Where the world has not been broken up into fragments by narrow domestic walls?


අන්තර්ජාලය ආවහම ගොඩක් දෙනා හිතුවේ මේ පටු අදහස් නම් පවුරු,  ඥානය හා විචාරශීලි බව නමැති යගදාවෙන් සුනු විසුනු කරනු ඇති කියා. එහෙත් අද වෙන්නේ එයම නොවේ. අද සමහරුන් යන්නේ ගතානුගතිකව පැවතෙන සිරිතෙන් මරුකතරට. ජාති වාදී, ආගම් වාදී කුණු ජරාවට අමතරව, ඔලොමොට්ටල මතවාද ප්‍රචාරය කරන හා ඔලොමොට්ටල මතවාද සොයන් ගිහින් පිළිපදින මිනිසුන් කොට්ටාශයක් මේ අන්තර්ජාලය නිසා බිහි වෙලා.

මානවයාගේ පැවැත්ම සහතික කිරීමට කිසිම අයුරකින් දායක නොවන (හොරෙන් කරනවද දන්නේ නැහැ) ශ්‍රමණ ධාරීන් කණ්ඩායමක් බණ්ඩාරගම රෝහලේ පවුල් සැලසුම් සායනයකට ආපු අසරණ කාන්තාවන් පිරිසකට අඩත්තේට්ටම් කළ ජුගුප්සාජනක පුවත ඔබට මතක ඇති. දැනට සති කීපයකට පෙර පකිස්තානයේ පෝලියෝ මර්ධන එන්නත ප්‍රචලිත කිරීමේ යෙදුන නව දෙනෙකු (තරුණ කාන්තාවන්ද ඇතුළුව)   මරා දැමුණ සිද්දියත්  ඔබ අහන්න හෝ කියවන්න ඇති. එයට හේතු ලෙස දක්වා තිබුනෙත් මොළ කලඳක් තියන කෙනෙකුට විශ්වාස කරන්න බැරි කාරනා.

මේ දින වල ඕස්ට්‍රේලියාවේ කතා බහට ලක්වන ළමා පොතක තියෙන්නේ සරම්ප හදා ගැනීම හොඳ දෙයක් කියා. මෙය ප්‍රකාශයට පත්කර තියෙන්නේ, ප්‍රතිශක්තිකරණ එන්නත් වලට විරුද්ධ ඔලමොට්ටල කණ්ඩායමක්. ඔවුනගේ සංවිධානයේ නමෙන් ගම්‍ය වන්නේ ප්‍රතිශක්තිකරණය ප්‍රචාරණය කෙරෙන ආයතනයක් වගේ කියා. දැන් එහි නම වෙනස් කර ගන්න කියා ඔවුනට නියෝග කර තිබෙනවා, අදාළ කටයුතු ගැන සොයා බලන රාජ්‍ය ආයතනය.

ඕස්ට්‍රේලියාවේ දරුවන්ගෙන් සාමාන්‍යයෙන් 90% ක් පමණ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නවා. සමහර ප්‍රදේශ වල මේ ගාණ ඊට අඩුයි. ඊයේ කතා කළ දොස්තර වරයෙක් කිවේ මේ ගාණ 80% ක් පමණ පහල තියන පෙදෙස් වල, සාමාන්‍යයට වඩා වැඩියෙන් නොයෙක් රෝග පැතිරීමේ ප්‍රවනතාවයක් හඳුනාගෙන තියනවා කියා. එම ප්‍රදේශ වල අර ඔලොමොට්ටල කාණ්ඩයේ බලපෑම වැඩියි. මේ අයියලා දොස්තරලා හෝ විධිමත් ලෙස පර්යේෂණ කරපු මිනිසුන් ද නොවේ. ඔය එහෙන් මෙහෙන් කෑලි අහුලා ගත් අයියලා.

