එයා දැන් ලොකු ළමයෙක්! or that is the way he is!


මට මේ සතියේ හමුවුන තවත් ඕස්ට්‍රේලියානු-ලාංකිකයෙක් ගැනයි මේ. දැන් මේ කතාව පටලවා ගන්න එපා ලංකාවේ ඉඳන් ලියනවා කියල. ඇත්තටම මගේ කලින් සටහනකට නමක් නොමැත්තෙක් එවපු පිළිතුර ගැන ටිකක් කල්පනා කලහම සමහර විට මාගේ ලිවීමේ අඩුපාඩුවකුත් නිසා එහෙම උනා යයි සිතෙන නිසා ටිකක් විස්තර ඇතුලත් කරන්න හිතුනා. ඔබ සඟරාවකට ලිපියක් ලියන විට බලාපොරොත්තු වන එක දෙයක් තමා, එම ලිපියේ අඩංගු වගු, ප්‍රස්තාර, චායාරූප හෝ වෙනත් උපකාරක දත්ත, ලිපියේ ඇති වැල් වටාරම් නොකියවා උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට ඉදිරිපත් කල යුතු වීම. මා මේ කියන්නේ විද්‍යාත්මක දේවල් ඉදිරිපත් කරන ඒ වෙනුවෙන්  වෙන් වුන සඟරා. ඒ වගේ තමයි, මේ වගේ දිගින් දිගට යන බ්ලොගයක උනත් ඒ ඒ ලිපි අනික් ලිපි සියල්ල බලන්නේ නැතිව තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කරනවා නම් හොඳයි. අර නමක් නැත්තාට ටිකක් වැරදුනේ මා එහෙම නොකළ නිසා.

“සරල සිංහලෙන් ලියනවා නම්” මේක උනේ කැන්බරා නුවර.  මේ සතියේ දවසක වැඩ කරන තැන තිබුන දේශනයකට (seminar) ඇවිත් හිටියේ මෙල්බර්න් නුවර විශ්ව විද්‍යාලයක වැඩ කරන ලංකාවෙන් ඇවිත් මෙහෙ පදිංචි සිංහල යයි හඳුන්වන ජාතියට අයත් අයෙක්. මේ වගේ දේශන සතියකට එකක් වගේ තියනවාමයි. අපේ සේවා ඉස්තානයට වැඩකට හෝ ආරාධනයකට ආපු කෙනෙක් හෝ කැන්බරා වල වෙනත් වැඩසටහනකට ආපු කෙනෙක් තමා මෙවැනි දේශන කරන්නේ. ගොඩක්  වෙලාවට එයාල කරන වැඩ ගැන තමා. ඊ මේලය ආපුවහම ලංකාවේ නම දැකලා මාත් යන්න හිතුවා. දවල් එකට තියන මේ දේශන මට ඇත්තටම වැඩක් නැති ඒවා නම් මා කොහොමටත් යන්නේ නැහැ. මොකද නිකම් නිදා ගන්න යන්නේ මොකටද? අපේ කණ්ඩායමේ ඉන්න උක්රෙන-ඔස්ට්‍රේලියානුවත් පන්ගාර්තු කරගෙන මාත් ගියා.

