සොඳුරිය ඔබගේ උවන මලක් නම් නිශා කලෙහි එය සෙව් බඹරිඳු මා?


අපොස උපේ කරන කාලේ අපේ පන්තියේ හිටිය පොරක් දවසක් මගෙන් රුපියල් තිස් පහක් ඉල්ලුවා. මාත් හම්බ කරන කාලයක් නොවේනේ. කොහොම හරි ළඟ තිබුන රුපියල් තිස් පහක් දුන්නා. මූ තව එකෙකු ගෙනුත් මේ ගාණම ඉල්ලෙගෙන තියනවා කියල මා දැන ගත්තේ දවස් කීපයකට පසුව. අප දෙන්නටම මූ කියුවේ ටියුෂන් වලට ගෙවන්න සල්ලි මදිය කියලා. මෙයා ගැන ටිකක්  කියුවොත්, හරි හොඳ එකා. ඒ දවස් වල ඔහුගේ තාත්තා මිය ගිහින් තිබුනේ. පිට පලාතක් තමා ඔහුගේ මුල් ගම. කොළොඹ බෝඩිමක නැවතිලා හිටියේ. කඩවසම් උනාට කොට පොර. හැබැයි කට පත්ත වල නම් ඉවරයක්  නැහැ. කොටින්ම කියනවා නම් මූ කියන්නේ අපට උගන්නපු ගුරුවරියක්ව උනත් මූට “අල්ල” ගන්න පුළුවන් කියලා. අපෙන් සල්ලි ඉල්ලගෙන සති දෙකකට විතර පස්සේ, අපේ සල්ලි දුන්න අනික් යාලුවට මුගේ පොතක් අස්සක තිබිලා අමුතු උපදේශක පත්‍රිකාවක් හම්බ වෙලා මටත් පෙන්නුවා. මේ දෙන්නා පන්තියේ එක ලඟයි ඉඳ ගත්තේ. එකිනෙකාගේ පොත් බලන එක ඒ කාලේ අනෙකාගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහීමක් කියලා අප හිතුවේ නැහැ.

මොකක්ද දන්නවද අර උපදේශය වශියක් ක්‍රියාත්මක කරන ආකාරය. තාමත් ඒ නම මට මතක තියෙන්නේ මේක බලපු අප දෙන්නාම හිනා උන හැටි මතක නිසා. ඒ තමයි “මහා ශෂී කාල වශිය”. අපට ඕනෙම කෙල්ලෙක් යාලු කර ගන්න පුළුවන් කියලා කට පත්ත අදින අරූ, අපෙන් ණයට සල්ලි අරන් වශියකට. මේකට හිනා නොයන්නේ කාටද? එදා ඉඳන් මූ නැති තැන අප දෙනා ඌ ගැන කතා කලේ “ශෂී කාල වශියා” කියලා. ඒත් අප දෙන්නා ගෙන් එක් කෙනෙකු වත් ඒ උපදේශය අප දැක්කා කියල කියන්න ගියේ වත්, අනේ උඹ සල්ලි ණයට අරන් වශී කර ගන්න හදනවා නේද කියල කියන්න ගියෙත් නැහැ. එහෙම නොකළ එක ගැන එදාට වඩා අද මට හිතට හොඳයි.