මෙවැනි දෙයකට උපදෙස් ලබා ගන්න යා යුතු සාමාන්‍ය දොස්තර කෙනෙකු පවා අවුරුදු පහක් හෝ හයක් ඉගෙන ගැනීමෙන් පසුවයි ලෙඩුන්ට ප්‍රතිකාර හෝ උපදෙස් දෙන්නේ. මේ එන්නත් වැඩිදියුණු කිරීමට එයටත් වැඩි කාලයක් මෙන්ම, විශාල පිරිසකගේ අනවරත කැපවීම හා උත්සාහය ඇතුලත්. බොහෝ ප්‍රතිකාර වල ඇතුවාක් මෙන්ම, මෙම එන්නත් වලින් ද අතුරු අයහපත් ප්‍රතිපල  නැතය කියා එම වයිද්‍යවරුන් කියන්නෙත් නැහැ. ඒත් ඔවුන් කියන්නේ යහපත්  හා අයහපත් කරුණු තරාදියකට දාපුවහම, ගත යුතු ක්‍රියා මාර්ගය වතුරයි කිරියි වගේ වෙනස්ව හඳුනා ගන්න පුළුවන් කියා.

මිට වසර පනහකට තිබුන ලෝකයට වඩා අද ලෝකය මේ ප්‍රතිශක්තිකරණ එන්නත් නිසා වෙනස් වෙලා කියලා මේ අයියලාට තේරුමක් නැහැ. වසූරිය, පෝලියෝ වගේ රෝග විතරක් නොවේ පැපොල, සරම්ප, පිටගැස්ම වැනි රෝග වලිනුත් මිනිසාට තිබුන අසීමිත අමාරුකම් අද නැහැ. කිසිම වෛද්‍ය විද්‍යාත්මක ඉගෙනීමක් හෝ “කොමන් සෙන්ස්” කියන දෙයින් අළුක් කාලක් වත් නොමැති මේ අයියලා හදන්නේ අපව, නැවත නියන්දතාල් යුගයට ගෙන යන්න. ඔවුන් පසු පස යන කට්ටියක් ඉන්නවා.

Advertisements

10 Comments

Filed under Social

10 responses to “Where the world has not been broken up into fragments by narrow domestic walls?

  1. මොනවා කියන්නද මන්දා… සමහර තැන් වල කියවලා මට හිතෙන දේ කමෙන්ට් කළාට පස්සේ මං හිතනවා හරි දේද කළේ කියලා සමහර වෙලාවට.. ඒත් යමක් ගැන අදහසක් තියෙද්දි කට පියාගෙන ඉන්න බැරිකමත් තියෙනවා ඔතන.. එක්කෝ මං වැරදි නම් හදාගන්න, නැත්තම් තවදුරටත් මං හරි කියන එක තේරුම්ගන්න… මොනවා උනත් අපේ තියෙන දූපත් මානසිකත්වය තාම නැති වෙලා නෑ…

    ඒත් ඇත්තටම මාත් ඔය කියන විදියේ ආපස්සට යන විදියේ දේවල් තියෙනවා දැකිනවා..

    • දූපත් මානසිකත්වය කියන්නේ හිරු ඕස්ට්‍රේලියානුවන්ගේ එකද? පකිස්තානු එකද ? නැත්නම් ශ්‍රී ලංකා එකද?

      • ශ්‍රී ලංකා ශ්‍රී ලංකා .. හි හි…. මේක දූපතට වඩා ගොඩක් ලොකු එකක්.. මම නම් ඒකෙන් මිදිලා කියලා කියන්න බෑ තාමත්.. ඒත් උත්සාහ කරනවා…

  2. kathandarakaraya

    මාතෘකා ගීතය නම් තේරුණේ නෑ!

    ප්‍රතිශක්තිකරණ එන්නත් නොගැනීමෙන් වෙනවාට වඩා සුපර් බග්ස් නිසා ප්‍රශ්න ඒවිද?

    • ගීතය වෙනස් කරන්නම්. දෙවෙනි එක නම් අහන්න ඕනේ අර අයියලාගෙන් තමා කකා! මාත් හදන්නේ ටික දවසකට, මේ පටු අදහස් තියන අන්තර්ජාල නැති ලෝකයකට යන්න.

