දකුණේ සුනාමිය හා උතුරේ සුනාමිය! They are totally different?


ස්වාභාවික ආපදා ඇති වන්නේ මොන බැලුම් වත් බලලා නොවේ. ඒවා දේශ සිමා, ජන වර්ග, කුල මල, ධනපතියන්ද, දුප්පතුන්ද, රජවරුද කියා කිසිවක් බලන්නේ නැහැ. ඒ වගේම  කළුද, සුදුද නැත්නම් තල එලළුද කියලත් සලකන්නේ නැහැ. ඕනෙම රටක මේ වගේ ව්‍යසන වෙනවා. මේ ව්‍යසන වලට මිනිසා දක්වන ප්‍රතිචාර නම්  එක රටකින් තව රටකට වෙනස් වෙනවා. මේ ඊයේ පෙරේදා ඇමෙරිකාව හරහා හමා ගිය සුළි සුලඟ ගැන සමහර  ලාංකියයන් හා ලංකාවේ ජනමාධ්‍ය හිතන හැටි පැරකුම් ලියා තියනවා. මා ලංකාවේ ජනමාධ්‍ය බොහොමයක් දැන් කියවන්නෙත්, බලන්නෙත් නැති නිසා ඒ කතා මට දැන ගන්න ලැබුනේ නැහැ. නමුත් පැරකුම් ලියා තිබුනා වගේ රට ඇතුලෙත්, ඉන් පිටත් ඉන්නා ලාංකිකයන්ගේ හැම දෙනාගේම නොවුනත්, සෑහෙන පිරිසක් හිතන්නේ ඒ වගේ තමයි. ඇමරිකාවේ නොවේ එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ ඔවැනි සිදු වීමක් උනොත් ඒ හිතන්නෙත් ඔය වගේ තමා.

මා කලිනුත් ලියා ඇති පරිදි, ආසියාවේ රටවල් විශාල ගණනකට දැවැන්ත විනාශයක් කරපු සුනාමි ව්‍යසනයේදී ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය ජනතාව දැක්වුයේ මිට හාත්පසින්ම වෙනස් ආකල්පයක්. මා වැඩ කරන තැන උනත් එකෙක් හෝ ඕකුන්ට ඔහොම වෙලා මදි වගේ හෝ ඊට ආසන්න දෙයක් කියුවේ නැහැ. ආධාර එකතු කිරීම් වලදී, ඔවුන් පෙර නොවූ විරු අයුරින් දායක උනේ ලබන ආත්මයට පින් බලාගෙනත් නොවේ.

දැනට වසර දෙක තුනකට කලින් ඕස්ට්‍රේලියාවේ,  තම පුතාව මෝරෙකුගේ පහර දීමක් නිසා මිය ගිය වෙලාවේ ඒ තාත්තා කියුවේ, මේ මරණය නිසා මෝරුන් මරන්න එපා. මෙය අහඹු පහර දීමක් විතරයි. ඔවුන්ව සමුල ඝාතනය කිරීම කුරිරු වැඩක් කියා. ඇත්තටම සංඛ්‍යා ලේඛන ගත්තහම වසරකට මිනිසුන් මරණ මෝරුන් ප්‍රමාණය, මෝරුන් විසින් මරණ මිනිසුන් ප්‍රමාණය හා කිසි ලෙසක සසඳන්න බැහැ. ඒත් තමන්ගේ පුතාගේ මරණය ගැන ශෝක වෙන අවස්ථාවේ පවා, අර පියා කියපු දේ ඒකෙන් අවතක්සේරු වන්නේ නැහැ.

අසු නමයෙ හා අනුවේ පමණක් නොවේ, හැත්තෑ එකේ පවා නොමිනිස් කම් දුටුව බොහෝ දෙනෙක් උතුරේත් ඒ දෙයම වෙනකොට දැක්වුයේ වෙනම ආකල්පයක්. දකුණේ සුනාමිය ගැන හිතුවේ උතුරේ සුනාමියට වෙනස්ව. මේ පරම පිවිතුරු සමාජ වාදී ක්‍රමයක් ඇති කිරීමට වෙහෙසෙන අයියලා පවා උතුරු සුනාමිය, දකුණු සුනාමියට වඩා වෙනස්ව තමා සැලකුවේ. අර කැරලි වගේම තමා මේ සුනාමි දෙකෙන් වැඩිපුර බැට කෑවේ සාමාන්‍ය ජීවිතයේත් ඉතාම අසරණ මිනිසුන්. හැබැයි ඔය සූරා කෑම නැති කළ විට සියල්ල යහපත් වෙනවා යයි කියන අයියලාත් ඉන්නේ,  අනික් අයියලාට වඩා දුරක නොවේ කියල මෙවැනි සිදුවීම් කියා දෙනවා.

