ඔබ ගැහැනියක් නම් එක්කෝ විභාගය, නැත්නම් විවාහය (දෙකටම ඉඩක් නෑ!) Another thing to do (We don’t need 6%)! !


මේ දවස් වල කැන්බරා නුවර පාසල් නිවාඩු කාලය නිසා ටිකක් කලින් වැඩට යනවා. උදේ පාන්දර වැඩට යන කොට දකින දර්ශනයක් තමා, දරුවන් වඩාගත් අම්මලා හා තාත්තලා අල්ලපු ගෙදරට එන දර්ශනය. ඒ ගෙදර ගෘහනිය ගෘහස්ත දිවා සුරැකුමක් පවත්වාගෙන යන්නියක්. ඇය, අම්මා හා තාත්තා රැකියාව කරන කට්ටියගේ දරුවන් දිවා කාලයේ රැක බලා ගන්නවා. මේ වගේ තැනක් පවත්වාගෙන යාමට ආණ්ඩුවේ අවසරය විතරක් නොවේ, යම් උගනිමක්ද කරන්නට ඕනේ. අපේ කුඩා දරුවාද කාලයක් මෙවැනි ගෙවල් කීපයක දිවා කල ගත කළා.

අපේ අම්මා හා තාත්තා දෙදෙනාම රැකියා කල අය. එහෙම උනා කියලා ඔවුන් ලොකු පොහොසතුන් උනේ නැහැ. යන්තම් ජිවත් වෙන්න හම්බ කළා විතරයි. අද කාලේ උනත් ගොඩක් දෙනාගේ තත්වය ඕකම තමයි. එක පඩියකින් ජිවත් වීම අමාරුයි. එක්කෝ ඔබ පත්තරයක කතු කමක් කරන්න ඕනේ, නැත්නම් ලංකාව වැනි රටක ආණ්ඩු කරන පක්ෂයට සම්බන්ද දේශපාලකයෙකු වෙන්න ඕනේ. අනික තමා අපේ දරුවන්ට අප දෙදෙනාම රස්සා කරන නිසා ලබා දෙන්න පුළුවන් දේවල් වැඩියි. භෞතිකමය දේවල් විතරක් නොවේ, අත් දැකීම් වලින් දෙන්න පුළුවන් දේවල්.

අපේ දෙමව්පියන් රස්සාවල් කළා කියලා මගේ හැදීමේ හෝ හිතීමේ අඩුපාඩුවක් ඇතිවෙලා තියනවා කියල පිළිගන්න සාධක නැහැ (අඩු ගානේ මට හිතෙන හැටියට). අම්මල ගෙදර හිටියත්, ඔවුන් බලාපොරොත්තු උන ආකාරයට දරුවන් නොහැදුන අවස්ථා ඔබත් ඕනේ තරම් දැකල ඇති. සමහරු ගෙදර පොත් රාක්ක තියාගෙන හිටියත් හිතන්නේ නම් ඒ පොත් කියවා දැනුමක් ලබා ගත් අයවලුන් වගේ නොවේ. එක අතකට තමන්ගේ හිතිවිලි කියා පොත් වලින් ගෙඩි පිටින් අදහස් අරගෙන පළ කරන අයියලාගෙන් ඊට වැඩි දෙයකුත් බලාපොරොත්තු වීම අසාධාරණයි.

