ත්‍රී රෝසස්, බ්‍රිස්ටල් හා ගෝල්ඩ් ලීෆ්, Not only they are all the same, they all look the same (from now on)!


අද ඕස්ට්‍රේලියාවේ මහාධිකරණයෙන් මෙහෙ ආණ්ඩුව බලාගෙන හිටපු තීන්දුවක් ලැබුනා. ගිය වසරේ දෙසැම්බර වල ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළා. මේකයි නිතිය. ඕස්ට්‍රේලියාව තුල අලෙවි කෙරෙන සිගරට් වල පැකට් වෙළඳ නාම ලොකුවට, පාට පාට දාල මුද්‍රණය කරන එක තහනම්. දැනටත් මේ සිගරට් පැකට් වල අප පොඩි කාලේ වගේ නොවේ, මේවායින් හැදෙන විවිධ ලෙඩ වලට ගොදුරු උන මිනිසුන්ගේ දැකුමට ප්‍රිය නැති පින්තූර සමගින්, සෞඛ්‍යයමය අනතුරු හැඟවීමක් තියනවා. දැන් ඉස්සර වගේ නොවේ. “දුම්බීම සෞඛ්‍යයට අහිතකර විය හැක” වගේ බොරු වහෙන් ඔරෝ කෑලි නොවේ. කෙලින්ම “දුම්බීම පෙනහළු පිළිකා ඇති කරයි” වගේ ඒවා.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව සම්මත කරපු නීතියට අනුව, මෙහෙ අලෙවි වන සියලුම සිගරට් පැකට් එකම පාටකින් (ඔලිව් කොළපාටින් ) මුද්‍රණය කල යුතු වෙනවා. ඒ හැර වෙළඳ නාම සම්මත අකුරු වලින් කුඩාවට සඳහන් කිරීම මිසක් අර කලින් වගේ උත්කර්ෂයෙන් උලුප්පලා දක්වන්න බැහැ. කොහොම උනත්, මේ නිතිය සම්මත උනාට පසුව, මෙහෙ සිගරට් වෙළඳාම් කරන ලොකු සමාගම් නඩුවක් දැම්මා, මේ නිතිය ඕස්ට්‍රේලියානු විව්‍යස්තාවට  එකඟ නැහැ කියලා. ඒ කියන්නේ ඒ ගොල්ලන්ගේ වෙළඳ නාමයට ඇති අයිතිය අහිමි කිරීමක් නිසා. ඒ වෙනුවෙන් ඇති වන පාඩුවට ඒ අයට  වන්දි ලබා දෙන්න ඕනේ කියල තමයි   සරලව  කරපු තර්කයේ  හරය. ආණ්ඩුව කියුවේ මේ වෙළඳ නාම අහිමි කිරීම නිසා ආණ්ඩුවට වාසියක් වෙන්නෙත් නැහැ, අනික රටේ ජනතාවගේ සුබසිද්දිය සැලකීමේදී වෙළඳ නාමය යට යාම ගණන් ගන්න බැහැ කියන එක.

අද තීන්දුව ලැබුනේ අර නිතිය විව්‍යස්තාවට එකඟයි කියලා. ඒ කියන්නේ ලබන දෙසැම්බර වල සිට මෙහෙ පාට පාට සිගරට් පෙට්ටි දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ නීතියක් ලෝකයේ සම්මත කරපු ප්‍රථම අවස්තාව මේක. හැබැයි දැන් ඉතින් අනික් රටවලුත් මේ පාරේම යන එක වලක්වන්න බැහැ. මේ සිගරට් සමාගම් ගොඩක්ම දත කෑවේ අන්න ඒ නිසා.

මා මේ සටහන ලියන්නේ, මා දැක තියනවා සිංහල බ්ලොග් තාමත් සිගරට් බීම උත්කර්ෂයට නංවන්න උත්සහ කරනවා. දුම් බීම පමණක් නොවේ මත්  පැන් පානය වත් ශරීරයට හොඳයි කියන කට්ටිය කොලේ වහලා කතා කරන්නේ. හැබැයි මධ්‍යසාර වගේ නොවේ, දුම් පානය ශරීරයට කිසිම හොඳක් කරන්නේ නැතුවා පමණක් නොව, ලෙඩ රෝග විශාල ගානක් ඇති කිරීමට හේතු වෙනවා විතරයි කියලා සහසුද්දෙන් ඔප්පු කර අවසන්. මත්පැන් පානය ගැනත් කරන පර්යේෂණ, සම්පුර්ණ නැහැ. මේවා එක අවස්තාවකදී සිමා වන්නේ එක දෙයක් ගැන පමණයි. ඒ නිසා තමයි සමහර වෙලාවට හොඳ තියනවා කියල කියන්නේ. මුළු ශරීරයටම වෙන හොඳ නරක දෙස ගොඩක් වෙලාවට බලා නැහැ. ඉතින් මත් පැන් උනත් ශරීරයට හොඳයි කියලා බොන කට්ටිය ඉන්නවා නම් ගොන් වැඩක් කරන්නේ.

