ඉස්සර වගේ කාණුවට බැහැලා ඉම්මුද? Let’s do it again?


වැඩ කරන තැන බංග්ලාදේශයේ කෙනෙකු, තමන්ගේ රටේ ඩකා නුවර තියන අකමැතිම දේ ලෙස මා සමග කියුවේ, අධික ජනගහනය. අනුන්ගේ ඇඟේ  හැප්පෙන්නේ නැතිව කොහෙවත් යන්න බැරි බවයි ඔහු කියුවේ. පුදුමයක් නොවේ. ඩකා නුවර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට මිනිසුන් 23000 ක් පමණ වෙනවා. කැන්බරා නුවර ඒ ගාණ මිනිසුන් 250 කට වඩා අඩුයි. ඔහු මෙහි වසර විස්සක් පමණ දිවි ගෙවපු කෙනෙක්.

ඕස්ට්‍රේලියාවේ කිසිම නගරයක් ලෝකේ අනික් නගර හා සසඳන කොට ජනගහන ඝනත්වය වැඩි ඒවා යයි කියන්න බැහැ. කොළොඹ ගත්තොත් 17344 ක් වෙනවා. ඕස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙක වන සිඩ්නි හා මෙල්බර්න් නුවරවල් වල ජනගහන ඝනත්වය පිළිවෙලින් 2058 ක් හා 1567 ක් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි නගරයක ජනගහන ඝනත්වය මුළු රටේ ඉන්න ජනගහනය ගැන ඉඟියක් සපයනවා. මොකද වැඩි පිරිසක් රැස් වන්නේ මෙවැනි මහා නගර ආශ්‍රිතව. රැකියා හා වෙනත් අවශ්‍යතා සඳහා වැඩිපුර ශක්‍යතා තියෙන්නේ මෙවැනි නගර ආශ්‍රිතව නිසා.

ලංකාවෙන් පළමු වරට මෙහි ආවහම මේ තුනී  ජනගහනය නිසා මගේ සිතට දැනුනේ පාලු හැඟීමක්. ඒ වෙනකොටත් මා ලංකාවෙන් පිටත ජිවත් වෙලා තිබුනත්, එවැනි හැඟීමක් දැනුනේ නැත්තේ, එම නගර මිට වඩා මිනිසුන්ගෙන් පිරී තිබුන නිසයි කියා, මට කල්පනා උනේ පසුව. හැබැයි, දැන් හුරු වෙලා නිසා, අර ජනාකීර්ණ නගරයකට ගියහම එතරම් ආසාවක් දැනෙන්නේ නැහැ.

සමහර රටවල් වල ජනගහනය රටට දරා ගන්න බැරි තරමට දැනුත් වැඩියි. හැබැයි එහෙම උනා කියලා මේ වර්ධනය නතර වෙලා නැහැ. ඒ අතරේ තවත් සමහර රටවල් වල ආර්ථික වර්ධන වේගය පවත්වා ගෙන යන්න පුළුවන් තරම් ජනගහන වර්ධන වේගයක් නැහැ. ජනගහනය දැනුත් වැඩි රටවල් බොහොමයක ආර්ථික හා දේශපාලන තීන්දු වල වැරදි නිසා, ජනතාවගේ ජිවන තත්වය, ලබාගන්න පුළුවන් තරමටත් පහලින් කොහොමත් තියෙන්නේ. හැබැයි, එවැනි රටවල පරමාදර්ශී තීන්දු ගන්න පරිසරයක උනත්, දැනට ඉන්න ජනගහන තත්වය සමග සේරම ප්‍රශ්න තියා, ප්‍රශ්න යම් පමණකට වත් විසඳන්න හරි අමාරුයි.

සමහර මිනිසුන් ඉන්නේ, මේ ලෝකේ නොවේ. මා පසුගිය දවසක දැක්කා ලංකාවේ මහාචාර්ය හාමුදුරු  නමක් කියා තිබුනා, “සිංහල පවුල්” දරුවන් හත් අට දෙනෙක් නොහැදීම විශාල ජාතික ව්‍යසනයක් කියා. මෙතුමා මොන විශයෙන් මහාචාර්ය ද කියලා මා දන්නේ නැහැ. නමුත් සාමාන්‍ය මනුෂයෙකුට තියෙන්න ඕනේ “කොමන් සෙන්ස්” කියලා මව් භාෂාවෙන් කියන දෙය නම් නැහැ. එතුමාගේ කතාවක් තමා, ඉස්සර මිනිසුන්ටත් ප්‍රශ්න තිබුනා. නමුත් ඒ කියලා ළමයි හත් අට දෙනෙක් හදන එක නතර කලේ නැහැ කියා.

