මරණින් පසු (ජිවත් වන්නන්ගේ) ජීවිතය! The life after death!


මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන්නේ කුමන ලක්ෂණ වලින්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් දීර්ඝ ලැයිස්තුවක් තියනවා. හැබැයි මේ නිතරම කියවෙන ලයිස්තුවේ නොකියවෙන එක දෙයක් තියනවා. ඒ තමයි, තමන්ගේ කෙනෙක් මැරුණහම, දේහය හිතාමතාම වත් පිළිවෙත් කර ඉවත් කිරීම. මේ දෙය ලෝකේ ඉන්න කවර සත්වයෙක් වත් කරන්නේ නැහැ. මි මැස්සන් කුඩුවේ මැරෙන, සහෝදර සතුන් එලියට ඇදලා දාන්නේ, ඒ දේහ ඉවත් කිරීමක් ගැන හිතලා නොවේ. මි වදය පිරිසිදුව තබා ගන්න. මිනිසාට ඉතාම සමීප, සතුන් වර්ගය වන චිම්පන්සින් පවා, ඔවුනගේ මැරුණු සතුන් ඉවත් කරන්නේ නැහැ.

මේ දේහය ඉවත් කිරීම නැත්නම් අවමගුල කියන එක ඇරඹුණේ කවදාද, කොහොමද කියලා එක මතයක් නැහැ. හැබැයි, එවැනි විධිමත් අයුරකින් දේහය ඉවත් කිරීම, අර මැරුණ කෙනාට වඩා ජිවත් ව ඉන්න අයට තමා වඩා වැදගත්. ලංකාව වැනි රටවල් වල දහස් ගණන් දෙනාට, මෙලොවින් සමුගත් (වඩා නිවැරදිව කියනවා නම් තුරන් කළ) තමන්ගේ ඥාතිනට මෙවැනි විධිමත් අයුරකින් සමු දෙන්න අවස්තාවක් ලැබුනේ නැහැ. මේ බටහිරත් එවැනි විශාල ගණනකට නොවුනත් සමහර දෙනාට ඒ අවස්තාව ලැබෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ මුළු ජිවිතයම එක්තරා අයුරකින් හිස් බවකින් පිරිලා තියනවා. දකුණේ භීෂණ සමයේ, සහෝදරවරුන් විසින් තුරන් කළ දේශ ද්‍රෝහීන්ගේ සිරුරු, ඉවත් කිරීමේ ක්‍රම වේද ගැන සිමා, “ඉතා යහපත් ලෝකයක්” ගොඩ නගන්න බලාපොරොත්තු උන එම කට්ටිය පනවා තිබුනා.

මේ “විප්ලවයට” එරෙහිව “නීතිමය ක්‍රියා මාර්ග” ගත් ජනතාවගේ නියෝජිතයන් යයි කියා ගත් පිරිස තුරන් කළ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ සිරුරු දැවුනේ බලු කපුටන් මෙන් පාරවල් අද්දර. උතුරේ සිදු උන දේවල් දෑසින් දැක නැතත්, එහි නපුරු කම එක්කෝ මීටත් වඩා වැඩියි හෝ මෙයට සමාන යයි නිගමනය කරන්න පුළුවන්. එම “විමුක්ති කාමීන්” විසින් ඇටෙව්වය කියනා බෝම්බ නිසා දකුණේ මිය ගිය සමහර දෙනාගේ ඉතුරු උනේ නියපොතු වැනි සරීර කොටස් පමණයි. මේ සිරුරු තමන්ගේ පුතාගේ, දුවගේ, අම්මාගේ, තාත්තගේ, මාමගේ…. ආදී වශයෙන් සමහරුන් අඳුනා ගත්තත්, ඔවුනට අර සාමාන්‍ය මිනිසා අනුගමනය කරන පරිදි විධිමත් ලෙස සමු දෙන්න අවකාශය ඒ පිරිසට ලැබුනේ නැහැ. සමහරුනට දේහය දැක ගන්නවා තියා, මොකද උනේ කියා අද වෙන තුරු දැන ගැනීමට නැහැ. මේ ක්‍රියාවලිය තවමත් නැවතිලා නැහැ.

