මගේ හා මා දැකපු එකතු කිරීම්! My reflections on childhood hobbies!


මා මේ සටහන ලියන්න හිතා ගත්තේ ඊයේ ප්‍රදර්ශනයක් බලලා එන ගමන්. අද උදේ මාරයාගේ ගී පොත බැලුවහම කොහොමත් මෙය  ලියන්න හිතුනා. අප කුඩා කාලයේ හා ලොකු උනහමත් නොයෙකුත් දේවල් විනෝදාංශ කියල කරනවා. අප පාසල් යන කාලයේ නම් මේ වගේ වට්ටෝරුවක් තිබුනා. මුද්දර, මුල් දින කවර, පරණ කාසි, කුරුළු පිහාටු, ගිනි පෙට්ටි, සිගරට් පෙට්ටි, කෝච්චි ටිකට්, අත්සන් හා සමරු සටහන්, සින්දු, පත්තරවල පින්තුර හා චිත්‍ර කතා හා පත්තර  ආදිය එකතු කිරීම, පෑනේ මිතුරු ඇසුර, රේඩියෝ වාහන හා අනික් ගැජට් කෑලි හැදීම. මේ වගේ නොයෙකුත් දේවල්. මෙතනින් කීපයක්ම මාත් කළා. හැබැයි ලොකු වෙනකොට මේවා වෙනත් දේවල් මගින් විස්තාපනය උනා. අප මේ වගේ දේවල් කරන්නේ එදිනෙදා අපේ ජීවිතයේදී ඇතිවන ආතතියෙන් ගැලවෙන්න. වෙනත් දේවල් වලට  පුරුදු උනහම අනික් විනෝදාංශ ආතතියට එතරම් ප්‍රයෝජනයක් නැති වග දැන ගන්නවා. එතකොටත් මුද්දර එකතු කිරීම වගේ ඒවායින් ඈත් වෙනවා.

කොහොමහරි ඊයේ ප්‍රදර්ශනය තිබුනේ මෙහෙ පාසලක. මගේ සහකාරිය ඒකට පැය දෙකක් ස්වේච්චාවෙන් වැඩ කරන්න පොරොන්දු වෙලා තිබුන නිසා අප මුළු පව්ලම ගියා. මා ගිය වසරේත් මේ ප්‍රදර්ශනයම බැලුවා. ඒත් ආධාර පිණිස. මෙවර මේ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 40 ස් වන වරට. ඒ කියන්නේ අවුරුදු හතළිහක් නොකඩවා මේක පවත්වලා තියනවා. මොකක්ද මේ ? වෙන මොකවත් නොවේ, අනු දුම්රිය නැති නම් මොඩල දුම්රිය නැති නම් ඉතා කුඩා දුම්රිය ප්‍රදර්ශනයක්. රේල්ලු මත දුවන මේ කුඩා දුම්රිය සඳහා ගම්, නගර, කැලෑ, දිය ඇලි, ගොවිපොළවල්, කර්මාන්ත ශාලා, පාරවල් හා වාහන ආදී සැබෑ ලෝකේ දකින සේරම ගොඩ නගලා තිබුනා. මෙවැනි කුටි කිහිපයක් තිබුනා එකිනෙක වෙනස් පරිසර හා දුම්රිය සමග. සමහර විට ඒවායේ තියන විස්තරාත්මක බව හා කුඩා දෙයක් ගැන පවා යොදල තියන අවධානය විස්මය දනවනවා. මේ වගේ දෙයක් අවුරුදු ගානක් සංවිදානය කරන්නේ කව්ද?