  3. ඕස්ට්‍රේලියාවෙත් මේවගේ උදවිය ඉන්නවද? (මම අහන්නෙ ආගම්වාදය නෙවේ එන්නත් වලටත් විරුද්ධ වෙන උදවිය?) පුදුමයි!
    අනෙක් කාරණාව ගැන නම් තියෙන්නෙ එච්චරම සෘණාත්මක අදහසක් නෙවේ. මොකද කුමන හෝ මතවාදයක් අන්තර්ජාලයේ සංවාද කෙරෙනව කියන්නෙ එච්චර ගැටළුවක් ඇති දෙයක් නෙවේ. අනෙක වාද-විවාද වලින්ම තමයි හරි දේ කුමක්දැයි තෝරාගන්න වෙන්නෙ. වාදයෙන් ඔබ්බට ඇවිල්ල අතින්පයින් තුවක්කුවෙන් ප්‍රශ්න විසඳන්න හදනවනම් තමයි වැරැද්ද. [කෙනෙකුට කියන්න පුළුවන් මතවාදය ගමන් කරන්නෙ එතැනටයි කියල. ඒත් කලින් වතාව උදාහරණයකට ගත්තොත් ෆේස්බුක් තිබිල නෙවෙයිනේ ලංකාවෙ මිනිස්සු මරාගත්තෙ.]

  4. Kenji @ Japan

    දියුණු රටවලත් මිත්‍යාව වපුරන අය ඉන්නවනම් ලංකාව ඇතුළු දියුණු වෙමින් පවතිනවයි කියන [එහෙත් දියුණුවක් නොදකින]රටවල තත්වය කොහොමට ඇත්ද කියල හිතෙනව.

  5. ඉතින්, මචං ඕවට නීති නැද්ද? තිබ්බත් උන් ඒවයෙ හිල් අස්සෙන් ගානට රිංගනවා වගේ. එතකොට මිනිස්සු ඕවට විරුද්දව උද්ඝෝෂණය කරන්නෙ එහෙම නැද්ද? මම අහන්නෙ ඔක්කොම නෙවෙයි. සීමිත පිරිසක්වත්?

    ඔය සංවර්ධිත රටවල් සම්බන්ධයෙන් මම නෝට් කරලා තියෙන දෙයක් තමයි, අපි ඔය අපේ ජනතාවට බැන්නට කිසි දේකට විරුද්ධ නොවී ඔහේ හරක් වගෙ ඉන්නවා කියලා, ඔය මිනිස්සු ඊටත් එහා. තම තමන්ගෙ කෝෂ වල තමයි ජීවත් වෙන්නෙ. ‘involve වෙන්න කැමති නෑ, නේද?

    • මම නම් මේ කියමන එක්ක ඒ හැටි එකඟතාවයක් නැහැ… මොන ජාලය තිබ්බත් අපි දකින්නේ සමාජයේ පැති කඩක්… වෙලා තියන එකම දේ අපිට හැමදේම වැඩියෙන් දකින්න පුළුවන් එකයි. කලින් අපිට දකින්නේ අපි ඇසුරු කරන හිතමිත්‍රාදීන්ගේ ක්‍රියාකලාපයන් විතරයි, නමුත් අන්තර්ජාලය නිසා සමාජයේ විශාල පිරිසක් එක වර අපේ ග්‍රහණයට ලක්වෙනවා… ඉතින් බැලු බැල්මට පේනවා මේක ජරාජීර්ණ වෙච්ච තැනක් කියලා, මොකද ඕනෙම තැනක හොඳ ට වඩා පේන්නෙ නරක නිසා.