මා මුල් සටහනක් හැටියට ලියපු රුවන්වැල්ලේ සෝබිත මහතා ගැන ඊයේ පෙරේදා පත්තරේක නැවත තිබුනා. ඒ විතරක් නොවේ, කවුරු හරි මගේ සටහන නැවත කියවලා හෝ නොදැනුවත් කමින් ක්ලික් කරලා තිබුනා. මට ශෂී කාල වශියා ගැන මතක් උනේ ඒ හින්දා. මා මෙවැනි අද්භූත බලවේග නැත්නම් නොපෙනෙන බලවේග හෝ ස්වභාව ධරමයාට ඉහලින් ඉන්න බලවේග ගැන එදා පාසල් සිසුවෙකු හැටියට විශ්වාස කලෙත් නැහැ අද විශ්වාස කරන්නෙත් නැහැ. එදා වගේ නොවෙයි අද වෙනකොට මා පින් පව්, දෙවියන්, හඳහන් ,නැකත්, හොඳ වෙලාවල්, ඉරණම යනාදී මොනවත් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි එදා වගේම තමයි. අනෙක් මිනිසුන් මේවා විශ්වාස කරන එක ගැන ලිවීමේදී හා විවේචනයේදී මා තවමත් පරිස්සම් වෙනවා. අර බැලුම් ගල හාදයන් පත්තරේ දැන්වීමක් දාලා ඒකට ආපු ප්‍රතිචාර වලට නැවත කතා කරලා, ඒ කතා බහ පටිගත කරලා සමච්චලයට ලක් කිරීම මා සලකන්නේ නොහොබිනා වැඩක් කියලා. මා වගේ නොවේ, මේ දෙය කරපු හාදයන්ට ඕනේ තරම් විශ්වාස ඇති. විශ්වාස වලට අයිති වෙන්නේ වශී විතරක් නොවේ. මා කලින් කියපු ලයිස්තුවේ නොතිබුන තව බොහෝ දේවල් තියනවා.

මේවා තියනවයි කියලා ඔප්පු කරන්න බැහැ වගේම, නැහැයි කියලා ඔප්පු කරන්නත් බැහැ. අපේ අම්මා මා වෙනුවෙන් බෝධි පුජාවක් තියලා, මට කියුවොත්, මා පුතාට සෙත් පැතුවා කියලා, මා කියන්න යන්නේ නැහැ මෙහෙම දෙයක්. “අනේ අම්මේ ඕවා මහා බොරු වැඩ, කොහොමද ඕවයින් මට වැඩක් වෙන්නේ?” ඒ වෙනුවට මා අම්මට කරපු දේට හොඳය කියලා පින් දෙනවා. කලින් විදිහට මා ඒක ප්‍රතික්ෂේප කලොත් වෙන්නේ මොකක්ද කියා ඔබට හිතා ගන්න පුළුවන්නේ. හැබැයි මගේ ජීවිතය ගැන මට තීරණය කරන්න පුළුවන් උන හැම විටම මේ දේවල් වලින් ඈත් වෙලා තමයි, තීරණ අරන් තියෙන්නේ.

මේ වගේ විශ්වාස මට හිතෙන්නේ හරකාගේ බැන්ද ගැල වාගේ. යන යන තැන එනවා විතරක් නොවේ, ජිවිතයට මහා බරක්. මේවා විශ්වාස කරන කට්ටිය හට තියන කරදර ගැන හිතුවහම මා එහෙම නොවීම ගැන “දෙවියන්ට ඉස්තුති” වෙනවා. අප මෙල්බර්න් වල නිවසක් අරගෙන මුලින්ම ගෙදරට යන දවසේ සිදු උන මේ දෙයත් කියන්නම්. බිරිඳට සෞඛ්‍ය හේතු නිසා අප බඩු ගෙන යන්න දා ගත් දවසට ඇයට එයට සහභාගී  වෙන්න හැකියාවක් තිබුනේ නැහැ. මේක දැන ගත් අපේ මිතුරියක් ඉදිරිපත් උනා, මුලින්ම ගිහින් කිරි කළයක් උතුරුවන්න උදව් වෙන්න. අප ඒ ගැන හිතලා තිබුනෙත් නැහැ. ඕනේ නැහැය කියුවා. නමුත් ඇය ඒක ඇහුවේ නැහැ, එදා උදේ අඩුම කුඩුම ටිකත් අරන් ඇවිත් අපේ ගෙදරට ආවා. දැන් අපට ප්‍රතික්ෂේප කරන්න බැහැනේ. මාත් ඇයත් ගියා අපේ ගෙදරට. මා දොර ඇරලා, අල්ල ගෙන ඇයට කියුවා මුලින් ඇතුලට යන්න. ඇය කියුවේ, ඒක හරි නැහැනේ, ඔබයි මුලින් යන්න ඕනේ කියා. මෙච්චර කරදර වෙලා, උදව්වට ඇවිත් ඉන්න ඇය දොරකොඩ තියලා මා ඇතුලට යන්න? මට නොපෙනෙන විශ්වාස හා බලවේග වලට වඩා පෙනෙන මිනිස්කම හැමදා ලොකුයි!