මා සමග සේවය කරන බොහෝ දෙනාගේ සහකරුවන් හා සහකාරියන් රැකියාවක් කරන අය. සමහරුන්ගේ දරුවන් ලොකු මහත් වෙලා දැන් රැකියාවල් කරන අය. සමහරුන්ගේ දරුවන් කුඩායි. මේ සියලුම දෙනා නියැදියක් ලෙස අරන්, ඒ ගොල්ලොගේ රැකියාව, දරුවන්ට කෙසේ බලපාලද කියලා හොයන්න නම් මට බැරි උනා. නමුත් වික්ටර් අයියා  නම් කියන්නේ මෙහෙමයි. “ගැහැනු දරුවන් විවාහ වන්නේ නම් ඔවුන් කොතරම් උසස් අධ්‍යාපනයක් ලැබ තිබුණද දරුවන් බිහිකිරීමෙන් පසු රැකියාවක් කරන්නේ නම් එම රැකියාව අතහැර දරුවන් හා ගෙදරදොර කටයුතු බලාගන්නා ගෘහණියන් බවට පත්විය යුතුය”. මේ වගේ අයියලා අති පණ්ඩිත ප්‍රාඥයන් වගේ පෙන්නන්න උත්සහ කලත්, අර දියේ ගිල්ලවන්න හදන වල් කදුරු ගෙඩියක් වගේ, ඔවුනගේ ඇත්ත ස්වභාවය මේ වගේ කියමන් වලින් මතු පිටට එනවා කියලයි මට හිතෙන්නේ.

Advertisements

4 Comments

Filed under Social

4 responses to “ඔබ ගැහැනියක් නම් එක්කෝ විභාගය, නැත්නම් විවාහය (දෙකටම ඉඩක් නෑ!) Another thing to do (We don’t need 6%)! !

  1. //ගැහැනු දරුවන් විවාහ වන්නේ නම් ඔවුන් කොතරම් උසස් අධ්‍යාපනයක් ලැබ තිබුණද දරුවන් බිහිකිරීමෙන් පසු රැකියාවක් කරන්නේ නම් එම රැකියාව අතහැර දරුවන් හා ගෙදරදොර කටයුතු බලාගන්නා ගෘහණියන් බවට පත්විය යුතුය//

    මෙහෙම කියන්න පිරිමියෙකුට අයිතියකුත් නෑ , අනිත් අතින් ගෘහණියක් වෙන්නම් අහවල් මංගල්ලෙකටද උසස් අධ්‍යාපනය ලබන්නේ , කොහොම වුනත් දරුවන් කුඩාම අවදියේදී අම්මා කෙනෙක්ගේ අවධානය ලැබෙන පරිදි ක්‍රමවේදයක් සකස් වෙනවා නම් හොඳයි , මම දන්න එක පවුලක කාන්තාව දරුවා ඉපදුනාට පස්සේ රැකියාවෙන් ඉවත් වෙලා , දරුවාට වයස 3ක් විතර වෙනකන් ඉඳලා නැවතත් රැකියාවක් සොයා ගත්තා , පෞද්ගලික අංශයේ සේවය කල නිසාත් , නැවතත් රැකියාව හොයා ගන්න බැරි උනත් ස්වාමියා හොඳ රැකියාවක් කරන නිසාත් එයා ඒ තීරණය ගත්තට , ලංකාවෙදි නම් රැකියාව සහ පවුල හැන්ඩ්ල් කරගන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා

