අලුත් අවුරුද්දට පරණ අරක්කු! The same old Arrack for the New Year!


ඇත්තටම මා බලාපොරොත්තු උන පරිදි කලින් සටහන් වල අවසානයක් කරා ලඟා උනා. ඒ නිසා  ලිවිම දිගට ගෙන යන්න නම්, ලියන රටාවේ වෙනසක් කරන්න ඕනේ. ලියන කරුණු වලත්  වෙනසක්  මට කරන්න අවශ්‍ය උනත් එය අපහසු කරුණක්.  ඔබ මේ සටහන් කියවූවා කියා හඟවන්න ප්‍රතිචාර දැමීම, මා කිසි විටෙක බලාපොරොත්තු උනේ නැහැ. අර ලක්මාල් ලියා තිබුනා වගේ, මාත් කැමතියි, ලියන්න දෙයක් නැත් නම් හිමිහිට ලිස්සලා යන එකට. මාත් බලන අනික් බ්ලොගයන් වල ගොඩක් වෙලාවට කරන්නේ එය.

ඔබේ අදහස එක් කරන්න කියා, මා කියන්නේ සටහනේ තියන කරුණු ගැන ඔබේ අදහස කියවන අනෙක් අයට ලියන්න කියා. මා ලියන්නේ අර කලින් ප්‍රතිචාරයක ලියල තිබුන පරිදි පරම සත්‍යය නොවේ. ජීවිතය දිහා, ලෝකය දිහා එක් එක් පුද්ගලයන් විවිධාකාරයෙන් බලනවා. ඒ වගේම අප ජිවිතයේ ලබල තියන අත්දැකීම් විවිධයි. මා කියන්න හදන දෙයට වෙන අර්ථකතන දුන්න සමහර අවස්ථාවල මා එය විස්තර කරලා ලියල තියෙනවා.

මා සමහර දේවල් කියවන්නට වෙහෙසෙන්නේ නැහැ. තවත් සමහර දේවල් අකමැති උනත් කියවනවා. එවැනි කියවන දේ අතර මහාචාර්ය නලින් හා  ආචාර්ය වික්‍රමබාහු  වගේ කට්ටිය ලියන සටහන් ද තියනවා. මේ බටහිර අය ලියන දේවල් අතුරින්ද මා තේරීම් කරනවා. තියන තත්වය විස්තර කිරීමේදී ඔවුන් බොහෝ දෙනා  කියන දේවල් සමග ගොඩක් වෙලාවට එකඟ වෙන්න හැකි උනත්, ඒවා ඇතිවුන හේතුව විස්තර කරන කොට, එක පාරටම වෙන ලෝකයක ඉඳන් එසේ කරන බව සිතෙනවා. තවත් සමහරුන් ඉන්නවා අපට ඇස් පනාපිට පේන්න තියන දේවල් එහෙම නොවේ, මෙහෙමයි කියා විකුර්ති කර ලියන. ඔවුන් ඉදිරිපත් කරන හේතු හා විසඳුම් “පරමාදර්ශී” වගේ පේන්නත් පුළුවන්.  ඔවුන් බොහෝ වෙලාවට ඉන්නේත්, අප ජිවත් වන ලෝකයේ නොවේ කියල තමා ඒ වෙලාවට හිතෙන්නේ. ඒ ලියන අයට පවා, ලෝකේ ඉන්න අනිත් අය ගැන ඒ විදිහටම හිතෙනවා ඇති.

ලංකාවේ පමණක් නොවේ ලෝකේ කොහෙත් සිදු වන දේවල් අවබෝධ කර ගැනීම, ජිවිතයට වැඩක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, එක එක පුද්ගලයාට අනුව.  ලංකාවේ දේශපාලනය, මට පෞද්ගලිකව එතරම් අදාළ නොමැති උනත්, ලංකාවේ සිදු වන දේවල් වලට පමණක් නොවේ, ලොවේ කොතැනක උනත් සිදු වෙන දේවල් වලට මිනිසෙකු වශයෙන් මා සංවේදියි.  දේවල් කෙරෙහි තනි මිනිසෙකු වශයෙන් කරන්න පුළුවන් බලපෑම ඉතාම සීමිත වෙන්න පුළුවන්. මේවා හොඳටම අදාළ වන අය කියවන්නේ, ජනප්‍රිය විවරණයන්. මා උදාහරණ දක්වන්නේ නැති උනත්, එවැනි විවරණ වල තියන පුස් බවට ඉහලින් ඒවායේ ජනප්‍රිය තාවය මතු වෙනවා.