කැන්බරා නුවර මොඩල දුම්රිය සංගමය (ACT Model Railway Society Inc) කියන ආයතනය තමා මෙය සංවිදානය කරන්නේ. මේ සංගමයේ මා දැකපු සියලු දෙනාම විශ්‍රාමිකයන්. අපේ තාත්තලාගේ වයසේ කට්ටිය. බිරිඳට පැය දෙකක් ගත කරන්න වෙන නිසා මුළු ප්‍රදර්ශනයම බලලා ඉවර කලත් කාලය ඉතිරි උනා. හැරත් ගිය අව්රුද්දෙත් බලපු එකක්නේ. පුතාල ගියා එළියේ සෙල්ලම් කරන්න. මා ආයිත් ඇතුලට ගිහින් මේ දුම්රිය අයිති දෙතුන් දෙනෙක් සමග කතා කලේ කාලය කා දමන්නම විතරක් නොවේ, මගේ පොඩි කාලේ විනෝදාංශ ද මතක් උන නිසා. මේ ඕස්ට්‍රේලියානුවන් මේ කුඩා දුම්රිය එකතු කරන්න පටන් අරන් තියෙන්නේ පුංචි කාලේ ඉඳන්. එක් අයෙක් කිවේ, එයාගේ දහතුන්වන උපන්දිනේට    තමයි පළමු දුම්රිය ලැබුනේ, එදා ඉඳන් එකතු කරනවා කියල. ඔහුට දැන් වයස අවුරුදු 65-70 ක් විතර ඇති. තව කෙනෙක් කියුවේ මිට වසර විසිපහකට පමණ පෙර සිට මේ එකතු කිරිල්ල පටන් ගත්තේ කියල. කොහොම හරි ගොඩක් දෙනා මේ කුඩා දුම්රිය එකතු කිරිල්ල අවුරුදු 20 -50 ක් අතර කාලයක් නොකඩවා කරගෙන එන අය. මා ඇහුවහම මේ වගේ ප්‍රදර්ශන ජනප්‍රියද කියලා, එක් කෙනෙක් ඔවුනගේ ඉදිරි කාල සටහන කියුවා. තව සතියකින් තියන අනිත් ප්‍රදර්ශනය සිඩ්නි නුවරත්, ඉන්පසු සතියේ තවත් නගරයකත්. ඉල්ලුමේ අඩුවක් නැහැ. කොහොමහරි මේ සංගමය නිසා, ඔවුනට එකතු වීමටත්, කාලය ගෙවා දැමීමටත්, ආදායමක් ලබා ගැනීමටත්, මේ වගේ පාසල් වලට උදව් කිරීමටත් ආදී වශයෙන් ප්‍රයෝජන  කිහිපයක්ම තියනවා.

මා තව විස්තර ඇහුවා. එක කුටියක තියන පරිසරය (landscaping, cities and garden designs) හදන්නේ ඔවුන් කිහිප දෙනෙකු එකතු වෙලා, එක එක අදහස් දාලා. කුඩා තණකොළ ගහේ ඉඳලා, බාර් එකේ මිනිසුන් දෙදෙනෙක් රණ්ඩු කර ගන්න එක දක්වා විස්තරාත්මකව ඉදිරිපත් කරන්න අරන් තියන උත්සාහය හරිම අපූරුයි. කොහොම හරි මේ කුඩා දුම්රිය නිෂ්පාදනය කරපු එංගලන්ත සමාගම 1960 දී විතර ඔවුනගේ නිෂ්පාදනය නවත්වලා. දැන් තියෙන්නේ ඒ පරණ දුම්රිය විතරයි. වෙනත් සමාගමක් අලුතෙනුත් හදනවා. නමුත් මේ පරණ ඒවා හරිම තත්වයෙන් උසස් කියලා බැලූ   බැල්මටම පේනවා. මේවායේ තෙල් ගල්වලා, පොලිෂ් කරලා තියා ගත්තම තව ජිවිත කාලයක් දුවන්න පුළුවන් කියල මගේ එක ප්‍රශ්නයකට උත්තර දුන්න කෙනෙක් කියුවා. මාත් කියුවා දුම්රිය නොවුනත්, මාත් එකතු කරපු දේවල්. අපේ පුතාල වගේ තමයි, ඔවුනගේ මුනුපුරන්ද වැඩි දෙනෙක් මේ වගේ දේවල් වලට ආස නොකරන බව වැඩි දෙනා කිවේ. සමහරුන්ගේ මුණුපුරන් සීයලා  සමග වැඩේට හවුල් නොවන්නෙම නැහැ. ප්‍රදර්ශනය බැලුවාට වඩා, ඔවුන් සමග කල කතා බහ මට හොඳය කියල හිතුනා. ලංකාවේ නම් ළමා වැඩක් කියල හිතෙන මේ කෝච්චි එකතු කිරිල්ල ඔවුන් මෙතරම් වයසට ගිහිනුත් නොකඩවා කරගෙන යාමෙන් ඔවුනට පමණක් නොවේ සමාජයටත් යමක් දෙන්න ඔවුනට පුළුවන් කම ලැබිලා.

