ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද? Everyone deserves a shot!


එක් පසෙකට ඇලවී පියාඹන පරවියා දෙස මා බලන් හිටියේ මහත් බලාපොරොත්තුවකින් නොවේ. දැනට සති එකහමාරකට පමණ පෙර ගරාජයේ නවතා තිබුන කාරයේ යටින් තටු ගසන ශබ්දයක් ඇසිලා, එබී බැලු විට දැකගන්න ලැබුනේ මේ සත්වයා. මගේ අඩි ශබ්දයට තටු ගැසුවත් ඌ හිටියේ ඉතාම දුර්වල අඩියක. කෑම ටිකක් හෝ වතුර පොදක් දිනකින් පමණ ලැබී නැතුවා වාගෙයි. කුරුල්ලන් වැඩිපුර කන්නේ නැත්තේ ඉගිලෙන්න පහසු වෙන්න. ඒ හින්දාම උන්ට නිතරම ටික ටික කන්න අවශ්‍යයි. රෙදි කැබැල්ලක් දමලා මූව අල්ලාගෙන බැලුවහම තමා තේරුනේ. තමන්ගේ ජාතියේම (පරෙයියන් වෙන්න බැහැ , කපුටු තමා) අය විසින් පහර දීම නිසා එක ඇසක් අන්ධ වෙලා. මේ පහරදීමෙන් පසු මූ දුර්වල උනාද, නැත්නම් වෙනත් ලෙඩකින් දුර්වල උන හින්දා පහර කෑමට ලක් උනාද කියා කියන්න මා දන්නේ නැහැ.

අල්ලාගත් පරිවියා පෙට්ටියක දැමු මා ඌ ට කන්න හා බොන්න දුන්නා. දවසක් යන කොට ඌ යතා තත්වයට පත් වෙන්න පටන් ගත්තා. කෙඳාරි වී ගිය දේහය යලි පුෂ්ටිමත් උනා. එහෙම සතියකට වඩා කන්න දීපු සතා මා මුදා හරින්න තීරණය කළා. එක ඇසක් නොපෙනීම නිසා ඌ ට ඉගිලෙන්න ඕන දිශාව තීරණය කිරීමට අපහසු ගතියක් තිබුනා. එක පැත්තකට ඇලවී පියාසර කල ඌ අල්ලපු ගෙදර ගසක අත්තක වැසුවා.

ඇසක් නොපෙනන මුගේ ජීවිතය අවිනිශ්චිත එකක්. හැබැයි පරවියෙකු නඩත්තු කිරීමේ  කටයුත්ත දිගටම කරන්න මට බැහැ. සමහරවිට ආයිත් මූ කපුටන්ගේ පහර කෑමට ලක්වී මිය යාවි. හැබැයි කාරය යට හිටියාට වඩා, දැන් ඌ ට ජිවත් වීමට විභවයක් දැන් තියනවා. සතුනට හිතීමේ හැකියාවක් නැහැ. උන් ජිවත් වන්නේ සහජ ඥානයෙන්. ඒ කියන්නේ පරිසරය විසින් උරුම කර දුන් පරම්පරා අත් දැකීම් ආශ්‍රයෙන්. දුර්වල අයෙක් දුටුවොත් පහර දී මරාගෙන කෑවේ නැත්නම් පැවැත්මක් නැහැ. මේ තුලින් ඉතිරි වන්නේ ශක්තිමත් අය වීම, ස්වභාවික වරණයේ එක ගුණාංගයක්.

මනුෂ්‍ය සමාජයත් මෙසේ විය යුතුද? ඔබ නැත කියා උත්තර දුන්නත්, බොහෝ විට පරිනාමයේ ප්‍රාථමික අවධි වල තිබු ලක්ෂණ අප තුලින් සහමුලින්ම ඉවත් වී නැහැ. මා ගිය සතියේ කියවපු ඉංගිරිසි බ්ලොගයක තිබුනේ ලංකාවේ උන දෙයක්. බ්ලොගය ලියපු කෙනාගේ මිතුරෙකුගේ දරුවෙකු “down syndrome” කියන “අසනීප” තත්වයෙන් පෙලෙන්නෙක්. ලංකාවේ මෙවැනි අයට විශේෂ පාසල් හොයා ගන්න නැහැනේ. ඉතින් ලඟම තියෙන පාසලකට දාලා ටික දවසක් යන විට, පාසලේ විදුහල් පති කියා තිබෙනවා “ඔබගේ ළමයාට තව දුරටත් මේ පාසලට එන්න බැහැ”  කියලා. මොකද කියල සෙවුවහම අර පාසලේ වෙනත් දරුවන්ගේ දෙමාපියන්, මේ දරුවාව පාසලේ තියා ගන්නවාට විරුද්ධ වෙලා.