මා මිනිසුන්ගේ ලොකු කම් ලංකාවේදීත් ඒ තරම් සලකපු කෙනෙක් නොවේ. මෙහෙදී කොහොමටත් සලකන්නේ නැහැ. මෙහෙදී සලකන්න ඕනේ කමකුත් නැහැ. දැන හැඳුනුම් කම් වැදගත් තමා. නමුත් ඒවා නැතුවත් මෙහෙ දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ නැහැ. දේශනය ඉවර උනහම, අපේ උක්රේන කාරයට පොඩ්ඩක් ඉන්න කියපු මන්, අපේ මිනිහ ගාවට ගියා ලංකාවේ නිසා වචනයක් කතා කරලා එන්න. මා අඳුන්වලා දීල කියුවේ, මාත් මෙල්බර්න් වල සෑහෙන කලක් හිටියා කියල. පොර මා සිංහලෙන් කොහොමද ඇහුවහම ඒකට උත්තර නොදී කියුවේ දැන් මා ගොඩක් “බිසී”, ඔයාට මගේ නොම්මරේ දෙන්නම් කියලා. මෙහෙම කියන ගමන් මෙයා කොම්පුටරේ තිබුන යු එස් බිය ගලවා ගත්තා. ඒ වන විට මහා වෙලාවක් නොගියත් මට කෝඳුරු තෙල් හත්පට්ටයට අමතරව තව ටිකක් හොයන බව තේරුම් යමින් තිබුනේ. මා ගියේ “හායි” කියල එන්න මිසක් පසුව කතා කරන්න නොවේ. එහෙම කතා කරන්න මට ඕනේ කමක් හෝ වෙලාවකුත් නැහැ. මිනිහා යුඑස්බිය ගලවාගෙන, මා වේදිකාවේ ඉන්දැද්දී, ඒකෙන් බැස ගිහින් අනික් කාණ්ඩයට එකතු උනා. මේ වගේ ඔලුව ලොකු (මා හිතන්නේ ඔහුට තියෙන්නේ ඒ රෝගය කියලා. නමුත් වෙනත් හේතු තියෙන්න පුළුවන් කියන එකත් බැහැර කරන්නේ නැහැ) ලාංකිකයෙක් මට හමු වුන පළමු වතාව හෝ අවසාන වතාව මේක නොවන බව මට සහතිකයි.
ඔහු මාව මග හැරියේ කුමන හේතුවක් නිසාද කියන්න මා දන්නේ නැහැ. නමුත් මිනිහෙකුගේ තිබිය යුතු සරල විනීත බව වත් ඔහු තුල දකින්න තිබුනේ නැහැ. පසු ගිය දිනෙක, තමන්ගේ තානාන්තරය පමණක් නොව, තමන්ගේ ක්ෂේත්‍රයේ කරලා තියෙන හා සොයාගෙන තියන දේවල් ගැන ඇත්තටම ආඩම්බර විය යුතු, නමුත් එසේ  නොවන සුදු ජාතිකයෙකුට මට උන/කරපු දේ කියුවහම, ඔහු එක පාරටම විස්මයෙන් ඇහුවේ  “උඹලා ඔය තරම් පරුෂද” කියලා. මා සිනාසෙමින් කියුවේ නැහැ ඒක ලාංකිත්වය නැත්නම් සිංහලකම පෙන්වන එක විදිහක් පමණයි කියල.
මගේ අත්දැකීම් වලට අනුව සාමාන්‍ය ජීවිතයේදී මෙහෙම හැසිරෙන කට්ටිය, ඔවුනගේ ” සමාජ” ජීවිතයේදී සම්පුර්ණ වෙනස් මිනිසුන්. මට මේ හමු වුන එක්කෙනත්, සමහරවිට මොකක් හරි සංගමයක ලොකු තානාන්තරක් දරන කෙනෙක් වෙන්නට තියන ඉඩ වැඩියි. මේ වගේ අය තමා, පහුගිය අවුරුදු වල “කොටින්ගෙන් රට හා සිංහල ජාතිය බේරා ගන්න” මේ වගේ රට වල් වල සංගම් අටවාගෙන හිටියේ. අර සන්ද්‍යා එක්නැලිගොඩ සිනාසෙනවා දැකලා “කොහොමද සැමියා අතුරුදහන් වෙලා ඉන්නකොට සිනාවෙන්නේ”කියල අහල තියෙන්නෙත් මේ වගේ එක්කෙනෙක් කියල මට නිකමට හිතෙනවා.
දේශනය ඉවර වෙලා මගේ මිත්‍ර උක්රෙන ජාතිකයත් එක්ක කතා කරන කොට ඌ කියුවේ, උඹ කතා කරන්න ගිය එක හොඳයි, නැත්නම් උඹට උගේ හැටි දැනගන්න ලැබෙන්නේ නැහැනේ කියල. ඊ ළඟ පාර හම්බ උනොත් දිව දික් කරපන් කියල ඌ කියනවා. ඌ තව දුරටත් කියුවේ, මේ වගේ එවුන්, ඔවුන් අතරත් ඉන්නවා කියල. ඒ කියන්නේ අප තනි නැහැ. හැබැයි ලෝකේ ඉන්න හැම මනුස්සයාම මෙහෙම නොවේ.
මගේ සටහන ධනාත්මකව අවසාන කරන්න මේ සිදුව්ම ඔබට කියන්නම්. මා මෙල්බර්න් නුවර ඉන්න කොට සේවය කරපු එක්තරා ආයතනයකින් මාව සතියක පුහුණුවකට, ඔවුනගේ සිඩ්නි නුවර තියන ප්‍රධාන ආයතනයට යැවුවා. පළමු දින නුහුරු පරිසරයක, කෑම මේසයේදී, මට හමු වුන කාන්තාවක් ඇයව අඳුන්වා දුන්නේ රුසියානු නමකින්. මා එක වරම ඇහුවේ ඔබ රුසියානුවෙක්ද කියල. “ඔව් ඇයි එහෙම අහන්නේ”. මා රුසියානු බසින් “කොහොමද” කියල අහල මගේ විස්තර කියුවා. එතැන් පටන් ඇය මට සැලකුවේ, තමන්ගේ රටෙන් ආපු සහෝදර වැසියෙකු හැටියට. මගේ පුහුණුව ඉවර වෙලා සිකුරාදා හවස, මා ගාවට ආව, ඇය කුඩා පාර්සලයක් මා අත තැබුවා. ඇරලා බලන කොට මා දුටුවේ සංයුක්ත තැටි දෙකක්. පෙර දවසක ඇය මා කැමති රුසියානු සින්දු මොනවාද කියල අහපු එකේ තේරුම මට හරියටම තේරුම් ගියේ අන්න එතකොට.
Advertisements