මා කුඩා කාලයේ නොයෙක් දේ එකතු කළා. කව්රුත් වගේ, මුද්දර, කුරුළු පිහාටු, පරණ කාසි, පින්තූර පොස්ට් කාර්ඩ් වගේ දේවල් වලට අමතරව එකතු කරපු දෙයක් තමා පත්තර. දිනමිණ, සිළුමිණ, දවස, රිවිරැස, ලංකාදීප, ඇත්ත හා පසු කාලීනව දිවයින පුවත් පත් මේවා අතර තිබුනා. මාර්ටින් වික්‍රමසිංහ මිය ගිය දවස, විජේවීර ව ජේ ආර් නිදහස් කල දවස, කොළඹ නොබැඳි සමුළු දවස්වල, ජේ ආර් 77 දිනලා, පළමුව ගහපු දිනමිණ මේ අතර තුබුණා. මේවා ගොඩක් ඒවා මා පොඩිම කාලේ ඉඳන් තිබුන ඒවා. ඊට පසුව, පළමු දිවයින ඉරිදා සංග්‍රහය, පළමු දිවයින දිනපතා පත්තරය, මුල අවුරුදු දෙක තුනේ දිවයින ඉරිදා සංග්‍රහය, චාර්ල්ස් හා ඩයනාගේ විවාහය දවසේ ලංකාවේ සේරම පත්තර (ගොනා කාලේ වැඩ) වැනි පත්තර විශාල සංඛ්‍යාවක් මා එකතු කළා. මීටත් අමතරව, සුහද හා චිත්‍ර මිත්‍ර  චිත්‍රකතා පත්තර එකක් නෑර අවුරුදු ගණනාවක පත්තර තොගයක් මා සතුව තිබුනා.කොටින්ම මගේ කාමරේ මගේ ඒ දවස්වල උසට සරිලන පත්තර මිටි දෙකක් ගොඩ ගහලා තිබුනා. මේවාටත් අමතරව අර සෙවිල්ල සඟරාවද මා එකතු කරගෙන තිබුනා.

අද පෙන්නපු රූපවාහිනි වැඩ සටහනක තිබුනේ, මේ වගේ එකතු කිරීම් නිසා අවුල් උන ජිවිතයක් ගැන. හැබැයි ඒක විනෝදාංශ යට කරන එකතු කිරීම නොවේ (collecting),මේක එක්තරා රෝගයක්. ඒකට මව් භාෂාවෙන් කියන්නේ Compulsive hoarding (or pathological collecting). මේ වගේ එකතු කරන චරිත ගැන වැඩ සටහන් මෙහෙ රූපවාහිනියේ නිතර යනවා. මෙවැනි කෙනෙක් අසල වැසියෙක් නම් ඉඳලා හමාරයි. මගේ පත්තර එකතු කිරිල්ලත් ටිකක් මේ වගේ. දැන් නම් පත්තරේ කියවල ඉවර උන ගමන් කුණු බක්කියේ. මේ මොන එකතු කිරිල්ලෙනුත් වන්නේ මා කලින් කියපු අපේ මනසට වෙනස් බවක් ලබා දීමයි. නැත්නම් එදිනෙදා ජීවිතයේදී කරන අනෙක් දේවල් වලට විවේකයක් හා විවිධත්වයක් එකතු කිරීමයි.