Down syndrome කියන්නේ ක්රෝමසෝම වල විකුර්තිතාවයක් නිසා ඇති වන්නක්. එය අවාසනාවන්ත තත්වයක් උනත්, අද කාලේ මෙවැනි ගැහැනුන් හා පිරිමින් අධ්‍යාපනය ලබා රැකියාවල් වල නිරත වීම අමුතු දෙයක් නොවේ. ඔවුනට ළමා කාලයේ අධ්‍යාපනය ලබා දීමත් නිසි පරිදි රැක බලා ගැනීමත්, ඔවුනගේ අනාගත දිවිය ස්වාධින එකක් කිරීමට මහත්ම බලපාන සාධක දෙකක්. ඕස්ට්‍රේලියාව වැනි රටවල මෙවැනි හා වෙනත් විශේෂ අවශ්‍යතා තියන ළමුන්ට විශේෂ පාසල් තියනවා  (ලංකාවෙත් විශේෂ පාසල් නම් තියනවා!). එහෙම නැත්නම් සාමාන්‍ය පාසලක විශේෂ අවධානයක් යටතේ ඉගෙන ගන්න ඉඩ සලසා දෙනවා. රජයෙන් විශේෂ සහනාධාර දෙනවා. මෙවැනි දරුවෙකු දිහා කිසිවෙකු වපර ඇහැකින් බලන්නේ නැහැ. එය වෙනත් කෙනෙකුට බෝවෙන තත්වයක් නොවේ. එමගින් වෙනත් ළමුනට අඩු පාඩුවක් සිදු වන්නේ නැහැ.

දැන් අර දරුවාව පාසලේ තියා ගන්නවට විරුද්ධ උන දෙමාපියන් මට සමාන කරන්න පුළුවන් අර පරෙවියා මරන් කන්න හදපු කපුටන් රංචුවට. මෙයාලා තාම ඉන්නේ මිනිස් පරිනාමයේ මුල හරියේ වගේ. මෙවැනි ඉල්ලීමක් කරුපු දෙමාපියන් හා එය පිලි අරන් දරුවාව පාසලෙන් ඉවත් කරපු විදුහල්පති යන සියල්ලන්ම එකයි. සේරම වැරදි රටේ ආණ්ඩුව මත පටවන, මිනිසුන්ගේ ඇත්ත තත්වය ඕකයි. මට අර දරුවාගේ දෙමාපියන් හා දරුවා ගැන ඇති උනේ කනගාටුවක්. එහෙම කරපු සමාජය ගැන ඇති උනේ අප්‍රසන්න තාවයක්.

Advertisements

12 Comments

Filed under Education, Social

12 responses to “ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද? Everyone deserves a shot!

  1. Hasitha

    උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක් කියන කතාව තමා මට හිතුණේ. හැම අම්මාට තාත්තාටම තමන්ගේ දරුවා වටිනවා. හැබැයි එහෙම කියලා අනිත් දරුවන් පහත් කරන්න අයිතියක් නැහැ

    • ඔබ කියන කතාව ඇත්ත හසිත. හැබැයි මෙතන තියනවා වෙන දෙයකුත්. මෙතන පහත් කිරීම විතරක් නොවේ, සමාජයේ යටින් දුවන කුරිරු කම හා ආත්මාර්ථකාමිත්වය තමා මට නම් පෙනෙන්නේ. අද ඉරිදා මෙහෙ හත්වන චැනලයේ ගිය වැඩ සටහනක පෙන්නුවේ ඇමෙරිකානු පවුලක් තමන්ගේ දරුවන් තිදෙනාට අමතරව තව දරුවන් නව දෙනෙක් අරන් හදා ගත්ත කතාවක්. ඔවුන් පළමු වරට මෙහෙම අරන් හදා ගෙන තියෙන්නේ රුමේනියානු ජාතික දරුවෙක්. අනාත මඩමක හිටිය මේ දරුවාට උපතින්ම අත් දෙක තිබිලා නැහැ. ඔහු අද කාරයක් පදවනවා විතරක් නොවේ, සියලුම වැඩ තනිවම කර ගන්නවා. මා දාල තියන වීඩියෝවේ තියෙන්නේ ඔහු ගිටාරය වාදනය කරන ගමන් ගීතයක් ගයන හැටි. අර කලින් කියපු යුවල හදා ගත් දරුවන් සියලු දෙනාටම උපතින් යම් දෙයක් අඩුයි.
      ලංකාවේ ඩවුන් සින්ද්රොම් දරුවාට විරෝධය පළ කල සියලු දෙමාපියන් නිදහස් අධ්‍යාපනයෙන් බිහි උන, දැන් මධ්‍යම පන්තියේ වන අය කියා මා විශ්වාස කරනවා. මෙතන තියන අසාධාරණ කම සිතා ගන්න මා ඔබටම ඉඩ හරිනවා.