15 Comments

Filed under General, Social

15 responses to “එයා දැන් ලොකු ළමයෙක්! or that is the way he is!

  1. රයිගම්හන්දිය, ඔය වගේ ඔලුව ඉදිමිච්ච එවුන්ගෙන් පිරිච්ච ජාතියක්නෙ අපේ ජාතිය. අපේ උන් තානාන්තරයත් එක්ක හුඟක් දේ බලාපොරොත්තු වෙනවා. සර් කියවා ගන්න එකත් ඔය වගේ. උන්ට සර් කියන උන් එක්කත් උන් ගැන වගේම තරහවක් මට තියෙන්නෙ. මම සාමාන්‍යයෙන් කෙනෙකුට සර් කියන්නෙ නැතිම තරම්. ඒ වගේම අනිත් උන් මට සර් කියනවට මම කැමතිත් නෑ.

    එතකොට ඊට අමතරව, ඇඳුමට, වාහනේට, සල්ලිවලට වන්දනාමාන කරන මිනිස්සු කොච්චරක්ද?

    රයිගම් අත්වේඳලා ඇතිනෙ කාර්‍යාලයකට ගියාම ලැබෙන සැලකිල්ල. බොහොම කලාතුරකින් නේද අමුත්තට ඉඳගන්න සැප පහසු පු‍ටුවක්වත් තියලා තියෙන්නෙ. ඒත් ඔලුව ඉදිමිච්ච කමේ ලක්ෂණ මිසක් වෙන මොනවද? අපි ඔලුව කෙලින් දියාගෙන, මූණ දිහා බලලා කතාකරනවටත් අකැමැති ලොක්කො ඉන්නෙ ලංකාවෙ. අනික එකෙක් අනිකා ගාවට යන්න කියන්නෙ “අර සර්ට කියන්න”, “අර මැඩම්ට කියන්න” කියලයි. මට නම් ඕව තිත්තයි

    ඔය කට්ටිය ලංකාවෙන් පිට ගියාමත් ගෙදර පුරුද්දට අනිත් මිනිස්සුන්ගෙන් ගරු නම්බු බලාපොරොත්තු වෙන එක මට නම් පුදුමයක් නෙවෙයි!

    • ඔබගේ ප්‍රතිචාරය දැක්කහම මචන්, උඹේ බ්ලොගය මා කියවන එකත්, උඹ මේක කියවන එකෙත් පුදුමයක් නැත්තේ මා හිතන්නෙත් එලෙසම නිසා. මේ හාදයාගේ තානාන්තරය මහා ලොකු එකකුත් නොවේ. ඒ විතරක් නොවේ දේශනයෙන් පසු (අහන්න ආපු අය ඉදිරිපත් කල ප්‍රශ්න වලට) ඔහුගේ ක්‍රීඩා විලාශය වර්නවත් එකක් උනෙත් නැහැ. පාදයක් ඉදිරියට තබා වැරෙන් පහර එල්ල කරනවා තියා, පන්දු කොහෙන් එනවද කියලා හිතාගන්න බැරි විලාශයකුයි, ඔහු පෙන්නුම් කළේ. හරියට ඉදිරිපෙළ පිතිකරුවන් නිකරුනේ දැවී ගොස් තියන අවස්තාවක පන්දුවට පහර දෙන්න ආපු පන්දු යවන්නෙකු වගේ. එහෙම උනත් ඔලුව උදුම්මා ගැනීමේ නම් සීමාවක් නැහැ. හරි නම් මමයි මග හැර යන්න තිබුනේ. අපේ වැඩකරන තැනත්, මෙතනට පිටින් එන කට්ටියගේත් බහුතරකගේ මේවගේ ගති ගුණ නැහැ. උඹ අර කලින් සටහනක ලියල තිබුනා වගේ අර “ටික ටික ගෙවන්න හරි” අර කියන දේ ගන්නේ නැති එකත් මේ වගේ අයියලා බිහිකරන්න හේතු වෙනවා මගේ හිතේ.