කුමන තත්වයක් යටතේ උනත් මිනිසුන් අතුරුදහන් කරන සමාජයක් ශිෂ්ට වන්නේ නැහැ. ඒ වගේම එවැනි දේවල් වලට සම්බන්ධ යයි චෝදනා එල්ල වුන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන සමාජයක් ශිෂ්ට වන්නේ නැහැ. ඊටත් වඩා, නිතිය ක්‍රියාත්මක උනා හෝ නොවුනා හෝ, එවැනි දේවල් වලට සම්බන්ද යයි සැක කළ හැකි අයට එරෙහිව ජනමතයක් නොමැති වීමත් ශිෂ්ට සමාජයේ ලක්ෂණයක් නොවේ (මෙහෙම චෝදනා තියන එක ප්‍රාදේශීය “උත්තමයෙක්” ගේ වකුගඩු දෙකම නරක්  වෙලා අඬන හැටි ඊයේ පෙරේදා පත්තරේක තිබුනා). මට නම් පොල් පොට් ලා වෙනුවෙන් අඬන්න කලින්, අඬන්න ඕනේ තරම් දේවල් තියනවා .

ඉහත සේරම පැත්තකට දැමුවත්, අඩු ගානේ තමන්ගේ මියගිය ඥාතියාගේ සිරුරට සමු දීම මිනිස් ශිෂ්ටාචාරයේ එක අංගයක්. එහෙම කරන්නට අවස්තාව අහුරපු සමාජයක එම ශිෂ්ටාචාරයේ එක අංගයක් නැහැ. එහෙම සිද්දි වලට මුහුණ නොදුන් බොහෝ දෙනාට, අනේ ඕවා අල්ලලා දාන්න කියන්න හරිම පහසුයි. ඒත් ඒ කිසිවෙකු මොහොතකට අර සපත්තුවට බැහැලා බලනවද?

අර කියුව එක යුගයක, මියගිය (මරා දැමුණ) ඥාතින් ගේ සිරුරු වලට සමු දීමේ පිළිවෙත් වලට සිමා පැනෙව්ව, එක කණ්ඩායමක කෙනෙක් පසුගිය දිනවල කියා තිබුනා, මියගිය අය සැමරීමට සියලු දෙනාට එක සමාන අවස්ථා දිය යුතුයි කියා. ඒ අය එහෙම කියන්නේ, එහෙම අවස්තාව නොදුන් එක පිරිසක් , තවමත් තමන්ගේ වීරයන් මෙන් සමරන අතරේ. එක අතකින් විප්ලවකාරින්, විමුක්තිකාමින්, ධනපතීන් හා ලිබරල් වාදීන් මේ කියන නොකියන සියල්ලන්ම එකඟ වෙන එකම කරුණ මෙවැනි අපරාධ යට ගැහීම විතරයි.

මිනිසා තමන්ගේ ඥාතින් ගේ සිරුරු මේ ආකාරයෙන් වත් පිළිවෙත් කර ඉවත් කිරීම නැත්නම් සමුදීම ඇරඹුණේ කොහොමද කියා මා සෙව්වේ මේ කතාවෙන් පස්සේ නොවේ. එවැනි දෙයක් හරියටම ආරම්භ උනේ කවදා කොහෙද කියන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් සොයා ගෙන නැහැ. හැබැයි මෙයට වසර 120,000 කට පෙර මිනිසා විසින් ඕනේ කමෙන්ම වල දැමු මිනිස් සිරුරු ඊශ්‍රායලයේ ගුහා දෙකක (Skhul and Qafzeh) සොයා ගෙන තියනවා. මේ මිනිස්  සිරුරු හෝමෝ සාපියන්ස්ට  අයත් ඒවා. මේ කාල පරාසයටම අයත් මෙවැනි වල දැමු නියැන්ඩතාල් මානවයාගේ සිරුරුත් හමු වී තිබීමේන් කියවෙන්නේ, මිනිසා, තමන්ගේ ඥාතින් විධිමත් අයුරින් බැහැර කිරීම, ඒ කියන්නේ මරණින් පසු ජිවිතයක් ගැන සිතීමේ මූලික සංකල්ප ඇති කරගෙන තියෙන්නේ මේ අවධියේදී කියා.

