මොන කෙන්ගෙඩියකටද? A Pointless Endeavor?


ක්වින්ස්ලන්තයේ තිබුන කම්කරු ප්‍රාන්ත ආණ්ඩුව පරදවා බලයට ආපු කොන්සර්වේටිව් රජයේ මුල් කටයුත්තක් උනේ අගමැතිගේ වාර්ෂික සාහිත්‍ය ත්‍යාග ප්‍රදානෝත්සවය අවලංගු කිරීමයි. මොකද ඒකෙන් ප්‍රාන්ත ආණ්ඩුවට ඕස්ට්‍රේලියානු ඩොලර දෙලක්ෂ හතලිස් පන්දාහක් ඉතිරි කර ගන්න මඟ පාදනවා. #

මේක ආන්දෝලනයට ලක් උන තීරණයක්. නමුත් නව ආණ්ඩුවේ වැය කපා හරින වැඩ සටහනේ එක පියවරක් පමණයි. කොහොම උනත් මහජනතාවගේ, ස්වෙච්චා සේවකයන්ගේ හා පෞද්ගලික ආධාර මත වෙනදා තරම් සරු නොවන සාහිත්‍ය උළෙලක් මේ අඟහරුවාදා තිබුනා.

සාහිත්‍ය, කළා, ඉතිහාසය වැනි විෂයයන් ඉගෙනීමෙන් නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි වැඩක් නැති බව කියන්නේ අද ඊයේ ඉඳලා නොවේ. ක්විස්ලන්ත නව අගමැති කැම්බල් නියුමන් සාහිත්‍ය උත්සවයට වැය කරන ගාණ වැඩකට නැති සිතීම පුදුමයට කරුණක් නොවේ.

කොහොමටත් ආණ්ඩු වැය ශීර්ෂය කපන කොට මුලින්ම අල්ලා ගන්නේ මේ වගේ කළා, පර්යේෂණ, අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර තමා. මොකද ගොඩක් වෙලාවට ජනතාවට මේවා කැපුවා කියා දැනෙන්නේ නැහැ. ඒ එක කරුණක්. අනික තමා කලින් ලියපු පරිදි මේවයින් රස්සා ජනනය, භාණ්ඩ නිෂ්පාදනය ආදිය කරන්න බැහැනේ.

ජේ ආර්ද ලංකාවේ හැත්තෑ හතේ ජය ගැනීමෙන් පසුව මේ වගේ විෂයයන් වලින් කන්න හොයා ගන්න බැහැයි කියලා ප්‍රසිද්දියේ කියුවා පමණක් නොවේ, පාසල් නිර්දේශයෙන් සාහිත්‍යය හා ඉතිහාසය ඉවත් කළා. ඉන්පසු අද වෙනකම් යන්නේ ජේ ආර්ගේ අඩිපාරේ නිසා මෙය කොතරම් දුරට ” නිවැරදි” කරලද කියන්න මා දන්නේ නැහැ.

සාහිත්‍යය වැනි විෂයක් ඉගෙනීමෙන් නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් නැති බව ඇත්ත කතාවක්. මෙවැනි විෂයයන් ඉගෙනීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැත්ද? මේවා සම්පුර්ණයෙන් අයින් කරන්න ඕනෙද? විෂයක් වශයෙන් සාහිත්‍යය ඉගෙනීමේන් පොත් කතුවරු හෝ කළා කරුවන් බිහි  වෙන්නේ නැති උවත්, සමාජයේ යහ පැවැත්මටත් වඩා  අනෙකුත් විෂයයන් ඉගෙන ගන්නා අයටත් මෙවැනි විෂයයන් වලින් අත්  වෙන ප්‍රයෝජන සලකාවත් මේවා පවත්වාගැනීම වැදගත් වෙන්න පුළුවන්.

