Monthly Archives: October 2012

සිනහවේ කුළ! The Birrigai rock shelter-they really cooked there!


මා කලින් සටහනෙන් කියුව පරිදි ආදී වාසීන්ගේ ජිවිත ගැන දැනගන්න කුඩා කාලයේ පටන්ම උනන්දුවක් තිබුනා. එක්තරා කාලයක ඕස්ට්‍රේලියාවේදී මා කියෙවුවෙ මෙහෙ ආදිවාසීන්ගේ ජිවිත ගැන ලියවුන පොත් පමණයි. මේවා ලියල තිබුනේ ඇබොරිජිනල් වරුන්ම විතරක් නොවේ සුද්දනුත්.

කැන්බරා කියුවහම ගොඩක් දෙනා දන්නේ නවීන සැලැස්මකට හදපු සැලසුම් සහගත නගරයක් කියලා. කැන්බරා නුවර පිහිටුවා වසර 100 ක් පිරිම සිදුවන්නේ ලබන වසරේ. ඒත් මෙය අවුරුදු සියක් පමණක් පිරුණු නගරක්ද?

කැන්බරා කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජිනල් වරුන්ගේ භාෂාවෙන් රැස් වෙන තැන කියන අරුතයි කියල කියවෙන්නේ. හැබැයි මිනිසුන් ම නොවේ, මා හිතන්නේ මේකෙන් අදහස් කරලා තියෙන්නේ. ඔවුනගේ ප්‍රනීත හා පෝෂ්‍ය දායි ආහාරයක් උන බෝගොන්ග් සලබයා රැස් වන ස්ථානයක්. නගරක් උනත් කැන්බරා කියන්නේ ගමක්. ඒ නිසා ඇවිදින්න පුළුවන් තැන් නගරයකට වඩා වෙනස්. මා කියන්න යන්නේ ඉතිහාසයටත් වැදගත් එවැනි තැනක්.

කැන්බරා වල දකුණු පැත්තට වන්නට තියන ටිද්බින්බිලා කියන පළාතේ තියන බිරිගයි කියන ගල්ගුහාව බලන්න ගියොත්, ඔබ හිතාවි ඕකත් ගුහාවක්ද කියල. මේක හැදිලා තියෙන්නේ ලොකු ගල් කුල දෙකක් එකිනෙකට හේත්තු වීමෙන්. ප්‍රමාණයේ හැටියට මිනිසුන් 12 දෙනෙකුට විතර ඉඩකඩ සපයනවා. පැති දෙකක්ම විවුර්තයි. ඉතින් ශීතල සුලන් ගුහාව හරහා හමා යන්න පුළුවන්. හැබයි එක පැත්තක් ආවරණය කලොත්, එය උණුසුම් තැනක් බවට පත් කර ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මෙහි තියන වැදගත්කම?

ගුහාවේ දර්ශනයක්

පුරාවිද්‍යා කැනීම් වලට අනුව මේ ගුහාව මෙහි ආදී වාසීන්ගේ නවාතැනක් වී තියෙන්නේ මිට වසර 21 000 කට පමණ පෙර සිට. ඇබෝරිජිනල් වරුන්ගේ ඕස්ට්‍රේලියා ඉතිහාසය අවුරුදු 60 000 ක් පමණ එහාට දිව යනවා. අනුමාන කරන්නේ මෙහෙ ආදිවාසින් අෆ්රිකාවේ සිට මෙහි පැමිණ තිබෙන්නේ මිට වසර 50 000 – 60 000 ත් අතර කාලයට පෙර කියලා. ඒ හැටියට මේ කාලය ඉන් තුනෙන් එකක් විතරයි. ඒකෙන් මේ ගුහාවේ ඉතිහාසයේ වැදගත්කම අඩුවෙන්නේ නැහැ.

අවුරුදු විසිදාහකට එපිට ඕස්ට්‍රේලියාවත් ලෝකයේ අනික් රටවලුත් ගත කරන්නේ අවසාන අයිස් යුගයේ. ඒ කියන්නේ මේ ගුහාව අවට උෂ්ණත්වය ග්‍රීෂ්ම කාලයේත් සෙන්ට්‍රිගේට් අංශක 10 කට වඩා ඉහල නැති බව තමා හිතන්නේ. ඒ වගේම වාර්ෂික වර්ශාපතනයත් අදට වඩා අඩුයි කියවෙනවා. ඒ වගේම අද වගේ නොවේ මේ ගල්කුලේ ඉඳන් බැලුවහම අවට නිම්නයන් පැහැදිලිව දකින්න පුළුවන් වෙන්න ඇති කියා අනුමාන කරන්නේ, විශාල ගස් මේ ප්‍රදේශයේ ඒ කාලයේ නොතිබුන නිසා.