සිගරට් පෙට්ටි එකම පාටකින් මුද්‍රණය කලහම, මේවායේ බීම අඩුවක් වේවිද කියලා දැනගන්න ලැබෙන්නේ මේ නිතිය ක්‍රියාත්මක උනහම. දැනට උනත් ඕස්ට්‍රේලියාවේ සිගරට් පෙට්ටි, ප්‍රදර්ශනය කරමින් අලෙවි කෙරෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ වහපු කබඩ් වල. ඔබට ඕනේ වර්ගය ඉල්ලුවහම, කබඩය ඇරලා අරන් දෙනවා. ඉස්සර වගේ ආඩම්බරයෙන් සිගරට් පෙට්ටි කමිසේ උඩ සාක්කුවේ දමාගෙන ඉන්න අයියලා දැන් දකින්න නැහැ. ඕස්ට්‍රේලියාවේ ගොඩක් පොදු තැන් දුම් මෙන් තොර තැන් බවට පත් වෙමින් තියනවා. සමහර ප්‍රාන්ත වල දරුවන් සමග වාහනයේ දුම් බොන්න තහනම්. මෙහෙම නීති ගෙනත් තියෙන්නේ දුම් බීම පමණක් නොවේ අනුන්ට පෙවීම නිසාත්, බොන තරම්ම හානියක් වෙන නිසා.

මා කාලයකට පෙර දුම්පානයට තදින් පුරුදු උන කෙනෙක්. හැබැයි ඇබ්බැහි වෙලා හිටියේ නැහැ. මොකද, මට හිතුනු ගමන් නවත්වන්න පුළුවන් උනා. මා නැවැත්තුවේ, මගේ සෞඛ්‍යය ගැන හිතීමටත් වඩා අවට ඉන්න අයගේ සෞඛ්‍යය හා කුඩා කට්ටියට දෙන නරක පුර්වාදර්ශය ගැන හිතලා. නමුත් මොහොතක් වත් කනගාටු වන තීරණයක් නොවේ. මා දුම් පානයට තදින් හුරු උනේ රුසියාවේ ඉගෙන ගන්නා කාලයේ. එක්තරා අවධියක මට හිටියා කොන්ගෝ යාලුවෙක්. මූත් මාත් එනිනෙකා මාරුවෙන් මාරුවට සිගරට් පැකට් ගන්නවා. බොන්නේ එකට. ඉතින් බොන ගානේ ගණනක් මිම්මක් තිබුනේ නැහැ. අප නම් පෙට්ටියේ පාට හෝ “බ්‍රෑන්ඩ් නේම්” බැලුවේ නැහැ. රුසියාවේදී එහෙම බලන්න වෙළඳ නාම තිබුනෙත් නැහැ. රුසියානු සිගරට් බොන්න බැහැ. ඒවායේ ෆිල්ටරයක් වත් නැහැ. දුම්කොළ හරි සැරයි. අපට බොන්න පුළුවන් දේකට තිබුනේ බල්ගේරියානු සිගරට් වර්ගයක් උන “රදොපි” කියල එකක්. මේවාත් වර්ණවත් පෙට්ටි වල ආවේ නැහැ. ඒත් අප බිව්වා.