මෙතනින් මතුවන එක දෙයක් තමා, පවුල් ජිවිතයක් නොගෙවන කෙනෙකුට, ඒ සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න මොනවාද කියලා මෙලෝ හැඟීමක් නැති කම. අනික් කරුණක් වෙන්න පුළුවන්, හදන ළමයින්ට වගකීමක් ගන්න අවශ්‍යතාවයක් නැති පරිසරයක, ළමයි හැදීම මහා පහසු දෙයක් කියා හිතීම. තවත් කරුණක් තමා ලෝකේ අද සිදුවන ජනගහන වර්ධනය ගැන හැඟීමක් නොමැති කම.

මා පිලි ගන්නවා එදා පවුල් වල දරුවන් ගණන වැඩියි කියලා. හැබැයි ඒ සාමාන්‍ය මිනිසුන් දරුවන්ට ලබාදුන්න දේවලුයි, අද දවසේ ලබාදිය යුතු දේවලුයි අතර විශාල පරතරයක් තියනවා. ඒ වගේම එදා හිටිය පවුල් ගණන අදට වඩා ගොඩක් අඩුයි. එදා පවුල් හා අද පවුල් සසඳන්න බැරි එක කරුණක් තමා එය.  එදා දරුවන් හැදීම, සතුන් පැටවූ ගහනවාට වඩා වැඩි වෙනසක් තිබුනේ නැහැ. බොහෝ දරුවන් නිකම්ම කැලේට හැදුනා. ගොවිතැන් වැඩ කරපු දෙමාපියන් නම්, දරුවනුත් ඒවාට උදව් උනා. ගොඩක් මිනිසුනට මෙවැනි මහා වතු පිටි තිබුනේ නැහැ. ඔවුනගේ දරුවන් ඔය නිකම්ම රස්තියාදු උනා. නැත්නම් වලවූ වල වැඩට ගියා. කෝරලේ මහත්තය එනකොට කාණුවට බැහැලා හිටියා. ඔය වගේ තමයි. අදත් ඉතා දුප්පත් බොහෝ  පවුල් වල තත්වය මෙයයි.  එවැනි කට්ටිය අර හාමුරුවන් කියන කල් බලා ඉන්නේ නැහැ දරුවන් හදන්න. ඔවුන් කොහොමත් ඒක කරනවා. එයට බලපාන සමාජ හා ආර්ථික කරුණු ගැන ලියන්න බලාපොරොත්තුවක් මට නැහැ.

හැබැයි අර හාමුදුරුවන් කතා කරන්නේ, එහෙම නොවන පහල, මධ්‍යම හා ඉහල මැද පන්තියේ ජනයාට. ඔවුනගේ පවුල් වල තමා, ළමුන් එකා, දෙන්නා ඉන්නේ. ඔවුන් තමා දරුවන් හදලා, එතනින් තමන්ගේ වගකීම අත් නොහරින කට්ටිය. මෙයාලා තමයි ජාතිය විනාශ කරන්නේ. ඔවුන් තමා දරුවන් පාසල් යවන හැටි, හොඳ කෑම වේලක් දෙන හැටි, ඇඳුම් පැළදුම් ගන්න හැටියක් ගැන, ඒ වගේම පාසල් හමාර කරපු පසු ඔවුන් කරන්නේ මොනවාද යන්න, දරුවන් හැදීමට පෙර සිටම කල්පනා කරන “ජරා”දෙමාපියන්. මා දන්නා බහුතරයක් මෙවැනි උදවිය.

යමක් කමක් තේරෙනවා නම් මෙවැනි මහාචාර්ය හාමුදුරුවරුන් විසින් කළ යුත්තේ, තමන්ට කන්න අඳින්න දෙන්න බැරි උනත් ළමයි හදා ගෙන ඉන්පසු පන්සල් වල මහණ කරවීමට බාරදීමට හෝ අඩු වයස් ඇති නොදරුවවන්ව හොර හැඳුනුම්පත්/ගමන් බලපත් හදවලා, ගොන් හරක් ඉන්න රටවල් වලට හිස් ගැසුම් කෑමට පිටත් කිරීමට උඩ ගෙඩි දීම නොවේ. තමන්ට ගැලපෙන පරිදි, ඇති හැකි පරිදි මූලික අවශ්‍යතා වත් ඉටු කළ හැකි පරිදි දරුවන් හදා ගැනීම පාලනය කිරීමට උපදෙස් දීම අදාළ සෞඛ්‍ය ආයතන වලට භාර දීලා  නොදන්නා මගුල් කතා නොකර ඉඳීමයි.

