ඕස්ට්‍රේලියානු සමරසිංහ! He did it again!


දැනට මාස දෙකකට පමණ පෙර මා සිංහල කඩෙන් පත්තරයක් ගෙනාවා. අර මෙල්බර්න් නුවර ප්‍රකාශයට පත් කරන නොමිලේ බෙදා හරින එකක්. ගෙදර ගෙනත් කියවන්න ගත්ත කොට තමා, මුල් පිටුව හරියටම දැක්කේ. ඒකෙ තිබුනේ දැනට මාස කීපයකට පෙර දණහිස් කඩා ගත්ත ලංකාවේ ඇමති කෙනෙකුගේ බඩක් එක්ක පින්තුරයක් සමග චිරන් ජයතු වගේ දෙයක්. මා පත්තරේ කියවන්නෙත් නැතුව කෙලින්ම ගෙනිහින් කුණු බක්කියට දැම්මා. ආයිත් නම් ඒ පත්තරේ නිකමට වත් ගේන්නේ නැහැ. ඔය වගේ දෙයක් මුල් පිටුවේ දාලා කඩේ යන ඒ පත්තරේ ඇතුලේ තියන දේවල් මට හිතාගන්න පුළුවන්. ලංකාවේ නම් කමක් නැහැ, මේ වෙන රටකත් ඉන්නා ගමන්.

එවැනි පත්තර වලට විතරක් නොවේ, වෙනත් ඕනෙම ජන මාධ්‍යයකටම පැවැත්මක් ඇති වෙන්නේ ඒවා බලන, කියවන හා අහන පිරිසක් ඉන්නවා නම්. එහෙම කට්ටියක් නැත්නම් ඒවායේ පැවැත්ම නිකම්ම අහෝසි වෙලා යනවා. මෙහෙ ඉන්න සමහරුන් පවා ඔය හඩ්සන් ගේ කුණු කතා අහන බව මට කියනවා ඇහිලා තියනවා. ඒවා අහලා අනික් පැත්තට බනිනවා. එකෙන් වැඩක් වෙන්නේ නැහැ. අහන්න අහන්න ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරන එකයි වෙන්නේ.

මේ සතියේ ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වල ප්‍රධාන මාතෘකාවක් උනේ මෙහෙ එක ගුවන් විදුලියක එක නිවේදකයෙකුගේ (Alan Jones) ජරා කතාවක් හා එයට එරෙහිව නැගුන මහජන විරෝධය. මෙයා ප්‍රවීන නිවේදකයෙක් කියල කියුවත්, ඔහු ජරා කතා වලට නම් දරාපු කෙනෙක්. මෙවර ජරා කතාව වෙලා තිබුනේ, ඕස්ට්‍රේලියානු අගමැතිනියගේ තාත්තා මිය ගියේ අගමැතිනියගේ බොරු වලින් ඇති උන කනගාටුවෙන් කියලා. මේ කතාව කියල තිබුනේ තරුණ ලිබරල් වාදියන්ගේ “පෞද්ගලික” හමුවකදී. එතන හිටිය මාධ්‍ය වේදියෙක් එම කතාව පටිගත කරලා ප්‍රසිද්ධ කළා. මෙයා පසුව කිවේ එම කතාව ප්‍රසිද්ධ කිරීම සඳහා කළ එකක් නොවේ කියලා. එහෙම කියන ගමන්ම එම කතාව ගැනත් කනගාටුව පළ කළා. අර මිට් රොම්නිගේ කතාව වගේම තමයි. හිතන්නේ එහෙම උනත්, කතා කරලා තියෙන්නේ ප්‍රසිද්ධ මාධ්‍ය වල පළ කරන්න නොවේ.