  2. මම දන්න තැනක් තියෙනවා Special Education Facilities තියෙන…
    ඔබේ මිතුරාගෙ දරුවාට පාසැලක් නැතිනම් කියන්න….
    මම සම්බන්ධ කරලා දෙන්නම්…. මම දන්නෙ නැහැ එතැන කොහොමද වැඩ කෙරෙන්නෙ කියලා… නමුත් අපේ පවුලේ මිත්‍රයෙක් ගේ දුවක් එතැන උගන්වනවා….
    ඒ නිසා මම දන්නවා එතැන හොඳ තැනක් විය යුතු බව…

    • ඔබගේ කාරුණික සිතුවිල්ල ගැන ස්තුතියි ඇල්කෙමියා. මෙය මගේ මිතුරෙකුට සිදු උන දෙයක් නොවේ. මා වෙනත් බ්ලොගයක කියවපු එකක්.

  3. පල් වැඩක් තමයි රයිගම් ඒකෙ දෙකක් නෑ. තමන්ට ඔහොම ලමයෙක් හිටියා නම් අදහස වෙනස් වෙයි.

    රයිගම්, මගෙ නෑදෑ වෙන ලමයෙක් ඉන්නවා ඔය අසනීපෙ නෙවෙයි නමුත් අනිත් ලමයින්ට වඩා පිටිපස්සෙන් ඉන්නෙ.

    මෙයාලා කැනඩාවට සංක්‍රමණය වෙන්න උත්සාහ කලාම අර ලමයා කැනඩාවට බරක් කියලා කිව්වා. ඒ මදිවට ඒ ගෙදර එක්කෙනෙකුටවත් (තව අවුරුදු කීයකටද කියලා මතක නෑ) කැනඩාවට මොනම හේතුවක් නිසාවත් ඇතුල් වීමට බැරි වෙන්න බ්ලැක් ලිස්ට් කලා.

    වරද කුඩු ගෙනයාම, විනිමය වංචා, ත්‍රස්තවාදී ක්‍රියා නෙවෙයි. අබාධිත වීම.

    ඕං කැනඩාව!

    • Raigama

      කැනඩාව විතරක් නොවේ ඕස්ට්‍රේලියාවේ තත්වයත් ඕකයි. රට ඇතුලේ ඉපදුන අයට නොයෙකුත් සහන දීලා තිබුනට, සංක්‍රමණය වෙනකොට ඉල්ලුම් කරන කොට එහෙම දරුවෙක් ඉන්නවා නම් වැඩේ වෙනස්. අර සහන දෙන හින්දාම තමා ඔවුන් එවැනි ඉල්ලුම් පත් ප්‍රතික්ෂේප කරන්නේ. මෙතන ලොකු පරස්පරයක් තියනවා. මිට අවුරුදු කීපයකට පමණ පෙර වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩ කරපු යුරෝපීය රටකින් ආපු දොස්තර කෙනෙකුගේ සන්කරමනික ඉල්ලුම් පත ප්‍රතික්ෂේප කරලා තිබුනේ එයාගේ දරුවෙකුගේ ආබාධිත තත්වයක් නිසා. මේ දොස්තර ප්‍රාදේශීය පලාතක අවුරුදු ගණනාවක් වැඩ කල අයෙක්. හැබැයි ලංකාවේ වගේ නොවේ, අර ජනතාව ඔහු වෙනුවෙන් ඉදිරිපත් උනා, කරපු අසාදාරණයට. අන්තිම ප්‍රතිඵලය මා දන්නේ නැහැ. ඊයේ මා අර අසිතට ලියා තිබුන පිළිතුරේ තිබුන රූපවාහිනී වැඩ සටහනට මාතෘකාව වෙලා තිබුනෙත් එයමයි. අප හැම දෙයටම බනින ඇමෙරිකාවේ තත්වය ඒ අතින් වෙනස්. අර පවුල අරන් හදා ගත් දරුවන් නව දෙනාම ලෝකේ විවිධ රටවල් වලින් ගත්තු අය. ඔවුන් නව දෙනාටම විවිධ ප්‍රශ්න තියනවා. අන්තිමට ගත්තු දරුවාට අත් කකුල් මොනවත් නැහැ. එම දරුවා අරන් තියෙන්නේ මලයාසියාවෙන් වගේ රටකින්.