මිනිසෙකුගේ දුකක් තව මිනිසෙකුට නොදැනීම ලෝකයට අලුත් දෙයක් නොවේ. ඒ වගේම එහෙම අදහසක් (අනෙකෙකුගේ දුකකදී දුක්විමක්) පළ කරන විට ඒ මනුස්සයා ගැන සැක කරන පිරිසකුත් ඉන්නවා. මෙවැනි පිරිස් කුඩා කණ්ඩායම් ලෙස ඕනෙම සමාජයක ඉන්නවා. හැබැයි, මෙවැනි පිරිස් බහුලව ඉන්න සමාජය යහපත් එකක් නොවේ. පන්සල්, පල්ලි යන පිරිස් බහුලව ඉන්න පුළුවන්. බෝධි පුජා දාන දන්සල් දෙන පිරිස් ඉන්න පුළුවන්. ඒත් අනෙක් කෙනෙක් දුකකට පත් වී ඉන්න විට ඒ දෙස සිනා සීම සත්ත්ව  පරිනාමයේ ආපස්සට යාමක්. මෙවැනි සමාජයක, වෙනත් රටක මිනිසුන් එකතු කරලා එවපු සුනාමි ආධාර ගසා කෑමත් පුදුමයට කරුණක් නොවේ. ඒ වගේම ඒ ගැන උසාවියට පැමිණිල්ලක් දමපු විට ඒක විසි කරලා පසු කලෙක “මා ඕක විසි කළා තමයි, හැබැයි එතන බැලු බැල්මට නඩුවකට නිමිත්තක් තිබුනා” කියා කියන මිනිසුන් සිටීමත් පුදුමයක් නොවේ. එපමණක් නොවේ, ඉතිහාසයේ කුණු බක්කියට දාන්නේ නැතිව ,  ඒ වැනි අයටත් පසු කලක “පොදු අපේක්ෂක”  වීමට සලකා බැලෙන තත්වයක් ඇති වීමත් පුදුම වෙන්න දෙයක් නැහැ.

Advertisements

4 Comments

Filed under Politics, Social

4 responses to “දකුණේ සුනාමිය හා උතුරේ සුනාමිය! They are totally different?

  1. Hasitha

    ලෝකේ කොතනක කොයි විදිහට මොන භාෂාවක් ආගමකට අයත් වුනත් ඒත් අපි වගේම මනුස්සයෙක් නේද කියලා හිතන්න පුරුදු වෙන්න අපේ මිනිස්සුන්ට තවත් කාලයක් යාවි

  2. සමහර “උතුම්” අරමුණු ක්‍රියාත්මක කරන්න යාමේදීත්, ඔය කියන මනුස්සකම තමා අමතක වෙන්නේ හසිත. මේ රටවල් වලත් සියලුම මිනිසුන් ඒ වගේ හිතන්නේ නැහැ. නමුත් සමාජයේ “පොදු මතය” ගොඩක් දුරට යහපත් එකක් කියා මට හිතෙනවා.සමාජය අප “හොඳ යයි සලකන හා “නරක” යයි සලකන මිනිසුන්ගේ සංකලනයක්නේ. අර සුනාමිය වෙලාවේ මාලයක් කඩා ගෙන තරුණිය වතුරට අත හැරිය වගේ මිනිසුන් මෙහි ජරාම අන්තය නියෝජනය කරන්නවුන්. අද රූපවාහිනියේ පෙන්නුවේ ඇමෙරිකාවෙත්, දරුවන් දෙදෙනෙකු හා මවක් ගෙදරකින් උදව් ඉල්ලු අවස්ථාවේ, ඒ ගෙදර මිනිහා ඔවුන් ගෙට වද්දා නොගත් කතාවක්. හොර කමක් හෝ නීතියක් කැඩීමක් නොවුනත් එයත් අර අන්තය නියෝජනය කරන්නෙක්.