මා රුසියාවේ අධ්‍යාපනය  හමාර කරලා එන විට, මගේ පත්තර සේරම මඩුවකට දාලා දිරන්න ඇරලා තිබුනා. මට කනගාටුවක් ඇති උනත්, කේන්ති ගියේ නැහැ. මේවා නැවත ගෙදර ගෙනත් පරිස්සම් කරන්න මට ඕනේ උනෙත් නැහැ.මගේ මුද්දර ටික හා කාසි ටික විතරක් පරිස්සම් වී තිබුනා. පසුව මා දුටුවේ, කාමරයක් පුරවා ගොඩ ගසා තියන පරණ බෝතල් ගොඩක් (අරක්කු නොවේ, වෙනත් බෝතල්). අම්මලා මගේ පත්තර ටික එලියට දාන අතරේ මේ හිස් බෝතල් වලට ඉඩක් වෙන්කර තිබුනා. ඒක දැක්ක මගේ කන් වල දෝංකාර දුන්නේ ඒ දවස් වල අපේ පාරේ යන ” බෝතල් පත්තරෙයි” කියල මේවා එකතු කරන දෙමල මනුස්සයාගේ  කටහඬ.

අපත් එක්ක ලංකාවට ගිහින්, ගෙවල් දෙක තුනක් මාරු වෙලා, අප ඕස්ට්‍රේලියාවට එන විට ඇඳුම් වලට අමතරව ගෙනාපු බඩු කෑලි දෙක තුනෙන් එකක් මේ ලඟදි මා අතින් බිඳුනා. අපට එහි ඇති භෞතික  වටිනාකමටත් වඩා, අපේ ජිවිතයේ එක කාල පරිච්චේදයක් නිරූපනය කරන්නක් වීම නිසා භාවාත්මක වටිනාකමක් තිබුනා. කොහොම හරි මෙල්බර්න් නුවරත් මේක අපත් සමග නිවාස කීපයකට මාරු උනා. කැන්බරා වලත් දෙවෙනි ගෙදර. මෙච්චර කරලත් අන්තිමට මා විසින්ම නිකම් කුඩු කර දැම්මා. මේ වගේ දෙයක් උනහම දැනෙන කනගාටුව, මා ක්‍රිස්ටල් කැබලි ටික කුණු බඳුනට දාන කොට ඇති උනේ නැහැ. මගේ සිතට නැගුනේ, මෙච්චර කල් මොකට මේක තියා ගත්තද කියලා.

අප ආසාවෙන් එකතු කරන සමහර දේවල්, ජිවිතයට බරක් කියලා තේරුම් යන්නේ එහෙමත් වෙලාවක. බුදු හාමුදුරුවන් තන්හාව කියලා අදහස් කරන්නේ මේවා කියලයි මා අර්ථ නිරූපනය කර ගන්නේ (මගේ වාසියට). මා නම් දැන් ගෙවල් මාරු කරන වාරයක් පාසා මෙවැනි කෞතුක  වස්තු එකින් එක අත හැරලා එන්නේ. හැබැයි මගේ මුද්දර එකතුව හා පරණ කාසි එකතුව තාමත් මා ළඟ. මගේ මුද්දර අතර සුද්ද ලංකාව අල්ලාගෙන ඉන්න කාලේ ගහපු ටිකක් කෞව්තුක ඒවාත් තියනවා. පරණ කාසි අතර මට අපේ ආතා දුන්න එක්දහස් අටසිය ගණන්වල කාසි වල ඉඳලා රුසියාවේදී ගත්ත පරණ කාසිත්, සෝවියට් කාසිත් තියනවා.   පුතාලගේත් මේවාට වැඩි කැමැත්තක් නැහැ. මා කල්පනා කරන්නේ මොකක්ද කරන්නේ කියල. අර කෞව්තුක වස්තු ප්‍රදර්ශනයකට වත් ගිහිල්ල මේවට වෙළඳ වටිනාමක තියනවද කියල බලන්න ඕනේ.  නැත්නම් කවද හරි කුණු කූඩෙට තමයි.

