Monthly Archives: September 2012

මොස්කව් සිට පටන් ගත් ගමන! Three days on a train!


මා කලින් සටහනක ලියුවා වගේම දුක කියන එක සාපේක්ෂයි. සමහර දෙනා ලියන දුක් කතා ඇහුවහම, දුකක් දැනෙනවා වෙනුවට  හිනහා යනවා. මොකද මගේ ආකල්පයේ හැටියට ඒවා ගණන් ගන්න ඕනේ දේවල් නොවේ. මෙහෙම හිතමු, ඔබට ශිෂ්‍යශත්වයක්  ලැබිල වෙන රටකට ගිහින් මුල් දින දෙකේ, බත් එළවලු වෙනුවට “අනේ චීස්, බටර් පාන් හා කිරි විතරයි තුන් වේලටම” කියුවොත්, මට නම් හිනහ යනවා.  දුක සාපේක්ෂ දෙයක් නිසාම තමන්ගේ අවට ඉන්න අය ගැනත් හිතලා කතා කරන්න ඕනේ.  ඕස්ට්‍රේලියාවේ පවා සරසවි සිසුන් හැඳින්වෙන්නේ “වන් ඩොලර් නුඩ්ල්ස්” කාරයන් කියලා. ඔබට හිතාගන්න පුළුවන්නේ ඇයි කියා.

විශේෂයෙන් ලංකාව වගේ රටක පසුගිය දශක කීපෙක පටන් සමහර මිනිසුන්ට උන දේවල් ගැන අමුතුවෙන් ලියන්න දෙයකුත් නැහැ. මේවා උන කට්ටිය නොවේ, පැත්තක ඉන්න මිනිසුන් තමා කියන්නේ, ඔය අතීතයේ සිදු උන දේවල් අමතක කරන්න කියලා. අතීතය එහෙම අමතක කරන්න පුළුවන් දෙයක් නොවේ. මා මිට කලිනුත් ලියා තිබෙන පරිදි, බටහිරත් හැට හා හැත්තෑවේ දශකයේ පල්ලි වල පාදිලි වරුන් විසින් සිදු කළ ළමා අපචාර වලට යුක්තිය ඉටු කරවා ගන්න සටන් කරන මිනිසුන් තවම ඉන්නවා.  ඉතින් ලංකාව වැනි රටක ඉඳන්  මේ චීස් බටර් ගැන කියන කොට මට හිනා යනවා විතරක් නොවේ ඇඬේනවා.

අප කවුරුත් කැමතියි ජිවිතේ නොලද දේ ගැන වැඩියෙන් කියන්න. නිදහස් අධ්‍යාපනේ, රැකියා, විවාහ ජීවිතය, දරුවන් ඔය කොයිවා ගැනත් කියන කොට එහෙම තමා. නිදහස් අධ්‍යාපනය එක අතකින් වරප්‍රසාදයක්. අධ්‍යාපනයට ඇති අයිතිය හිමි කමක් කියල තර්ක කරන්න පුළුවන් උනත්, ඒ හිමි කම ලබා දෙන්නේ කොහොමද කියන එකත් වැදගත්. මේ ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන සමහර දෙනා කෙඳිරි ගානවා, ගෙවන බදු වැඩිය කියලා. සරදමකට වගේ මෙහෙම කෙඳිරි ගාන බොහොමයක් දෙනා ආදායම් තට්ටුවේ ඉහල ඉන්න අයත් නොවේ. ඇත්තටම ගණන් හදල බැලුවොත්, ඒ අය සෞඛ්‍ය, අධ්‍යාපන හා ළමුනට ලැබෙන සේවා ලෙස ආණ්ඩුවෙන් ආපසු ලබන මුදල, ඔවුන් වාර්ෂිකව ගෙවන බදු මුදලට වඩා වැඩියි (මා කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ තත්ත්වය). මේකට තමයි රිපබ්ලිකන් කාරයන් කියන්නේ, වැඩියෙන් හම්බ කරන අයගෙන් හොරකම් කර, බෙදා දෙනවා කියා. හැබැයි මෙහෙම සමාජයක ජිවත් වීමට මා වඩා කැමතියි. ඔබට ඉහල යන්න විභවයක් තියනවා නම් ඒකට, ඕනේ තරම් අවස්ථා තියනවා. එමෙන්ම සමාජයේ සියලුම දෙනාට මිනිසුන් වශයෙන් ජිවත් වීමටත් අවස්තාව තියනවා. ඔබ අසනීප වෙලා ඉස්පිරිතාලේ ගියහම, ඔබේ රක්ෂණය ගැන නොවේ බලන්නේ, ඔබට අවශ්‍ය ප්‍රතිකාරය මොකක්ද කියලා. හැම දෙනාටම පාසල් අධ්‍යාපනය හමාර කරන්න අවස්තාව තියනවා. ඒකට ඔබේ දෙමාපියන් උපයන මුදල වැදගත් නැහැ.