මොහුගේ උදෑසන රේඩියෝ වැඩ සටහන සඳහා මිලියන භාගයක අසන්නන් පිරිසක් ඉන්නවා කියලයි පැවසෙන්නේ. ඔවුන් සියලු දෙනාම පාහේ ඔහුගේ මතවාදයන් අනුමත කරන ලිබරල් වාදීන් කියුවත් ඇත්තටම වයසට ගිය කොන්සර්වටිව් වාදීන්. මේ අයියා මොනවා කියුවත්, එම අසන්නන්ගේ අදහසුත් සමග තකට තක නිසා ඔහුගේ රැකියාව සාර්ථක එකක් කියල කියන්න පුළුවන්. හැබැයි මෙවර, වෙනත් ජන කොටස් වලින් පැන නැගුනු විරෝධතා නිසා, එම වැඩ සටහනට වෙළඳ වැඩ සටහන් දෙන සමාගම් ගණනාවක්, ඔවුනගේ දැන්වීම් ඉවත් කරගෙන තියනවා. ලංකාවේ ඩිල්මා තේ සමාගම එයින් එකක්. ඔවුනට එහෙම කරන්න සිදු උනේ, මෙවැනි ජරා කතාවක් කියපු පුද්ගලයෙකුගේ වැඩ සටහනක් සමග මේ මොහොතේ සම්බන්දතා තියා ගැනීමෙන්, ඔවුනගේ වෙළඳ නාමයන්ට හානියක් වෙවී යයි හිතපු නිසාත්, මහජන විරෝධයට (විශේෂයෙන් අන්තර්ජාල සමාජ ජාලයන්ගෙන් එල්ල උන) පිටු පෑමට නොහැකි නිසාත් කියල උපකල්පනය කරන්න පුළුවන්.

සමාජයේ තියන සාමාන්‍ය විනීත කමෙනුත් එපිටට යන ජන මාධ්‍ය කරුවන්ට ඇත්තටම පැවැත්මක් තියෙන්නේ, ඔවුනට කන් දෙන පිරිසක් ඕනෙම සමාජයක ඉන්නා නිසා. මෙවැනි පිරිස් සමාජයෙන් තුරන් කරන්න තියන එක විදිහක් තමා, ඔවුන් සේවය කරන සමාගම් එලි දක්වන ප්‍රකාශන, ගුවන් විදිලියන් හා රූපවාහිනි නොකියවීම, නොඇසීම හා නොබැලීම.

Advertisements

18 Comments

Filed under Media

18 responses to “ඕස්ට්‍රේලියානු සමරසිංහ! He did it again!

  1. අන්තර්ජාලිය බොහෝ මාද්‍යත් දැන් වෙනකොට අර ජඩමාධ්‍ය ගොඩට වැටෙමින් යනවා…

    • ඔබ කියන දේ, මාත් එකඟ වෙන කරුණක් ඉන්දික. මගේ සටහන් වලත් කියල තියනවා මේ ගැන. මේක එක අතකින් කනගාටු දායක දෙයක්. ඇලන් ගොයියාගේ කතාවත් මේකටම අදාලයි. මේ සිද්දියෙන් පසු පළමු වරට අර රේඩියෝ වැඩ සටහන කරපු ඇලන් ගොයියට ඔහුගේ අසන්නන්ගෙන් නොමද සහයක් ලැබුනා කියලා අසන්නට ලැබුනා. ඔවුන්ව හදන්න බැහැ. ඔවුන්ව වෙන කෙනෙකුට දිනා ගන්නත් බැහැ. මේ ඇලන් ගොයියලට ගෙවන්නේ, ඔවුන්ව (මේ අසන්නන්ව) රඳවා ගන්න ගමන්, අනෙක් පිරිසගේ නොමනාපයට හේතු වන ප්‍රකාශ හා මතවාදයන් කියනවට. දැන් මේ විකල්ප වෙබ් අඩවි පත් වෙලා තියෙන්නෙත් මේ රේඩියෝ “shock jock” ලාගේ තත්ත්වයටමයි. ඔවුන් නිතරම මතබේදයට තුඩු දෙන හා වයිරක්කාරී පුවත් පල කරනවා. මේවා වටේ එකතු වී ඉන්නෙත්, පවතින පාලනයට විරුද්ධ උනත්, ඒ පාලනය වටේ ගොනු වෙලා ඉන්නා වගේම ජරා අදහස් වලින් යුතු පිරිසක්. මෙයාලා, ඔය වෙබ් අඩවි උඩ දාගෙන හිටියට අඩු ගානේ චන්දය දවසට චන්ද පොලට ගොස් තමන්ගේ චන්දය ප්‍රකාශ කරනවාද කියලත් සැකයි. මේවා බල බල චන්දය කරලා, අන්තිමට ප්‍රතිපලය බලාපොරොත්තු නොවුන එකක් උනහම, තමන්ගේ ප්‍රධාන මැතිවරණ සංවිධායකගේ කනට ගහනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. මේවා ප්‍රතික්ෂේප කරන, රටේ යහපත් පාලනයක් ඇති වෙනවා දකින්න කැමති එමෙන්ම විනීත සාමාන්‍ය ජනතාවක් වෙනම ඉන්නවා. මේ වගේ අඩවි වලින් ඔවුන්ව දිනා ගන්නේ නැහැ.

