පරමාදර්ශී නොවන ලෝකයේ තවත් කතාවක්!


ලොකු දේශපාලන කතන්දර කියන හා ලෝකේ පෙරලන්න කතා කරන බොහෝ දෙනෙකුගේ සැබෑ අරමුණ ගැන මට හැම වෙලාවෙම තියෙන්නේ සැකයක්. ඒ වගේම සමාජයේ ප්‍රසිද්ධ යයි කියන චරිත ගැනත් එහෙමයි. මොකද අප එදිනෙදා  අහන කටකතා පැත්තකින් තිබ්බත්, ටිකක් දන්නා මෙවැනි පුද්ගලයන්  කියන දේවලුත් කරන දේවලුත් අතර පරතරය මා දැක තියනවා. එහෙම පිරිස් අතර සාමාන්‍ය  යුවලක් වන මොර්කොම් යුවල අද මාධ්‍යට කියල තිබුන දේ නම් එක අතකින් අර පරමාදර්ශී ජිවිතයක් සොයා යන්නවුන්  සිතා බැලිය යුතු දෙයක්.

අද ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය වල එක් ප්‍රධාන පුවතක් උනේ පුංචි ඩැනියෙල් මොර්කොම් (Daniel Morcombe) ගේ අවමගුලයි. දහතුන් හැවිරිදි ඩැනියෙල් අතුරු දහන් උනේ හරියටම මිට වසර නවයකට පෙර. ඒක දිග කතාවක් උනත්  කෙටියෙන් කියන්නම්. පුංචි ඩැනියෙල් මිට වසර නවයකට කලින් ගෙදරින් එලියට බැස්සේ පවුලේ අනික් අයට නත්තල් තෑගී ගන්න කඩේ යන්න. ඩැනියෙල් අතුරුදහන් උනා බස් එකක් එනතුරු නැවතුම් පොලේ බලා ඉන්න විට. ඩැනියෙල් ගේ අතුරුදහන් වීම හා ඔහු සොයා ගැනීමට කළ  ප්‍රයන්තය ක්වීන්ස්ලන්ත පොලිස් ඉතිහාසයේ වඩාත් සංකීර්ණ පරීක්ෂණයක් ලෙස දැක්වෙනවා.

කොහොමහරි ගිය වසරේ ඩැනියෙල් ගේ බවට  සැක කෙරෙන ඇටකටු වගයක් සොයා ගත්තා. පසුව කෙරුණ  ඩී එන් ඒ පරීක්ෂණ අනුව එම කටු ඩැනියෙල් ගේ බව සොයා ගෙන තියනවා (90% ක සම්භාවිතාවයක්). දැනට මේ පැහැර ගැනීම හා මරාදැමීම වෙනුවෙන් සැක කරුවෙකු අත්අඩංගුවට අරන් තියනවා. ඔහුට  මුලික සාක්ෂි ඇසීම පටන් ගත්තේ මේ සතියේ. ඒ සාක්ෂි වලින් මෙතෙක් කියවුන දේවල් අන්තර්ජාලයේ තියනවා.

ඩැනියෙල් ට මොකද උනේ කියා අප දන්නේ නැති උනත්, ක්වීන්ස්ලන්ත පොලිසිය නිකම් මිනිහෙකු අත්අඩංගුවට අරන් සැක කරුවෙකු කරන්නේ නැහැ. එම නඩුව දිග හැරෙන විට ඔවුන් සොයා ගත් කරුණු එලි  වේවි.  හැබැයි ඒ  කිසිවකින් ඩැනියෙල් ගේ පවුලේ අයට විශාල සහනයක් ලැබෙන එකක් නැහැ. ඔවුනගේ දරුවා, සහෝදරයා කවදාවත් ඔවුන් අතරට එන්නේ නැහැ.  ඩැනියෙල් ගේ කතාව අවුරුදු කිහිපයක සිට උනන්දුවෙන් බලන්නේ, මටත් දරුවන් ඉන්න හින්දා විතරක් නොවේ. මෙවැනි මව්-පිය වරුන්ගේ කතා ඕස්ට්‍රේලියා එන්නත් පෙර අහල ඔවුනගේ වේදනාව දැකලා,විඳලා තියන නිසා.

