පරමාදර්ශී ජිවන විලාසිතාසක් සහිත මිනිසෙකු හොයා ගන්න එක ගැන අජිත් පැරකුම් ලියුව සටහන් දෙක මගේ සිත් ගත්තේ කාරනා කීපයක් නිසා. එවැනි මිනිසෙකු හෝ එයට ආසන්න මිනිසෙකු හොයා ගන්න එක ලංකාවේ ජිවත් වන ජනයාට පමණක් නොවේ, ලොවේ කොතනත් ජිවත් වන ඕනෙම කෙනෙකුට වැදගත්. මෙවැනි පරමාදර්ශයන් ගැන නොයෙකුත් දෙනා දේශනා කරනවා අප අහල තියනවා. හැබැයි මා දැකල තියන එක දෙයක් තමා එම දේශනාවන් කරන පිරිසට එහෙම ජිවන විලාසිතාවන් නැහැ. සමාජයට සමාජ වාදය අරන් දෙන්න කැරලි ගහන්න යන කට්ටිය,සමහර විට තමන්ගේ සහකාරයා හෝ සහකාරිය සමග සහජීවනයෙන් ඉන්න දන්නෙත් නැහැ. බටහිරට රටවල් වලට බනින මිනිසුන්ගේ දරුවන් පමණක් නොවේ, එයාලත් ඉගෙන ගෙන තියන්නෙත් බටහිර. විද්‍යාවට බනින මිනිස්සු, විද්‍යාව බිහි කළ දේවල් නැතුව මොහොතක් ගත කරන්නේ නැහැ. ජනමාධ්‍ය වල, අනුන්ට හිනාවෙන මිනිසුන් හිතාගෙන ඉන්නේ, මේ ලෝක ඉතිහාසය හරිම කෙටි එකක් කියලා. ලෝගු පොරවාගෙන අනුන්ට ආදරය හා කරුණාව බෙදා දෙන්න ඉන්න මිනිසුන්, ස්ත්‍රී දුෂකයන්, ළමා අපචාර කරුවන්, තෙල් බෙහෙත් වෙළෙන්දන්, කූට ජාවාරම් කරුවන්. පන්සල්, පල්ලි හදන, පින් දහම් කරනවා යයි කියන සාමාන්‍ය මිනිසුනුත් සමහර වෙලාවට හැසිරෙන්නේ අමුතුම සතුන් වගේ. ජාතික ආලය, දේශානුරාගය ගැන කතා කරන මිනිසුන්, තමන්ගේ භාෂාවෙන් කෙනෙකු කතා කලත් මග හැර යනවා. මෙවැනි කතා බොහොමයක් තියනවා.
මෙවැනි කතා අපේ රටේ ජනයාට විතරක් සිමා වෙලා නැහැ. ගිය සතියේ මා ලියුව සටහනකට පාදක උනේ සුද්දෙකු සමග කළ මෙවැනි කතා බහකින් ගත් කොටසක්. පොඩි කාලේ ඉඳන් පල්ලි ගිහින් තියන ඔහු කියුවේ, තව දුරටත් ආගමක් කෙරෙහි විශ්වාස කරන්න හැකියාවක් නැති බවයි. ඔහු තමන්ගේ දුව හා පුතා පල්ලි යවන්නේ නැහැ. ඒ විතරක් නොවේ, ඔහුගේ මතය නම් මේ ලෝකේ ආගම් නැති තරමට යහපත් එකක් වේවි කියලා. මා දන්නා මිනිසුන්ගෙන් ඉතාම යහපත් මනුස්සයෙක් තමා ඔහු.
