මේ සතියේ මගේ අදහස් ඉල්ලලා එවපු කෙනෙකුගේ ජිව දත්ත කියවපු මට මෙවැනි සටහනක් ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ, මා ජීව දත්ත ලියන එක ගැන විශේෂඥයෙක් හෝ රැකියා උපදේශකයෙක් නොවන බව. මේ සටහන ලියන්නේ සාමාන්‍ය අයෙක් අර ජීව දත්ත දැකීමෙන් ඇතිවුණ අදහස කියන්න පමණයි. හැබැයි මේ ජීව දත්ත මට එවපු කෙනා බලාපොරොත්තු උනේ මෙයා ගැන මගේ තක්සේරුව.
මේ බයෝ ඩේටා එක අයිති ශ්‍රී ලාංකිකයෙකුට. මෙවැනි තවත් සටහනක් මා මීට පෙර ලියා තියනවා. නමුත්, අප සමහරවිට හොඳට අත්දැකීම් තියන හා ඉගෙනගෙන තියනවා යයි හිතන අයවලුන් පවා මූලික දේවල් අමතක කරන බව පේනවා. ඔබ ඕස්ට්‍රේලියාවේ හෝ වෙන බටහිර රටක රස්සාවකට අයදුම් කරනවා නම්, ඔබගේ නම මගේ මාතෘකාව වගේ දිග නම්, ඔබගේ සම්පුර්ණ නම ජිව දත්ත වල සඳහන් කිරීම ඔබට අවාසියක් විතරයි. පිටුවෙන් බාගයක් නමනේ. මේක ගුවන් ගමන් බලපත්‍රය ගන්න ඉදිරිපත් කරන ඉල්ලුම් පතක් නොවේ. ඔය පරම්පරා නාම කාටවත් වැදගත් නැහැ. නමවත් කියවන්න අමාරු නම්, ඔබව සේවයට බඳවා ගනියි කියලා හිතන්න එපා. සමන් ජයසිංහ කියල නම ලියුවහම හොඳටම ඇති.
මේ ජීව දත්ත සටහන පිටු හයක් දිගයි. මා ලියුවා නම් පිටු තුනෙන් ඉවර කරන්න පුළුවන්. වැඩිපුර වැල් වටාරම් වලින් වෙන්නේ, ඔබ කියන්න හදන දේත් සැඟවිලා යන එකයි. අනික තමා, කවදාවත් එකම “බයෝ ඩේටා” එක හැම රස්සාවකටම එකම විදිහට යැවීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේක එක එක රස්සාවට “කස්ටමයිස්” කරන්න ඕනේ. ඔබ ලියන්නේ එකම දේවල් තමා. නමුත් උලුප්පලා දක්වන්න ඕනේ දේවල් වෙනස් වෙනවා. තමන්ගේ වගකීම් හා රාජකාරි මොනවාදැයි විස්තර කිරීමට වඩා, ඒවා තමන්ගේ “අචිව්මන්ට්ස්” උනේ කොහොමද කියලා විස්තර කලොත් වඩා සාර්ථකයි.
විච්චුර්ණ අකුරු හා විච්චුර්ණ සැකිල්ලක් භාවිතා කරන්න එපා. සරල අකුරු වර්ගයක් තෝරා ගන්න. “කැපිටල්” අකුරු සිර්ෂ පාඨ වලටවත් යොදා ගන්න එපා. අත්දැකීම් වලින් අයදුම් කරන දෙයට අදාළ දේවල් විතරක් දක්වන්න. ඒ වගේම අදාළ නොවන ඒවාත් අදාළ වන විදිහට වචන පෙළ ගස්වා ගන්න පුළුවන්. දීර්ඝ හෑලි ලියන්න එපා. “ෆොර්මටින්” ගැන සැලකිලිමත් වන්න. එක එක රටවල වැඩියෙන් භාවිතා වන සැකිල්ලවල් හා යොදා ගන්නා වචන ඔබට අන්තර් ජාලයෙන් දැන ගන්න ඕනේ හැටියේ පුළුවන් නේ.