      අන්තර්ජාලයේ මේ අර්ථයෙන්ම තියන හොඳ දකිනවා අඩුයි. සමාජයක ගත්තහම, අපි ඉන්නේ අපිට විරුද්ධ මතවාදයක් කරපින්නා ගත් පිරිසක් අතර නම්, ඒ තුල අපේ අදහස් ප්‍රකාශ කරන්න බැරි ප්‍රායෝගික ප්‍රශ්න මතුවෙනවා… තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න වෙනවා. බොහෝ වෙලාවට අර පිරිසගේ ගෝෂාව මැද තමන්ගේ අදහස් හංගාගෙන ඉන්න සිද්ධවෙනවා… නමුත් අන්තර්ජාලයේ එහෙම නෑ… තව කෙනෙක් පටු අදහස් ඉදිරිපත් කරනකොට, ඊට විරුද්ධ අදහස් ඉදිරිපත් කරන්න ඒ හා සමානම අයිතියක් අන්තර්ජාලයෙන් අපිට ලැබෙනවා.

      මේ වගේ පිස්සු කෙලින කණ්ඩායම් ඕන තැනක ඉන්නවා… නමුත් වැදගත්ම දේ තමා ඕස්ට්‍රේලියාව වගේ රටක මේ අයට මහජනතාවගෙන් කිසිම සැලකිල්ලක් ලැබෙන්නේ නෑ… ඒවා මේ රටේ ක්‍රියාත්මක වෙන සිස්ටම් එකට බලපෑමක් කරන්නෙ නෑ… නිකං දවසකට දෙකකට ආතල් එකක් දීල නැති වෙලා යනවා. තමන්ගෙ අදහස් හංගගෙන බයේ ඉන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

      @හෙන්රි,
      මේ රටේ මිනිස්සු පාරට බැහැලා කෑකෝ ගහනවා අඩුයි තමයි. නමුත් දේවල් වලට විරුද්ධවෙන්න මෙහෙ දුරකතන ඇමතුමක්, ඊමේල් එකක්, ලිපියක් වගේ දේවල් මිනිස්සු වැඩියෙන්ම භාවිතා කරන්නේ… කිසිම කෙනෙකුට බලු කතා කියලා බේරිලා ඉන්න ඉඩ ලැබෙනවා අඩුයි…

