වික්ටර් අයිවන් ගේ අලුත්ම ලිපි පෙළ! Things to do before you retire!


ලංකාවේ පෙන්නන ටෙලි නාට්‍ය කියන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරසුන් කතා වලට ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන සිංහල ප්‍රජාව අතර තියෙන්නේ ලොකු ඉල්ලුමක්. මා පොඩි කාලේ චිත්‍ර කතා පත්තර ආසාවෙන් කියෙව්වා උනත්, අද නම් කියවනවාට පඩියක් ගෙවනවා කියුවත් කියවන්නේ නැහැ. හැබැයි, ඒ චිත්‍රකතා අතරත්, මේ ටෙලි නාට්‍ය වල කතා වලට වඩා හොඳ යයි කිව හැකි ඒවා තිබුනා යයි මා අනුමානයෙන් හිතනවා. ඇත්තටම කියනවා නම් මා මේ ටෙලි නාට්‍යයක් බලපු කාලයක් මතක නැහැ. නමුත් වසර දෙකකට පමණ පෙර, අනික් අය බලන නාට්‍ය කැබැල්ලක් දුටු විට ඒවායේ තියන තත්වය පිලිබඳ දල අවභෝදයක් ගන්න පුළුවන් උනා. මා අහල තියනවා සමහර ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකිකයන්  සිකුරාදාට රෑ එළිවෙන තුරු මේවා බලනවා කියලා. කෙනෙකුගේ රසාඥ්යතාවය ගැන ප්‍රශ්න කිරීම විවාදාත්මකයි. මා ගොඩක් වෙලාවට පුතාල සමග ඕස්ට්‍රේලියානු රූපවාහිනියේ යන සරල රසවින්දනයක් දෙන වැඩ සටහන් නරඹනවා විතරක් නොවේ, ඔවුන්ව එවැනි චිත්‍රපට බලන්නද එක්ක යනවා. හැබැයි මේවා අර ටෙලි නාට්‍ය සමග සංසන්දනය කරන කොට මට නම් විශාල පරතරයක් තියනවා.

මා මේ ටික ලීවේ, මේ දවස් වල වික්ටර් අයිවන් ලියන දරුවන් හැදීමේ උපදෙස් මාලාවේ මෑතම ලිපිය කියවලා. මේ ලිපි ගැන බ්ලොග් අවකාශයේ උපහාසයෙන් කතා කරලා තිබුනා. හැබැයි මට නම් හිතෙන්නේ වික්ටර් විශ්‍රාම ගිහින් හෝ යන්තමට හෝ වැදගත් දෙයක් ගැන ලියන්න පටන් අරගෙන කියලා. ඔහු ලියන පරිදි දරුවන් බලාගෙන අම්මලා ගෙදර ඉන්න ඕනේ කියන නිසරු කතා අත හැරියොත්, ලියන සමහර දේවල් මගේ සිත් ගත්තා.

මේ මා උපුටා ගත් ඡේදයක්. “දෙමාපියන් මෙම නිසරු රැල්ලෙන් අත්නොමිදී ඔවුන්ගේ දරුවන් යහපත් දරුවන් බවට පත් කළ නොහැකිය. රූපවාහිනී නාලිකාවක් මගින් විසුරුවා හරිනු ලබන නිසරු වැඩසටහනක් දරුවන් නරඹන්නේ ඔවුන්ගේ දෙමාපියන් සමගය. ඒවා දරුවන් කෙරෙහි ඇති කරන බලපෑමේ හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාවක් දෙමාපියන්ට තිබිය යුතුය. දෙමාපියන් ඒවායින් සරල විනෝදයක් ලබන විට දරුවන් ඒවාහි එන ජනප‍්‍රිය නිසරු චරිත ඔවුන්ගේ ආදර්ශ ප‍්‍රතිරූප බවට පත් කරගත හැකිය. පළමු කොට දරුවන් සිටින දෙමාපියන් අර්ථවත් දේවල් කියවන, අසන, නරඹන හා සාකච්ඡා කරන අය බවට පත්විය යුතුය. දරුවන් අර්ථවත් දේවල් කියවන, අසන, නරඹන හා සාකච්ඡා කරන අය බවට පත්වනු ඇත්තේ එවිටය. වර්තමාන දෙමාපියන් සාපේක්ෂ වශයෙන් උගත්ය. එහෙත් ඔවුන් අවිවේචනාත්මකව අනුගතවී සිටින ජනප‍්‍රිය සංස්කෘතික රැල්ල ඔවුන්ගේ උගත්කමට ගැළපෙන්නේ නැත. දෙමාපියන් එම නිසරු රැල්ලේ ඉඳිමින් සිය දරුවන් සරු දරුවන් බවට පත් කළ නොහැකිය.”