ගිය සතියේ ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාප් පත්තරේ නීල් ආම්ස්ට්‍රෝන් ගේ මිය යාම හා මිනිසාගේ සඳ මත පා තැබීම ආවර්ජනය කරලා තිබුන ලිපියක තිබුන කරුණු දෙකක් මට මතක් වෙනවා. එකක් තමා ඔහු කියන පරිදි මිනිස්සුන් සඳට ගියේ හරියට යන්න ඕනේ කාලෙට වඩා අවුරුදු 50 ක් නැත නම් 100 ක් විතර කලින්. ඒ හින්ද තමයි මුලින්ම සඳ මත පාතබලා මෙච්චර අවුරුදු ගානක් ගිහිල්ලත් තවම ඉන් එහාට වැඩිපුර ගිහිල්ල නැත්තේ.

නීල් මුලින්ම සඳ මත පාතබන කොට මේ කතුවරයාට අවුරුදු 4-5 ක් වගේ මට මතක හැටියට. එදා ඔවුනගේ අපේක්ෂාව වෙලා තියෙන්නේ ඉන් අවුරුදු 50 කින් එපිට සඳේ මිනිස් ජනාවාස හැදෙයි කියල. ඔහු කියන අනික් කරුණ ඊටත් වඩා සිතා බැලිය යුතු දෙයක්. ඒ තමා සඳට ගිය කිසි කෙනෙක් තමන්ගේ අත්දැකීම් හරියට ලෝක වාසීන් සමග බෙදා ගැනීමට සමත් උනේ නැහැය කියන එක (ඔහු නීල් අම්ස්ට්‍රොන්ව සමග පවා සම්මුඛ සාකච්චා කළ අයෙක්).

ඔහු කියන්නේ, අභ්‍යවකාශගාමින් තේරීමේදී තොරාගතයුතු සමහර ලක්ෂණ අමතක කරලා කියලා. සාහිත්‍ය කරුවෙක්, කවියෙක් හෝ වෙනත් කලාකරුවෙක් හඳට ගියා නම්, ඔහු හෝ ඇය ලබාගත් අත්දැකීම් මීට වඩා හොඳට අප සමග බෙදා ගන්නට ඉඩ තිබුනා යයි ඔහු කියනවා.

 

Advertisements

13 Comments

Filed under Opinion, Social

13 responses to “මොන කෙන්ගෙඩියකටද? A Pointless Endeavor?

  1. Hasitha

    ක්වින්ස්ලන්තයේත් මේ විදිහට වියදම් කපාහරින්නේ ආර්ථික අර්බුද නිසාද එහෙමත් නැත්නම් ඒකට පෙර සූදානමක් විදිහටද ?