මා ලඟදි දැක්ක බ්ලොග් ප්‍රතිචාරයක තිබුනේ “තද ප්‍රජාතන්ත්‍ර වාදියෙකු උන ජේ ආර් ජයවර්ධන …. ” යනාදී වශයෙන්. මේ සාමාන්‍ය මිනිහෙකුගේ අදහස. ජනාධිපති ජේ ආර්ගේ  තද ප්‍රජාතන්ත්‍ර වාදය ඔහු විසින් සම්මත කර ගත්ත (ජනතාවගෙන් නොවිමසා) ඒකාධිපති විව්‍යස්තාවෙනුත්, ඉන්පසු කරපු ලාම්පු කලගෙඩි සෙල්ලමෙනුත්, කලවාන අතුරු මැතිවරණයෙනුත්, පානදුර නෙවිල් ද සිල්වා ගැන ගත්ත ක්‍රියා මාර්ගයෙනුත්, ප්‍රධාන විපක්ෂයේ නායිකාව සම්බන්දයෙන් ගත්ත ක්‍රියාමාර්ග වලිනුත්, මහර අතුරු මැතිවරණයේදී කළ දේවල් වලිනුත්, විජය කුමාරතුංගට කළ දේවල් වලිනුත් … ආදී වශයෙන් නොයෙක් අවස්ථාවල අපට හොඳටම ප්‍රත්‍යක්ෂ කර තිබෙනවා.

වෙනත් බ්ලොගයක ප්‍රතිචාරයක මා දැක්කේ “ඒත් තවම ලංකාවේ, අප්‍රිකාවේ වගේ මහා මග පැහැර ගෙන ගොස් මරා දමන තත්වයක් නැහැ” කියා. මේ ජිවත් වන්නේ ලංකාවේද? එකක් තමා, තවම අධ්‍යාපනය, සෞක්‍යය හා සමාජ සංවර්ධනය අතින් පසුගාමී ස්ථානයක  අප්‍රිකානු රටවල්  හා ලංකාව සංසන්දනය කරන්න බැහැ. අනික තමා, මෑත කාලයේ ලංකාවේ සිදු වුන දේවල් හා තවමත් සිදු වෙමින් පවතින බොහෝ දේවල් අපේ මධ්‍යම පාංතික සංසන්දනාත්මකව සුව පහසු ජිවිත ගත කරන බහුතරයකට ගොඩක් දුරයි කියන එක. කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින දේවල්, ගෝත්‍රික ජිවිත ගත කරන මිනිසුන් විශාල ප්‍රමාණයක් ඉන්න අප්‍රිකානු මහාද්වීපයේ කෙරෙන ම්ලේච්චකම් වලටත්, එහා යනවා කියලා මා කියන්නේ ඒ අර්ථයෙන්. එවැනි දේවල් ඇත්තටම උන, සාමාන්‍ය මිනිසුනට බ්ලොග් ලියන්න හැකියාවක් නැහැ.

වෘත්තීය වශයෙන් ලියන මිනිසුන් ද, සමාජයේ සිවිල් බලයක් ගොඩ නගා ගත්ත මිනිසුන් ලියන දේවල් වලත් සීමා කම් ඇති වෙනවා.  ලංකාවේ මෙවැනි කෙනෙක් ලෙස උදාහරණෙට ගන්න පුළුවන් මලින්ද සෙනෙවිරත්න. ඔහු ලියන දේවල් ඉහල මැද පන්තියේ මිනිසුන්ට විවේකයට කියවන්න හොඳ වෙන්න හැකි උනත්, ලංකාවේ සාමාන්‍ය ජනතාවට වැඩක් ඇති දෙයක් ඒවායේ නැහැ. උදාහරණයකට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන්නේ ඔබාමටද, යුරෝපීය සංගමයටද කියා, නැත්නම් වෙන කෙනෙකුට හෝ දෙයකටද කියලා අපේ බහුතරයකට කිසි වැදගත් කමක් නැහැ. හිනහා වෙන්නත් හඬන්නත් මිනිසුන්ට මෙයට වඩා ගොඩක් දේවල් තියනවා. ඒ වගේම සමහර සිවිල් බලයක් ගොඩ නගා ගත් මෙවැනි ලියන්නන්ගේ පෞද්ගලික ජීවිතය, ඒ ලියන කරුණු වලට වඩා ගොඩක් දුරස්තයි කියා මා දන්නා උදාහරණත්, අප ඕපා දූප වලට අහන කරුනුත් කියා පානවා.