කොහොම උනත් මා කියන්න පටන් ගත්තේ අද සිදු කෙරුණ ඩැනියෙල් ගේ අවමගුල දවසේ ඔහුගේ දෙමාපියන් මිනිසුන්ගෙන් ඉල්ලා සිටියේ “අද දින කනගාටු වෙන්න හෝ කේන්ති ගන්න එපා, ඩැනියෙල් ජීවිතය සමරන්න” කියලා. ඩැනියෙල් ගේ අතුරු වීමෙන් පසු  ඔහු සොයා ගන්න  වෙහෙසුන  පසුගිය වසර නවයක කාලය තුල ඔවුන් විඳපු වේදනාව හා අදටත් විඳින වේදනාව මට හරියටම හිතා ගන්න බැහැ. එවැනි තත්වයක් යටතේ උනත්, ඔවුන් දෙදෙනා ළමා ආරක්ෂාව ගැන ජනතා අවබෝධය ඉහල නංවන්න වැඩ කළා. මේ කාලය ඇතුලත ඔවුන් ජනමාධ්‍ය වල නිතර  පෙනී සිටියා. හැබැයි ඒ හැම විටම නොවෙනස් උන එකම දේ තමයි, ඔවුනගේ ශෝකී මුහුණු.

මෑත ඉතිහාසයේ පාපතර අතුරුදහන් වීම් හා මරා දැමීම් අහඹු සිදු වීම් වලට වඩා සංවිධානාත්මකව කෙරුණ රටවල් අතර ලංකාවත් ඉන්නවා. පාසල් ගිය දරුවන් ගෙදර ආවේ නැහැ, ගෙදරින් අරන් ගිය දරුවන් නැවත දකින්න ලැබුනේ නැහැ. බස් එනකම් බලා හිටිය දරුවන් අතුරු දහන් උනා. දරුවන් විතරක් නොවේ, දරුවන්ගේ අම්මලා හා තාත්තලා, මාමලා හා නැන්දලා අතුරු දහන උනා. ඔවුන් හැම දෙනාගේම  සමීප අය බොහෝ දෙනෙකුට අද මොර්කොම් පවුල ලෙස එම දරුවන්ගේ, අම්මලා, තාත්තලා, අයියලා  අක්කලා ගේ ජිවිත සමරන්න ඇටකටු වක් වත් සොයා ගන්න නොහැකි උනා. එහෙම දහස් ගානක් ලංකාවේ ඉන්නවා. ඔවුනගේ ශෝකයට තිතක් තබන්න නැත්නම්  ඕවා  ඔහොම තමයි, දැන් අමතක කරන්න කියල කියන්න පුළුවන් ජගතෙකු ලෝකේ ඉන්නවද?

Advertisements

6 Comments

Filed under Social

6 responses to “පරමාදර්ශී නොවන ලෝකයේ තවත් කතාවක්!

  1. kathandarakaraya

    ඇට කටු හමුවෙලත් වැඩක් වුණාද සූරියවැව, හෝකන්දර හෙම?
    මේ ලඟදී මාතලෙනුත් හම්බවුණා නේද?

    උගත් පාඩම් – ඇක්සයිස් පොත්වල විතරයි!

  2. Raigama

    ඔව් කකා මේ කටු වෙන්දේසි කරපු දෙදෙනෙක්ම දෙපාරක් එක දිගට ජනාධිපති පදවියට පත් උනා. ඒ විතරක් නොවේ ඒ කටු වලට එක පැත්තකින් වග කියන්න ඕනේ කෙනෙකුත්, අනෙක් පැත්තෙන් කඳුළු හලමින් අම්මලාගේ කඳුළු මතින් බලයට ඇවිත් මොකුත් නොකළ කෙනෙකුයි තමා අනෙක් පැත්ත මේ දවස් වල දුව වන්නේ. ඒ විතරක් ම නොවේ, විශාල පිරිසකගේ කටුත් සොයා ගන්න නැතුව තියෙද්දී ලක්ෂ ගණනින් මනාප ගන්නේ, අනික් අයගේ ජිවිත නැති වෙන අතරේ, තමන්ට සීගිරි යන්න බැරි උනා කියලා සොටු හුරන කෙනෙක්. මා හිතන්නේ වෙන අය උගත් පාඩම් කියා දෙනකම් බලා ඉන්නේ නැතුව, අප එකිනෙකා උගත් පාඩම් වල නූගත් කොටස ඉගෙන ගන්න ඕනේ. ඒක ඔබ ඉන්නේ ඕස්ට්‍රේලියාවේද, නැත්නම් ඊජිප්තුවේද කියා වෙනසක් නැහැ.