මේ බල්ගේරියානු සිගරට් පවා සාමාන්‍ය කඩ වල තිබුනේ නැහැ. ගොඩක් වෙලාවට ගන්න තිබුනේ ඒ දවස්වල යන්තමට ඉඩ දීල තිබුන පොලේ වෙළඳාමෙන්. මේ පොළවල් නැත්නම් බසාර් වල මේවගේ පොඩි පොඩි දේවල් විකුණුවේ ආච්චිලා හා සීයලා. එකක් තමයි කීයක් හරි හොයා ගන්න. හැබැයි සමහර විට ප්‍රධාන කාරණේ ඒක නොවේ. දවසක්දා ශීත සෘතුවේ සැන්දෑවක මන් ගියා සිගරට් පැකට් එකක් ගන්න, මේ වගේ කුඩා පොළකට. ආච්චි කෙනෙක් ගාව තිබුනා මන් හොයන රදොපි වර්ගය. පැකට් එකක් කොපෙක්  පනහද කොහෙද. එකක් ගත්තට පස්සේ මට හිතුනා, මුළු බන්ඩලේම ගන්න. ඒ කියන්නේ පැකට් දොළහක්. රූබල් හයනේ. මා ආච්ච්ගෙන් ඉතුරු පැකට් එකොළහ ඉල්ලුවා. ආච්චි කියනවා රූබල් දහයක් දෙන්න කියලා. මා ඇහුවා එක පැකට් එකක් කොපෙක් පනහ නම් කොහොමද එහෙම ගානක් ආවේ කියල. ඇය කිව්වේ ඒක තමා ගාණ, උඹට ඕනේ නම් ගනින් කියලා. මා ඉල්ලුවා වෙන වෙනම කොපෙක් පනහ ගානේ එකොලොස් පාරකට පැකට් ටික මට දීපන් කියලා. ම්හු, ඒකත් කෙරෙන්නේ නැහැ. මොකද දන්නවද? මේවා විකුනලා කීයක්  හරි හොයන එක නොවේ ආච්චිගේ ප්‍රධාන අරමුණ. මොනවා හරි තියාගෙන පොලේ ඉඳගෙන, අනික් කට්ටිය සමග ඕපා දූප කතා කරමින් කාලය මැරීම. මොකුත් විකුනන්න නැති උනොත්, පොලේ රස්තියාදු වෙන්න බැහැ නොවැ.

Advertisements

27 Comments

Filed under Social

27 responses to “ත්‍රී රෝසස්, බ්‍රිස්ටල් හා ගෝල්ඩ් ලීෆ්, Not only they are all the same, they all look the same (from now on)!

  1. padhmakumara

    එ කාලෙ අපේ ගමේ කඩේට් එන අය ඉල්ලුවෙ මෙන්න මෙහෙම.

    තී රෝස්,පෝ රේස්,බිස්ටල්,නැයිකට්,ගෝල්ලීප්.

    • Raigama

      ඇයි පද්මකුමාර ගංගා බීඩි? ඒක නම් කට පුරා හරියට උච්චාරණය කරන්න පුළුවන්!

      • padhmakumara

        මට මතක හැටියට ගංගා බීඩි ආවෙ 77 න් පස්සෙ දුම්කොල සංස්ථාවෙන්.ඊට කලින් රාජා බීඩි,එස් කේ බීඩි එහෙම තිබුනා.මේ ගුනසිරි බුල්ටෝ කාලෙ.

        • Raigama

          අන්න එහෙම කියන්න එපෑය කුමාර, හැත්තෑ හතට කලින් මන් බීඩි ඉල්ලන්න තරම් උස නැහැ. ගුණසිරි බුල්ටෝ කාපු කාලේ. (හැබැයි රාජා හා එස් කේ බිඩිත් යන්තමට මතකයි වගේ).

      • gangu

        හයියෝ ගංගා බීඩි මේ ඊයේ පෙරේදා හුජ්ජ කොල්ලෝ බීපුවනේ. අපේ කාලේ තිබ්බේ හුසේන් බීඩි මාවනැල්ලේ.

        • ඔය ඇවිත් ඉන්නේ නියම “පොරක්”! ඇයි මාවනැල්ලේ හුසේන් බීඩි බොන ගමන් රත්නපුරේ අලහොදී පාරක් ගැහුවේ නැත්ද? (මගේ සටහන දුම් පාන විරෝදී එකක් උවත්, එය හා මධ්‍යසාර පාවිච්චිය ප්‍රචාරණය කරන්නක් බවට හැරවීම (කියවපු අය විසින්ම) ගැන පාඨකයෝ කමා කරත්වා).

    • Kenji @ Japan

      පොඩි කාලෙ අපි ඉල්ලුවෙත් එහෙම නේද?

    • Kenji @ Japan

      ඇයි දෙයියනේ බීඩි වලින්නේ පටන් ගත්තේ ගණන් අඩු නිසා.එකක් ශත කීයද මන්ද.

    • මැටහෝන් අමතකද?

      • “ප්ලේන් පැකේජින්” දාන්නම ඕනේ, හැමෝම දුම ඇදපු කට්ටිය වගේ! 🙂

      • Kenji @ Japan

        මැටහොර්න් එක ඇදල දුම පිට කරද්දී දැනිච්ච නියම සිතල දැනුනේ සීතල දැනෙන රටකට ආවලින් පස්සේ කකා.