  2. Kumara

    මොනව කරන්නද රයිගම් අපේ මිනිස්සුන්ට ඔය කඩේ යන පුරුද්ද නතර කරන්න බැහැනෙ. කොන්සල් තුමාගෙ පත්තරේ නොවැ ඕක. ඔහොම නොකර කොහොමද පට්ටම බේර ගන්නෙ.කී දෙනෙක් බෙල්ල කපල ඕක ගන්න බලන් ඉන්නවද?

    • අපේ ජාතික ලක්ෂණ දෙකක්ම එතන තියනවා නේද කුමාර? කඩේ යාම හා බෙලි කැපීම.
      මේවා කරනවාට ඔවුනට නොයෙක් ප්‍රයෝජන තියනවා තමයි. ඒත් අප මොකටද ඔවුනට කොස් ඇට බාවා ගන්න බළල් අත් වෙන්නේ. ඔවුනටම මේවා පළ කරලා, තියා ගන්න කියන එක තමයි අප හරිනම් කරන්න ඕනේ. ඒත් බොහෝ අය එහෙම කරන්නේ නැහැ. මේවා බලන නිසා තමයි ඔවුන් පළ කරන්නෙත් ඒ මගින් කඩේ යන්නෙත්, කඩේ ගිහින් පල ප්‍රයෝජන ගන්නෙත්.

  3. //අහන්න අහන්න ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරන එකයි වෙන්නේ.//
    ++++++

    රොමේනි අංකල් නම් පව් , මම නම් කැමති මිනිහා දිනනවට

  4. කඩේ යන සම්මානලාභී ජනමාධ්‍ය ආයතනත් තියෙන්නෙ අර බේරේ වැව අයිනේ ගෙදර එතකොට කුරුඳුවත්තෙ…
    ඕවා මම දන්නා දා ඉඳලා ඒක තමයි කලේ.

    • සිරිමාගේ කාලේ කරපු වැඩ වලට අදත්, සංවෘත ආර්ථික ක්‍රමයට බනින කට්ටිය තමා ඉන්නේ. දැන් අවුරුදු තිස් පහක් ගිහින්, ඒකෙන් යම් පසු බෑමක් උනා නම් ගොඩ යන්න කාලය ඕනේ තරම්. මිට වඩා දේවල් කරපු සබාපති මාඕ ගේ චීනය අද ආර්ථික අතින් ඇවිල්ල තියන තැන අප දන්නවනේ. හැබැයි, සිරිමාගේ රජය කරපු ආපසු හරවන්න බැරි දේවල් වලින් එකක් තමා, ලේක් හවුස් රජයට පවරා ගැනීමත්, දවස ආයතනය විනාශ කරන තැනට වැඩ සැලසීමත්. ඒ කාලයේ තිබුනද “ධනපති” පත්තර මුදලාලිලාට එරෙහි වන්න ඕනේ උනා නම් කරන්න තිබුනේ, ආණ්ඩුවේ වෙනම පත්තර කන්තෝරුවක් පටන් ගන්න එකයි. මේ ජනසතුවෙන් පසුව බිහි උන පත්තර කාරයන් හා ඉන් පෙර “ධනපති” පත්තර මුදලාලිලා යටතේ සේවය කළ පත්තර කාරයන් අතර වෙනසෙන්ම මේ කරපු විනාශය ගැන අවබෝධයක් ගන්න පුළුවන්. අද කතෘ පදවි වල ඉන්නේ “ආගිය කතා” ලියන හා වට රවුම් වල කරක් ගහපු නිකම්මු විතරයි. (හසිත ඔබ ගැන නොවේ :)).