  2. මම ඇසුරු කරල තියෙන්නෙ ශ්‍රී ලාංකිකයො නිසා සැකයක් නැතිවම කියන්න පුළුවන් ඔය ලෙඩේ ‍බොහොම දෙනෙක්ට තානාන්තරයත් එක්ක හැදෙන එකක් කියල. ගොඩ දෙනෙක්ට තමන් ගැන තියෙන හීනමානය පිටකරගන්න විධියක් තමයි ඔය ඉදිමිල්ල. ඇත්තටම තමන්ට නැති බලයක් තානාන්තරය නිසා ආරූඪ කරගෙන…

    • ඔබට කියන්න හරේ, ලංකාවේ කෙසේ වෙතත් මෙහෙ නම් මෙවැනි කට්ටිය හැම තරාතිරමකම මට හමු වෙලා තියනවා. ගොඩක් වෙලාවට, ඔබ උපතින්ම කට පත්ත ගහන්න පුරුදු වෙලා නැති කෙනෙක් නම් මේ අයියලා ගොන් පාර්ට් දාන්න එනවා වැඩියි. නමුත් මගේ උක්රෙන යාලුවා කිව්වා වගේ, කතා නොකළ නම් දැන ගන්න ලැබෙන්නේ නැහැනේ.

  3. Kenji @ Japan

    අනේ රයිගම මට පුතෝ කිඋවේ ගමේ කමටද?මම ඔබට 50+ අන්කල් කෙනෙක්.ලියන දේට හරියට කල්පනා කරලා උත්තර ලියන ඔබට මගේ ප්‍රණාමය.පෙර ලිපියට පිළිතරු.තාම මේ ලිපිය බැලුවේ නැහැ.

  4. Kumara

    මේක අපේ ජාතියට තියන ලෙඩක්.ගනන් ගන්න එපා.මමත් ඉන්නෙ මේ පැත්තෙම නිසා ඔය ජාතියෙ අය අනන්තවත් දැකල මුනගැහිල තියනව.සිංහලෙන් කතා කරකර ඉඳල එකපාරටම කඩුවට බහිනව ලංකාවෙ වගෙ කෙනෙක් දැක්කහම.හෙන්රි ඔය විස්තර කරල තියෙන්නෙ.මම නම් ඔහොම එවුන්ව සත පහකට ගනන් ගන්නෙ නෑ.

    • ඔව් කුමාර මාත් සතපහකට ගණන් ගන්නේ නැහැ. ඒත් ඉතින් අපත් එයාල වගේම, කතා නොකර ඇරියොත්, උන්ටම ගිය රට වෙනවානේ. දෙවෙනි පාර ඉන්න පැත්තවත් බලන්නේ නැහැ. මේක ලියුවේ මේ වගේ අය විරලයි කියල හිතල නොවේ. නමුත්, සමහර විට මේ වගේ අය අනික් ජාතින් වලද ඉන්නවා කියල අපේ උක්රේන එකාගේ කතාවෙන් තේරෙනවා. අනික තමා මා සටහනේ අවසානයට ලියල ඇති පරිදි, අපේම වගේ දැනෙන, වෙනත් ජාතීන්ට අයත් පිරිස්ද අපට මුණ ගැහෙනවා. ලෝකය අන්තිම නරක නැහැ.