  2. Kenji @ Japan

    දැන්නම් ගොඩක් රටවල පැකට්වල ඉතා පැහැදිලිව කලර් පින්තුර දාල තියෙනවා කට ඇතුලේ තුවාල,කකුල්වල් ඇගිලි කපල,පොඩි ළමයි විරුපිව ඉන්න වගේ දේවල්.එතකොට බීම වර්ගවලත් එක පාටකින් උනොත් Red,Black,Green Label අදුරගන්න බොන අයට උසාවි යන්න වෙයිද?

  3. Kenji @ Japan

    ඔන්න දැන් නෙත් එෆ් එම් එකේ ඔබේ නිව්ස් එක ගියා.පොඩි කාලෙ හොරෙන් බිල,ලොකු කාලෙ පේන්න බිල ,සහකාරියගේ මැදිහත්වීමෙන් සම්පුර්ණයෙන් නවත්වල.

  4. මමනං වැටෙන්නෙ දුම් බොන වර්ගෙට. නමුත් පුරුද්දක් වශයෙන් නෙවෙයි. මේ දවස් වලදි නම් මාසෙකට වතාවක් කොළඹ යන වෙලාවලදි යාළුවොත් එක්ක කූරු කීපයක් උරනවා. ගෙදර ආවට පස්සෙ මුකුත් නැහැ.

    කොයි දේත් අව‍බෝධයෙන් කලානම් ඒක අනිත් අයට කරදරයක් නොවී කරන්න පුළුවන්. ඒ වගේම කෝකෙත් සීමාව දැනගන්න එකත් හොඳයි.

    මොනව වුණත් මොකක් හෝ ක්‍රමයකින් මත්වීම මම කැමති දෙයක්…

    • කොහොමද හරේ අවබෝධයකින් දුම් උරන්නේ? ” මොනව වුණත් මොකක් හෝ ක්‍රමයකින් මත්වීම මම කැමති දෙයක්…” බලාගෙන!

    • Kenji @ Japan

      හරේ පුතෝ [පුතෝ කියන්න පුරුදු උනේ අපේ ගමේ කොල්ල නිසා] කුරු ඉරිල්ල ශරීරයට ගුණදායක නැත.89 යේ ජපානයට ආපු මුල් කාලෙ දවසකට කුරු 20ක් 30ක් [PARLIMENT ] කියන කුර පාවිච්චි කලා.නමුත් දැන් සම්පුර්ණයෙන් තිත.[අර චක්රවර්තිය කියන විදියට මන්දිරේනම් කමක් නැහැ විදියට නෙමේ] අරවනම් විදුරු කීපයක් තොල ගෑවට[අයිස් කැට හෝ අයිස් වතුර දමා] බොන එක වයසක අපට ගැලපේ යැයි සිතමි.ඔබට ගැලපේදැයි නොදනිමි?????

  5. දුම් බිමනම් ඉතින් කොහොමත් හොද දෙයක් නෙමේ.. ඒත් බොනකොටනම් සිගරට් එකක් නැතුවම බැහැ..

    • චමි, කවුරුත් නරකයි කියනවා. ඒත්…….
      ඊයේ මගේ උත්තරය කෙටියි. චමි ඔබ දිනපතාම බොන කෙනෙක් නොවේ නේද? ඔබල වගේ කට්ටිය දුම් බොන පිරිසට වැටෙන්නේ නැහැ. ඉඳ හිට මේ වගේ දුමක් ඇදීමත්, දිනපතා දුම් බීමත් දෙකක්. ඔබ කරන දෙයින්ද ශරීරයට හානියක් වෙනවා තමයි. ඒත් බොන එකත් එහෙමනේ! ඔබ කියෙව්වද මගේ ගොඩක් කලක් ජිවත් වීමේ රහස කියන කතාව?

  6. dawkinssdodo

    මම ඇබ්බැහි වී සිටියා ස්නුස් (SNUSS)ස්නුස් වලට, සිගරට් 4ක බලය ඇතැයි කියන. සිගරට් නවතා පටන්ගත්තෙ ස්නුස්. පසුව ඒකත් නැවැත්තුවා- නවත්තන එක හරි ලේසියි, ඒක මානසික වැඩක්. වැඩිම උනොත් අමාරුම මුල් සතිය. ඊට පස්සෙ සයිකොලොජිකල් යුද්ධයක්.

    • ඇබ්බැහි උනොත් යමකට නවත්වන්න අමාරුයි ඩොඩෝ!මොන හේතුවක් නිසාද මන්ද ඔබ කියන මානසික යුද්ධ මට නැහැ. බුලත් විට කෑව, නැවැත්තුවා, සිගරට් බිවුවා නැවැත්තුවා, මත් පැන්බිවුවා, නැව…….