    • හසිත මේක ටිකක් දිග කතාවක්.වියදම් කපා හරිම ගැන කීප විදිහකට බලන්න පුළුවන්. මේ බටහිර රටවල් වල තියෙන්නේ තට්ටු මාරු පාලන ක්‍රමයක්. ලංකාවේ හැත්තෑ හතට කලින් තිබුනා වගේ. එක පක්ෂයක් තමා කොන්සර්වේටිව් කණ්ඩායම. අනෙක් එක තමා කම්කරු නැත්නම් “වමට” බර පක්ෂය. ඇමෙරිකාවේ නම් ඩිමොක්‍රටික් පක්ෂය. ලංකාවේ වාමාන්ශිකයන්ට නම් මේ දෙකම එකක් උනත්, මේ ආණ්ඩු වල වෙනසක් තියනවා. කොන්සර්වේටිව් පක්ෂ ආණ්ඩු කාලේදී වෙන්නේ, රජයේ වියදම් අඩු කරලා, සමාගම් වලට හිතකර පරිසරයක් ඇති කරලා (සමාගම් බදු අඩු කරලා) ඒ මගින් ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගැනීම. සමාගම් මගින් රැකියා උත්පාදනය කෙරෙන නිසා, පහල කොටස් වලටත් ආර්ථික ප්‍රතිලාභ අත්වෙනවා කියන එකයි තේරුම. කම්කරු පක්ෂ වල ආධාර කණ්ඩායම් වන්නේ වෘත්තීය සමිති හා සමාජ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින්නන්. මේ පක්ෂ බලයේ ඉන්න කාල වල තමයි වැඩිපුර සමාජ සුබසාදන, සෞඛ්‍ය, අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර වල විතරක් නොවේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහාත් වැඩි අවධානයක් යොමු වෙන්නේ. මේක සරලව කියන්න ගත්ත උත්සහයක්.
      ඕස්ට්‍රේලියාවේ මහා ආණ්ඩුව (පෙඩරල්) මේ වෙලාවේ කම්කරු පක්ෂයේ එකක්. කලින් තිබුන ආණ්ඩුව කොන්සර්වේටිව් පක්ෂයේ. කොන්සර්වේටිව් පක්ෂය පෙඩරල් රජය කරන කාලයේ ප්‍රාන්ත ආණ්ඩු සේරම වගේ කම්කරු පක්ෂ යටතේ තිබුනේ. දැන් පෙඩරල් රජය කම්කරු වෙන කොට ප්‍රාන්ත රාජ්‍යයන් එකින් එක කොන්සර්වේටිව් පක්ෂයට යනවා. ඊයේ පෙරේදා (අගෝස්තු වල) වෙනස් උනේ නොර්දන් ටෙරිටෝරි ප්‍රාන්ත රජය. ඊට කලින් (මාර්තු වල) තමා ක්වීන්ස්ලන්ත රජය කොන්සර්වේටිව් පක්ෂයට ගියේ. ඊට කලින් හිටි කම්කරු පක්ෂ ආණ්ඩුව 1989 වසරේ ඉඳන් එක දිගට තිබුන එකක්. ක්වීන්ස්ලන්ත රජයේ අය-වැයේ හිඟයක් තමා තියෙන්නේ. අලුත් ආණ්ඩුවේ එක අරමුණක් තමා මේ හිඟය ඉතා ඉක්මනින් අඩු කර ගෙන අතිරික්තයක් කරා යාම. මේ මැති වරණයෙන් ඔවුන්ට විශාල ජන වරමක් ලැබුනා. මුල් දින සියය තුල ඔවුන් රජයේ රැකියාවන් 7000 ක් කැපුවා. ඊළඟ ඉලක්කය රජයේ රැකියා 20000 ක් වනතුරු කපා දාන්න ((තව 13000 ක්). ඊට අමතරව බන්ධනාගාර වලට, පරිසර වැඩසටහන් වලට වැය කරන මුදල් කැපුවා. සෞක්‍ය, කළා සාහිත්‍ය, සමාජ සුබසාදන ආදී වැඩ සටහන් වලින් මුදල් ඉතිරි කරනවා.
      ඔවුනගේ පළමු අය-වැය එන්නේ මේ මාසයේ. එය බියකරු එකක් වනු ඇති ය කියලා අනතුරු අඟවා තියනවා. මෙවැනි වියදම් කපා හරින අනික් කොන්සර්වේටිව් ප්‍රාන්ත රජයන්ද ජනප්‍රිය තාවයෙන් පිරිහෙමින් තියනවා. ක්වින්ස්ලන්තේ ගත්තොත් එහි ආදායම් මාර්ග වෙන්නේ පතල් (ස්වාභාවික සම්පත්), කෘෂිකර්මය හා සංචාරක කර්මාන්තයයි. පසුගිය වසර දෙකක්ම එක දිගට එය ස්වභාවික ආපදාවන්ට මුහුණ දුන්නා. ගංවතුර හා සුළි සුලන්. මේ නිසා පතල් වල හා කෘෂ්කාර්මික වැඩ අඩාල උනා. සංචාරක කර්මාන්තයත් එහෙමයි. ඉහල නැගපු ඩොලරය නිසා සංචාරක කර්මාන්තයට තවත් අමාරු උනා. ඒ විතරක් නොවේ යපස් වල මිල පහත වැටීම නිසා පතල් කර්මාන්තයේ ආදායම් වැටුනා. අවුරුදු ගණනාවක් තිබුන එකම රජයේ සමහර වැඩත් අනාගෙන කියලත් කියනවා.රජයේ ආදායම් ඉහල යාමේ ප්‍රතිශතයට වඩා, රජයේ වියදම් ඉහල යාමේ ප්‍රතිශතය වැඩි වීම මේ කාලය තුල සිදුවෙලා තියන එක නම් පිලි ගන්න වෙනවා. මේ සියල්ලේ සංකලනයක් තමා අය-වැය හිඟය.ඊට අමතරව ලෝක ආර්ථික අර්බුධයත් ඕස්ට්‍රේලියාවට බලපානවා.

