පුර්විකාවක් පමණයි! A Preface!


මා කුඩා කාලයේ ඉතාම ආසාවෙන් කියවපු පොත් පෙළක් තමා ආර් එල් ස්පිටල් මහතා ලියපු වැදි ජනතාව ගැන ලියු සමාජ විද්‍යාත්මක හා ඔවුනගේ චර්යා ඇසුරින් ලියුව ප්‍රබන්ධ කතා හා ගවේෂණ චාරිකා පොත්. මා මිට කලින් සටහනක ලියුව පරිදි, මගේ පහේ ශිෂ්‍යසත්ව පරීක්ෂණයේදී සිංහල ප්‍රශ්න පත්‍රයට ආවේ ස්පිට්ල්ගේ පොතක ඡේදයක් (ඔන්න හරි ච යන්න ගත්තා). ස්පිට්ල් මහතා මේ පොත් ලියල තියෙන්නේ කොළඹ ඉඳන් නොවේ. වැදි ජනතාව අතරට ගිහිල්ලා, ඔවුනුත් සමහ ආහාර අරන්, කතා කරලා හා කාලය ගත කරලා. ඒ හින්දම තමා මේවා මානව විද්‍යාත්මක කෘති වෙන්නේ.

මා කැමතිම කෘතිය තමා වන සරණ ලෙස සිංහලයට පරිවර්තනය වී තියන පොල්ලේ බැද්දේ වන්නකු තිසාහාමිගේ ජීවිත කතාව. මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ ඒ පී ගුණරත්න මහත්මයා. ඔහුත් පොත පරිවර්තනය කරන්න කලින් පොතේ සඳහන් ප්‍රදේශ වලට ගිහිල්ලා, නම් ගම් හොයා  ගෙන, මිනිසුන් සමග කතා කරලා තමයි කටයුත්ත කර තියෙන්නේ. ඒ නිසා සිංහල පොත පරිවර්තනයක් කියලා හිතෙන්නේ නැහැ.

අප අදත් කියනවානේ සුද්දන් (පෘතුගීසින් හා ලන්දේසින්ද ඇතුළුව) අපේ රටට ඇවිත් කළ විනාශය ගැන. ඒක බැහැර කරන්න පුළුවන් කාරනාවක් නොවේ. මේ කාල සීමාවන් පසුකර අප බොහෝ දුර ඇවිත් තියනවා. අතීතයේ සිදු උන දේවල් කවදාවත් අමතක කරන්න බැහැ. ඒ වගේම අර කවුද කියනවා වගේ,  අතීතයට බැන බැන ඉඳලත් ඇතිවන සුගතියක් නම් නැහැ. තව දෙයක් තමා, අතීතයේ උන වැරදි පිලි ගැනීම. අදාළ හැම පාර්ශවයක්ම. එහෙම නැතුව, ඕවා අමතක කරලා දාන්න කියුවට කිසි තේරුමක් නැහැ.

ඒ වගේම ලංකාවේ දේශපාලකයෙක් මෙහෙම දෙයක් කලොත් නම් හරිම විහිළුවක්. උදාහරණෙට අප ලන්දේසීන්ට යටත් වී අවුරුදු පන් සියයක් පිරිම නිමිත්තෙන් මහා උත්සව මාලාවක් සංවිධානය කිරීම. එක රටක් තවත් රටකට යටත්වීම උත්කර්ෂයෙන් සැමරිය යුතු දෙයක් නොවේ. එය ඛේදවාචකයක්. අද දරුවන්ට උගන්වන්න ඕනේ, ඉදිරියට එහෙම නොවන්න අප මොකද කරන්න ඕනේ කියලා.