  3. Kenji @ Japan

    අද ලෝකයේ දරුවන්ට වෙන නොයෙකුත් සිදුවීම් දිහා බලද්දි ගොඩක් දුරට දෙමාපියන්ගෙ දුර්වලකම්.දෙමාපිය සම්බන්දයට වඩා අද දරුවන් මාපිය දෙපළගෙන් බලාපොරොත්තු වන්නෙ මිත්‍රශීලි සුහදත්වයක් ආදරයක්.එය වටහානොගන්න දෙමාපියනට තමයි හුගක් ප්‍රශ්න.මම හොදම දේ සමගම හැම වෙලාවම දෙන්නෙ දුවටයි,පුතාටයි.දෙවනුව තමා අනිත් කටයුතු.ආඩි හත්දෙනෙක් නඩුකාරයො උනා කියල ලෝකෙ කොහේ හරි පොතක ලියවිලා තියෙනවනම් කියන්නකෝ රයිගම.:):):)දියවන්නාවේ 99%ක්ම අහනවලු “ගෝල්ඩන් සිරප්”කියන්නෙ සෙමට බොන “පැණි”යක්ද කියල.රෝසි මේ යෝජනා ගේන්නෙ සජිත්ගේ ගම්/බිම් මට්ටමේ ඉන්න ජනතාව ගැන හිතලද???ඌරු මස් ගැන කියපු කෙනා ගැනනම් කතා කරන්න බැහැ රයිගම තෙල තිබුනත් “වයස”නිසා.

    • ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ දීර්ග කාලයක් තිස්සේ පරිනාමය වෙලා නැති පරිසරයක දෙපැත්ත කැපෙන දැලි පිහියක් වගේ දෙයක්. වසර 40 ක් තිස්සේ එක ඒකාධිපතියෙකුගේ පාලනයකින් පසු, ඇමෙරිකාවේ ද්‍රව්‍ය විද්‍යාව (materials science) පිලිබඳ ඉංජිනේරු ආචාර්ය උපාධියක් තියන ජනාධිපති වරයෙක් පත් කරගත් ඊජිප්තුවේ වෙන දෙය මට ලංකාවේ වෙන දෙයට වඩා ප්‍රජාතන්තරවාදය වටහා ගැනීමට වැදගත්. ඔබ ඔය කියන කරුණු එක පාරට මතු උන ඒවා නොවේනේ. අනික ලංකාවේ තියෙන්නේ ප්රජාතන්තරවාදී ඒකාධිපති තත්වයක්නේ. එයට පත් උන නියෝජිතයන්ට වඩා වග කියන්න ඕනේ පත් කරගත් ජනතාවමයි. සමාජයක් වෙනස් කරන්න කලින් මා නම් හිතන්නේ එක එක පුද්ගලයා හිතන පතන අයුරු තමා වෙනස් විය යුත්තේ. කැපුවත් යුන්පි හෝ ශ්රීලංකා කියන චන්ද දායකයෙකු හෝ මැරුවත් කම්කරු හෝ ලිබරල් කියන චන්ද දායකයෙකුට වඩා, පවතින තත්වය බලලා හොඳම විසඳුමට චන්දය දෙන කෙනෙක් තමා ලෝකයටම අවශ්‍ය වන්නේ. ඔබ පවා වර්ණනා කරන රනිල් මෙයට විකල්පය ලෙස පත් කර ගත්තත් ලංකාවේ චන්ද දායකයට වැඩක් තියනවද? විපක්ෂයේ ඉන්නකොට නැති ප්‍රජාතන්ත්‍රවාදයක් බලයේ ඉන්නකොට ලැබේවිද? නායකයෙක් අවුරුදු 18 කට වැඩි කාලයක් තිස්සේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියනවා නම්, ජිල් මාර්ට් වලින් ඉන්න එකද ප්‍රජාතන්ත්‍ර වාදය? විකල්ප චන්ද දායකයා කියන කෙනා මේවා හිතන කෙනෙක්. ඔවුන් තාම සුළුතරයක් උවත්, ඒ සුළුතරයට පවා තවම තෝරා ගැනීමක් ඇවිත් නැහැ. ඒ පිරිස වැඩි වෙන කොට තත්වය වෙනස් වේවි. ඊජිප්තුවේ පවා විපක්ෂය කියන පිරිස කණ්ඩායම් ගණනාවක්. එයට විකල්පය ලෙස තියන මුස්ලිම් සහෝදරත්වය යන බැනරය යටතේ එන පිරිස එකමුතුයි. ඉතින් ප්රජාතන්තරවාදය යටතේ ඒ පිරිස වැඩි චාහන්දයෙන් පත් උනහම එයටත් විරුද්ධ වෙන එක ප්‍රජාතන්තරවාදය නොවේ. හැබැයි ආචාර්ය මෝෂී, මැන්ඩෙලා වැනි දුර දකින නායකයෙක් නම් දැනට වඩා වෙනස්ව ක්‍රියා කරන්න අවශ්‍යයි.
      විශේෂයෙන් රටක විවස්තාව හදා ගැනීමේදී රටේ සියලු කාණ්ඩයන් වලට ගැලපෙන හා මුලික මිනිස් අයිතිවාසිකම් රැකෙන ආකාරයට එය සිදූ කරන්න ඕනේ. ඒ අතින් ඊජිප්තු විපක්ෂය ඉදිරියෙන් ඉන්නේ.