    • Raigama

      තැන්ක්ස් මචන්. ඇත්තටම අද තමා මගේ බ්ලොගයට ආවේ ගොඩක් දවසකට පස්සේ. මධු පානයෙන් ඈත් වී ඉන්න නිසා ලියන්න අදහස් එන්නෙත් නැහැ (මාත් මචන් මාර්ටින් වික්‍රමසිංහ මහතා වගේ තමයි. සීල් අරක්කු බෝතලේ මේසේ උඩ (එකම වෙනස වික්‍රමසිංහ මේක තියාගෙන හිටියේ මේසේ යට!) නැත්නම් ලියන්න බැහැ {විහිළු (මත් නොවේ)}.

  4. /// සතුනට හිතීමේ හැකියාවක් නැහැ. උන් ජිවත් වන්නේ සහජ ඥානයෙන්. ඒ කියන්නේ පරිසරය විසින් උරුම කර දුන් පරම්පරා අත් දැකීම් ආශ්‍රයෙන්/// මේ ගැන මාත් ලිපියක් ලිවුවා අයියේ.. සත්තු නිර්මානශිලිද කියලා එක එක්කෙනා මට ඒකට ඒවා මේවා කිවුවට මට හැකි උපරිමයෙන් සහ මගේ අදහස් කැටි කරලා ඒ ලිපිය ලිවුවේ මට දැනෙන මගේ සවේදයන් එක්ක,,,, මොකද මන් ගහකොළ එක්ක ගඩා ගෙඩි එක්ක ජිවිතේ හුග කාලයක් ගෙවපු කෙනෙක් නිසා… \

    ඔයා පරවියා බේරගත්ත එක වගේම දෙයක් මටවුනා හරි පුදුමයි මේ සිද්දි.. ෆොටෝ ගහගත්තා ඒ වෙලේ හිතපු නිසා පස්සේ ඕනේ වෙයි කියලා හිතිලා නෙමේ.. දවසක් අපේ ගෙදර සිසීටිවී කැමරා එකක උඩ නට් එකේ කකුලක් පැටලිලා කුරුල්ලෙක් දගලනවා දැකලා ගිහින් බැලුවම පරවියෙක්,,, ඒ කකුලේ ලේ වැක්කෙරෙනවා එතන කීපදෙනෙක් යටට වෙලා බලන් ඉන්නවා පස්සේ මන් ඉනිමගක් ගෙනල්ලා නැගලා කුරුල්ලා ගන්න බැලුවා ගන්න බැහැ කැකුල දනිස්ස ගාවින් කැඩිලා,ඒත් වැල් වැල් වගේ පේශි වලින් එල්ලිලා යට කොටස ගන්න දෙයක් නෑ,, ඊට පස්සේ මං ගෙට ගිහින් පිහියක් ගෙනත් කකුළ කපලා කුරුල්ලා ගත්තා,, කකුළ කපන්න ටිකක් වෙලා ගියා කුරුල්ලාගේ පේශි හරිම ශක්තිමත් nat එක නිසා අනිත් හරියට හානි නොවෙන්නත් ඕනෙනේ..ඊට වඩා යට ඉදන් මට දෙහි කපන නාකි සුද්දියෝ දෙන්නගේ කටවල්,,, පස්සේ මං ඇහුවා “you want let it goto haeven? ” ඊට පස්සේ ඇස් වහගෙන යන්න ගියා.. කොහොමහරි කකුළ කපපු තැන සුද්ද කරලා බෙහෙත් දාලා ප්ලාස්ටර් එකකින් හොඳට කවර කරලා කන්න බොන්නත් දීලා එදාම මන් එයාව යැවුවා.. ඊට මං ආයෙම කුරුල්ලව දැක්කේ නැහැ,, සතියකට පස්සේ ආයෙම අර කැමරාව උඩ ඉන්නවා පරවියෙක් බලද්දී අර පරවියා,, මගේ පපුව සීතල වෙලා මාර සතුටක් ආවේ…. ඩොක්ටර් කෙනෙක්ට තමන්ගේ අතින් ජිවිතේ බේරුන ලෙඩෙක් දකිද්දී කොහොම සතුටක් ඇද්ද,,, ඒ වගේම තමයි ඒකෙ අනිත් පැත්තත්… මං ටග් ගාලා ෆොටෝ එකක් ගහගත්තා කුරුල්ලගේ… කොහොමහරි ඊට සති දෙක තුනකට පස්සේ එහා ගෙදර වහලේ උඩ මගේ කුරුල්ලා කිරිල්ලියෙකුත් එක්ක,,, මට මාර සතුටුයි,, දෙන්නගේ ෆොටෝ තියෙනවා මා ගාව… කකුළ නැති උණත් කිරිල්ලි වටේ කැරකෙන ලස්සන බලද්දී ආඩම්බරයි මට..

