Sometimes you don’t get a second chance!


පසුගිය දිනවල නිවාඩුවට ගෙදරනේ හිටියේ. ඉතින් ගෙදර ළඟ තියන කුඩා සුපිරි මාකට්ටුවේ, එක අංශයක ආදායම වැඩිවෙලා කියලා පත්තරේ තිබුනා (විහිළු-මොකද මා ගන්නේ ඈත කඩයකින්). ඔහොම ඉන්න අතරේ දවසක කම්මැලි කමට වගේ, මා කැන්බරා නුවර අපේ පළාතේ පුස්තකාලයට ගියා. එක පොතක් හොයා ගන්න කැටලොගය බලලා, පොත් නැවත අසුරමින් හිටිය, තරුණ පුස්තකාල නිලධාරිනියගෙන් ඇහුවා (අහන්න පිරිමි කෙනෙක් ළඟ පාතක  හිටියේ නැහැ මල්ලි). එතැන් පටන් ඇය, මට අර පොත හොයා ගන්න උදව් කළ ආකාරය නම්, අද නැතිවී යන “පාරිභෝගික සේවා” සඳහා ආදර්ශයක්.

කැන්බරා පුස්තකාල සේවය මේ දිනවල විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි 2012 දෙසැම්බර මාසයේ ඉඳලා 2013 පෙබරවාරි දක්වා කාලය ඇතුලත පුස්තකාල සාමාජිකත්වය ගන්න අයව තෑගී දිනුම් ඇදීමකට ඇතුලත් කර ගැනීම. ලොකු තෑග්ගක් නොවේ (පොඩිමත්  නැහැ- $250 ). නමුත් අරමුණ තමා වැදගත්. කැන්බරා ජනගහනයෙන් 62% ක් පුස්තකාල සාමාජිකයන්. මා හිතන්නේ හොඳ ප්‍රතිශතයක්. මේ ගණන තමා තවත් ඉහල දා ගන්න හදන්නේ. කැන්බරා පුස්තකාල ක්‍රියාත්මක වන්නේ ප්‍රාන්ත රජයේ අනුග්‍රහය යටතේ. මා රාජ්‍ය සේවා ප්‍රතික්ෂේප කරන කෙනෙක් නොවේ. මෙවැනි සේවා ලාභ උපයා දෙන්නේ නැහැ. හැබැයි, සමාජයට උපයා දෙන ලාභය මුදලින් මනින්න බැරි තරමට වැඩි වෙන්න පුළුවන්.

මෙල්බර්න් නුවර ඉන්න කොට කලක් මා දුම්රියෙන් වැඩට ගියා. දුම්රිය කියන්නේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ හරි අපූරු මාධ්‍යයක්. බසයකට වඩා සුව පහසුයි. ඒ වගේම නවත්වන නැවතුම් පොළවල් අඩුයි. දුර ගමනක් ගියත් දැනෙන වෙහෙස අඩුයි. වාහන තද බදයට හිර වෙන්නේ නැහැ.  එක වර මගීන් විශාල ප්‍රමාණයක් ගෙන යන්න පුළුවන්.  ඒ දවස්වල මා කළේ ගමන අතරේ පොත් කියවන එක. බොහෝ දෙනා එයම කරනවා. නැත්නම් සින්දු අහනවා. අන්තර්ජාලය බලනවා. සමහරුන් බ්ලොග් ලියනවා. කොතරම් දේවල් කරන්න පුලුවන්ද? රුසියාවේ මොස්කව් නුවර උමන් දුම්රියක ගමන් කරන මගීන් ගෙන් 80% ක් වගේ දෙනෙකුගේ අතේ නොවරදින දෙයක් ඒ දවස් වල තිබුනා (සමීක්ෂණයක ප්‍රතිඵල නොවේ. ඇහැට දැකපු විදිහට). ඒ තමයි පොතක්. මෙල්බර්න් හෝ සිඩ්නි නුවර දුම්රිය වල එවැනි දර්ශනයක් දැක ගන්න බැහැ.