පසුගිය සතියක ඕස්ට්‍රේලියානු රජය විසින් ආයතනික ළමා අපචාරයන් සොයන්න රාජකීය කොමිසමක් පත් කරපු වෙලාවේ, ඕස්ට්‍රේලියානු කාදිනල් වරයා කියපු කතා අප්‍රසන්න ජනකයි. ඔහු වරද පටවන්න ගියේ ජන මාධ්‍ය වලට. මේවා ලොකුවට පුම්බලා ප්‍රචාරය කරනවා කියා. නමුත්, ඔහු වික්ටෝරියාවේ රදගුරුවරයෙක් වෙලා ඉන්න විට, මේ ළමා අපචාර කෙරෙහි දක්වපු උදාසීනත්වය හා යට ගහන්න ක්‍රියා කළ ආකාරය ගිය සතියේ වික්ටෝරියානු පාර්ලිමේන්තු කොමිසමක සාක්කියකට ඉදිරිපත් උනා. වික්ටෝරියාවේ ඇහෙන තවත් නඩුවක, එක පාදිලි වරයෙක් ළමා අඩම්තේට්ටම් කරන විට එතනවා ආව තව දේවගැතිවරයෙක් “ඔබ ඔය මොනවාද කරන්නේ” කියල අහන විට දීලා තියන පිළිතුර තමා “ඇයි ඔබ දන්නේ නැත්ද, දෙවියන් වහන්සේ අපව හදල තියෙන්නේ මේ අන්දමට” තමා කියලා. මෙවැනි කතා එක ආගමකට හෝ රටකට සිමා වෙන දේවල් නොවේ. ලංකාවේ පවා මහා නායක හාමුදුරුවන් ජිවත් වන්නේ සාමාන්‍ය ජනයා ඉන්න ලෝකේ නොවේ කියා ඔවුන් ඉඳහිට කරන ප්‍රකාශ වලිනුත්, ගෙවන ජිවිකාවෙනුත් තහඋරු වෙනවා.
විශේෂයෙන් සමාජයේ ජනප්‍රිය චරිතවල එම සමාජ ප්‍රතිරූපයට අමතරව යටින් දුවන වෙනත් චරිතයක් අප ගොඩක් අවස්ථාවල කට කතා ලෙස අහලත් තියනවා, ඊට අමතරව එහෙම දන්නා හඳුනන අයට තිබෙන බවත් දන්නවා. මේ නිසාම, මෙවැනි අය අපට කියා දෙන්න එන පරමාදර්ශී ජිවන රටාව ගැන විස්වසනිය බවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ “පරමාදර්ශී” කියන මිනිසා අප කොහොමද මේ සමාජයෙන් හඳුනා ගන්නේ? මේක නම් ටිකක් බොන්න ඕනේ ප්‍රශ්නයක්. එතකොට බොන මිනිහෙකුට පරමාදර්ශී වෙන්න පුලුවන්ද? ඒක ඊටත් වඩා බොන්න ඕනේ ප්‍රශ්නයක්.
මා වැනි සාමාන්‍ය මිනිසෙකුට පිළිගන්න පුළුවන් පරමාදර්ශී ජිවන රටාව මොකක්ද? මේ ගැන තව දුරටත් අජිත් පැරකුම් ලියාවි යයි හිතනවා. මෙයා ආගම් වලට නැඹුරු උන කෙනෙක් වෙන්නේ ඕනෙද? නැත්නම් සමාජවාදී (යහපත් සමාජයක්) සමාජයක් අපේක්ෂා කරන කෙනෙක්ද? ජාතික වාදියෙක්ද? අනුකාරකයෙක් නොවන අයෙක්ද? දේශීය චින්තකයෙක්ද? බටහිරට විරුද්ද අයෙක්ද? නිදහස් අධ්‍යාපනයට හෝ රාජ්‍ය සේවා වලට අකමැති කෙනෙක්ද? නැත්නම් පවුල් කන කෙනෙක්ද? බටහිර රටක ඉඳන් සමාජවාදී සිහින දකින කෙනෙක්ද? මේ ගැන මගේ අදහස් මතු සටහන් වලින් ලියන්න බලාපොරොතු වෙනවා.