  3. Kenji @ Japan

    ඔබ ලියල තිබෙන දෙයට මම මේ කියන දේ කොච්චර ගැලපෙනවද දන්නේ නැහැ රයිගම,උතුරුමැද පළාත් සභාවට සභාපති තෝරද්දී ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කල කෙනා පරාජය කරල,ආණ්ඩු පක්ෂයේ අයයි විපක්ෂයයි එකතුවෙලා වෙන කෙනකු පත් කලා.අලුත් මහඇමති අතිගරු [ඒගොල්ලන්ට]ජන අධිපතිතුමාට කිව්වාම කියල තියෙන්නෙ “ඕකට තමයි කියන්නෙ දිට්ට ධ්ම්මවේදනිය කරුමය පටිසන් දෙනවා කියල.ඔයාල කිරිබර්ටියට කලෙත් ඕකමනේ”කියල.එහෙම කියන නායකයෝ ඉන්න රටක සාමාන්‍ය ජනතාව කියන කතා ගැන මොන කතාද?ඔය කතාවල් සමහර අය කියන්නේ කට්ටිය ඉස්සරහ “පොර” වෙන්න.හැබැයි “අර”ගොල්ලෝ යටිගිරියෙන් කෑගහන්නේ බඩගෝස්තරය රැකගන්න.[මෙන්න මට දැන් හිතුන දෙයක්] රැඩිකල් වෙලා 2014 දී හමුදාවක් සේ ඇයව ඉදිරිපත් කරන්න හදන්නේ “බල මාළු කා විදවපු ඇය දිනවමු” යන්න තේමාව කරගෙන. බලයට ආවයින් පස්සේ ජනතාවට දෙනවලු අලගොඩු මාළු හොද්දයි රෝස්පානුයි.මොකද ඇට 8 දෙනව කියුවට විශ්වාස නැතිලු. ඒ ඇට දෙනවයි කියද්දී හිටපු එඋන්ගේ ඇටත් නැතිලු.අනේ මන්ද???????????

  4. Raigama

    කෙන්ජි මා ආරාධනා කරන්නේ ඔබේ අදහස ලියන්න! කියලානේ. ගැලපෙනවාද නැත්ද යන්න තීරණය කරන්න ඕනේ මෙය කියවන පාඨකයන්. මා විශ්වාස කරන්නේ කෙන්ජි, ක්‍රමය හැදීමට කලින් එක එක පුද්ගලයා හැදිලා ඉන්න ඕනේ. උඩ සිට පහලට සේරම හැදිලා එවි යයි මා හිතන්නේ නැහැ. ඒ අරුතින් තමා අප වගේ චන්දය දීමෙන් පමණක් දේශපාලනයට කැපවන මිනිසුන්ගේ එක චන්දයත්, මේ ක්‍රමයේ වෙනසක් කිරීමට හේතු වන බව කියන්නේ. අප හිතන අන්දමත් එසේමයි. අප එක එක පුද්ගලයා ක්‍රියා කරන අන්දමත් එසේමයි. තනි පුද්ගලයෙක් මහ ජනසන්නි පාතයක එතරම් ප්‍රභල නැහැ. ඒත් “සමාජයේ පොදු මතය” කියන දේ ධාරාවක් ලෙස එලියට එන්නේ මෙවැනි තනි තනි පුද්ගලයන් බහුතරය සිතන අන්දමට. දේශපාලනය නොවේ, ආගම්, ඇදහිලි, දු දරු-මව් පිය සම්බන්දතා මේ සියල්ලක්ම ඒ කියන දේ ප්‍රතිඵලයක්. මා ලියන්නේ මට හිතෙන හැටි. මා ලංකාවේදී හිතුවෙත් එහෙමයි, මෙහිදී හිතන්නෙත් එහෙමයි. එවැනිම පිරිස් මට මේ රටවල් දෙකේදීම හමු වෙලා තියනවා. ඒ හින්දා ” එහෙම නායකයන් ඉන්න රටක මහ ජනතාව ගැන කවර කතාද” කියන එක මා ඉදිරිපත් කරන්නේ ” එහෙම මහ ජනතාවක් ඉන්න රටක, නායකයන් ගැන කවර කතාද” කියලයි. මේකෙන් අදහස් වෙන්නේ නැහැ සේරම හිතන්නේ මෙහෙමයි කියලා. නමුත් වෙනස්ව හිතන අයගේ හඬ යටපත්ව යනවා අර මගේ ඊළඟ සටහනෙන් කියා තියෙන “Low-information voters” බහුතරය නිසා නිසා. සරත් එන් ද සිල්වා විපක්ෂ දේශපාලනයට ගාවා ගන්න ඕනේ පුද්ගලයෙක් කියා මා හිතන්නේ නැහැ. ඔහු “පොදු අපේක්ෂක” නම් සුරපුරක් මවනවා කියා කියුවත් මගේ චන්දය ඔහු වෙනුවෙන් නම් පාවිච්චි කරන්නේ නැහැ. අද මෙහි දෙවැනි කොටස ලංකා අධිකරණ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වෙනවා වගේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s