වැඩ කරන තැන එකෙක් මෙහෙම කතාවක් කියුවා. එක දවසක් ජර්මනියේ ඉඳලා, මෙහෙට එන කෙනෙකුට පොර විහිළුවක් කරළා. කැන්බරා ගුවන් තොටුපොළට, ආවහම නගරෙට එන උමන් දුම්රියට ගොඩ වෙන්න, එතන ඉඳලා බසයක් අරන් ලිපිනයට එන්න කියලා. අර මනුස්සයා සෑහෙන වෙලාවක් රස්තියාදු වෙලා “උමන් දුම්රිය පොළ” හොයන්න. දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවත් ඔවුන් කියපු දෙය විස්වාශ කරලා නැහැ. මෙහෙ උමන් තියා මොනම දුම්රියක් වත් නැහැ. පොත් වලින් දුම්රියට ගොඩ උනා නොදැනුවත්ම.

අද භෞතික පොත් කියන දේ ඈත් වෙලා තියනවා තමයි. ඒත් කුමන ක්‍රමයකට හෝ පොත් කියවීම මා නම් දකින්නේ යහපත් දෙයක් කියලා. එක් එක් පුද්ගලයාට පමණක් නොවේ ඒ කියවීමේ යහපතක් වෙන්නේ, මුළු සමාජයටම. කියවන දේවලුත් වැදගත් තමා. කොහොම උනත් කියවන්න හුරු වෙලා තිබීමම හොඳ ආරම්භයක් (ඩීමන් ආනන්දගේ පොත් හරි). “තමන්ගේ ආරක්ෂාව  තමන්ම සලසාගන්න” කියන රිපබ්ලිකන් සමාජයේ පුස්තකාලත් තියෙන්නේ විදිහක් නැහැ. දැන් මේ පුස්තකාලේ නැතුව ඔය සමහර අක්කල අයියල කියන්න වගේ අපටම පොත් ගන්න උනොත් කොහොමද? මෙතරම් පොත් ප්‍රමාණයක් ගන්න පුලුවන්ද? ඒ වගේම පුස්තකාලේ තියන සියලුම පොත් කොහෙද හොයා ගන්න තියෙන්නේ? මා හොයපු පොතක  එක පිටපතක් වත් පුස්තකාලේ තිබුනේ නැහැ. ඒ විතරක් නොවේ. ඉල්ලුම් කරපු පස් දෙනෙක් පෝලිමේ ඉන්නවා. මාත් හය වෙනියාට නම දාල ආවා. මේ පොත සියලුම හිමිකම් නොඇවරුන එකක්. දැලේ හොයා ගන්න පුළුවන්. දැල් තිරයේ පොත් බලන එක එපා කරන දෙයක්.

තිරය කියුවහම, මා අපේ ලොකු පුතාත් සමග දෙසැම්බර මස අවසාන දවසේ ගියා, ටොම් හූපර් ප්‍රංශ ජාතික නවකතා කරු වික්ටර් හියුගෝ ගේ Les Misérables (මනුතාපය ) කෘතිය ඇසුරෙන් තැනුව සංගීතමය සිනමා පටය බලන්න. අප අපෝස සාපෙට ඉගෙන ගත්ත මනුතාපය ඔබට මතක ඇතිනේ. මනුතාපය කියන්නේ දහනව වන සියවසේ ලිය වුන අද්විතීය නවකතාවක් සේ ගැනෙනවා.  දීර්ඝ සිනමා පටයක් (මිනිත්තු 158).