Advertisements

5 Comments

Filed under Social

5 responses to “සොඳුරිය ඔබගේ උවන මලක් නම් නිශා කලෙහි එය සෙව් බඹරිඳු මා?

  1. හෙහ් හෙහ් සෑර්ටත් වෙන්නෙ මාර වැඩ නේ. 🙂
    විශ්වාශය කියන එක හෙන ප්ෆිලොසොෆිකල් මතෘකාවක් නේ සෑර් මේ දවස්වල. කොටින්ම ගුරුත්වාකර්සනේ, ඉලෙක්ට්‍රෝන කියන එව්වත් විශ්වාශයක් නැතුව පිලිගන්ඩ බෑ කියල නේ නලියා කියන්නෙ සෑර්.

    • Raigama

      මේ මොනවා කියනවාද ගුනේ? මා නම් ඔය ගුරුත්වාකර්ශනේ හෝ එලෙක්ට්‍රෝන වගේ සරල දේවල් නොවේ උණ්ඩුක පුච්චය, ඩිම්බ කෝෂය වැනි ඇති සංකීර්ණ විෂයන් ගැන පවා කතා කරන්න කලින් සූස්තියක් හෝ වෙනත් දෙයකින් උගුරක් ගත්තේ නැත් නම් මේ “ක්‍රියේටිව් ජූස්” කියන දේ මොලයට ගලන්නේ නැහැ. දැන් බලන්න උණ්ඩුක පුච්චයක් මට තියනවා කියල විශ්වාස කලත්, මා හරියටම දන්නේ නැහැ එහෙම දෙයක් ඇත්තටම තියනවද කියලා. ඒ වගේ තමයි හැමෝම මොනවා හරි දෙයක් විස්වාස කරනවා.
      හැබැයි ගුනේ, ගොඩක් දෙනා අර මගේ මිත්‍රයා වගේ තමයි. එළිපිට කියනවා විස්වාස කරන්නේ නැහැ කියලා. ඒත් හූනෙක් කෑ ගැහුවත් එලියට බහින්නේ නැහැ. අර රනිලුත් කියන්නේ, ජේ ආර් නැකත් ගැන විශ්වාස කලේ නැහැ කියලා. ඒත් එතුමා ඉන්ද්‍රජාලිකයෙක් යයි ප්‍රසිද්ධව හිටි සායි බාබා මැති තුමාගේ ප්‍රභල අනුගාමිකයෙක්. අර හකුරු හදන වැඩේ වගේ තමයි “කියන කොට එහෙමයි, ඒත් පන්වාන්දහසකට බුදුවෙන්න රජතුමනි, කරන කොට මෙහෙමයි”.
      ඔය බටහිරට තඩිබාන බොහෝ දේශප්‍රේමීන්ගේ දුවලා පුතාලා ඉගෙන ගන්නෙත්, ඔවුන් ඉගෙන ගෙන තියෙන්නෙත්, අවිද්‍යාව ලොව පුරා පතුරවන බටහිර විශ්ව විද්යාල වල කියලා මා හීනෙන් වගේ අහල තියනවා. තමන් විශ්වාස කරන දේ කුඩා කාලේ ඉඳන්ම තමන්ගේ ඇසුරේ වැඩෙන දරුවන්ට වත් ඒත්තු ගන්වන්න බැරි නම් ගුනේ, අප වගේ අවශේෂ අයට කොහොම තේරුම් කර දෙන්නද?