  6. පිළිතුරු දුන් සියල්ලන්ටම පොදු උත්තරයක් දුන්නට කමක් නැහැ නේද ? අන්තර් ජාලය හෝ එහි තියන බ්ලොග් අවකාශය හෝ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල කියන්නෙත් ලෝකයේ තියන අනෙක් සන්නිවේදන මාධ්‍ය වගේම දෙයක් නොවේ කියා මා කියන්නේ නැහැ. මේ සමාජ මාධ්‍ය ජාල වල ඉන්නෙත් ඉස්සර පත්තර කියවපු, ගුවන් විදුලි අහපු පිරිස්ම තමා. එකම වෙනස තියන්නේ සමාජ මාධ්‍ය ජාල වල, හැම කෙනාටම සන්නිවේදකයෙක්, වෙන්න තමන්ටම අවස්තාව තිබීම. ගමේ කොපි කඩේ පත්තරේ බලලා, කුණුහරුප දෙකක් කියුවට එය සන්නි වේදනය වන්නේ ඒ අවට ඉන්න, ඒ වගේම කම්මැලි කමෙන් කාලය ගත කරන දෙතුන් දෙනාට පමණයි. නමුත් සමාජ මාධ්‍ය ජාල මගින් එවැනි “කුණු හරුප” ඊට වඩා වැඩි පිරිසකට ගෙන යන්න අවස්තාව සැලසී තියනවා. අලුත් මිනිසුන් බිහි වන්නේ නැහැ. හැබැයි එවැනි පිරිස් ගොනු කර ගැනීමේ වැඩි හැකියාවක් මේ නිසා ලැබෙනවා. මා “ඔලොමොට්ටල කොට්ටාශයක්” බිහි වෙලා තිබෙනවා කියුවේ මෙවැනි ගොනු වීම් වලට.
    අනික් කරුණ තමා මේ බටහිර ඉන්න මිනිසුනුත් සියලු ඇදහිලි, මෝඩ විශ්වාස හා ඔලොමොට්ටල කම් වලින් විනිර්මුක්ත පිරිසක් කියා හිතීම මුලාවක්. ලංකාව වැනි රටක වගේ මෙවැනි විශ්වාස හා ඔලොමොට්ටල කම් සමාජයේ ප්‍රධාන ධාරාව නොවුනත්, සමාජයේ සෑහෙන ප්‍රතිශතයක් මෙවැනි ගූට හා ගුප්ත විශ්වාස වල එල්ලී ඉන්නවා. ඕස්ට්‍රේලියානු අගමැතිනිය කවුරු හරි හදලා ජීවම් කර දුන්න වශී බෝල මිරිකන්නේ නැහැ තමා. ඒ වගේම අමාත්‍යංශ වල හෝ රජයේ ප්‍රධාන උපදේශක තනතුරු ගුරුකම් කරන්නට හෝ සාත්තර කරුවන්ට ලැබෙන්නේ නැහැ තමා. ඒ වගේම රජයේ කටයුතු සිදු වන්නේ, ඒවයේ ඇති ප්‍රමුඛතාවය මත මිසක්, ගුරුකම් කාරයෙක් හදා දුන් නැකත් අනුව නොවේ තමා. හැබැයි එකෙන් කියවෙන්නේ නැහැ, සමාජයේ එවැනි මතවාද දරන පිරිස් නැහැයි කියලා. සමාජයෙන් 5% ක් හෝ 10% ක් හෝ කියන්නේ විශාල පිරිසක්. මේ වගේ මතවාද කරපින්න ගත පිරිස් වලට අන්තර්ජාලය නිසා අලුත් අවස්ථා ලැබී තිබෙනවා ගොනු වෙන්න. බටහිර විද්යාව ප්‍රතික්ෂේප කරන, ඒ වගේම බටහිර වයිද්‍ය විද්යාව තමන්ට අවශ්‍ය වෙලාට ප්‍රයෝජනයට ගන්නත්, ඔවුනගේ ඔලොමොට්ටල මත වලට ගැලපෙන්නේ නැති විට ප්‍රතික්ෂේප කරන පිරිසුත් මේ වගේ රටවල් වලත් ඉන්නවා. සමාජ මාධ්‍ය ජාල වල විතරක් නොවේ සම්ප්‍රදායික ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලත්. තිසර කියන්නා වගේ ඔවුන් දවසකට ආතල් එකක් දීලා නැති වෙලා යන කොට්ටශයක් නොවේ. ඔවුන් මහජනතාවගෙන්ම කොටසක්. ඔවුන් ප්‍රධාන ධාරාව නොවේ. නමුත් ඔවුන් බලපෑම් කරන අවස්ථා තියනවා. මා ලියුව ප්‍රතිශක්තිකරණ අංශය එවැනි එක බලපෑමක් පමණයි. ගෝලීය උෂ්ණත්වය ඉහල යාම ගැන ඉදිරිපත් කෙරෙන විද්‍යාත්මක නිරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම තව එකක්. තව තියනවා.

    ඒ වගේම අමතක කරන්න එපා බට හිර රටවල් වලත් ඉන්නවා ගෙදරට ලියුමක් ආවහම මොබයිල් ෆෝන නොම්මරයට පවුම් මිලියනයක් දිනලා, නැත් අප්‍රිකානු කුමාරයෙක් මිය ගිහින් එයාගේ දේපොළ දෙන්න යහපත් කෙනෙකු ලෙස තෝරා ගෙන තියන හින්ද තමන්ගේ විස්තර හා බැංකු ගිණුම් විස්තර එක්ක “නීති ගාස්තුව”ලෙස ඩොලර් දාහක් දෙන්න කියුවහම දෙන නංගිලා මල්ලිලා. ඒ වගේම අන්තර් ජාලයෙන් හොයා ගත් කිසිදා නොදුටු “සිහින කුමාරයන් ” වෙනුවෙන් තමන්ගේ මුළු විශ්‍රාමික ඉතුරුම් පුද කරන අක්කලා. ඉතින් ප්‍රතිශක්තිකරණය ගැන මොන කතාද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s