එහෙම උනත් මේ කාලයේ හා මිට පසු ගත වුන විශාල කාල පරාසයක, මෙවැනි “සොහොන්” හමු වෙලා තියෙන්නේ, ඒ කාලය තුල මිය ගියා යයි සැලකෙන පිරිස හා සසඳන කොට අතලොස්සයි. ඒකෙන් කිය වෙන්නේ මෙවැනි භූමදාන කෙරිලා තියෙන්නේ විශේෂ අවස්ථාවල  නැත්නම් විශේෂ පුද්ගලයන් සදහා පමණයි කියා.

හැබැයි, මිනිස් සිරුරු භූමදාන කිරීමේ විධිමත් වත් පිළිවෙත් හා එවැනි භූමදාන කටයුතු හරි හමන් ලෙස ආරම්භ උනේ දැනට වසර 14, 000 කට ඉහත වගේ කියා හිතනවා. කෘෂිකර්මය හා ආගම්වල මූලික අවධියත් ආරම්භ උනේ මේ වකවානුවෙමයි.

සමහරු කියනවානේ ලෝකයේ දැනට ජිවත් වන පිරිස (එනම් බිලියන හතක පමණ ජනගහනය) මේ ලෝකේ එදා මෙදා තුර හිටපු සියලු මිනිස් ජනගහනයට වඩා වැඩියි කියා. එහෙත් ගණන් බලා තියන ආකාරයට නම්, එදා මෙදා තුර (එනම් පුර්ව ක්‍රි පූ 50,000 සිට අද දක්වා) මෙලොව ඉපදී මැරී ගිය හා අද ජිවත් ව ඉන්න මුළු මිනිස් ජනගහනය බිලියන 107.7 ක් වෙනවා. ඉන් 6.5% ක් තමා අද ජිවතුන් අතර ඉන්නේ.

පසු වදන

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුනේ හරියටම හෙටට  වසර තුනකට පෙරය. ඔහු  1971 සිට අද වන තුරු ලංකාවේ මෙවැනි සංවිධානාත්මක අතුරු දහන් කිරීම් වලට ලක් උන ගැහැණුන් හා පිරිමින් ගෙන් එක අයෙකු පමණි. ලංකාවේම එවැනි දහස් ගණනකගේ  ඥාතිහු දහස් ගණනක්,  ලෝකය පුරා සුසුම් ලමින් අදත් ජිවත් ජිවත් වෙති. තවත් සමහරුන් ඒ  සුසුම් මතින් මේ වන විට අර අතුරුදන්වූවන්ගේ ලෝකයටම ගොසිනි.  

(ඉතිහාස දත්ත සඳහා New Scientist, April, 2012 විශේෂ කලාපය ඇසුරු කෙරින).

Advertisements

9 Comments

Filed under Politics, Social

9 responses to “මරණින් පසු (ජිවත් වන්නන්ගේ) ජීවිතය! The life after death!

  1. Shermie Fernandez

    ඉතාම වැදගත් ලිපියක් කියන්න විතරයි තියෙන්නේ
    මිත්‍රයා ..අනික් දේවල් එකක් වත් වෙන්නේ නැහැ ..
    දැක්කනේ මහත්තුරු නෝනලා බල්ලෝ බැල්ලියෝ
    වෙලා ගෙදර යන හැටි..