      අද දිවි හිමියෙන් සුරකින්න හදන අගවිනුසුරිවරිය ඔතන තියා ගත්තා කියා අධිකරණ හෝ දේශපාලන ක්ෂේත්‍ර යේ වෙනසක් වේවි යයි මගේ විස්වාසයක් නැහැ. ඔය අගවිනුසුරුවරියම ඔබ ඔය කියන ආඬි වගේම නිතිය එක පාර්ශවයටකට වාසි සහගත අන්දමට විවරණය කරලා තීන්දු දුන්නා කියුවේ, ඒ පිරිසම නේද? ඇයව ඉවත් කරන ක්‍රමයේ දකින්න ලැබෙන්නෙත් ඇයම විනාශ කරන්න හවුල් උන, ඒ නීති ක්‍රියා පටිපාටියම නේද? එක එක වෙලාවට තමන්ට අවශ්‍ය පුද්ගලයන් හෝ ක්‍රියා පටිපාටියන් පමණක් තෝරා ගෙන, ඒවා වෙනුවෙන් පමණක් (වචනයෙන් හෝ දිවි හිමියෙන් කැපවෙමින් හෝ) පෙනි සිටීමෙන් ක්‍රමවේදයක් ප්‍රතිෂ්ටාපනය වන්නේ නැහැ.

  4. mier

    වඩාම වැදගත් දෙය තමා මේ මාපිය යුවල, තම දරුවාට සිදු උන අවාසනාවන්ත සිදුවීම අලලා අනෙකුත් දරුවන් අනතුරෙන් බේරා ගැනීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තරම් දිරියැති යුවලක් වීම. මොවුන් පාසලෙන් පාසලට යමින්, පාසල් දරුවන් දැනුවත් කරනවා මෙවන් අනතුරුවලින් වැලකී සිටීමේ පිලිවෙත් ගැන.පසු ගිය කාලයේ මගේ දරුවා ඉගෙනුම ලබන පාසලටත් පැමිණ දනුවත් කිරීමේ වැඩ සටහනක් පවත්වා තිබුනා. එම දරුවාට කිසිදු අත් භවයක මෙවන් විපතක් අත් නොවේවායි අම්මා කෙනෙක් විදියට මම ප්‍රාර්තනා කරනවා

    • ඔවුන් දෙදෙනාම පරමාදර්ශයට ලංවන මාපිය යුවලක්. නැවත ඉපදීමක් ගැන නම් මගේ එතරම් බලාපොරොත්තුවක් නැහැ මිඑර්. එක හින්දම තමා ඔවුන් කරන දේ (මේ අත් බවයේ දරුවන් රැකගන්න කැපවෙන එකේ) වටිනාකම වැඩි. ඊයේ ලියන්න බැරි උන මේ දේත් ලියන්නම්. ඔබ වගේ මෙවැනි මිනිසුන් අගය කරන අම්මලා හා තාත්තලා ඉන්න බව දන ගැනීමට ලැබීමත් සතුටක්!!! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s