නිදහස් අධ්‍යාපනය ගැන කතිකාවක් ඇති වෙලා තියන ලංකාවේ තත්වයත් මීට වෙනස් නැතුවා විතරක් නොවේ, ආකල්ප ඊටත් පහළයි. මගේ සටහනකට මීට පෙර කොමෙන්ටුවක් දමපු ඇනෝ කෙනෙක් කිවේ, ඔහු වැඩිපුර බදු ගෙවත්දී, ඔහුගේ දරුවන්ට හොඳ පාසලක් ඔහුගේ වපසරියේ නැහැ කියලා. ඔහුගේ කතාව සාදාරණයි. හැබැයි අනික් අතින්, ඒ වපසරියේම ඉන්නා බදු කිසිත් නොගෙවන අයට තියෙන්නෙත් ඒ පාසලමයි. ඒ කට්ටියත් කෙඳිරි ගානවා ඇති පාසල හොඳ නැහැ කියලා. නමුත් එහෙම හරි පාසලක් ඔවුනට ලැබුනේ, අර කලින් බදු ගෙවන මිනිසුන් නිසා කියා ඔවුන් මොහොතකට හෝ හිතනවාද? ඔවුන් හිතන්නේ මේ “ආණ්ඩුවේ සල්ලි”. ඔවුන් කොහොමත් ඒවා අපට වියදම් කල යුතුයි කියලා. ඒ ආණ්ඩුවේ සල්ලි හැදෙන ආකාරය ගැන ඔවුනට ගානක් නැහැ.

රජයක් විසින් සලසන සේවා අගය නොකිරීම හැම සමාජයකම දකින්න පුළුවන්. ලංකාවේ සරසවි වල ඉගෙන ගන්න බහුතරයකට, මේ සේවා ලැබෙන්නේ කොහොමද කියා සිතන්න උවමනාවක් නැහැ. ඔවුන් සිතන්නේ එය අයිතිවාසිකමක් විතරක් කියලා. රජයට කිසිම බද්දක් නොගෙවන ගමන් ඔවුන් හිතනවා, රජයේ සියලුම ප්‍රතිපත්ති සකස් විය යුත්තේ තමන් හිතන ආකාරයට විතරයි කියා. මේ බොහෝ දෙනෙක් රැකියාවක් කරන්න පටන් ගත්තම ඔය කියන අදහස් හිරු දුටු කදෝ පැණියන්  වගේ නැතුව යනවා. එතකොට ඔවුනගේ පඩියෙන් වැඩිපුර ගානක් අධ්‍යාපනයට බද්දක් වශයෙන් කපා ගන්නවා කියුවොත් නම්, ආයිත් ලිප්ටන් වට රවුමේ.

ඉහත කාරනා ලියුවේ මගේ සටහනට පුරෝකතනයක් වශයෙන්. මා රටවල් කීපයක  ජිවත් වෙලා තියනවා.  මේ හැම රටකම හොඳ හා නරක මිනිසුන් මුණ ගැසිලා තිබුනත්, හොඳ මිනිසුන් කරපු දේවල් තමා වැඩිපුර මතකයට එන්නේ. ඒ කියන්නේ මුණ ගැසුන හොඳ මිනිසුන් ගණන වැඩියි. මේ කියන්න යන්නේ, මා ලංකාවෙන් පළමු වරට පිට උන ගමන් ලද මුල්ම අත්දැකිමක්.