ඒ කාලයේ මේ ගුහාව භාවිතා කරලා තියෙන්නේ ග්‍රීෂ්ම කාලයේ දඩයමේ යනවිට නවාතැන් පොලක් හෝ කුඩාරමක් වශයෙන් කියා පුරාවිද්‍යාඥයන් හිතනවා. කොහොමහරි මෙහි කැනීම් වලදී වසර 16 000 ක් පමණ පැරණි “උදුනක” යයි සැලකිය හැකි කොටස් හමු වෙලා තියනවා. මේ උදුන උණුසුම් වීම පිණිස නොව, ආහාර පිසීම සඳහා භාවිතා කලයි කියල හිතන්නේ, ඒ සමග හමු වී තියන ප්‍රාථමික දඩයම් උපකරණ හා ලිප් ගල් නිසා. හැබැයි ඔවුන් මොනවාද ඉයුවේ කියන්න නම් සාධක නැහැ.

ලෝකයේ අවසාන අයිස් යුගය වන විට ඇබොරිජිනල්  වරු ඕස්ට්‍රේලියාව පුරාම විසිරිලා හිටියා යයි හිතන්න ශාක්ෂි තියනවා. හැබැයි මෙවැනි දුෂ්කර කඳුකර අධික ශීතල ප්‍රදෙශයකත් ඔවුන් ජිවත් උනා කියන සාධක වැදගත් කියා කියන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි ඔවුන්ගේ ජිව විද්‍යාත්මක අතින් මෙවැනි දුෂ්කර පරිසරයකට අනුවර්තනය වීමේ හැකියාව තිබිල තියන එක . අනික තමා  ඔවුන් එවැනි පරිසරයක විසීමට පුළුවන් තරම් සංස්කෘතික  වශයෙනුත් හැඩ ගැසී තිබීම.

සිනහවේ කුළ

මිට වසර 15 000 -10 000 ක් වනවිට ලෝකයේ උෂ්ණත්වය අයිස් යුගයෙන් මිදිලා ඉහල යාමත් සමගම, මේ ගල්ගුහාව හා අවට ආදිවාසීන්ගේ ක්‍රියා කාරකම් ඉහල ගිය බවට ශාක්ෂි තියනවා. හැබැයි මිට වසට 3000 කට පසුව තමා මෙම ගුහාව වැඩිපුර පාවිච්චියට අරන් තියෙන්නේ. ඒ වන විට ගුහාව ඔවුනගේ උත්සව අවස්ථා වලටත් භාවිතා කළ බව හිතන්න පුළුවන්. ගුහාවට ඔවුන් දීල තියන නමත් එයටම අදාලයි. ඒ තමයි සිනහවේ කුළ කියන එක.  යුරෝපිය පදිංචි කරුවන් මේ ප්‍රදේශයට මුලින්ම ඇවිත් තියෙන්නේ 1839-40 කාලේ. ඒ වන විට ගුහාවේ තියන දේවල් අතර හාවුන්ගේ ඇට කටු හා අඟුරු බහුලයි. 

ටිද්බින්බිලා කියන ඇබොරිජිනල් වචනයේ තේරුමත් වැඩිවියට පැමිණුන ස්ථානය කියන එක. ආදී වාසීන්ගේ දරුවන් කළ වයසට පැමිණුනාම සමාජයට එකතු කරන්නට පෙර උත්සවයක් තියලා තමයි එය කරන්නේ. මෙවැනි ගල් ගුහා ආශ්‍රිතව තමා එවැනි උත්සව පවත්වා තියෙන්නේ. තව කරුණක් තමා අර කලින් කියපු බෝගොන්ග් සලබයිනුත් මේ ගුහා වල රැස් වෙනවා. ඔවුනුත් එකතු කර ගැනීමට මෙහි ආවා යයි හිතන්න පුළුවන්.

මිටියාවතේ දර්ශනයක්

(මා කියවපු පොත් හා ලිපි වල මතකය, අන්තර්ජාලය හා ගුහාව අවට මාර්ග උපදේශක පුවරු වලින් ගත් විස්තර, සටහන ලිවිම  සඳහා උපයෝගී කර ගත් බව සලකන්න. ඡායාරූප මගෙනි ).

ප ලි

කියවන්න වසර විසි දාහකට පමණ පෙර චීන ජාතිකයන් කරලා තියන දේත්. ඒ ගමන්ම ටිකක් හිතන්න ඔවුන් පසු කාලයේ ලොවට ඉදිරිපත් කල සොයා ගැනීම් ගැනත්. ඇබොරිජිනල් වරුන්ටත් ආවේනික තාක්ෂණයක් හා සංස්කෘතියක් තිබුනා තමා. හැබැයි චීන ජාතිකයන්ගේ අඩි පාරේ ගියා නම්……

12 Comments

Filed under Social