මා එහෙම කියන්නේ මා දැකපු මෙවැනි එකතු කිරීමට උන ඉරණම හා අනික් එකට වෙන්නට යන ඉරණම ගැන හිතලයි. එකක් තමා මා මෙල්බර්න් වල ඉන්න කොට මගේ සම්බන්ද කම් තිබුන සරසවියක හිටිය “ගෞරව ආචාර්ය වරයකුගේ” පොත් එකතුවක උන දේ. මේ ආචාර්ය වරයා මේ සරසවියේ වසර 30 ක පමණ සේවයෙන් විශ්‍රාම ගිහින් දැන් වැඩ කරන්නේ ගරු වශයෙන්. ඒ කියන්නේ ගෙදර ඉන්න බැරි කමට සරසවි එනවා (පෙර පව්). කොහොම උනත් ඉතා හොඳ මනුස්සයෙක්. ඔහුගේ විෂයට අයත් ඕනෙම දෙයක් ගිහින් අහන්න. ඔහු ගාව උත්තර තියනවා. ඒ විතරක් නොවේ මුලාශ්‍ර පොතත් ඔහු, කාමරයේ තියන ඔහුගේ පොත් වලින් සොයා දෙනවා. ගරු උනත් ඔහුට වෙනම කාමරයක් සරසවියෙන් වෙන්කර තිබුනා. ඒ ඔහු උගන්නපු කාලේ ඉඳන්ම තිබුන කාමරය. මේ කාමරේ (කන්තෝරු) පිරිලා තිබුනේ පොත් පත්. ඔහුගේ මුළු සරසවි ජිවිත කාලය පුරාම එකතු කරපු හා ත්‍යාග ලබපු ඒවා. මේවා රාක්ක වලත්, බිමත්, ඔහුගේ මේසය පුරාත් හැමතැනම තිබුනා. නමුත් හැම පොතක් තිබුන තම  මතකයෙන් ඔහු දැනගෙන තිබුනා. කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවහම, ඔහු අරන් දෙන්නේ අර කියපු අපිළිවෙලට තිබුන පොත් අතරින් එකක් තෝරලා. මෙහෙම ඉන්නකොට තමයි සරසවියේ වියදම් කැපීම් (cost-cutting) ආවේ. එතකොට දැනට තියන ඉඩකඩ වඩාත් “ඵලදායි” ලෙස ප්‍රයෝජනයට ගන්න ඕනේ කියල චක්‍ර ලේඛයක් ආවා. අර ගරු ආචාර්ය වරයට ඔහුගේ කාමරය තව කෙනෙකු හා බෙදා ගන්න උනා. දැන් පොත් වලට කරන්න දෙයක් නැහැ. ඔහු මාසයක් පමණ තිස්සේ මේ පොත් ටික තෝරමින් “අනවශ්‍ය” ඒවා අනික් අයට ගන්න විද්‍යාගාරයට දැම්මා. මෙයින් එක පොතක් මාත් අරන් ආවා. ඒක රුසියානු-ඉංගිරිසි පාරිභාෂික පොතක්. මා ඇහුවා ඔබ රුසියන් දන්නවද මේ පොත තියා ගන්න කියල.  නැහැ, ඔහුට මේ පොත සම්මන්ත්‍රණයකදී තෑගී ලැබුන එකක්.

දෙවෙනි එක තමයි අපේ ශ්‍රී ලාංකික යෙකුගේ එකතුවක්. මේක තිබුනේ ඔහුගේ විසිත්ත කාමරේ කැබිනෙට්ටුවක. මේ කැබිනෙට්ටුව හරියට අර නලපාන ජාතකේ වගේ. ඇතුලට ගිය දෙයක් කවදාවත් එලියට එන්නේ නැහැ. මොනවාද පිරිලා තිබුනේ. නොයෙක් ජාතියේ රට බිම වර්ග. ඔහු කොහේ හරි ගියාම ගෙනෙන බෝතල් මේකේ පුරවල තිබුනා. හැබැයි බොන්න ඕනේ උනොත්, බොන්නේ ළඟ කඩෙන් ගන්න බෝතලයක් (පෙර පව්). මෙයා දැන් ටිකක් වයසයි. පොරගේ දුව බැඳලා ඉන්නේ සුද්දෙක්. කවද හරි මිනිහට නම් කල්ල මරේ (පෙර පින්). මොනවා එකතු කලත් මේ එකතු කිරිල්ල නම් මට කරන්න බැරි දෙයක්.  කොහොම හරි මේ එකතු කිරීම් දෙකට උනදේ හා වෙන්න යනදේ දැකලා තමයි මගේ මුද්දර හා කාසි ටික පුළුවන් නම් මුදල් වලට මාරු කරන්න හිතිලා තියෙන්නේ. අඩු ගානේ අර කැබිනෙට්ටුවේ තියන දෙයකින් වත් එකක් ගන්න ගානක් හොයා ගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.