  2. //කොහොමටත් ආණ්ඩු වැය ශීර්ෂය කපන කොට මුලින්ම අල්ලා ගන්නේ මේ වගේ කළා, පර්යේෂණ, අධ්‍යාපන වැනි ක්ෂේත්‍ර තමා. මොකද ගොඩක් වෙලාවට ජනතාවට මේවා කැපුවා කියා දැනෙන්නේ නැහැ. //

    මේවාගේ ප්‍රතිපල මිනිසුන්ට දැනෙන්නේ දීර්ඝකාලීනව. ආපහු පරණ තත්වෙට එන්ට ඉතින් අලුතෙන් පර්යේෂණ කරන්ට වෙනවා.

    • නැහැ ප්‍රවීනා මිනිසුන්ට ගොඩක් කලක් ගියත් තේරෙන්නේ නැහැ. හාවර්ඩ් ගේ රජය වැටුනේ මේ වියදම් කපා හැරීම ජනතාවට දැනිලා නොවේ. කම්කරු නීති සංශෝධනය ඊට වඩා මිනිසුන්ට දැනුනා. හාවර්ඩ් ගේ රජයෙන් පාසල් හා විශ්ව විද්යාල හොඳටම නොතකා හැරියා. ඒ වගේම තමා සෞඛ්‍ය හා මහා මාර්ග වැනි හැම දෙයක්ම. නමුත් මිනිසුන්ට දැනුනද? නැහැ . ලංකාව ගන්න,අදත් සිරීමට බනින එවුන් ඕනේ තරම් ඉන්නවා, නමුත් මහා විනාශයකට පාර කපපු ජේ ආර් ගොයියාට බනින එවුන් හොයා ගන්න නැහැ. ජේ ආර් කරපු දේවල් හා සසඳන විට සිරිමාගේ හත් අවුරුද්ද මොකක්ද?

  3. Kenji @ Japan

    ක්වින්ස්ලන්තයේ එහෙම උනාට ලෝකෙන් උතුම් රටේනම් වියදම් කරන්නෙම උවමනා නැති දේවලටමනේ?????අසරණ දරුවන්ගේ අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියද්දීත්,මහ එඋව්වෝ ගෙඩි පිටින් ගිලින හැටි බලන්නකෝ.ජනතාවටත් වගේ වගක් නැතිව කතිරේ ගහන්නේම එඋන්ටනේ.

    • කෙන්ජි, අධ්‍යාපනයට 6% ක් වෙන් කරන කතාව ගැන මා හිතන හැටි ජනප්‍රිය මතයට වෙනස්. මෙහෙම 6% ක් වෙන් කරලා අධ්‍යාපනය ගොඩ ගන්න පුළුවන් කියල මා හිතන්නේ නැහැ. එය රජයේ අනෙක් ප්‍රතිපත්ති හා බැඳුන දෙයක් වෙන්න ඕනේ. කොහොමත් එක පාරටම 6% ක් වෙන් කරන එකත් හොඳම ආර්ථික තත්ත්ව යටතේත් ප්‍රායෝගික දෙයක් නොවේ. ඒ කොහොම උනත්, මා හිතන තව දෙයක් තමා ලංකාවේ පෞද්ගලික විශ්ව විද්යාල වලටත් ඉඩ දීම දැනටම ප්‍රමාද උන කටයුත්තක්. මාත් ටිකක් දුරට ඉගෙන ගෙන තියනවා. නිදහස් අධ්‍යාපනයෙන්. මා එක දින පුහුණුවක් වත් අතෙන් සල්ලි වියදම් කර කරලා නැහැ. නමුත් පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දීම රජයේ අධ්‍යාපනය විනාශ කිරිමකටත් වඩා, වැඩියෙන් නිදහස් අධ්‍යාපනය අවශ්‍ය අයට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට උපයෝගී කර ගන්න පුළුවන්. උසස් අධ්‍යාපන රජයේ ඒකාධිකාරය නිසා අධ්‍යාපන අවස්ථා පුළුල් වීම ඉතා හානිකර ලෙස අඩු වෙලා තියන රටක් තමා ලංකාව. දඹර අමිල හිමි කියනවා ඉතියෝපියාවෙත් අධ්‍යාපනයට ලංකාවට වඩා වෙන් කරනවා කියලා. ඇයි අනික් දේවලුත් නොකියන්නේ. ඔබ බැලුවද මගේ ඉතියෝපියාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල කියන සටහන. ඒක දැම්මේ, මේ 6% කතාව එන්න ගොඩක් කලින්. අප හැම පැත්තම බලන්න ඕනේ.