  7. මමත් දැන් අව්රැදු 20කට ආසන්න කාලයක් මේ වැඩේ කරනවා.කීවාරයක් නං උත්සාහ කලාද.සමහරක් අයට ටක්ගාලා නවත්තන්න පුළුවන්.සමහරැන්ට අමාරැයි.ලගකදි ප්‍රදීප්ගේ ලිපියක් බලලා උත්සාහ කලා දවසකට වඩා ඉන්න බැරි උනා.

    මම දන්න ලෝයර් කෙනෙක් ඉන්නවා දවසකට පැකට් 3ක් බොනවා කියලා මිනිහා කියන්නේ.මම දැක්ක විදිහට මිනිහා ඊටත් වඩා බොනවා.සිකරට් නවත්තන්ඩ කියලා නිකොරැට් ප්ලාස්ටරයකූත් උරහිසට අලවගාන සිකරට් බොනවා.

    ඉදලා හිටලා එකක් දෙකක් බොන, බොන්ඩ හිතාගන ඉන්න කෙනෙක් මේක බලනවානං !!!!! අනේ කරුණාකරලා බොන්න එපා !!!!!. භයානකම , වැඩියෙන්ම ඇබ්බැහිවන මත්දූවය තමයි සිකරට්.

    හෙරොයින් සහ ගංජා පානය කරලා නවත්තපු අයත් මම දන්නවා, හැබැයි ඒ අය දැන් අරක්කූ , බියර් බොන්නෙත් නැ, හැබැයි පැලෙන්ඩ සිකරට් ගහනවා. හිතාගන්ඩ පුළුවන්නේ හුරැබුහුටි යාළුවගේ තරම.

    මමත් දවසක සිකරට් නවත්තනවා.දැනටමත් මම පරක්කූයි.

    • අටම්පහුර, ඔබ දන්නවද මා සිගරට් බීම නතර කරන්න හිතුව දාට පසු දා එසේ කළා (ගෙදර තිබුන සේරම සිගරට් බිව්වට පස්සේ). අප හැම දාම ජිවිතේ බලා පොරොත්තු වන්නේ මොනවාදැයි ප්‍රමුඛතා ලැයිස්තුවක් හදා ගන්න ඕනේ. ඔබට එහෙම එකක් තවම නැති පාටයි. මේ තොරතුරු ඔබගේ ප්‍රයෝජනයට. ඔබගේ මැදි වයසට කලින් දුමෙන් මිදෙන්න පුළුවන් නම් පෙනහළු පිළිකා හැදීමේ හැකියාව 90% කින් අඩු වෙනවා. දුම් මෙන් මිදිලා අවුරුදු 15 ක් ගියහම ඔබ නහරයක් පුපුරලා මියයාමේ අනතුර, කවදාවත් දුම් නොබිපු කෙනෙකුගේ මට්ටමට පත් වෙනවා. ඔබ දින පතා කල් දාන්නේ වැඩිපුර දවසක් හෝ ජිවත් වීමට ඇති හැකියාව අඩු කර ගැනීමක්. ඔබගේ ප්‍රමුඛතා ලයිස්තුවේ තියෙන්නේ මොනවාද?

  8. නිකං

    ඉතාම කලාතුරකින් තමා කූරක් පාවිච්චි වෙන්නේ. අර සුරුට්ටු කියලා ජාතියකුත් තියනවා නේද Thansher’s Cigars කියලා .පොඩි කාලේ ඕකේ හිස් ලී පෙට්ටියක් හම්බුවුනා කියන්නේ නිධානේ හම්බුවුණා වගේ තමා. තව යාපනේ සුරුට්ටු (අලියා?) කියලා පට්ට සැර ජාතියකුත් තිබුනා කියලා අහලා තියනවා

    • මට මතකයි ඔය සුරුට්ටු පෙට්ටි. පියන තල්ලු කරන්න පුළුවන් දෙපැත්තේ තියන කුඩා කානු දෙකක් දිගේ. සිරාවට ඔබේ මේවා කියවනවා එහෙනම්. මා කලින් සටහන් දෙක තුනක සිංහල හැදුවා ඔබ කියවල උඩට අරන් තිබුන නිසා. 🙂 මේවා නැවත කියවන කොට මට තේරුම් යන කාරනයක් තමා, එදා කොමෙන්ටු දමපු අය අද මේවා කියවන්න එන්නේ නැතිය කියන එක. ඔබත් ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s