ප්‍රසිද්ද දින පොතක් ලියන එක ටිකක් අපහසු කරුණක්. මොකද හිතෙන හැම දේම ලියන්න බැරි නිසා. නරක දෙවල් හින්දා නොවේ. සමහර කාරනා වලට ලෝකේ ඉන්න අනෙක් මිනිසුන් හා ගැහැණුන්ද සම්බන්ද නිසා. අද දවස ඇතුලත කියවපු සිංහල හා ඉංගිරිසි එකිනෙකට වෙනස් බ්ලොගයන් දෙකක, මා ලියපු එක සටහනක ලියපු දෙයට ආසන්න කරුනකුයි, අනෙක් බ්ලොගයේ මා ඊයේ ලියපු කොමෙන්ටුවකට ලියපු පිළිතුරක්, තවත් විස්තීර්ණ කරලාත් තිබුනා. මේ කරුණු දෙක එකිනෙකට වෙනස් දෙකක් උනත්, මා හිතන අයුරුත් ඒ දෙකින්ම පිළිඹිබු වෙනවා. මේ වගේ දෙයක් මා අත්දුටු පළමු අවස්තාව මෙය නොවේ. එකම විදිහට හිතන කට්ටිය ලෝකයේ බොහෝ දේවල් දෙස බලන්නේ එකම විදිහට. සමහර විට ජනවර්ග දෙකකට අයත්, රටවල් දෙකක ඉපදිලා, වෙනස් අධ්‍යාපනයන් ලබලා, එකිනෙකට වෙනස් සංස්කෘතීන් වල හැදුන අය දෙන්නෙක් උනත් සමහර විට මේ වගේ එක රටාවක අදහස් තියන අය වෙන්න පුළුවන් එකේ, එකම රටක එකම ජනවර්ගයකට අයත්, එක සංස්කෘතියක හැදුන විට සමාන අදහස් තියෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි.
මේකේ අනික් පැත්ත තමා, එක දෙයක් ගැන වෙනස් අදහස් තියන දෙන්නෙක් ගන්න. බොහෝ වෙලාවට ඔවුන් දෙදෙනා හිතන බොහෝ දේවල් ගැලපෙන්නේ නැහැ. එකම ගමේ වෙන්න පුළුවන්, එකම පාසලේ වෙන්න පුළුවන්, එකම පවුලේ වෙන්නත් පුළුවන්.හිතන්නේ සම්පුර්ණයෙන් වෙනස්ව. අර කලින් කියපු දේ අනික් පැත්ත.
ජනමාධ්‍ය ගත්තොත්, මා අකමැති දේවල් අද කියවන්නෙත් බලන්නෙත්, අහන්නෙත් නැහැ. සමහර පත්තර, ගුවන් විදුලි, රූපවාහිනි හා බ්ලොගයන් පවා මා ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප කරන ඕස්ට්‍රේලියානු පත්තර හෝ රූපවාහිනි නැතත්, සමහර ගුවන් විදුලි ආයතන වලට මා සවන් දෙන්නේ නැහැ. කියවන, අහන හා බලන පිරිස් නැත්තටම නැති උනොත්, පොදුවේ “ජරා” ලෙස හංවඩු ගැහිලා ඉන්න “ජනමාධ්‍ය” කරුවන්ට යන එන මං නැති වෙනවා. මා කලින් ලියා ඇති පරිදි ඔය සමරසිංහ මහතාට පවා ඉන්න හිටින්න තැනක් නැති වෙනවා. ඒ වගේම තමා යකඩ හොරුන්. නීරස නිසා දේශපාලකයන් ගැන ලියන්නේ නැහැ.
මේ දිනවල ලෝකයේම ආන්දෝලනයට ලක් වෙලා තියන අර රෝහල් දුරකථන ඇමතුම පවා ගැන මා හිතුවේ මේ අන්දමටමයි (මේ තරම් කනගාටු දායක අවසානයක් වෙන්න කලිනුත්). මේ වගේ දේවල් වලට තියන ඉල්ලුම නිසාම මෙවැනි කුණු දේවල් දිගින් දිගටම සිදු වෙනවා. මේ ගුවන් විදුලිය ජරා වැඩ කල ප්‍රථම අවස්තාව මෙය නොවේ. ගුවන් විදුලි විතරක් නොවේ, අනෙක් මාධ්‍ය ආයතන වලත් ඉන්න “ජරා” අයියලා හා අක්කලාට හොඳ පඩි වලටත් කේවල් කරන්න පුළුවන් ඔවුන් වටා ඉන්න “අකලංක රසික” පිරිස් නිසා.