    ඩවුන්ස් දරුවෝ දිහා බලන්න අකමැති අමුතු බබ්බු වගේ අම්මලා ඉන්නවා,, ඒ අම්මලාගේ පදේටම නටන අමන විදුහල්පති වරුත් ඉන්නවා මාත් ඒ වගේ දේකට කතා කරලා අම්මගෙන් බැනුම් අහලා තියෙනවා,, අපේ රටේ බහුතරය ඔහොමයි,,, තාකශනේ එක්ක ලෝකේ අල්ලන්න කතා කලත් ආකල්ප වලින් තාමත් ගස් ගල් වලට වදිමින් ජිවත් වෙන්නේ….

    • හප්පට සිරි, එකේක දවසට එක එක ප්‍රොෆයිල් වලින්! 😀

      ඔබ හරිම නිර්භීත නේ. කකුල කපපු වැඩේ මා කියන්නේ. එහෙම නොකලා නම් ඔය පරෙවියා මැරෙනවා. කුරුල්ලන් ඉගිලෙන නිසා වැඩිය කන්නේ නැහැ. ශරීරය සැහැල්ලුවට තියා ගන්න. ඒකයි අර කුරුල්ලා වගේ කනවා කියන්නේ. මේකට උන්ට තියන විසඳුම තමා ටික ටික නිතරම කන එක. ඉතින් ඕනෙම කුරුල්ලෙකුට වේල් දෙකක් විතර මග හැරුනොත් ශක්තිය හීන වී යනවා. කුරුල්ලන් තුවාල වුනහම හෝ ලෙඩ වුනහම ඉක්මනින් දුර්වල වීමටත් මෙය හේතුවක්.

      මා අර පරවියාට කන්න දෙන සුමානේ, ඔය වගේම කතාවක් මෙහෙ ජිවත් වන වෙන කෙනෙකුත් කියුවා. එයා කකුල කැඩුන පරෙවියෙක්, ගිණිකුරු බැඳලා තියාගෙන සුවපත් කරපු කතාවක්. සමහර මරුමුස් කියල හිතෙන මිනිසුන් මේ වගේ සිතාගන්න අමාරු වැඩත් කරනවා.

      විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් දැකීම, තමන්ගේ බඩේ ඉන්න දරුවටත් බලපාන බව විශ්වාස කරන ලෝකයක්නේ ඔමා මේක. මහා සිටුවරුනටත්, සොහොනේ මැරෙන්න බැඳලා තිබුන සෝපාකටත් එක සේ සලකපු මනුෂ්‍යයෙකුගේ අනුගාමිකයන් කියන අය කපුටන් මෙන් හැසිරීම මට තේරුම් ගන්න බැහැ.

      • එක එක එවලින් දාන්නේ මට එකම ප්‍රොෆයිල් එකෙන් කමෙන්ට් දෙකක් දාන්න බැහැ වර්ඩ් ප්‍රෙස් වල ඒකයි.මාර සීන් එක,

        මාත් දැන් කුරුල්ලෙක් වගේ කන්නේ දවසට සිය පාරක් විතර. 🙂 කුරුල්ලෝ එක්ක මගේ කතා ගොඩක් තියෙනවා පෝස්ට් එකක්ම ලියන්නම් .. ස්තුති නිර්භීතයි කීවට නෙමේ,, එක එක දේවල් කියා දෙනවට

  5. Reblogged this on raigamahandiya and commented:

    ?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s