ඕස්ට්‍රේලියාව වැනි රටක ජනගහන වර්ධන වේගය පවත්වාගෙන යන්න, දරුවන් හැදීම වෙනුවෙන් විශේෂ පහසුකම් සකසලා තියෙනවා. දරුවෙකු ප්‍රසුත කළ විට රජයෙන් දෙන දීමනාව ඉන් එකක් පමණයි. ඒත් මා දන්නා කළු/සුදු/තල එළලු පවුල් ගොඩක ඉන්නේ දරුවන් දෙදෙනෙක් නැත්නම් තුන් දෙනෙක් පමණයි. ඒ මොකද කියනවා නම්, මා කලින් කියපු හේතු කල්පනා කරන අයට ඉන් එහාට යන්න බැහැ.

ඊයේ පෙරේදා දවසක ඕස්ට්‍රේලියානු රූපවාහිණියේ පෙන්නපු (අර හවසට යන “ගවේශනාත්මක” කාලින ප්‍රවුර්ති වැඩ සටහන් – ජාතිවාදය, ආගම්වාදය, ඔලමොට්ටල කම හා නොගැඹුරු ජනමාධ්‍ය කලාව නමැති සංඝටක සියල්ල කලන් හත ගානේ අරන්,  පත් අට එකට හින්දවලා තමයි මේ වැඩ සටහන් හදන්නේ – නොබලන අයගේ දැනගැනීම පිණිස අවධාරණය මගෙන්)  වැඩ සටහනක පවුලක “කඳුළු” කතාවක් ගැන ගියා. මෙල්බර්න් නුවර වෙත තවත් නුවරකින් සංක්‍රමණය (උපතින්ම ඕස්ට්‍රේලියානුවන්) වුන මේ පවුලේ දරුවන් අට දෙනයි, අම්මයි තාත්තයි එක්ක ඔක්කොම දහ දෙනයි. ඔක්කොම  වගේ ඇඳලා හිටියේ කුණු පාට ඇඳුම්. අවුරුද්දකට කලින් වත් නාපු පාටක් දැක ගන්නත් නැහැ.

දැන් කතාව ඉන්න හිටින්න තැනක් නැතුව, තමන්ගේ වාහනේ දිවි ගෙවන එක. මොකද රජයේ කුලී  නිවාස හිඟය නිසා, හිටපු තැනින් යන්න වෙලා. පෞද්ගලික කුලී නිවාස වලට ඉල්ලුම් කලාට, යහපත් ප්‍රතිචාරයක් නැහැ. දුක් බර කතාවක් තමා. මෙන්න අම්මාගේ හා තාත්තගේ පසුබිම. ජිවිතේට රස්සාවක් කරළා නැහැ. දැනට ඉන්නෙත් රජයෙන් දෙන සහනාධාරයෙන් (ගෙදරම ඉන්න නිසා ළමයි හදන්න මොකද බැරි මල්ලි). ඊට අමතරව ළමයින්ටත් ආණ්ඩුවෙන් (ඒ කියන්නේ අනුන් වැඩ කරන නිසා) ගානක් ලැබෙනවනේ. (මේ නිසා කියන්න එන්න එපා බදු එපා, රජයේ සේවා එපා, නිදහස් අධ්‍යාපනය එපා, පාසල් එපා කියා. එවැනි අයට, මෙවැනි පිරිස් මුළු සමාජයම නියෝජනය කරන්නේ නැති බව කියන්න ඕනේ).

කෝ අර මහාචාර්ය හාමුදුරුවන්? මෙන්න ඔබට බණ කියන කොට උදාහරණයට ගන්න පුළුවන් ආදර්ශමත් පවුලක්!

A metaphor is like a simile – Author Unknown

Advertisements

8 Comments

Filed under Social

8 responses to “ඉස්සර වගේ කාණුවට බැහැලා ඉම්මුද? Let’s do it again?

  1. ඔය කතාවේ පැති දෙකක් තියනවා. අප රටේ නුදුරු අනාගතයේ මුස්ලිම් ව්‍යාප්තවාදය නිසා අර්බුදයක් ඇති වීමට ඉඩ තියනවා. ඒ කට විසඳුම සිංහල ජනගහන වර්ධනය ඉහල දැමීම ද කියන එක නං ප්‍රශ්ණයක්

    බටහිර රටක ජීවත්වන, ඒ සමාජ ආචාර ධර්ම අගය කරන මම අන්තවාදියෙක් නෙමෙයි. ඒත් මට මුසල්මානුවන්, අරාබීන් පේන්න බෑ. මම මැද පෙරදිග වැඩ කරලා තියනවා. වැඩිහරියක් අරාබීන් ආත්මාරතකාමී, අසාධාරණ හොඳයි යැයි කිවනොහැකි ජාතියක්. මුසල්මානුවනුත් එසේමයි. එය පුද්ගලයාගේ වරදක් නොවේ, ආගමේ ඉගැන්වීම එහෙමයි.