සිනමා පටය හදලා තිබුන ආකෘතියට මා එතරම් කැමති උනේ නැහැ. හැබැයි කම්මැලි කමකින් තොරව බලන්න පුළුවන්. මනුතාපය කියන සිංහල නමට මා එතරම් ආසා නැහැ. නමුත් මේ කතාවටත් පදනම් වෙලා තියෙන්නේ මනුෂ්‍ය ජිවිතයේ බලාපොරොත්තුව, දෙවන අවස්තාවක් ලැබීමට කෙනෙකුට තියන අයිතිය හා නීතියේ තියන අන්ද බව හා මනුෂ්‍යත්වයේ දුක් වේදනාවන්. නීතියේ අඳ බව යනුවෙන් මා අදහස් කළේ, නිතිය හැම විටම ක්‍රියාත්මක වන්නේ, දුප්පතාට අවාසිදායක අයුරින්. එදා වික්ටර් හියුගෝ හිටපු සමාජයේ පමණක් නොව, අද ඕස්ට්‍රේලියාවේ උනත් එහි වෙනසක් නැහැ. මේ සිනමා පටයත්, එයට පාදක උන නවකතාවත් ගැන ටිකක් වැඩිපුර ලියන්න ඕනේ වෙන සටහනකින්. හැබැයි එයටත් හොඳ නිවාඩුවක් හා කොටු කොටු දමන දෙයකුත් අවශ්‍යයි කියල හිතෙනවා.

The first step in blogging is not writing them but reading them.- Jeff Jarvis

Then you would realise why you shouldn’t start writing up (one of them)–Raigama Handiya

Advertisements

6 Comments

Filed under General

6 responses to “Sometimes you don’t get a second chance!

  1. බ්ලොග් ලියන්ණත් පුලුවන් තමයි ඒත් කෝච්චියේ යද්දී පවර් නැප් එකක් දැමීමත් හොඳ සෞඛ්‍ය සම්පන්න වැඩක්.

    • ඒක ඇත්ත කකා. රෑ දෙගොඩ හරි යාමේ තෙක් බ්ලොග් ලියලා වැඩට යන්න එලියට බැස්සට පස්සේ නිදිමත හැදෙනවා!

  2. රයිගම්, මචං. මම නිතර අන්තර්ජාලේ එල්ලිලා ඉන්න එකෙක් බව ඇත්ත. තාක්ෂනයට මනාප බවත් ඇත්ත. නමුත් පොතක් කියවන්න කැමති මුද්‍රිත කඩදාසිය දිහා බලාගෙන මිසක් LCD තිරයකින් නෙවෙයි.
    මම පොතේ, ඇතිනම් පත්තරේ සර සර හඬට, තීන්ත සුවඳට කැමතියි. පොතක් අරන් ඇඳට ගිහින්, නින්දයාගෙන් එනකොට පොත අතහැරලා රීඩිං ලෑම්ප් එක නිවලා නින්දට වැටෙන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ. Maybe I’m old fashioned.

    • ගණන් ගන්න එපා හෙන්රි මා ඔය වගේ තමයි. මා නින්දට යන කොට නම් කියවන්න ගන්නේ නැහැ.

  3. සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔව් මොනිටරේ බලාගෙන කියවන කොට පොතක් කියවනවා වගේ දැනෙන්නෙ නෑ. මම මොනිටරෙන් කියවන්නෙ විභාග වලට නිර්දේශිත පොත් කිහිපයක් ( ඒවායින් සමහර ඒවා පොත් කඩේ නෑ. අනිත් අතට ඕනෑ වෙච්ච ගමන් බුක්මාක් එකකට පැනලා අතරමැදින් කියවන්න පුළුවන් නිසා)
    පොතක් කියවනවා කියන්නෙ අකුරුම නෙවෙයි. ඩූඩ් කිව්වා වගේ අතට පොත දැනෙන හැටි. පොතේ කවරෙ, තීන්ත සුවඳ හෝ අර පොත් පරණ වෙනකොට ඒවාටම ආවේනිකව ලැබෙන සුවඳ ඒ හැමදේම ඒකට අයිතියි.(එහෙම බැළුවොත් මම ඩූඩ් ට වඩා ඩබල් old fashioned! 😀 )

    • ඔබටත් සුබ අවුරුද්දක් ලකී! වැඩ කරන තැන කියමනක් තියනවා, මුද්‍රණය කිරීමට පෙර පරිසරය ගැන හිතන්න කියා. ඉතින් මා පරිසරය ගැන ටිකක් හිතලා ප්‍රින්ට් කරනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s