  5. Kenji @ Japan

    අද ලංකාවේ හැම පත්තරයකම ලියන්නේ එකමදේ.අකුරුවල වෙනසක් තිබුනොත් ඇරෙන්න.රුපවාහිනී,රේඩියෝවලත් එහෙමයි.ඉස්සර දිනපතා පලවන පත්තරයක් තමන්ට විවේක තියෙන විදියට කියෙව්වත්,තව තවත් බලන්න දේවල් තියෙනවා.දැන් ලංකාවේ පත්තරයක් ගත්තොත් මරණ දැන්වීමක් බලනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් බලන්න නැහැ.ඒ කියන්නේ රයිගම කොයි රටෙත් “සමරෙල”,”අබේල” වගේ වාචාලකම ඇගපුරා තියෙන එව්වෝ ඉන්නවා නේද? ඔබ අවසානයට කියල තියන ටික සහතික ඇත්ත උනාට ලංකාවේ ජනතාවගෙන් ඒවගේ දෙයක් වෙන්නේ නැහැ කියල මට හිතෙනවා චන්දෙ දෙන විදියට.

    • කඩේ යන පත්තර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලත් ගහද්දි, ලංකාවේ ඇතුලත මොන කතා ද කෙන්ජි? හැබැයි ලංකාවේ මාධ්‍ය කරුවන්ගේ, විශේෂයෙන්ම පත්තර කරුවන්ගේ වෘත්තීය චර්යාධර්ම වලට බලපෑමක් කිරීමට, ඒ ආයතන වල අයිති කාරයන්ටත් බැරි වෙලා තිබීම හරිම හොඳ දෙයක්. පත්තර අයිති කරුවන්ගේ උවමනාවට පත්තර කාරයන් ලියනවා නම් එතන, වෘත්තීය ගරුත්වයක් නැහැනේ. මා මිට කලින් ලියල තියන පරිදි ඒ දිනවල ලෝකයේ ධනවත්ම (දැන් දෙවෙනියට ධනවත්) ජිනා රයින්හාර්ට් ෆෙයා ෆැක්ස් මිඩියා සමාගමේ කොටස් මිලදී ගෙන , එහි අධ්‍යක්ෂක මණ්ඩලයට තමන්ගේ දෙන්නෙක් දාගන්න හදපු උත්සාහය වැළකුණේ, ඇය එහි කතෘ ප්‍රඥප්තියට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා. අර ප්‍රඥප්තියට අත්සන් කළා, නම් කතෘලගේ අදහස්වලට බලපෑමක් කරන්න ඇයට බැහැ. නමුත් ඇත්තටම ඇයට ඕනේ කරලා තිබුනෙත් එයම තමා, මා හිතන්නේ.
      දැන් බලන්න ලංකාවෙත් මෙවැනි තත්ත්වයක්ම නේද තියෙන්නේ. පත්තර මුදලාලිලාට බැහෙන, කතෘ මණ්ඩලයට බලපෑම් කරන්න. ඊයේ පෙරේදා රනිල්ම කියුව පරිදි , ආචාර්ය වරු 6% ක් ඉල්ලා පා ගමන් යන විට, ලංකාදීපේ මුල් පිටේ යන්නේ සැමියා හා බිරිඳ රණ්ඩු වෙලා, සැමියාගේ “බල්ලා” මරපු කතාවක්. දැන් මේ ලංකාදීපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න කෙනෙක් තමා, ඊළඟට පත්තර ආයතනයේ අයිති කාරයා වන, එමෙන්ම ඊළඟට එජාපයේ නායකයා වීමටත් බලාපොරොත්තු වන, දැනටත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්. දැන් ඔහුට වත්, ඔහුගේ පක්ෂය එකඟවෙලා තියන කරුණක් ගැන පා ගමන් යන කොට, තමන්ගේ පත්තරේ මුල් පිටුවේ දා ගන්න බැහැ. ඔන්න බලන්න ඒ අතින් මේ රටවල් දෙකේම පත්තර වල ස්වාධිනත්වය රැකිලා තියන හැටි!

  6. boo

    අපෝයි රයිගම්,ඔය පත්තරෙ දෙවෙනි වෙන්නෙ සිලුමිනට විතරයි.

    • මා හිතන්නේ බූ, සිළුමිනත් මිට වඩා හොඳ ඇති (ඔප දුප රසඳුන තාමත් දෙනවා ඇති කියන උප කල්පනයෙන්). මේ පත්තරේ නම් මා, අර රුසියානුවන් ප්රාව්දා පත්තරේ ගත්ත වැඩේට වත් ගෙදර ගේන්නේ නැහැ, මින් මතු. අර හාව කියුව වගේ “ගල උඹේ නම් උඹම තියා ගනින්” කියල තමයි මේ අයියලට කියන්න තියෙන්නේ. උඹලම ගහල, උඹලම කියවාපන්.