අපට සුද්දන් කළ දේවල් මොනවාද කියල හිතෙන්නේ, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මුල් පදිංචි කරුවන්ට අද අත්වී තියන ඉරණම දෙස බැලුවහම. ඔවුනට තමන්ගේ රටත් තමන්ට “අහිමි” වෙලා. ලංකාවේ වැදී ජනතාවත් එහෙම හිතනවාද දන්නේ නැහැ. හැබැයි, අප වගේ අයට මේ රටවල් වලට එන්න අවස්තාව ලැබිලා තියෙන්නේ සුද්දන් මේ රටවල් “දියුණු” කළ නිසා කියලත් කියන්න ඕනේ. සුද්දන් නැතුව චීන්නු (උදාහරණයක් පමණයි-අපහාස කිරීමේ අදහසක් නැත) ආව නම් මේ රටවල් වලට වෙන කෙනෙකුට පය ගහන්න වත් හම්බ වෙන්නේ නැහැ කියල මා විශ්වාස කරනවා.  ඒ එක දෙයක්. මේ සියල්ල දෙසම අන්තවාදී කෝණයකින් බැලීම ඉදිරියට යාමට බාධාවක් බව තමා මට කියන්න ඕනේ උනේ. ලංකාව වැනි රටවල් වලටත් මේ යුරෝපියන්ගෙන් ලැබිල තියන දේවලුත් බැහැර කරන්න බැහැ (අනුකාරක වාදීන්ට පමණයි).

හිටපු අගමැති කෙවින් රඩ් ඇබෝරිජිනල් වරුන්ට කළ අසාධාරණ කම් වලට පාර්ලිමේන්තුවේ කනගාටුව පළ කිරීම නිකම්ම සංඛේතයක් කියලා ඉවත දමන්න බැහැ. එය මෙහෙ ආදී වාසින් හා යුරෝපිය පදිංචි කරුවන් අතර සම්බන්ධතාවයේ වැදගත් සන්ධි ස්ථානයක්. දරුවන් දෙමාපියන්ගෙන් ඉවත් කර වෙනත් තැන් වල ඇති දැඩි කිරීමත්, විශේෂයෙන්ම ඇබෝරිජිනල්වරුනට සිදු කළ මහා අසාධාරණකම් වලින් එකක්. මේ ගැන ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත ආණ්ඩු සියල්ලක්ම පාහේ කනගාටුව ප්‍රකාශ කෙරුවේ පසුගිය අවුරුදු දෙක තුනේදී. මෙහි මෑතම උදාහරණය තමා වික්ටෝරියානු අගමැති ටෙඩ් බැලියු පසුගිය සතියේ ඉදිරිපත් කළ කනගාටුව ප්‍රකාශ කිරීම.

Advertisements

14 Comments

Filed under Social

14 responses to “පුර්විකාවක් පමණයි! A Preface!

  1. ලංකාවේ වැදී ජනතාව සම්බන්ධයෙන් මටනම් එක ගැටළුවක් තිබෙනවා. ඒ තමයි ඔවුන් ආදිවාසීන් වශයෙන් හැඳින්වීම. ආදිවාසීන් Aborigine යනු මා දන්නා තරමින්, කිසියම් ජන වර්ගයක් විසින් ,කිසියම් භුමි ප්‍රදේශයක ආධිපත්‍යය තහවුරු කරගැනීමට පෙර සිට, එම භුමි භාගයේ ජනාවාස ඇතිවූ, ඈත අතීතයේ සිට, එහි විසු ජන මුල්ම කොට්ඨාශය කියන ඒකයි. ඉතින් සිංහලයා කියන්නේ වෙනත් දේශයක සිට මෙහි පැමිණ ලංකාව ජනාවාස කල ජන වර්ගයක් නොවෙයිනේ. විජයාගමනයෙන් මෙහි පැමිණියේ සිංහලයන් නොවෙයි නේ. එසේනම් වැදී ගෝත්‍රය ආදී වාසීන් යන පදනමෙන් සලකන්නේ, කුමන නිර්නායකයන් ඔස්සේද? ලෝකයේ ආදිවාසීන් ගැන කියවෙන කිසිම තැනක වැදී ගෝත්‍රය ගැන කියවෙන්නේ නැහැ.

    http://en.wikipedia.org/wiki/Aborigine

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    • Native, indigenous,aboriginal people යනාදී ඔය කොයි නම් වලිනුත් අදහස් කරන්නේ භූමියක සිටි මුල් පදිංචි කරුවන්. පුරාවුර්ත වල හැටියට විජය පැමිණි පසු කැලේ වැදුනේ ලංකාවේ ඒ කාලයේ සිටි මුල් පදිංචිකරුවන්. අද සිටින වැදී ජනතාව පැවතෙනවා යයි කියවෙන්නේ ඔවුන් ගෙන්. ඒ අර්ථයෙන් ඔවුන් ආදී වාසින් යයි හැඳින්වීම වරදක් ලෙස මා දකින්නේ නැහැ.
      http://www.artsrilanka.org/essays/vaddaprimitivism/index.html

