන්න මා ලැහැස්තියි. නමුත් ගැටළුව එසේ බදු ගෙවලාත් රජය මගේ දරුවන්ගෙන් පළි ගැනීමයි. ඇයි ඒ? ඔවුන්ට හොඳ පාස්ලක් දෙන්න රජයට බැරි ඇයි? අන්න ඒකට උත්තර දෙන්න.

      • Anonymous

        /ඔබ දරුවා පෞද්ගලික පාසලකට දැන් දාන මුදලට ඔබට දාන්න හම්බ වෙන එකක් නැහැ, මොකද මේවාටත් දෙන රජයේ ආධාර එතකොට නැහැනේ./

        ලංකාවේ පෞද්ගලික පාසල් වලට (සෙන්ට් ජෝෂප් පීටර්ස් වගේ කීපයකට ඇරෙන්න ) කොහොමටවත් රජයේ ආධාර නැහැ. හැබැයි පෞද්ගලික පාසල් රජයට බදු ගෙවිය යුතුයි. පුළුවන් තරම් පෞද්ගලික අධ්‍යාපනය අඩාල කරන්න තමයි ලංකාවේ ආණ්ඩුව කටයුතු කරන්නේ.

      • Anonymous

        /ඉතින් ඔබ කියනවා නම් බදු කොහොමවත් අය නොකරන්න කියලා ඒක විහිළු කතාවක්. නැත්නම් ඔබ කියනවා නම් හැමෝගෙන්ම එකම ගානක් බදු අය කරන්න කියලා, එහෙම කරන්න නම් බදු ප්‍රති ශතය 10 ක් ක් විතර කරන්න වෙනවා,නැත නම් අර අඩු ආදායම් ලබන කට්ටියට දෙවි පිහිටයිනේ. /

        වල්ගේ පාගා ගන්න එපා මහත්තයෝ. කොහොදෙ මම එහෙම කියල තියෙන්නෙ. ඔබට සරල සිංහල තේරෙනවද? මුලින්ම කියන එක තේරුම් ගන්න. ඊට පස්සෙ උත්තර දෙන්න. ඔබේ හිතේ තියෙන දේවල් මම කිවාය කියා හිතීගෙන පිළිතුරු දෙන්න එපා.

      • Anonymous

        දැන් ඔබ කියන්නේ:

        1. ආණ්ඩුව මගෙන් බදු අය කළ යුතුයි. මොකද මා වැඩියෙන් උපයන නිසා
        2. ආණ්ඩුව “දුප්පතාගෙන්” බදු අය නොකළ යුතුයි මන්ද ඔවුන් අඩුවෙන් උපයන නිසා
        3. ආණ්ඩුව “දුප්පතාගේ” දරුවන්ට මගෙන් අය කරන බදු මුදල් යොදවා පාසල් තනා දිය යුතුයි.
        4. නමුත් ආණ්ඩුව මගේ දරුවන්ට පාසල් නොදිය යුතුයි. මන්ද ඔවුන්ට පෞද්ගලික පාසලකට යන්න පුළුවන් නිසා.

        ඇයි ආණ්ඩුව සියළුම වරප්‍රසාද “දුප්පතාටම” දෙන්නේ? බදු ගෙවන මට එයින් කොටසක් වත් අයිති නැද්ද? මාත් මේ රටේ පුරවැසියෙක් නෙවෙයිද?

        • ඇනෝ, මා මුලින්ම පටන් ගත්තේ ඔබ කියන දේ මා තේරුම් ගත්තද කියලා හරියටම සහතික නැහැ කියලා. මා තේරුම් ගත්තේ ඔබ ඕස්ට්‍රේලියාවේ ජිවත් වන කෙනෙක් කියලා. මගේ කතාව ඕස්ට්‍රේලියාව ගැන මිසක් ලංකාව ගැන නොවේ. මා ලියපු කිසිවක් ඔබට අදාළ ඒවා නොවේ. වල්ගේ පාගා ගැනීම ගැන මට චෝදනා කරන්න කලින් මගේ සටහන නැවත කියවන්න. ලංකාවේ පාසල් හා මෙහෙ පාසල් හා රටවල් දෙකේ බදු අය කිරීම් හා ඒවා වියදම් කරන ආකාරය සංසන්දනය කරන්න මා අදහස් කරන්නේ නැහැ (මේ ටිකත් එකතු කරන්න හිතුනා. ඔබ මගෙන් අහනවා “සරල සිංහල තේරෙනවද කියලා”. මටත් මගේ සටහනට ප්‍රතිචාර දමපු අනික් අයටත් “මගේ සරල සිංහල තේරුම් ගන්න පුළුවන්” වෙලා තියෙත්දී ඔබතුමාට මේ මක්කැයි වෙලා තියෙන්නේ?).