අප ගොඩක් වෙලාවට ජනමාධ්‍ය වලට බනිනවා, අපේ මනස කනවා කියලා. නමුත් මේ ජනමාධ්‍ය පවතින්නේ ඒවා ජනතාව විසින් කියවන, බලන හා අහන නිසා. නැත්නම් ඒවාට පැවැත්මක් නැහැ. අර මැර ඇමති කෙනෙක් විනිශ්චය කාරය කරලා, විපක්ෂයේ ඉන්න අයත් සහභාගී වෙමින් කලින් ලංකාවේ ප්‍රචාරය උනයි කියන රූපවාහිනි රියලිටි වැඩසටහනට ප්‍රේක්ෂකයන් හොයා ගත්තේ කොහෙන්දැයි මට නම් පුදුමයි. එමෙන්ම කාන්තාවනුත්  මේවාට සහභාගී වෙමින් ස්ත්‍රීත්වය පවා ගැරහුමට ලක් වෙන විට හඬනගා සිනා සෙන කාන්තාවන් ලංකාවේ ඕනේ තරම් ඉන්න ඇති.

වික්ටර් කියන පරිදි අඩුම ගානේ දෙමාපියන් මේවා ප්‍රතික්ෂේප නොකර, යහපත් හෙට පරපුරක් ඔවුනගේ දරුවන් ගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන කියන්න තියෙන්නේ කුමක්ද? මේ ජනමාධ්‍ය ඉහල සිට පහලට හැදේවි යයි හිතන්න බැහැ. ඔවුනගේ නිෂ්පාදනය දැනටමත් විකිනෙනවා නම් එහෙම හදන්නේ අනික් අතින් මොනවාටද? වික්ටර් කියන පරිදි ළමුනට විභාග වලට උපදෙස් ලබා දෙන නක්ෂත්‍ර කරුවන්ගේ වැඩ සටහන් දෙමාපියනුත් බලනවා නම් මොන කතාද?

මා කියෙව්වා, කොළඹ තියන පොත් ප්‍රදර්ශයනය බලන්න යන්නෙත්, පොත් ගන්නෙත් රැල්ලට හා අනුනට පේන්න කියලා. රැල්ලට හෝ එවැනි දෙයක් කිරීම, රැල්ලට ටෙලි නාට්‍ය බලනවාට වඩා හොඳයි. අප කුඩා කාලේ අවශ්‍ය පමණ කියවන්න පොත් ගෙදර තිබුනා. ඕස්ට්‍රේලියාව වගේ රටක හොඳ පුස්තකාල පද්ධතියක් තියනවා. මා ඉගෙන ගත් පාසලේ පවා ඉතා හොඳ පුස්තකාලයක් තිබුනා. එක, එක ළමුන්ගේ කියවීමේ රුචිකත්වය වෙනස් නිසා විවිධ වර්ගයේ පොත් වලට නිරාවරණය වෙන තරමට හොඳයි. අපේ දරුවන් තවම කුඩායි. අනාගතයේදී ඔවුන් කුමන වර්ගයේ පුද්ගලයන් විවිද කියා කියන්න බැහැ. ඔවුන් පොත් ගුල්ලන් කියා කියන්නත් බැහැ. නමුත් කියවනවා. කියවීම අප දකින්නේ ඉගෙනීමේ එක අංගයක් විදිහට පමණයි.