    සමහරු බලු නොවී සුර පුර යනවා…

  2. ඉතාම වැදගත් ලිපියක් කියන්න විතරයි තියෙන්නේමිත්‍රයා
    ..අනික් දේවල් එකක් වත් වෙන්නේ නැහැ ..
    දැක්කනේ මහත්තුරු නෝනලා බල්ලෝ බැල්ලියෝ
    වෙලා ගෙදර යන හැටි..සමහරු බලු නොවී සුර පුර යනවා
    tgtgg…

    • ඔව් ශර්මි, ඒවා ගොඩක් දෙනාට එතරම් ප්‍රශ්නයක් නොවේ. එතන තියන සමාජමය ඛේදවාචකය එකක්. පුද්ගල ඛේදවාචකය තව එකක්. ප්‍රගීත් ගේ අතුරුදහන් වීම නිසා ගවේෂණ මාධ්‍ය වේදියන් ඩොලර් ටිකක් හොයා ගත්තා.වෙබ් අඩවිත් ගානක් ගරා ගන්න ඇති. අද එයා ලියපු වෙබ් අඩවියෙත් වචනයක් නැහැ. හැබැයි සන්ද්යාත්, දරුවනුත් කොහේ හරි තැනක සුසුම් ලමින් ඇති. මේක තමයි මේ සිදුවීම් වලට ඇත්තටම පත් වුන සියල්ලන්ගේම කතාව. ඕවට හවුල් කියන මිනිසුන් චන්දය ඉල්ලන කොට, අපේ අය කතිරය ගහන්නේ නිකම් නොවේ, උඩ පැනලා.

  3. මාත් භීෂන සමයන් කීපයක්ම පසු කලානෙ රයිගම් වගේම. භීෂන සමය ඉවර වෙනවත් එක්කම අලුතෙන් බලයට පත්වෙන අයවත් අර මහපොලොව නුහූලන අපරාධ කරපු උන්ට නිසි දඬුවම් දිවි කියලා මාත් මෝඩ කමට බලං හිටියා මචං. උන් අදත් අපි අතරෙ යෙහෙන් වැජඹෙනවා නේ?

    • උඹට කියන්න මෙහෙම ධර්මිස්ට සමාජයක් බලාපොරොත්තු වුන ජනතාව ඉතා කැත අයුරින් රැවටුවේ ජේ ආර් හා චන්ද්‍රිකා. එයිනුත් චන්ද්‍රිකා නම් අන්තිම ජරා චරිතයක්. එයාගේ සෙප්පඩ කොමිෂන් වල සාක්කි දුන්න මිනිසුන් තමා අන්තිමට අමාරුවේ වැටුනේ. මෙයාල බලයට පත් කළේ උඹ කියන “මහපොලොව නුහූලන අපරාධ කරපු උන්ට නිසි දඬුවම් දිවි කියලා”. නමුත් ඇවිල්ල මොකද කොලේ. සනත් ගොයියල එක්ක ජවුසන් නැටුවා. රාජ්‍ය දේපොළ විකුණා යටි මඩි ගැහුවා. අද ඔය අනික් පැත්තේ (ඒ අපරාධ වලට හවුල් අයියා කෙනෙක් එක්ක) ඉන්න මංගල චන්දෙ ගන්න කලින් අම්මල එක්ක අඬපු හැටි මතකද? මචන් ඕකුන්ට ආයෙත් රැවටෙන මිනිසුන් ඉන්නවද?

  4. චිංගීස් අයිත්මාතෙව් ගේ ‘අම්මා සහ මිහිකත’ කියවලා ඉවර වුනා විතරයි… හිතේ බර තාම එහෙමම… තමන්ගේ සැමියා, පුතුන් තිදෙනා යුද්ධයෙන් අහිමි වූ (ඔවුන්ගේ සිරුරුවත් නොදැක ) මවක් සහ එක පුතෙකුගේ බිරිඳ (ඇගේ ලේලිය ) පිළිබඳ කතාවක්. ඒ පිටට ඔබගේ මේ ලිපිය.