Advertisements

11 Comments

Filed under Social

11 responses to “මගේ හා මා දැකපු එකතු කිරීම්! My reflections on childhood hobbies!

  1. මාරයා

    මෙන්න ඔත්තුවක්…
    http://sonodilan.blogspot.com/2012/08/numismatics.html

  2. ඔබට ඉස්තුතියි මාරයා. ගිහින් බැලුවා විතරක් නොවේ ප්‍රතිචාරයකුත් දැමුවා. හැබැයි මට වැඩක් වන දෙයක් නොවේ. එකක් තමයි මා අන්තර්ජාලයේ වෙළඳම් හෝ හුවමාරු කරන්නේ නැති එක. අනික තමා මේවා සල්ලි වලට මිසක් තවත් සෙන්ටිමන්ටල් දෙයකට නම් හුවමාරු කරන්නෙත් නැහැ.

  3. kathandarakaraya

    ඉස්සර එකතු කරපු පත්තර, මුද්දර වගේ අපේ හණමිටි ටිකත් විසිකරලා දාන්න පුළුවනි නම් කොච්චර හොඳයිද, නේද?

    • ඒකනම් හරිම ඇත්ත කකා. ගොනාගේ බැන්ද ගැල වගේ තමයි. හණමිටි ටික නම් යන හැමතැනම අපේ පසු පස එනවානේ.

  4. kathandarakaraya

    මගේ ජීවිතයේ ලොකුම දුකක් තමයි පරණ දිනපොත් පිච්චීම. විශේෂයෙන්ම මං උසස් පෙල කරපු වසරට පස්සේ අවුරුද්දේ එක. ඒ ගන්ධබ්බ කාලේ තමයි මං හොඳම දේවල් ලිව්වේ.

    • මා හිතන්නේ ඔබ මේ ගැන ලියපු දෙයක් මා කියවල තියනවා. මේවා පිච්චීමට හේතුව අර ලයික් ඒ මොහොතේ ලොල් වීමද? 😀 උසස් පෙලට පසු ඔබ කියන ඔය ගන්දබ්බ අවධිය එක අතකින් හරිම ප්‍රයෝජනවත් කාලයක් නේද ?

  5. Kenji @ Japan

    ලිපිය කියෙඋව්වම මගේ මතකයත් අවදි උනා.අර බිම බෝතල් එකතුකරන කෙනා වගේ මාමණ්ඩි කෙනෙක් ලැබුණානම් කියල හිතුන.ඔබ අන්තිමට කියල තිබුන ටිකට නම් හිනා. රයිගම;ඔබගේ මුද්දර හා කාසි කිසියම් කලාත්මක බවක් එන විදියට සකස්කරලා ඉදිරිපත් කලොත් ඉහල මිලක් ලබාගත හැකි වේවි කියල මට හිතෙනවා.මොකද නිකන්ම ඉදිරිපත් කලොත් කොයි දේත් අවතක්සේරු වීමයි වෙන්නේ.[එකක් දාගෙනම කල්පනා කලොත් ඔය අපි ගෙදරදොර අයින් කරන දේවල්ම් ප්‍රයෝජනයට අරගෙන හොද නිර්මාණයක් බිහි කරන්න හැකිවේවි]

  6. මටත් තිබ්බා ඔහොම කලෙක්ෂන් හෙන තොගයක්. පොත්, රීඩර්ස් ඩයිජස්ට්, නවයුගය පත්තර, පෝස්ටර්ස් එකී නොකී හැමදේම.

    අර මොඩල් ට්‍රේන් වල ෆෝටෝස් හෙම එවන්න් බැරිද රයිගම්? මගෙ කොල්ලයි මායි දෙන්නම හරි ආසයි.

    • චාග් හෙන්රි, කලින් කියන්න එපාය. මා කැමරාව හිතලම අරන් ගියේ නැහැ. ඕක අරන් ගියොත් බලන්න බැරිවෙන නිසා. ගණන් ගන්න එපා, ලබන පාර ගහලා දෙන්නම් මදි නොකියන්න!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s