වසර විසිදාහක් පැරණි ප්‍රතිකර්මයක්! Oldest known pottery comes from China!


ගිය සිකුරාදා බිරිඳ ගියා වැඩකරන තැන කට්ටියක් එක්ක රෑ කෑම කාල චිත්‍රපටයක් බලන්න. ඒ යන්න කලින් මොකවත් කන්න හැදුවේ නැහැ කියල පුතාට කියන කොට, පුතා කියුවේ “අම්ම නිකම් කලබල වෙන්නේ නැතුව යන්න, තාත්තා උයන වැඩේට  නිර්මාණ ශිලියි, මොනවා හරි හදල ගනීවි” කියලා. මේක ලියුවේ පම්පොරියකට නොවේ. ඇත්තටම පම්පොරියක් වෙන්නේ “අනේ මට නම් තේකක් වත් හදා ගන්න බැරිය” කියන එකයි කියලා මා අහල විතරක් නොවේ කියවලත් තියනවා. ඉවීම එක අතකින් ලංකාවේ පිරිමින් බොහොමයක් සලකන්නේ අගරු කටයුත්තක් වශයෙන් කියලා මේ කතා වලින් තේරුම් යනවා. මීට කලින් සටහන් වල මා උයන හැටි ටිකක් ලියුවේ මා හිතන හැටි විතරක් නොවේ, ඉවීම එක අතකින් කලාවක් වගේම, ආසාවෙන් කළ හැකි දෙයක් බව කියන්නයි.

මා සමග වැඩ කරන ජේෂ්ට සුද්දන් සේරම ගෙදර උයන කට්ටිය. අපේ ලොක්කගේ එළවලු කපන ලෑල්ල ඔහු කියවල හදවා ගත් එකක්. ඒකට බර ගානක් වියදම් කළ බව ඔහුගේ ගෙදර තිබුන කෑමකට ගිය වෙලාවේ කියුවා. ඒක අඟල් තුනක් විතර ඝනකම තරමක් ලොකු එකක්. වෙන කෙනෙකුට පොඩි මේස කෑල්ලක් හදා ගන්නත් පුළුවන්.  පොරගේ කෑම රසයි. මිරිසුත් අප තරම්ම නොවුනත් දානවා. අප කොතරම් “ඉගෙන” ගත්තත් තියෙන්න ඕනේ කුසලතා නැති බව සමහර විට අහන්නට ලැබෙනවා. ඉවීම කියන්නේ ජිවත් වීමට අවශ්‍ය මුලික කුසලතාවයක්.

මිනිසා උයන්න පටන් ගත්තේ මීට වසර දහා-දොළොස් දාහකට පමණ පෙර කියල තමයි මතය උනේ. ඒ කියන්නේ දඩයම් යුගයෙන් ගොවිතැන් යුගයට බැස්සට පස්සේ. මේ කාලයට අයත් මැටි භාණ්ඩ තමා හමු වෙලා තිබුන පැරණිම මැටි භාණ්ඩ උනේ. හැබැයි, මේ වසරේ ජුනි මාසේ “Science” සඟරාවේ තිබුන කලින් සිතූ දෙයට ඉඳුරාම වෙනස් දෙයක්. ඒ තමා චීනයේ ජියංෂි පළාතේ තිබුන බිම් ගෙයක තිබිලා අවුරුදු විසි දාහක් පැරණි මැටි කල්දේරමක යයි සිතිය හැකි කොටස් හමු වී තිබුන ප්‍රවුර්තිය. මේ කාලය වෙන විට කෘෂිකර්මය පිලිබඳ මිනිසා දැනගෙන හිටියේ නැහැ කියලා තමයි කලින් අනුමානය උනේ. නමුත් මේ සොයා ගැනීමත් සමග ඒ ගැන නැවත සිතන්න පටන් අරන්. ඉතා ප්‍රාථමික කෘෂිකාර්මික  කටයුතු මේ යුගයේ තිබුනා කියල හිතන්න පුළුවන් බව සමහර විද්‍යාඥයන්ගේ අදහස. මේ කාලයේ  තමා අවසාන අයිස් යුගය තිබිලා තියෙන්නේ. එක අදහසක් තමා, පිසුණු ආහාර වලින් වැඩි ශක්තියක් ලැබෙන නිසා, සොයා ගන්න පුළුවන් සුළු ආහාර ප්‍රමාණයෙන් රැකෙන්න ඒවා පුළුස්සා ගත්ත කියන එක.

අනික් අදහස තමා මේ කාලේ තිබිල තියෙන්නේ කණ්ඩායම් වශයෙන් දඩයම් කරන සමාජ. කණ්ඩායම එකතු වෙලා නිතරම ඒකට ඉන්න කොට එකිනෙකාට නොරිස්සුම් ගතිය නැත්නම් සමාජ ආතතිය ඇති වෙන්න පුළුවන්. අර කල්දේරම් ඇත්තටම ඉවුම් පිහුම් කරන්න හදපුවා නොවේ, කසිප්පු පෙරන්න යොදා ගත් ඒවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ  මත්පැන් සමාජ ආතතිය පලවා හැරීමට ඒ කාලයේත් භාවිතා කළා කියන එක.

13 Comments

Filed under Social

13 responses to “වසර විසිදාහක් පැරණි ප්‍රතිකර්මයක්! Oldest known pottery comes from China!