අපේ ගෙදර නම් ගාම්භීර පෙනුමක් ඇති පොත් රාක්ක නැහැ. මගේ පොත් දෙක තුන තියෙන්නේ ගරාජයේ පෙට්ටි ටිකක. මේ ටිකත් උපුටා ගත්තේ වික්ටර්ගේ උපදෙස් මාලාවෙන්.  “දුප්පත් පොහොසත් භේදයකින් තොරව පුංචි දරුවන් සිටින හැම ගෙදරකම ඔවුන්ගේ අමතර කියවීම් සඳහා තෝරාගත් හොඳ පොත් එකතුවක් පවත්වාගෙන යෑමට දෙමාපියන් උත්සාහ කළ යුතුය. ඒ සඳහා යන යන වියදම කිසිසේත්ම විශාල නැත. මසකට පොත් මහ ගොඩක් නොව හොඳ එක පොතක් මිලදී ගත හැකිය. හොඳ පොතක් මිලදී ගන්නට යන වියදම මාළු 500ක් මිලදී ගැනීමට ගෙවන මිලට වැඩි නැත. එක පොතක් පරම්පරා ගණනාවක් පාවිච්චි කළ හැකිය. මාගේ පොත් එකතුව මා හා මගේ බිරිඳට අමතරව මගේ මවද, මගේ දරුවන්ද, පොත් කෙරෙහි උනන්දුවක් ඇති අසල්වැසියන්ද ප‍්‍රයෝජනයට ගත්තේය. තවදුරටත් මාගේ දරුවන්ගේ දරුවන් පමණක් නොව ඔවුන්ගේ දරුවන්ද ඒවා ප‍්‍රයෝජනයට ගනු ඇතැයි මම විශ්වාස කරමි. බොහෝ නිවෙස්වල විදුලි හා විද්‍යුත් මෙවලම් ප‍්‍රදර්ශනයට තබා ඇති බවක් දැකිය හැකිය. ඒවා අතර සාමාන්‍යයෙන් එදිනෙදා ප‍්‍රයෝජනයට නොගන්නා හුදෙක් නිවසට ගම්භිර පෙනුමක් ලබාදීම සඳහා පමණක් මිලදී ගත් ඒවාද තිබිය හැකිය. හොඳ පොත්වලින් සමන්විත පොත් රාක්කයක් නිවසට වඩා හොඳ ගම්භිර පෙනුමක් ලබාදෙනවාට අතිරේකව එය නිවැසියන්ට ප‍්‍රඥාවද ලබාදෙන්නේය.”

Advertisements

4 Comments

Filed under Education, Media, Social

4 responses to “වික්ටර් අයිවන් ගේ අලුත්ම ලිපි පෙළ! Things to do before you retire!

  1. Anonymous

    ලිපියේ බාගයක් පමණ Todd G. Buchholz ගේ New Ideas from Dead Economists පොතේ පස්වැනි පරිච්ඡේදයෙන් ගෙඩි පිටින් උපුටා ගැනීමකි. ඒත් වික්ටර් අයිවන් එය සඳහන් කිරීමට වත් ආචාරශීලී වී නොමැත. ඉතිරි අදහස් අළුත් දේවල්ම නොවේ. දැන් ලංකාවේ බොහෝ උගත් මධ්‍යම පාංතික නිවෙස් වල රූපවාහිනිය දරුවන්ට අඩු ගණනේ රාත්‍රී කාලයේ යම් කාලයකට තහනම්ය. එසේම බොහෝ නිවෙස් වල ලෝකල් චැනල් වෙනුවට කේබල් ටී.වී. බලනු ලැබේ. මෙගා ටෙලි ඩ්‍රාමා ගැන කාලයකට පෙර තිබුණු උනන්දුව හීන වී ගොස් ඇති අතර ආදායම් අඩු පවුල් වල පවා මේවා නිතිපතා නැරැඹීමක් වෙතිය නොසිතමි.

    • ඇනෝ කරුණු කීපයක් නිසා ඔබගේ කොමෙන්ටුව අගය කරනවා. මටත් මුල් වරටම කියවන කොට තේරුනා ලිපියේ මුල් ටිකෙන් පස්සේ එක පාරටම වෙනස් වෙනවා කියලා. ඇත්තටම මා හිතුවේ බ්ලැක් ලේබල් වැඩ කරන්න පටන් ගන්න ටික වෙලාවක් ගිහින් කියලා. ඔබ කියන කම් මේ ටොඩ් ගේ පොතකින් ගත්තුවා කියල හිතුවේ නැහැ. ඔන්න බලන්න ඒකෙත් හැටි.