  4. හසී

    සල්ලි ණයට අරන් උත්සව කරන එක හරිද ? අපි අපේ පමණ දැන ගෙන ජීවත් වෙන්න ඕන කියන එක තමයි මගේ මතය.

    • හසී, මෙවැනි සාහිත්‍ය කටයුත්තක් නිකම් ජවුසම් නටනවා කියලා බැහැර කරන්න බැහැ. සමහර දේවල් වලට ණයට අරගෙන ආයෝජනය කරන්න ඕනේ. තමන්ගේ ආදායමේ පමණට ජිවත් වීම එකක් තමා. හැබැයි රටක ආර්ථිකය විතරක් නොවේ අපේ පෞද්ගලික ආර්ථිකයත් හැම විටම එහෙම තියා ගන්න බැහැ. අධ්‍යාපනයට සෞඛ්‍යට කරන ආයෝජන වලින් අනාගත ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. අපත් ණයට අරන් ආයෝජනය කරනවානේ. මෙහෙම කරලා “දියුණු”උන මිනිසුන් ඕනේ තරම් අප අතරේ ඉන්නේ!

  5. / ගිය සතියේ ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාප් පත්තරේ නීල් ආම්ස්ට්‍රෝන් ගේ මිය යාම හා මිනිසාගේ සඳ මත පා තැබීම ආවර්ජනය කරලා තිබුන ලිපියක තිබුන කරුණු දෙකක් මට මතක් වෙනවා. /

    මේ කරුණු දෙකටම සීයට දෙසීයක් එකඟයි…මිනිස්සු හඳට ගියේ සුදුසු කාලෙට බොහොම කලින්…සෝවියට් දේශය එක්ක තිබුණු තරඟය නිසයි එහෙම උනේ..ඒකයි මට හිතෙන්නෙ හේතුව 1969 පස්සෙ අභ්‍යාවකාශ තරණය මන්දගාමීව සිද්ද වෙන්නෙ…හරියට අල්ලපු ගෙදර මනුස්සය එක්ක තරඟෙට ණය වෙල කාර් එකක් ගෙනාව වගේ…ඒ මනුස්සය ගෙවල් විකුනල යන්ටත් ගිහිල්ල…අපි තාම කාර් එක නඩත්තු කරගන්ට විදිහක් නැතුව එදා ගෙනාපු විදිහටම ගාල් කරල පැත්තක තියනව

    කවියෙක්, කලා කාරයෙක් හඳට ගියානම් ඒ අත්දැකීම් අනික් මින් අයත් එක්ක මීට වඩා විචිත්‍ර සහ සිත් ඇදගන්නා සුළු විදිහට බෙදාගන්න තිබ්බ කියන එකත් ඇත්තම තමයි…අඩු ගනනෙ මම දන්න විදිහට ඔය හඳට ගිය කිසි කෙනෙක් ඒ ගමන් විස්තරේ ගැන පොතක් ලියන්නවත් උනන්දු වෙලා නෑ…මිනිස් සංහතියේ ශ්‍රේෂ්ඨම ජයග්‍රහණය විදිහට ඒක හිදැස ලොකු අඩුපාඩුවක්…