      • ඔබට මා කරදරයක් නොවෙයිනම්, සිංහලයන්, වැද්දන්, එකල සිටි එහෙත් අනන්‍යතාව ගිලිහුන වෙනත් ගෝත්‍ර ගැන ඔබ දන්නාගේ කියාදෙන්න.

        • නැහැ විචාරක ඔබ නම් කරදරයක් නොවේ. මේ ගැන මා දන්නේ වෙනත් අය ලියුව දේවල් තමා. අර දමපු ලින්කුවේ ඇති පරිදි ඔය ඝනනාත් ඔබේසේකර ආදීන් ලියපුවා. ලංකා ඉතිහාසය පිලිබඳ මගේ දැනුම සීමිතයි. මා පුර්විකාවක් ලියුවේ වෙන දෙයක් ගැන ලියන්න.

          • Hasitha

            වැදි පරපුරේ ආරම්භය ගැන විවිධ මත තියෙනවා. විජයගේ වන වැදුණු දරුවන් වුණු ජීවහත්ත, දිසාවෙල්ලගෙන් වැද්දන් ඇරඹෙන බව කියවෙනවා. ඒ වගේමයි පණ්ඩුකාභය රජ දවස “සබර” නමින් හැඳින්වුනේ වැදි ජනතාව කියලාත් කියවෙනවා. තවත් මතයක් වෙන්නේ යක්ෂ ගෝත්‍රික සම්භවයකින් වැදි පිරිස පැවත එනවා කියන එක.

            • ඔබ මේ ගැන මට වඩා දන්නවා ඇතිනේ. DNA පරීක්ෂණයකින්, අප ඔවුනට වඩා කොතරම් වෙනස් සම්භවයක් තියනවාද කියල හොයන්න පුළුවන්. ඒ ගැන පර්යේෂණ කෙරිලා තියනවද කියල මා දන්නේ නැහැ. මා නම් විශ්වාස කරන්නේ, විජය එයාලගේ ශිෂ්ටාචාරය ව්‍යාප්ත කරන විට, රටේ මුල් පදිංචි කරුවන් වල් වැදුනා වෙන්න පුළුවන් (වල් වැදුනා නොවේ. ඔවුන් ඉන්නට ඇත්තේ කැලයේම තමා).

              • Hasitha

                වැදි ජනතාවගේ යක්ෂ ගෝත්‍රික සම්භවයට ඒ කතාව ගැලපෙනවා…..

                • මා විශ්වාස කරන්නේ ඒ කතාව සත්‍යයට වඩාත් ළඟ වෙන්න පුළුවන් කියල තමා. ජනප්‍රවාද වල තාර බර ඇරලා තමයි හැම වෙලාවෙම ගන්න ඕනේ. අනික අනික් වෙළඳ අරමුණු හිතේ තියාගෙන ඉතිහාසය විග්‍රහ කිරීම මට නම් අප්‍රසන්න දෙයක්. ඔය පරණ චිත්‍රකතා කාරයන් සමහර දෙනා කරනවා වාගේ.

  2. හෙහ් හෙහ්, මට හැමදාම හිතුන දෙයක් තමයි රයිගම්, අපිට යුරෝපියයන්ට වඩා හොඳ තුවක්කු සහ නැව් තිබුනානම් අද ඉංග්‍රීසි ඇතුලු යුරෝපීය භාෂාවල් කතාකරන රටවල්වල මිනිස්සු සිංහල කතාකරයි කියන එක. අඩුගානෙ දෙවනි භාෂාව හැටියට වත්!

    ඇත්තෙන්ම ඉන්දියාවෙ කුල භේදය, දෑවැදි ක්‍රමය එතකොට සමහර අප්‍රිකානු ගෝත්‍රවල චාරිත්‍ර දැක්කම හිතෙනවා ඇත්තෙන්ම යුරෝපීයයො යම් දුරකට ශිෂ්ඨාචාරය ගෙනාවා කියලා. මේ මට හිතෙන හැටි.