  7. මං හිතන්නේ 2010-11 දී ඔය පත්තරේ පින්-අප් බෝයි මරා.
    දැන් ඊටත් අන්තයට වැටිලා.
    මාත් ලිපි ලියන එක නතර කළා!

    • නිල් දිය දහරක් මඩ වගුරක් වෙලා අවසන් උනා වගේ. ඔබ නොලියන එක හොඳයි. මා නම් කියන්නේ දැනට කියවන කට්ටියටත් නවත්තන්න කියලා.

  8. අන්තිම ඡේදය තමයි හිතට ඇල්ලුවෙ. කතාව ඇත්ත. අන්තර්ජාලය භාවාතා කරන්නන් අතරෙ ස්වර්ණවාහිනී නිව්ස් බලන කෙනෙක් මට හමුවෙලා නෑ. ඒත් සාමාන්‍ය සමාජයේ වැඩියෙන්ම බලන්නෙ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති තමයි.

    • ඔව් රාජ්, ඔය ජරා මෙගා ටෙලි නාට්‍ය, ජරා වාහිනී, ජරා පත්තර ජනතාව ප්‍රතික්ෂේප කරනවා නම්, ඔවුනට පැවැත්මක් නැතුව යනවා. මා විජේවීර ගේ පරණ සටන් පාඨයට ටිකක් කැමතියි. මේවා බලලා අනික් පැත්තට බැන්නට වැඩක් නැහැ, ඒ වෙන කොට ඔවුන් හම්බ කරගෙන ඉවරයි. මේ රික්තය යම් පමණකින් පුරවන්න පුළුවන් විකල්ප වෙබ් අඩවි විතරක් නොවේ, අපේ බ්ලොගයන් පවා පරිහානියක් කරා ගමන් කරන බවක් තමා මට නම් දැනෙන්නේ. අනික් ආගම් (තමන් නොඅදන) වලට කාලකන්නි ලෙස බැන වදින, තමන්ගේ රටේ මහා දවාලේ මහා මග මරපු ලසන්ත ගැන වචනයක් නොලීවත්, අදටත් ආගිය අතක් නැති ප්‍රගීත් ගැන නොලීවත්, උතුරේ හා දකුණේ කරපු හා දැනටත් සිදු වෙන අතුරුදන් වීම් වලට වචනයක් නොලීවත්, අපේ “බෞධ්‍ය උරුමය” මහා දවාලේ රාජ්‍ය අනුග්‍රහයෙන් හාරා මංකොල්ල කෑම ගැන වචනයක් නොලීවත්, කලින් හිටි රටට, හා අපේ උරුමයට කැමැත්තක් තිබුන ඒ ගැන දැනීමක් තිබුන අය හාරා ගෙනත් කෞතුකාගරේ තැන්පත් කරපු උරුමයන් රාජ්‍ය අනුග්‍රහයෙන් මෝඩ විශ්වාස වලට මංකොල්ල කෑවත්, මේ එකක් වත් ගැන වචනයක් නොලීවත්, තලිබාන් කාරයන් වෙන රටක බුදු පිළිමයක් කඩන විටත්, සුද්දියෙක් බුදු පිළිමයකට හාදුවක් දීම ගැනත්, බංගලි දේශයේ ලේඛකයෙකු මැරීම ගැනත් ලිවීමට නම් ඕනේ තරම් පිරිසක් ඉඳීම ගැනත් මට තියෙන්නේ කනගාටුවක්. මා කලින් කියුව දේවල් නොලීම ගැන මට මහා ප්‍රශ්නයක් නැහැ, රටේ තියන තත්වය නිසා, නමුත් ඒ දෙයම ඔය ලියන අනික් දේවල් වලටත් එහෙමම අදාළ කර ගන්න ඕනේ.

  9. මං මිතුරෙකුගේ කාරයෙන් ගමණක් ගියා උදේ කාලයේ. මූ අර හඬ ගඳ සේවය අහන්න දැම්මා. මං බැන්නාම වහලා දැම්මා.

    අපේ තාත්තාත් ඕක ඇහනවා මට මතකයි TNL TV එක දාගෙන 1998 දී විතර.

    • ඕකනේ මා කියන්නේ කකා, මේවාට සෑහෙන අසන්නන් පිරිසක් ඉන්නවා. සමහරු ඔබේ මිතුරා වගේ තමයි, ගොඩක් වෙලාවට අප නොහිතන කට්ටිය.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s