  5. Kenji @ Japan

    රයිගම;ලංකාවේ ඉදල ඔය වගේ ඒවාට එන්නේ ඔබේ පන්තියට නොගැලපෙන කක්කුසි කටාල.එම නිසා එවැනි පිස්සු @#$%^ අය සමග කතාවට ගියාම වෙන්නේ එඋන් ලොකු එඋන් වීමයි.ඔබ තාමත් අදුරගෙන නැද්ද ————————————————- !@#$%^&* අයව? අවවාදයයි! කතාකරන එකාගේ නෙක් ටයි ගැටය දෙස බලන්න, ගැටේ තදට නැත්නම් ඒක සාටකයේ එල්ලීගෙන මෙලෝ දෙයක් දන්නේ නැති @#$%^ කෙනකු බව සලකන්න.

    • //එඋන් ලොකු එඋන්//
      කෙන්ජිට සිංහල ලියවෙන්නෙ ජපන් විදියට වගේ. ජපන් භාෂාවෙ මැදට “උ” එනව නේද? 🙂

  6. Kenji @ Japan

    එයා දැන් ලොකු ළමයෙක් කිඋව්වේ අපේ [භාරතගේ] හිරුනිකා දුවටද?

    • මා කලින් සටහනට ඔබට උත්තර බඳිද්දී “පුතෝ” කියල ලියුවේ, ඔබගේ වයස පිලිබඳ ඇති උන වැරදි අවබෝධයකින් නොවේ. ඔබගේ ප්‍රතිචාර වලින් ඔබගේ වයස් සීමාව පිලිබඳ වැටහීමක් මට තිබුනා. මා කොමෙන්ටු වලදී වැදගත් කොට සලකන්නේ කෙනෙකුගේ වයස, ආගම, ජාතිය, ඉස්ත්‍රී හෝ පුරුෂ බව නොවේ. කොමෙන්ටුවේ “තරුණ හෝ මහලු” බවයි. පුතෝ කියුවේ අර කියන්න වගේ ගමේ කමටයි. සමහර වෙලාවට මා හෙන්රිට මචන් කියන්නෙත් අන්න ඒ වගේ.
      මේ සටහන ලියුවේ කේන්ති අරගෙන නොවේ. මා මේ දිනවල කියවනවා ඕස්ට්‍රේලියානුවෙකුගේ ආත්ම කතාව. ඔහු අසාමාන්‍ය ලෙස කටුක ජිවන අත්දැකීම් වලට මුහුණ දුන්න සාමාන්‍ය මිනිහෙක්. ඔහුගේ ජිවන කතාවට විචාරයක් ලියපු ඇඩිලේඩ් අඩ්වටයිසර් කියන පත්තරය මෙසේ කියනවා “I am stunned by the horror this man endured in his childhood. I am humbled by his gentle acceptance of the good and bad….”. මේ කතාවේ තියන මේ ගුණාංගය (gentle acceptance of the good and bad) තමා වඩාත් මගේ සිත් ගත්තේ. මට උනත් එහෙම කරන්න පුළුවන් කමක් නැතත්, මා මිට වසර දහයකට ඉස්සර හිටියට වඩා, දැන් එතනට ලං වෙමින් ඉන්නවා.
      හිරුනිකාට නම් මා හිනා වෙන්නේ නැහැ කෙන්ජි. දේශපාලනය පැත්තකින් තිබ්බොත්, ඇය මුහුණ දීලා ඉන්නේ, තරුණියකට මුහුණ දෙන්න පුළුවන්, ඉතා ඛේදනීය තත්වයකට. මෙතරම් සාක්ෂි ඇති මිනීමැරුමකට යුක්තිය ඉටු නොවන සමාජයක, සාක්ෂි නොමැතිව නැති කළ අය ගැන කවර කතාද?

  7. හොඳ වැඩේ සිංහලෙන් කතා කරනවාට. හී හී …

  8. ඔයවගේ උදවිය ලංකාවට වඩා පිටරටදි මුනගැහෙන්න ඉඩ තියනව. (මං කියන්නෙ පිටරැටියන් ගැන නෙවේ ලාංකිකයන් ගැන). අවුරුද්දක් දෙකක් පිටරටක ඉඳල ආවම අමාරුවෙන් සිංහල කතා කරන අයියල අක්කල ඕන තරම් මම දැකල තියනව.

    • නැහැ රාජ්, මෙහෙ ආව කියල වැඩි වෙන්නේ නැහැ. සිංහල කතා කරන්න බැරි වීම එක දෙයක් පමණයි. ලංකාවේම ඉන්න කොට සිංහල අමතක උනා කියල කියන්න අමාරුනේ. හෙන්රි ඔය කියල තියෙන්නේ අනික් ලක්ෂණ වලින් ටිකක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s