    • Raigama

      බොරු කියන්නේ මොකද, මා පුංචි කාලේ ඉංගිරිසි බැරි උනහම (දැනුත් පුළුවන් කමකට නොවේ. ඒත් දැන් හිතෙන්නේ නැහැ) ඔය දෙයම හිතල තියනවා. නෙදර්ලන්තයත් හරිම පුංචි රටක් නේ. ඉතින් හොඳ නාවික බලයක් හා තුවක්කු තාක්ෂනය තිබුනා නම් අපටත් ඔය දෙය කරන්න තිබුනා. එතකොට අප ඔය බයිලා කියනවා වගේ පෘතුගීසි, ලන්දේසි කාරයන් පැල්කවි කියන්න ඉඩ තිබුනා. පසුගිය ඔලිම්පික් සමයේ සුද්දෙක් මගෙන් ඇහුවේ උඹල මොන ඉසව් වලින්ද තරඟ කරන්නේ කියලා. මා අපේ ඉසව් දෙක තුන කියපුවහම, මූ කියනවා (මහා කට කැඩිච්ච කතා කියන හාදයෙක්. හැබැයි සරසවි මහාචාර්ය කෙනෙක්) ඇයි උඹලා වෙඩි තියන්න දක්ෂයිනේ කියලා. මා කියුවේ නැහැ එක භයානක වැඩක් කියලා. මොකද අප ගියොත් ඔය ඉලක්කයට තියන්න ගන්න වෙන්නනේ මිනිස් හිස්, අනික්වාට නම් වෙඩි තියන්න අප එතරම් දක්ෂ නැහැ කියා.
      අනික් කතාව ගැන නම් මා ඔබ සමග එකඟයි. ඔවුන් අපට දායාද කල ගොඩක් හොඳ දේවල් තියනවා. තාමත් ඔය රාජාණ්ඩුව තිබුනා නම් (අද තියෙන්නේ රාජාණ්ඩුවක් තමා. හැබැයි මා කියන්නේ පරණ එක) මුලින්ම හිස ගැසීමට ලක්වන්නේ ඔය හිසේ ජෙල් ගාගෙන කතා කරන අයයි, අනුන් හැම දෙනාම අනුකාරක වාදීන් යයි දෙස් දෙවොල් තියන කටිටිය කියා මා හැම විටම හිතනවා.

  3. hare :-)

    මට සාමාන්‍ය පරිදි වර්ඩ්ප්‍රෙස් වලට ලොගින් වෙන්න බැහැ. සම්බන්ධතාවයේ ප්‍රශ්ණ නිසා. නමුත් මේ සටහනේ තියෙන අනිත් ඒව කොහොම වෙතත් අර ස්පිටල් මහත්තය ගැන කියපු කතා ටික ගැන මට හිතෙන දේවලු කියන්නම ඕන…

    ඒක රයිගමත් කැමති දෙයක් අනිවාර්යයෙන්ම. ඒ තමයි වැද්දො මස් හදන එක එක ක්‍රම! ඒව ඒ පොත් වල විස්තර කරල තියෙන විධියට කියවද්දිම කටට කෙළ උනනව.

    මම පොඩි කාලෙ මුලින්ම කියෙව්වෙ ‘සුදු වැද්දා නොලියූ කතා’ කියල ජයවීර බණ්ඩාර වගේ නමක් තියෙන මහත්තයෙක් පරිවර්තනය කරපු ස්පිටල්ගෙ කෙටි කතා කීපයක්. ඒකෙත් තියෙනවා කැලේ මැද වෙද හාමුදුරු කෙනෙක් හොයාගෙන වැද්දොත් එක්ක ගමන් කරන සුද්දෙක් ගැන කතාවක්. මම හිතන්නෙ ඒක මම කැමතිම කතා අතර එකක්. කියවද්දි ඒක සජීවීව දැණෙන ගතිය උපරිමයි…