    • මෙහෙම කියන කෙනා පිරිමියෙක් පමණක් නොවේ, ජාතික යයි කියන පුවත් පතක හිටපු කතුවරයෙක්. ජනාධිපති තුමා සමග සතුටු සාමාචියේ යෙදෙන කතුවරුන් ගෙන් කෙනෙක් හා ඔහුම කියා ගන්නා පරිදි පොත් කිහිපයක් ලියුව කෙනෙක්. මා මෙය ලියුවේ විශේෂ හේතුවක් නිසා බුවා. දැන් ආචාර්ය වරු අරගල කරනවනේ අධ්‍යාපනයට 6% ක් ගන්න. ඇත්තටම මෙතුමා කියන පරිදි ඔය හය ඕනේ නැහැ. දැනට වෙන් කරන මුදලින්ම වැඩේ කර ගන්න පුළුවනි. ලංකාවේ ජනගනයෙන් කාන්තා ප්‍රතිශතය මා හිතන්නේ 50% කට වඩා ටිකක් වැඩියි. එතකොට ගෘහනියන් වශයෙන් ඉන්න කාන්තාවන්ට අර 6% න්, තුනක් වියදම් කරන්න අවශ්‍යද? හොඳම වැඩේ අපොස සාපෙ ඉවර කරන කොට අනාගතයේදී විවාහ වෙන්න බලාපොරොත්තු වන ගැහැණු දරුවන්ට වික්ටර්ගෙන් “හොඳ ගෘහනියකු වන්නේ කෙසේද” කියන දින තුනක පාඨමාලාව අවසන් කරන්න කියල සහතිකයක් නිකුත් කරන එක. එතකොට ඉතුරු කරගන්න මුදල් වලින් පිරිමින්ට උගන්වන්න පුළුවන්. බැසිල්ටත් වැඩේ ලෙහෙසියි.
      ලංකාවේ විතරක් නොවේ බුවා, අපත් දෙන්නම රැකියා කරන ගමන් මේ වැඩේ කරන්න හොඳ ගේමක් දෙනවා. මගේ ප්‍රියම්භිකාව ඒ ගේම අතරතුර තවත් ඉගෙන ගත්තත් එක්ක. වික්ටර් අයියගේ කතාව මා ඇයට පෙන්නුවහම, ඇය කියුව දෙය මගේ බ්ලොගයේ ලියන්න බැහැ.

  2. දරුවෙක් කියන්නෙ රටකට සම්පතක් විය යුතුයි. නමුත් ‍රැකියාව කරන කාන්තාවකට දරුවෙක් හදා ගන්න රාජ්‍ය හෝ පෞද්ගලික සේවා ජෝජකයාගෙ පැත්තෙන් ලැබෙන පහසු කම් ගැන නම් සතු‍ටු වෙන්න බෑ. අපේ පළවෙනි දරුවා ලැබුනාම මගේ බිරිඳට ‍රැකියාව අතහරින්න වුනා තාවකාලිකව. දරුවො දෙන්නා අතර අවුරුදු දහයක පරතරයක් තියෙන්නෙ නිකම්ම නෙවෙයි. ‍රැකියාව කරන දෙමාපියන්ට දරුවෙක් ලැබෙන එක nightmare එකක් වෙලා තියෙන්නෙ.

    • Raigama

      මේ ප්‍රශ්නය එක රටකට විතරක් සීමා උන දෙයක් නොවේ හෙන්රි. හැබැයි මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල අඩු ගානේ කුඩා දරුවන් දමල යන්න පුළුවන් සුරැකුම් මධ්‍යස්ථාන තියනවා. දරුවෙකුට ගෙදර වගේ නම් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ. ඒ එකක්. අනික තමා දෙමාපියන්ගෙන් එක කෙනෙකුගේ පඩිය සම්පූර්ණයෙන්ම වගේ මේවට යනවා එහෙම දැම්මම. එතකොට දරුවට පහසුවෙන් ගෙදර හැදෙන්න තියන එක නැති වෙනවා විතරයි. අමතර ආදායමක් ලැබෙන්නේ නැහැ. හැබැයි හෙන්රි, දැන් කාලේ රස්සාවක් අතහැරලා, පසු කාලෙක ආයිත් පටන්ගන්න තවත් අමාරු නිසා, එහෙම හරි අතින් කයිට් කරගෙන රස්සා කරන අම්මල හා තාත්තලා ඉන්නවා. වික්ටර් වගේ අයියා කෙනෙක් මේ වගේ ගොන් කතා නොකියා, ලංකාවේ හරි හමන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැති එක ගැන නේද ලියන්න ඕනේ? ඇඟලුම්, තේ වැනි කර්මාන්ත වල ඉඳලා, උසාවි, අධ්‍යාපන, සෞඛ්‍ය ආදී ක්රෙස්ත්‍ර වලට තියන කාන්තා දායකත්වය ගැන මෙයාට අබමල් රේණුවක තරම්වත් අවබෝධයක් තියනවද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s