ඒ අතර සමහර දේවල් තියනවා, හරියටම තමන් හිතන විදිහටම ලියල තියෙනවා යයි හිතෙන. කුසල් පෙරේරාගේ සටහන් මට ඒ වගේ යයි හිතෙනවා. ඉස්සර ලංකාවේ ඉන්න කොට, මා කුසල් පෙරේරා ලියන දේවල් කියවන්නේ නැහැ. මොකද ඔහු එක්සත් ජාතික පක්ෂයට මිතුරු බවක් තිබුන නිසා, ඔහුගේ ලියවිලි කොහොමත් එක පාර්ශවයක බරයි කියල හිතුන නිසා. තාමත් ඔහු එක පාර්ශවයකට බරයි තමා. නමුත් ඒ ලියන දේවල් වල යෝග්‍ය බවක් නැත්නම් අර්ථයක් තියනවා කියල අද හිතෙනවා. මේ කාලය ඇතුලත් ලියන්නෙක් හැටියට ඔහුත්, කියවන්නෙක් හැටියට මාත් වෙනස් වෙලා තිබීම එයට එක හේතුවක් වෙන්න  පුළුවන්.

සමහර දෙනා බලාපොරොත්තු වන පරිදි, කෙනෙකුට එක දිගට හැමදාම එක විදිහට ලියන්නත් පුළුවන් කමක් නැහැ. එකක් තමා කියන්න තියන දේවල් නැති වෙලා යාම. අනික් කරුණ ලෝකය දෙස බලන ආකාරය වෙනස් වීම. හොඳ උදාහරණයක් තමා දොස්තර ගුණදාස අමරසේකර. ඔහු ලංකාවෙන් බිහි උන ප්‍රවීන සිංහල නවකතා හා කෙටිකතා කරුවෙකු කියන එක සමග විවාදයක් මගේ නැහැ. නමුත් සාහිත්‍ය කරුවෙකු, කම්හලක නිෂ්පාදන කරුවෙකු ලෙස ජීවිතය පුරා “නිෂ්පාදන” එලියට  දමන්න ඕනේ කියා දෙයක් නැහැ. සාහිත්‍ය කරුවෙකු ලෙස ඔහු මිය ගියේ මීට බොහෝ කලකට පෙර. හැබැයි, ඒ හින්දාම ඔහුගේ මුල් කාලයේ සාහිත්‍ය සේවය අප බැහැර කරන්න අවශ්‍යත් නැහැ. ගොඩක් දෙනා කියවා තිබෙන්නේ, ඔහුගේ නිසරු නවකතාවක් වන කරුමක්කාරයෝ විතරයි.  ඔහුගේ ලෝක දැක්ම වෙනස් වීමත් සමගම අර සාහිත්‍ය කරුවාත් මිය ගිය හැටි, පසු කාලයේ ඔහු විසින් “නිෂ්පාදනය” කරන ලද “කෘති” වලින් දැක ගන්න පුළුවන්. හැබැයි, මේ මොනවාත් නොකියවා ඔහුට කාලකන්නි ලෙස බැණ වදින පිරිස් තමා අද වැඩිපුර ඉන්නේ. ගොඩක් වෙලාවට, මේ පරිඝකයෙන් එහා ලෝකය දැක නැති පිරිස්.