      මේවගේ අයියලා හැමතැනම. වරක් කකාත් මගේ කෙටිම කෙටි කතාවකට කියලා තිබුනා, ඒක වෙන කොහේ හරි දැක්කා කියලා. නැහැ ඒක මගේ සිතේ පහල උන එකක්. ඒ වගේ වෙන කතාවක් වෙන තැනක තියෙන්න පුළුවන් කම මා බැහැර කරන්නේ නැහැ. නමුත් මා වෙන තැනක දැකපු හෝ කියවපු දේවල් ඇසුරෙන් ලියන කොට ඒ බව සඳහන් කරනවා (වැඩිපුර සටහන් ඒ වගේ තමා). උපුටා ගත්තොත් උදෘත දානවා. ලංකාවේ නොවේ, මේ ඕස්ට්‍රේලියාවෙත් අනෙක් බටහිර රටවල් වලත් ඔය අනුන්ගේ අදහස්, තමන්ගේ කියලා දැමීම ජයට යනවා. මේ ඊයේ පෙරේදා ඔය වගේම ඕස්ට්‍රේලියානු පුවත් පත් වලට තීරු ලිපි ලියන Dr. Tanveer Ahmed නුත් අනුන් ලියපුවා ඔහොම ගෙඩි පිටින් දාලා අහු උනා. ඒ විතරක් නොවේ විපක්ෂ නායකයත්, උප නායකයත් ගෙඩි පිටින් කතා කොපි කරපු අවස්තා අහු උනා. අනේ වික්ටර් අයියේ ඔබ තනි නැහැ!

      ඇනෝ මා මේ වික්ටර් අයියට හොඳක් කියපු පළමු වෙනි වතාව. මා මෙතැනිදී හිතුවේ අර ලූනු බිකත් බඩටනේ කියලා.ඔහු දෙන්න හදන ළමා පණිවුඩ ඇත්තටම නරක ඒවා නොවේ. ඔබ කියන්නා වගේ කවුරුත් දන්නා ඒවා උනත් සමහර විට වැඩි දුර කල්පනා නොකරන ඒවා. දැන් බලන්න ඔබ කියන පරිදි ලංකාවේ ඉන්න කට්ටිය වත් නොබලන ජරාවනේ, අප මේ වෙන රටවල් වලට පටිගත කරලා ගෙනත් බලන්නේ.

      මා ඔබ වගේ කෙනෙක් ලියුවොත් මේ ටික නම් ලියන්න බලාපොරොත්තු උනා. වික්ටර්ගේ දරුවන්ට තියන අකලංක ආදරය ගැන නම් මා ප්‍රශ්න කරන්නේ නැහැ. එය මා විශ්වාස කරනවා. නමුත් මාධ්‍ය වේදියෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස ඔහු පොත් කියවා ලබා ගත් ප්‍රාඥයතාවය, සාමාන්‍ය පාඨකයෙකු ලෙස ඔහුගේ ලිවීම් හෝ ක්‍රියාකාරකම් වලින් මට නොදැනෙන්නේ ඇයි කියන එක මට ප්‍රශ්නයක්. මා මේ ගැන සටහනේ නොලීවේ, ඔහු කියන හා මාත් එකඟ වන ධනාත්මක දේ දියාරු කිරීමට අදහසක් නොතිබූන නිසා. මා හිතුවේ විශ්‍රාම අරගෙන මේ වගේ “ළමා උපදේශන කතා” වත් ලියන එක හොඳයි කියලා. දැන් බලාගෙන යනකොට ඒවාත් හොරකම් කරපු අදහස්නේ!

      මා වික්ටර් ලියපු පොත් වලින් කියවා තියෙන්නේ, චෞර රැජින පොත පමණයි. ඔහුගේ රාවය ලංකාවේ ඉන්න දවස් වල මා මිලදී ගත්ත පත්තරයක් වුනත්, ඒවායේ ඔහු ලියන දේවල් වලට අනුව, ඔහුගේ පොත් බලන්න ආසාවක් ඇති උනේ නැහැ. මා චෞර රැජිනත් මිලදී ගත්තේ නැහැ. යාළුවෙකුගෙන් ඉල්ලගෙන බැලුවා. සල්ලි වියදම් නොකිරීම ගැන මට සතුටුයි. වික්ටර් ගැන මට හිතෙන්නේ ජවිපෙ වගේමයි. ඇත්තටම පොර ටෝක් දුන්නට, තමන්ගේ “දර්ශනය” තමන්ගේ ඒ ඒ වෙලාවේ අවශ්‍යතා අනුව වෙනස් කර ගන්නවා. ඔහුගේ වර්තමාන ජනාධිපතිවරයාට හා පාලනයට තියන අකලංක ආදරයට හේතුව මට පාඨකයෙකු වශයෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට විස්තර කරන්න ඔහුට බැහැ. ටිල්වින්ගේ මාළු පැටව් තර්ක වගේම තමා.