    • ඇත්තටම රවී, අභ්‍යවකාශ වැඩ සටහන් මිනිස් සංහතියට කොච්චර වැඩදායකද කියන ප්‍රශ්නය තියනවා. මා නම් හරිම කැමති දෙයක් තමා අපට ඉහල (හා පහල) අවකාශයේ වෙන්නේ මොනවාද හා තියෙන්නේ මොනවාද කියල දැන ගන්න. නමුත් මිනිස් සංහතිය මුහුණ දෙන කොපමණ ප්‍රශ්න තියනවද? වැඩි දුර යන්න ඕනේ නැහැ. ඇමෙරිකාවේම මිලියන පනහකට කිට්ටු ජනතාවක් දුප්පත් කමේ ඉන්නේ. බිලියන ගණන් අභ්‍යවකාශ තරණයට යොදවන එක සාධාරණිකරණය කරන්න පුලුවන්ද? ඒ කොහොම උනත් ඔබගේ කතාවටත් එකඟයි. ඇමෙරිකාව පමණක් නොවේ සෝවියට් දේශයත් තරඟයට අභ්‍යවකාශ තරණය කළාට, තමන්ගේ ජනතාව ගැනවත් හිතුවේ නැහැ. ඇමෙරිකාව පැත්තකින් තියමු, මුලින්ම අභ්‍යවකාශයට මිනිසෙකු යවපු සෝවියට් දේශයේ ජනතාවගේ අනෙකුත් අවශ්‍යතා පිරිමැහුවේ නැහැ. අඩු ගානේ ග්‍රීෂ්ම කාලේ හැදෙන අපල ටික අවුරුද්දේ ඉතිරි කාලයට ගබඩා කර ගන්න වත් පහසුකම් තිබුනේ නැහැ.
      අනෙක් කතාව රවී, අභ්‍යවකාශයට විතරක් නොවේ පොලවේ ඉන්න අයටත් පොදු කතාවක්. ඔබ කියන දේ ඇත්ත. මෙච්චර වියදම් කර හඳට යවලා, තමන්ගේ අත්දැකීම් වත් හරියට බෙදා ගන්න බැරි වීම කණගාටුවට කරුණක්. නමුත් ඔවුන් පමණක් නොවේ එහෙම. මේ පොලවේ ඉන්න අනෙක් විද්‍යා විෂයයන් වල පරතෙරට ගිය බොහෝ දෙනාට, ගොඩක් වෙලාවට යමක් සිත් ගන්නා අයුරින් පැහැදිලි කරන්න බැහැ. සමහර දේශණ වලට ගියහම නිදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මා කියන්න හැදුවේ අන්න ඒක. මොකද එහෙම වෙන්නේ. ඒක හේතුවක් තමා මේ අය තමන්ගේ විෂයටම බරවී සිටීම. පොඩි කාලේ ඉදන්ම සාහිත්‍යය වගේ විෂයකුත් ඉගෙන ගත්තා නම් මේ තත්වය ටිකක වත් මග හැරෙන්න පුළුවන්. අපට ශේක්ෂ්පියර් ව හඳට අරින්න පුළුවන් වේ යයි හිතන්න බැහැ. නමුත් අභ්‍යවකාශ ගාමින් වෙන්න හැකියාව තියන කට්ටියට ශේෂ්පියර්ගේ කෘති රස විඳින්න පුරුදු කරන්න පුළුවන්!

  6. //සාහිත්‍ය, කළා, ඉතිහාසය වැනි විෂයයන් ඉගෙනීමෙන් නිෂ්පාදන ක්‍රියාවලියට වැඩි වැඩක් නැති බව කියන්නේ අද ඊයේ ඉඳලා නොවේ.//
    අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි සෞඛ්‍ය අංශෙනුත් ආදායම් නෑ කියල කියන අදහසාපි සාධාරණ පඩි වැඩි කෙරෙමක් ඉල්ලපු හැම විටම කවුරු හරි මන්ද බුද්ධිකයෙක් යෝජනා කරන එකක්!
    ඔය ප්‍රශ්නය උත්තර දෙන්න අවශ්‍ය නැති තරම් මෝඩ එකක් නිසා හුඟ දෙනෙක් කට පියාගන්නවා

    • ලංකාවේ මේ දෙකම දෙන්නේ නොමිලයේනේ හෙන්රි. හැබැයි දෙකම නාමිකව විතරයි. එහෙම වෙලා තියෙන්නේ දෙන කට්ටියගේත් ලබන කට්ටියගේත් සිතන විදිහ නිසා (මේ දෙගොල්ලම එක් අයෙක්: මහා ජනතාව)!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.