  1. hasithag

    මේක දැක්කාම මතක් වුණේ ලොබ්සෑං රම්පාගේ ස්වයං චරිතාපදානේ තිබුණු කතාවක්. ටිබෙට් රටේ හොඳටම කෑම හදන්න දන්නේ පිරිමිලු. ගෑණුන්ට සම්පා කියන ජාතිය විතරලු හදාගන්න දන්නේ. ඒක නිසා ප්‍රභූ ගෙවල් හැම එකකම වගේ කෑම උයන්න ඉන්නේ පිරිමි අයලු 🙂

  2. Kenji @ Japan

    මමත් හැකි සෑම විටකම උයන්නේ හරිම ආශාවෙන්.ඔබ කියන එක ඇත්ත රයිගම,අර මොකක්ද එකවගේ ඉවීමත් එක කලාවක් තමා.ලෝකයේ හෝටල් සහ අවන්හල්වල කෑම පිසින ප්‍රධානියා බහුතරය පිරිමි නේද?අපේ ලංකාවේ සමහර කළු සුද්දන්ටනම් උයන එක තමන්ගේ තත්වයට මදිකමක් කියල හිතන්නේ.මගේ දුව එයාගේ මල්ලිට කියනවා මමනම් ලොකු උනාම [මම හිතන්නේ කසාද බැන්දම ] තාත්තිව තියාගන්නවා උයවගෙන කන්න කියල.මම දවසක් කිඋව්ව දෙන්න එකලග ගෙවල් දෙකක් අරගෙන ඉන්න මම දෙන්නට උයල දීල යන්නම් කියල. තව එකක් රයිගම,ජපන් ජාතිකයෝ කෑමට ගන්න අමු මාළු[ශශිමි] කපන්නේ පිරිමි අයලු,ගැහැණු අයගේ අත් පිරිමි අයගේ අත් වලට වඩා උනුසුම්ලු.රස්නේ අත්වලින් කැපුවාම එම මාළුවල තිබෙන නැවුම් බව නැතිවන නිසා කියල ආච්චි කෙනකුයි,සීය කෙනකුයි [ඔබාසාන් සහ ඔජිසාන්] කිඋව්ව.

  3. මේ කතා අහලා, ලංකාවේ පිරිමි උදවිය එයාලාගේ කුසලතා තවත් දියුණු කරගන්නවා නම් කොච්චර එකක්ද?

    ගෑනු උදවිය ගෙදර ආවට පස්සේ, බියර් එකක් තොලගාමින්, ටීවී එකේ යන මැච් එකක් දිහා, බල, බලා ඉඳීනේ. 🙂

  4. පේනවා නේද හසිත….. 😀

  5. ඉවීම යනු ලෝකයේ ශ්‍රේෂ්ඨතම කලාවක් ‍හෝ කලාව. හැබැයි ඒක තේරුම් ගන්න මට සෑහෙන කාලයක් ගියා.

  6. Kenji @ Japan

    @ praveena එතකොට බයිට් එකට මොනවා හරි හදල දෙන්න ඕනත් අපිද?

  7. අන්න හසිතට විතරයි මා කියන්න හදන දේ වැටහුනේ. ප්‍රභූ කෙනෙක් වෙන්න දැසි දස්සියන් තියාගෙන ඉන්න ඕනෙම නැහැ. ළඟක හිටියනම් උයපු මස් කෑල්ලක් වත් කටේ දානවා හසිත! 😀

  8. මටත් කෙන්ජි ආච්චි කෙනෙක් කියල තියනා, අත හෝදන්නේ නැතුව උයනවා නම් ලුණු අඩුවෙන් දාන්න කියලා. ටිකක් වැඩිමහලු අයට නම් උයල දෙන්න මටත් එන්න පුළුවන්!

  9. ප්‍රවීනා, සීමිත පරාසයක් දන්නා මේ දෙතුන් දෙනෙකුගේ කතා අහල නිකම් පුස් බලාපොරොත්තු ඇති කර ගන්න එපා. නරකද චීන ආණ්ඩුවෙන් අවසර අරන් ටිබෙට් රටේ රවුමක් ගහල ආවනම්. හමේ පාටත් නරක නැහැ. අනික ඔය ලතින් ඇමෙරිකන් කොල්ලෝ වගේ සෙල්ලක්කාර එවුනුත් නොවේ. පෝයට පන්සල් යන්නත් පුළුවන්! 😀
    ඔබට හරි අහිංසක බලාපොරොත්තු තියෙන්නේ. මේ අනික් අය සෝඩා ටිකක් දාල විස්කි ටිකක් දෙන්නද කියල අහපුවහම, නැහැ සෝඩා එපා කියලයි කියන්නේ.

  10. ඔබ දන්නවද නිලුක? සමහර දේවල් මට උපතින් පිහිටලා තිබුනා. මා ඉගෙන ගන්න ගොඩක් මහන්සි උනේ නැහැ, මා ගස් වැල් වලට කුඩා කල ඉඳලම ආසයි, හොඳට බොන්න අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය උනේ නැහැ. උයන එකත් ඒ වගේ මයි. මාළුවා දියට බහින්න වගේ තමයි, උයන්න ගත්තේ!

  11. hasithag

    @ raigamahandiya

    මම මස් කන්නේ නැහැ නොවැ 🙂 වෙන කෑමක් තමා කටේ දාන්න වෙන්නේ

  12. @Kenji @ Japan,

    බයිට් එකට මොනවා හරි හදල දෙන්ටත් ඕනි. බයිට් වෙන්ට බලා ඉන්ටත් ඕනි. 😀

  13. @රයිගම,

    වැඩේ කියන්නේ මට ඔය සුදු පාට ලඟින් යන පාටකටවත් ආසා හිතෙන්නේ නැති එකනේ. 😀

Leave a reply to raigama

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.