      ඔබත් දන්නවා ඇති ඇනෝ, වික්ටර් ලියල තියෙනවා ජනාධිපති ප්‍රේමදාස ගැන ලියපු කිරිකල කතාව ගැන ඔහු ගේ මතය. ප්‍රේමදාසට එරෙහිව ලියපු මේ වගේ දේවල් ගැන මාධ්‍යන්ට ප්‍රති ප්‍රහාර දීම යුක්ති සහගත කරන්න ඔහු උත්සහ ගන්නවා. මොකද උසාවි ගියත් මේවයින් නින්දා ලබන්නේ ප්‍රේමදාසම නිසා. මට චෞර රැජින බලලා ඉවර උනහම දැනුනේ එහි කතෘ ගැන ජුගුප්සාවක් විතරයි.

      දේශපාලකයන් සම්බන්ද කට කතා වල නැත්තට වඩා ඇත්ත තියෙන්න පුළුවන් කියලා මා හිතුවත්, වික්ටර් ගේ පොතට පදනම් උන තොරතුරු එක්කෝ මැරිච්ච එකෙක් කියපුවා, නැත්නම් නමක් ගමක් නැහැ. එතකොට ඔහුගේ අර ප්‍රේමදාසගේ කිරිකල නාවන තර්කය, චන්ද්‍රිකාට අදාල වෙන්නේ නැත්ද? (මට චන්ද්‍රිකාත් හොඳ පාලිකාවක් නොවේ) කෝ එතකොට ගෙදර පොත් රාක්ක තියාගෙන ඉන්න ප්‍රාඥයා? චන්ද්‍රිකාට එරෙහිව විතරයි බද්ධ වෛරය. අද ඉන්න රජතුමාට ආයිත් ඒක අදාළ වෙන්නේ නැහැ. එක මිනුමක් තියනවා නම් හැමෝම ඒකෙන් මනින්න ඕනේ නේද?. ඇයි මිනුම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේ?

      මේ වගේම කියවීමේන් පසු කතෘ ගැන ජුගුප්සාවක් ඇති වුන පොතක් තමා සරත් විජේසූරියගේ “මගේ නඩුව ඉවරයි” කියන පොත. මේ වගේ පොත් නම් රැල්ලට ගිහින් මිලට අරන්, ගෙදර ගාම්භීර ලෙස පොත් රාක්ක වල තියා ගත්තත් වැඩ වේවි කියල මා හිතන්නේ නැහැ.

  2. Kenji @ Japan

    රාවය කියන්නේ නියම සිංහලෙන් කිව්වොත් ඕපා-දුප කියන එක නෙමේද?මෙපමණ කලක් එක එකාගේ රෙදි හෝදලා දැන් එයා බබාලට පොත් පෙරලනවා.රයිගම; ඔබත් එයාගේ බබාලා ගණයට වැටෙනවද?

    • කෙන්ජි කරුණු දෙක තුනක් මා ලියන්න කැමතියි. වික්ටර් ගේ අදහස් කෙසේ වෙතත් රාවයේ, අනික් පත්තර වලට වඩා, හිතට එකඟව ලියන පිරිසට ඉඩක් ලබා දුන්න කියලා මා අදත් විශ්වාස කරනවා. අනික තමා, වික්ටර්ගේ මේ ලිපි වලින් ආමන්ත්‍රණය කරන්නේ “දෙමාපියන්ව”. ඒක වැදගත් කාරණයක්. මොකද මාත්, කැමතියි අද මා ලබාගෙන තියන අත්දැකීම් එක්ක බබා කෙනෙක් වෙලා මුල ඉඳල පටන් ගන්න පුළුවන් නම්. අපට එහෙම වෙන්න බැරි උනත්, කරන්න පුළුවන් වෙන දෙයක් නම් තියනවා. ඒ අපේ දරුවන්ට, යම් පමණකට හෝ ආදර්ශයක් වෙන එක හා එයාලට යමක් කියා දීම. අපට ලෝකේ හදන්න බැරි වෙන්න පුළුවන්, නමුත් දරුවන්ට යමක් කියා දෙන්න නම් අමාරු නැහැනේ. වික්ටර් කියන මේ කාරනාව මගේ සිත් ගත්තා. හැබැයි දෙමාපියන් ජරා නාට්‍ය බල බල, ජෝතිෂ්‍ය හා නක්ෂත්‍ර කරුවන් පස්සේ යමින්, දරුවන්ට ඉගෙන ගන්න කියනවා නම් ඒකෙ මහා ලොකු තේරුමක් නැහැ. නොපෙනෙන බලවේග පස්සේ හඹා යන ගමන්, පෙනෙන ලෝකයේ දියුණුවක් ගන්න දරුවන්ට කියන එකේ මොන ඵලයක්ද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s