          • මට නම් මේ ඇනෝ ගේ සරල සිංහල ප්‍රශ්ණය තේරෙන්නේ නෑ.

            • ඒ මහතාට තියෙන්නේ වෙනම ක්‍රමයකදී තියන ප්‍රශ්නයක් වෙන්න හැකියි.

  6. බදු අඩු කරනකොට උද්ඝෝෂණ කරන රටවලුත් තියෙනවලු නේ…

    • ඔබ දන්නවද හරේ, ගොර්බෝචෝෆ් අයියා අර සෝවියට් සංගමය කඩන වැඩ පිළිවෙල පටන් ගන්න කොට උදාහරණයකට ගත්තේ ඩොඩෝ මෙයට කලින් ලියුව ස්කැන්ඩිනේවියානු රටවල් වල තියන “සමාජවාදය”. ඔහු ප්‍රශ්න කලේ අපට අවුරුදු 70 ක් තිස්සේ එවැනි ජිවන තත්වයක් මහා ජනයාට ලඟා කර දෙන්න පුළුවන් උනාද කියන එක.

  7. Kenji @ Japan

    කොහොමත් රයිගම; පිටරටක පදිංචියට ගියාම එමරටේ දෙයට අනුගතවියයුතු බවයි මගේ හැගීම. හැබැයි ලංකාවෙන් යන සම හරක් අය ඉන්නවා තමා ගිය රටේ නීති තමන්ට ඕන විදියට හදාගන්න දගලන.සමහර අය එම රටවලට යන්න අවුරුදු ගණන් තටමල, මිලියන් ගණන් මුදල් වියදම කරගෙන ගිය අය. තව අවුරුදු 18 කින් නම් ලංකාවට ආහාර හිගයක් හෝ ජලය හිග ප්‍රදේශ ඇතිවන්නේ නැහැ.මොකද එක එක දිනවල් වලදී මැටි, ඇමටියෝ ජනතාව සමග ගස් හිටවන්නේ දවසට ලක්ෂ ගණනින්,එළවලු,පලතුරු ඇට පැල බෙදල දෙන්නේ නොමිලේ.ඉතින් එහෙඋව් රටේ ඉදල එන මම ඉහත සදහන් කරපු වගේ අය කෑගහන එක අරුමයක් නොවේ.

    • මෙතන තියෙන්නේ වන ප්‍රශ්නයක් කෙන්ජි. ඉස්සර හොඳ උන ක්‍රමයක්, එක පාරටම තමන්ගේ ආදායම වෙනස් උන නිසා හොඳ නැති වීම. ඔහු මේ කතාව කියපු දවසේ ඉන්න තැනට එක පාරටම ආපු කෙනෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් ගේ බුදලයෙන් පන්ති ඉනිමගේ නැගපු කෙනෙකුත් නොවේ. එතකොට කලින් ගත්ත වරප්‍රසාද පොලිය සමග දැන් දෙන්න කැමතිද?

  8. Kenji @ Japan

    කුංකුම අංජන නොව, හරි ප්‍රතිපල ඉල්ලා අඩති අපේ දරු දැරියෝ පර බල්ලන් මැරෙන තුරා.

  9. Reblogged this on raigamahandiya and commented:

    අළුතින් ලියන්නට පෙර ප්‍රතිචක්‍රීකරණයකට යන්නට සිතුනා. දැනට වසර 3කට පමණ පෙර ලියූ මේ සටහන හා එයට මා ලබා දී තිබූ ප්‍රතිචාරයන් අදටත් වලංගුද? ඒ පිරිස මේ සටහන් තව දුරටත් කියවනවද? එවැනි දේවල් ගැනත් සිතමින් මේ සටහන කියවමු!

    • ආදායම කුමක් වුනත් මගේ දරුවන් දෙදෙනාම රජයේ පාසල්වල තමයි ඉගෙන ගත්තේ/ගන්නේ.

      හත්වෙනි ශ්‍රේණියට උසස් විද්‍යාලයට යාමට මගේ දියණියට ශාන්ත පෝල් ගේ විද්‍යාලයෙන් 50% ශිෂ්‍යත්වයක් ලැබුණත්, ඒ සමගම රජයේ academic selective උසස් පාසලටත් ඇතුලත් වීමට අවසර විභාග ලකුණු අනුව ලැබුණු නිසා අර ශිෂ්‍යත්වය එපා කිව්වා.

      පුතාව නම් ඒ ශාන්ත පෝල් ගේ විද්‍යාලයේ ශිෂ්‍යත්ව පරික්‍ෂණයට ඉදිරිපත් කළේවත් නෑ.

      පුද්ගලික පාසල් කියා ආයතන තියෙනවාද? ඒවා ආගමික පාසල් නේද? ශාන්ත පෝල් ගේ පාසල එංගලන්ත සභාවේ එකක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s