මා කලින් ලියා ඇති සෝවියට් සංගමයේ ශිෂ්‍යශත්වයකට මා තේරුන බව. ඔන්න ලංකාවෙන් ගිය අප මොස්කව් නුවර ගොඩ බැස්සහම අපව එක කරගෙන ගිහින් නේවාසිකාගාරයකට දැම්මා. පහුවදා තමයි අපව එක එක නගර වලට වෙන් කෙරුවේ. ඔබ ලුමුම්බා සරසවිය ඉල්ලලා නැති නම් සෝවියට් සංගමයේ ඕනෙම සමුහාන්ඩුවක ප්‍රධාන නගරයකට යවන්න ඉඩ තියනවා. දෙවෙනි දවසේ අප කණ්ඩායමේ විසි ගානකට කියුවේ, අපට ටෂ්කන්ට් නුවරට යන්න කියලා. එහෙම කියලා, අපව දුම්රිය පොලට එක කරගෙන ගිහින් දුම්රියකට දැම්මා. අප ටික විතරයි. මොන නිලධාරියෙක් වත් නැහැ. එතැනදී තමා දැන ගත්තේ අප දවස් තුනක් දුම්රියෙන් යන්න ඕනේ කියලා. මාත්, තව ලංකාවේ ළමයෙකුත් වැටුනේ, තව මහලු යුවලක් ගමන් ගත් කැබින් එකකට. අපට අල්ලපු කැබින් දෙක තුනේම හිටියේ ලංකාවේ ළමයි ටික. මා නම් රුසියානු භාෂාවෙන් වචනයක් හෝ දැනගෙන හිටියේ නැහැ.  කන්න දේවල් මිලදී ගන්න එකත් ලොකු ප්‍රශ්නයක් උනා. ඊළඟට කෑමට ගන්න තිබුන දේවල්, අප පුරුදු වෙලා හිටි දේවල් නොවේනේ.

හැබැයි මටයි මගේ යාලුවටයි නම් කෑම පිලිබඳ ප්‍රශ්නයක් පැන නැගුනේ නැහැ. අපේ කැබින් එකේ හිටපු ජෝඩුව  දවස් තුනකට නොවේ මාසයකට පමණ සරිලන ආහාර ගෙනත් තිබුනා. ඔවුන් කළේ, කන වෙලාවට කැබින් එකේ දොර වහලා, අප දෙන්නාටත් ඔවුන් සමග කන්නට කතා කිරීම. අප කොහොම අදහස් හුවමාරු කර ගත්තද කියලා අද එච්චර නිච්චියක් නැති උනත්, ඔවුන් දොර වැහුවේ, අප ඔවුන් දෙන කෑම පිටටත අරන් ගිහින් මිතුරන් සමග බෙදා ගනීවි කියල ඔවුන් හිතපු නිසා කියල මතකයි. කොහොම හරි මේ යුවල නිසා අපට දවස් තුනම හොඳට කන්න හම්බු උනා විතරක් නොවේ, රුසියානුවන් ගෙදර හදන ඉතා රස තක්කාලි හා ගෝවා අච්චාරු සමග රුසියාවේ තිබුන රසවත් හැම්, දුම් ගස්සපු මාළු  වලත් රස බලන්න මුල් වරට අවස්තාව ලැබුනා. මෙවැනි කරුණාවන්ත මහලු මිනිසුන් අප ඒ රටේ හිටිය මුළු කාලය තුලම විවිධ නගර වල  හමු උනා.

මා මේ මොස්කව් ඉඳන් ටෂ්කන්ට් ගියපු ගමන ගැන, අපේ ජේස්ට සුද්දෙකු සමග කියුවේ ඊයේ පෙරේදා තේ බොන වෙලාවේදී. ඌ කියුවේ උඹ නම් පොරක් තමයි, මා නම් කවදාවත් යන්න හිතන ගමනක් නොවේ කියලා. මෙයාගේ තාත්තත් යුරෝපිය රටකින් ඇවිත්, දකුණු අප්‍රිකාවේ සේවය කරලා, හැට ගණන් වල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උන කෙනෙක්. මට අද උනත් අපේ ගමන ගැන භයංකාර බවක් වත්, දුෂ්කර බවක් වත් මතකයට නැගෙන්නේ නැහැ.

4 Comments

Filed under Education, Social