බ්ලොගයක තියන හොඳ කමක් තියෙන්නේ, ඉහත විස්තර කරපු  සීමාකම් වලට හිර වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැති වීමයි. මා ගැන ගත්තොත් මෙය ලිවීමෙන්  මට මුල්‍යමය ප්‍රතිලාභයක් අත් වෙන්නේ නැහැ. අප ගොඩක් දෙනා බ්ලොගයන් පවත්වාගෙන යන්නේ, පෙර කාලයේ කරපු මල් වැවීම, මුද්දර එකතු කිරීම, මිතුරු මිතුරිය ඇසුර වගේ දේවල් තව දුරටත් කරන්න බැරි නිසා, එවැනි විනෝදාංශයක් වශයෙන්.  හැබැයි බ්ලොගයන් කියන මාධ්‍යයෙන්  මා වැනි සාමාන්‍ය මිනිහෙකුටත් කිසියම් දුරකට, අදහස් පාඨකයා වෙත ගෙන යන්න හැකියාවක් ලැබීම තමයි, මා දකින ප්‍රධානතම වාසිය. භාෂාවේ සීමාකම මිසක් මේ මාධ්‍යයට, වෙනත් දේශසීමා නැහැ. මොනවාද ලියන්නේ කියා අණපනත් රෙගුලාසි පනවන්න කෙනෙක් නැහැ (බිරිඳ හැර-විහිළු ඇය මේවා බලන්නේ නැහැ). කියවන්නේ මොනතරම් පිරිසක්ද කියා වැදගත් කමක් නැහැ. මාසේ අන්තිමට අතට එන ගාණට, මෙහි ලියන දේවල් හා බලන පිරිස අදාළ වෙන්නේ නැහැ.

මා බ්ලොගය පටන් ගන්න විට, සිංහල බ්ලොග් අද තරම් කියවා තිබුනේ නැහැ. ඒවා ලියන්නේ කවුරුන්ද, කියවන්නේ කව්රුන්ද කියා (කුමන දේවල්ද ලියවෙන්නේ, මොන වගේ අයද ලියන්නේ, කියවන අය මොනවාද බලාපොරොත්තු වන්නේ යනාදී වශයෙන්) අද දන්නා තරම් දැනගෙන හිටියේ නැහැ. මගේ අරමුණ උනේ එදිනෙදා සිදුවීම් ඇසුරින් මා හිතන අයුරු කීම. මෙය පටන් ගන්න විට මගේ සිතට ආවේ කේ. ජයතිලකගේ දින සටහන් කියන පොතේ ආකෘතිය. දැන් දික් වෙලා තිබුනට, කොට සටහන් වලින් යමක් කියන්න තමා මා උත්සහ කළේ. මහප්‍රාණ වචන යොදලා, සාමාන්‍ය පාඨකයෙකුට කියවීමට අපහසු, තමා බොහෝ පොත් කියවා තිබුනත්, ඒවායේ තේරුමක් හරියට නොදන්නා, මේ ජිවිතයට කිසිම වැඩක් නැති දේවල් ලියන පිරිස් ඕනේ තරම් අනෙක් මාධ්‍ය වල (විශේෂයෙන් සිංහල) ඉන්නවා. මාත් බ්ලොගයන් බලන්නේ එවැනි අදහස් සොයා ගන්න නොවේ.