    මිනිහෙකුගේ ජීවිතයක වටිනාකම නොදන්න සමාජයක්, මිනිහෙකුගේ මරණයකට වටිනාකමක් දෙන්නෙ කොහොමද රයිගම? ලංකාවේ භීෂණයෙන්, අතුරුදන් වීමෙන්, යුද්ධයෙන් කී දාහක් මේ විදිහට සමුනොගෙනම අවසන්ගමන් ගිහින් ඇද්ද? ඔවුන්ගේ බිරින්දෑවරුට, සැමියන්ට, දරුවන්ට, මාපියන්ට ඔවුන්ගේ ජීවිතේ ඇති පිරවිය නොහැකි හිස් බවෙන් කවදා ගැලවිය හැකිද? යාපනයේ මියගිය ඥාතීන් වෙනුවෙන් පහන් පත්තුකල පිරිස තාම අත්අඩංගුවේ. ලෝකයේ මිනිස්සු පළවන, දෙවන ලෝක යුද්ධවලදී මියගිය සොල්දාදුවන්ගේ ඇට කැබලි පවා සොයා ගෙන, අවසන් බුහුමන් දක්වන අතරේ, අපි තාමත් ඉන්නේ මිනිසුන් අතුරුදන් කරවන සමාජයක… ඒ අතුරුදන් වන උන් දිහා බලා, ‘මූ අතුරුදන් වුනේ මේ නිසයි’ කියලා ඒක සාධාරණීකරණය කරන සමාජයක. මිනිසත්බව ලබන්න කෙනෙක් කොච්චර පින් කරන්න ඕනේද කියලා දේශනා කරන ආගමක් අදහමින්, මිනිසත්බවට කරන නිග්‍රහය දැක්කහම ඇතිවෙන්නේ පුදුම වේදනාවක්….

    • ඔබ ඔය කියන්නේ තිසර ජමිලා හා අම්මා හා මිහිකත එකට තියන පොතද? ඇත්තටම මිට මාස තුන හතරකට කලින් මා කම්මැලි කමට ඔය පොත නැවත කියෙවුවා. ඔබ කියන පරිදිම එය මිනිස් ඛේදවාචකයක් ගැන කියැවෙන්නක්. හැබැයි එම කතා වල තියන ප්‍රචාරක වාදී බවෙන් අද මාව කම්පනයට පත් වෙන්නේ නැහැ. එම කාලය තුලදී සමාජ වාදයේ නාමයෙන් සිදු කල නොමිස් කම් මා දැන් දන්නා නිසා එහෙම හිතෙන එකට එක හේතුවක්. ටිකක් දුරට පසුව ලියන්නම්.

      දෙවෙනියට ඔබ කියන දේ හරියට හරි. මූ නැත්නම් අරූ අතුරුදහන් වුනේ මේ නිසයි කියලා සාධාරණිය කරණය කරන සමාජයක් තමා තියෙන්නේ. ඔබ හරියටම හරි. අවුරුදු සිය ගණන් වලට කලින් උනත් මියගිය නමුත් නිසි පරිදි සමුදෙන්න බැරි වුන මිනිසුන්ගේ දිරාගිය අට කටු පවා හොයලා, මිහිදන් කරනවා එක පැත්තක. වියට්නාම් රජය පවා උදව් කරනවා, ඇමෙරිකානු, ඕස්ට්‍රේලියානු වැනි රටවල් වලින් ආක්‍රමණ යට පැමිණි, එහි මිය ගිය සොල්දාදුවන්ගේ ඉතිරි කොටස් සොයා ගැනීමට. ඒ අතරේ අප, මිනිසුන් අතුරුදහන් කරන කොට හුරේ දානවා.

  5. Kenji @ Japan

    88/89 කාලේ මරපු/අතුරුදහන් අය ගැන කිබුල් කදුලු හෙලපු අයිය,අද මල්ලිලත් එක්ක එකතුවෙලා කී දෙනෙක්නම් මැරුවද,අතුරුදහන් කලාද?දැන් ඒක නිත්‍යනුකුලවම කරගෙන යන්න පාර හදාගත්තනෙ.තව ඉස්සරහට හොද හොද දේවල් බලන්න හැකි වෙයි.

    • මෙයාලට චන්දය දුන්නේ යුද්ද කරන්න කියලා නිසා, කරන දේවල් ගැන අර එතරම් පුදුමයක් මට නැහැ කෙන්ජි! සමාජයේ ඉන්න ජරාම දේශපාලකයන් පිරිසක් (හෙළ උරුමය, විමල්, ගුණදාස, එජාප යේ හිටිය ජරා පප්පලා) කර ගෙන ගෙන යන ආණ්ඩුවකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s