    • Raigama

      මා අවධි කළේ ඉතා පරණ මතකයන්. ඔය පොත් පාසල් සමයේ කියෙව්වට පසු කියවා නැහැ. ඒත් ඔබ කියන පරිදිම ඒවායේ වර්ණනාවන් අදත් වර්ණවත්ව මතකයි. ස්ප්ට්ල් ගේ පොත් වලින් මා ගාව දැනට තියෙන්නේ ප්‍රේමචන්ද්‍ර අල්විස් පරිවර්තනය කළ ලක්බිමේ තවත් යුගයක් කියන පොත පමණයි. ස්පිට්ල් දියණිය ලියපු මතකසටහන් පොත ගන්න හිතාගෙන හිටියත් තවම බැරි උනා. ලංකාවට ආපු දවසක තමා.
      ස්පිට්ල් විස්තර කරලා තියන වැදී ජනතාවගේ සමහර වැඩ නම් අර වගේ කටට කෙල උනන ඒවා නොවේ. එයින් මට මතක් වෙන එකක් තමා, ඉබ්බෙක් පුළුස්සපු හැටි. ඉබ්බා පනපිටින්ම පුළුස්සලා මස් ටික කාලා , ඉතිරි උන බඩවල් ආදියෙන් ආපු දුර්ගන්ධය වැද්දන් ටත් දරා ගන්න බැරි උන බව ඔහු විස්තර කරනවා. තවත් තැනක හුම්බහක වැදිලා හිටිය තලගොයෙක් එලියට ගත්ත අන්දම මෙහෙම ලියා තිබුනා. තලගොයාගේ එලියට ඇවිල්ල තිබුනේ වලිගය පමණයි. මේ වල්ගයෙන් දෙතුන් දෙනෙක් එක්වී ඇද්දත් ගොයා නොවේ අත් පහුරු බුරුල් කළේ. එතකොට එතනට ආපු (හඳුනා- ඒ වගේ නමක් වෙන්න ඇති). ආ මන් ගන්නන්කො ඕකව එලියට කියලා මෙහෙම කළා. ඔහු ගොයාගේ වලිගය දිගේ පිහියෙන් ඉරක් ඇදලා, හුණු කිල්ලොටයෙන් ගත්ත හුණු පාරක් අර තුවාලය දිගේ ගාල එක පාරම ගොයා ඇදල අරන් තියනවා. අර සතාගේ වේදනාව හිතා ගන්න පුළුවන් නේද?

      හැබැයි ඔබ කියන්නා වගේ මී හා බඹර පැණි,ගෝන මස්, කුරහන් තලප (රසයක් ඇති දෙයක් නොවේ), ඔවුනගේ හේන් වගාවන් වල භෝග වර්ග ගැන කරන කරන වර්ණනාවන් නම් අනර්ඝයි.

      මේ සියලු කෘති වල රිදී හුයක් වගේ දෙයක් තියනවා. ඒ තමයි “සුදු හුරා” තුල මේ වැදී ජනතාව ගැන තිබුන ආදරය හා ඔවුනගේ චර්යාවන්, ඇදහිලි හා විශ්වාස දැන ගන්නට තිබුන අසීමිත කැමැත්ත. අනික තමා ඔවුන් වෙත දැක්වූ සානුකම්පික ආකල්පය.

  4. Kenji @ Japan

    ලිපියයි කොමන්ට් ටිකයි බැලුවම අපේ නිහාල් ගුරුසිංහ ලියල තිබුන,[යතාර්තවාදියා 27/10/2012] ලිපියේ “අපි සිදාදියෙන් ….කැලේ මංගච්චනකොට අතරමං පොජ්ජ උනා,බඩගින්න දරාගන්න බැරුවා….කොටාබාන්ට යමක් දුන්නා නං” “කැකුලි !ඔය පාන්ගෙඩිය අරන් වරෙන් ජෑම්බෝතලෙත් එක්ක”.කොහොමත් රයිගම; භාණ්ඩ හුවමාරුව +භාණ්ඩ හුවමාරුව නිසා නෙමේද ඒ අය මේ තත්වයට දැන් පත්වෙලා සිටින්නේ?

    • Raigama

      ඔබ කියන්නේ වැදී ජනතාව ගැනද? ඒක එහෙම සරලව විස්තර කරන්න අමාරු නේද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s