මා බ්ලොගය පටන් ගත්ත මුල් දින වල, බලපු බ්ලොගයන්ගෙන් සමහර ඒවා දැන් බලන්නේ නැහැ, ඒ දිනවල නොබැලු ඒවා සමහරක් බලනවා. මා කොහොමත්  නොබලන වර්ගයේ කිහිපයක් තියනවා. ඒ ගැන මා කලින් ලියල තිබුනත්, නැවත මතක් කරනවා. මෙයින් එකක් දෙකක් තමා අර මා මුල් දවස් වල බලල, පසුව අත්හැර දැම්මේ. කුණුහරුප කතා, කාන්තාවක් වීම නිසා, පිරිමියෙක් වීම නිසා ගැරහුමට ලක් කෙරෙන කතා කියන, කාලකන්නි ලෙස ජාතිවාදය හා ආගම්වාදය පතුරවන ඒවා, ඇමෙරිකානු රිපබ්ලිකන් වාදය පතුරවන ඒවා යනාදී වශයෙන් ලැයිස්තුව ටිකක් දිගයි. ඇත්තටම මේවායේ ලියවෙන්නේ මොනවාද කියලා මා දැන් දන්නේ නැහැ. ඒත් මේ වගේ දේවල් ඇත්තටම, මා ප්‍රතික්ෂේප කරන්නේ සමාජයට කිසිම යහපතක් නොකරන නිසා කියල විශ්වාස කරන හින්දා. මේවා පොඩි “පන් එකක් ගන්න” (fun වලට කියන සිංහල වචනය)  කියවන  සුළුතරයක් ඉන්නවා. ඒ අය ගැන මගේ අමනාපයක් නැහැ. හැබැයි බහුතරය කියවන්නේ “පරම සත්‍යය” කියලා හිතාගෙන කියා, ඒ බව එම පිරිස්  මා කියවන වෙන තැන් වල කියන අදහස් වලින් පැහැදිලි වෙනවා. ඒ අතින්  මහාචාර්ය නලින්ලා ලියන දේවල් වලින් බහුතර කොටසක් ජාතිවාදී හා ආගම්වාදී උනත්, සමහර කාරනා මුළුමනින්ම අහක දාන්න  බැහැ. ඔහුගේ ලිපි වල ජාතික චින්තනයට පටලවන තැනට එනකම් ඇති කොටස් වලින්, ඇත්තටම තියන තත්වය විස්තර කෙරෙනවා කියා හැඟෙනවා. හැබැයි එයින් පසු, ඔහු අපට සංජානනය  කරන්න බැරි, වෙනත් ආකාශ වස්තුවක් කරා ලඟා වෙනවා.   හැබැයි ගොඩක් දෙනා ගන්නේ ඒ කොටස්, අහක දාන්නේ මා ගන්න ඕනේ කියල හිතන කොටස් ටික.

අවසාන වශයෙන් මට කියන්න ඕනේ,  අප බොහෝ දෙනෙක් එකම තැනකින් පටන් ගත්තත්, මුහුකුරා යනවිට නතර වන්නේ එකම තැන නොවේ. මා මූලිකවම ලියන්නේ මා වගේම හෝ ඊට ආසන්නව හිතන පාඨකයාට. එයට වඩා ගන්න දෙයක් මේ සටහන් වල නැහැ.

Advertisements

8 Comments

Filed under General

8 responses to “අලුත් අවුරුද්දට පරණ අරක්කු! The same old Arrack for the New Year!

  1. Kenji @ Japan

    ලැබුවාවූ නව වසර ඔබ සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවායි පතමි!!!

    • Raigama

      ඔබටත් ඔබේ පවුලටත් නව වසර සතුට, සාමය හා සෞභාග්‍යය පිරි එකක්ම වේවා!

  2. විමුක්ති

    හැමදාම කියවල යනව,නමුත් මුකුත් නොකියන්නෙ මගෙ හැඟීම රයිගමගේ ලියවිල්ලෙන් කියවෙන හින්ද (හැබැයි එකඟ නොවෙන තැන් තියේ )නව වසරට සුබ පැතුම් අයියා…

    • හැම දෙයක් ගැනම හැමෝටම එකම විදිහේ අදහස් තියනවා නම්, මෙලොව එක්කෝ නරකම තැනක් වෙනවා. නැත් නම් දිව්‍ය ලෝකයක් වැනි තැනක් වෙනවා විමුක්ති! ඒ නිසා වෙනස් අදහස් ටිකක් හෝ තිබීම හොඳයි. ඔබටත් (හා පවුලේ සමීප අයටත්) වාසනාවන්ත හා සාමයෙන් පිරුණු නව වසරක්!

  3. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    • ඔබටත් නව වසර සතුටින් ඉතිරේවා
      කියවන එකට ඔබටත් තුති බෝ වේවා
      මේ වසරේත් මෙහි එන්නට සිත් වේවා
      මනකල් බ්ලොග් ලොවක් “මෙහි” බිහිවේවා!

  4. රයිගම හන්දියට ගොඩ වැදුනේ අදම තමා.. එන්නම වටින තැනක්නේ එන්නම් දිගටම.
    මම සමකය වටේ ලියන නලීන්

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s