  2. Kenji @ Japan

    අපි සමග ඉන්න නෑදෑයෝ,යාලුවෝ ගොඩක් අය ඔය නොයෙකුත් ක්‍රම අදහනවා පමණක් නොවේ ශරීරයේ විතරක් නෙමේ ගෙවල්වලත් එල්ලගෙන ඉන්නවා.ඒකනේ රයිගම ඕව කරවන අය කිලෝ ගණන් රත්තරන් පුරවාගෙන ඉන්නවා කියන්නේ.JR ලොක්කත් 2 වනවර වෙලාවට දිව්රුම් දුන්න හින්දලුනේ මැරෙන තුරා රජකම තියාගන්න බැරිඋනා කියන්නේ.දැන් වැඩවසන උත්තමය නම් ප්‍රසිද්ධියේම හැම දෙයක්ම කොරගෙන ඔය ව්ශිබෝල කරකවා කරකවා යස අගේට ඉන්නේ,පරපුරම ගොඩ දාගෙන.ඕවයින් හරියන කොටසකුත් ඇති නේද?අපි ඕව නොකර ගත්තට???? මාතෘකාව දැක්කම හිතුව සින්දුවක්වත් ලියලද කියල.

    • Raigama

      වික්ටර් රත්නායක ගයන මේ මියුරු ගීතය ඔබ අහලා නැත්ද? මා අදහස් කළ දේ සමහර විට ධර්මසේන පතිරාජගේ සිනමා පටයක් වගේ වෙන්නත් පුළුවන්. ඒ උනත් මා පැහැදිලි කරන්න යන්නේ නැහැ. වශී බෝල මිරිකනවා කියුවහම මට මතක් උනේ ලංකාවේ පාර්ලිමේන්තුවේ මිරිකන්න හදපු වෙන ශරීරාංගයක්. කකා මට දවසක් මේ ගැන මතක් කළා. එතනත් තියෙන්නේ විශ්වාසය පිලිබඳ ප්‍රශ්නයක්. මේක මගේ පැහැදිලි කිරීම. මා විස්වාස කරනවා උණ්ඩුක පුච්චය මට තියන අවයවයක් කියලා. නමුත් දැන් මා කියනවනේ උණ්ඩුක පුච්චය මට තියනවද නැත්ද කියලා මා හරියටම දන්නේ නැහැ කියලා. මොකද පෙනෙන්නේ නැති නිසා. අර හෙළ උරුමයේ අවයවය මිරිකන්න හදපු ආණ්ඩු පක්ෂයේ අයටත්, මේ සිතිවිල්ල ඇති උනා කියලා හිතන්න පුළුවන්. රට ජාතිය බේරා ගන්න ගිරිය පුප්පන හෙළ උරුමයේ උන් නාන්සේලා වැඩ කරන ආකාරය හා ආණ්ඩු පක්ෂය වැඩ කරන ආකාරය අතර වෙනසක් නැති උන හින්දා තමයි, අර මන්ත්‍රී වරුන්ට ඕනේ උනේ “අර අවයවය” ඇත්තටම මේ උන්නාන්සේලාට තියනවාද? නැත් නම් තමන්ට වාගේම නැත්ද කියලා සහතික කර ගන්න. මිරිකපු කට්ටියට මොකුත් අහු උනේ නැති හින්දා තමයි, මේක වැඩි දුර නොගියේ!

      • hasithag

        අන්තිමට වුණේ සුපිංවත් ආචාරි ඇමතියා කරපු මිරිකිල්ලෙන් ඒ හාමුදුරුවෝ පාර්ලිමේන්තුවෙන් ඉවතට වැඩිය එකනේ 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s