    මෙන්න මා සහ අපේ කාර් පූල් එකේ යන පකිස්තාන් හාදයා අතර ඇති වෙච්ච දෙබසක්:

    සහීඩ්: ආ, තව අවුරුදු දහය , පහලොවකින් ප්‍රංශෙ මුස්ලිම් විරෝධය ඉවරයි
    මම: ඒ කොහොමද?
    සහීඩ්: ඇයි, ප්‍රංසෙ මුස්ලිම් රටක් වෙනවනෙ
    මම: ඒ කොහොමද?
    සහීඩ්: ඇයි අපේ ජනගහන වැඩි වෙන විදිහට එහම වෙනවා
    මම: උඹල මහ ආත්මාර්ථකාමි ජාතියක් නෙව. උන් උඹලට ඉන්න හිටින්න දුන්නා මදිවට, ලෝකෙ තියන ජනගහන ප්‍රශ්ණෙ මදිවටද, එහෙම කරන්නෙ?
    සහීඩ්: අපි මොනව කරන්නද? අපේ ආගමේ විදිහට අපිට උපත් පාලනය හරාම් නේ?

    • ටෝමියෝ මා ලියුවේ ලංකාව ගැන හෝ වෙනත් රටක් ගැන විශේෂයෙන් නොවේ. දරුවන් කී දෙනෙක් හදා ගන්න ඕනෙද, නැත්නම් දරුවන් අවශ්‍ය නැත්ද යන්න ඒ ඒ පුද්ගලයන් තීරණය කරන්න ඕනේ පෞද්ගලික කටයුත්තක් (ඉන්නේ චීනයේ නොවෙයි නම්). හැබැයි සමාජයේ සිවිල් බලයක් තියන මිනිසුන්, මෝඩ මතවාද ප්‍රචාරය කිරීම හෙලා දකින්න ඕනේ. මට මතකයි පිනා ආචාර්ය උපාධියකට(පිනාචාර්ය) කෑදර කම නිසා අධික ශීත රටකට ගිහින් ජීවිතය අනතුරේ හෙලා ගත්ත එක යතිවරයෙකුත් මෙවැනි මෝඩ කතා ප්‍රචාරය කරපු හැටි. ඉන් එකක් තමා, සිසේරියන් සැත්කමින් උපත ලබන දරුවන්, හරි හැටි වැඩෙන්නේ නැහැය කියන කතාව. සිසේරියන් සැත්කම යනු මවකගේ තේරීමක් වගේම, වෙන විකල්පයක් නොමැති අවස්ථාවල වෛද්‍ය නිර්දේශයක් සමහර වෙලාවට. මෙවැනි උපත් ගැන සවිස්තරාත්මක පර්යේෂණයක් ඕස්ට්‍රේලියානු වෛද්‍ය කණ්ඩායමක් කරලා තිබුන ලිපියක් මා කියෙව්වා, එහි තියෙන්නේ සම්පුර්ණයෙන් වෙනස් කතාවක්. කොහොම උනත් එය අදාළ නැහැ. මෙවැනි ගොන් කතා, එවැනි වෘත්තීය දැනුම නොමැති කට්ටිය කියන්නේ ඇයි?

      අනික ටෝමියෝ, ගණන කියන්නේ හැමවිටම ඉතා වැදගත් දෙයක් නොවේ. සුද්දන් ඕස්ට්‍රේලියාවට එන විට ඇබොරිජිනල්වරු ලක්ෂ ගානක් ඉඳලා තියනවා. නමුත් සුද්දන් දෙතුන් සීය, ඒ ගානට වඩා “ලොකු” වුනා. මහා පාරේ හිඟා කන්න ලක්ෂ ගණන් පැටවුන් ගැහීම කිසිම ජාතියකට යහපතක් කරන්නේ නැහැ.

  2. අපෙ හාමුදුරුවරු එයාලට බාරවෙච්ච රාජකාරිය ඇරෙන්න අනික් හැම එකටම අත දානව. ඒ කරල අර නොදන්න දෙමලෙට ගිහිල්ල වරිගෙ නහගත්ත වගෙ ඔක්කොම දහ විහිලි කරල විනාස කරල දානව. කවදා මෙයාලට ඥාණය සහ උපේක්ෂාව පහල වෙයිද කියලයි මම මේ කල්පනා කරන්නෙ…

    • සරසවියක මහාචාර්ය පදවියක් කියන්නේ මොන විෂයෙන් උනත් රවී, ලෙහෙසි කරුණක් නොවේනේ. සාමාන්‍යයෙන් ළමයි හතක් අටක් හදන එක දෙන්නම රස්සා කරන අපට හිතා ගන්නවත් බැරි කරුණක්. ලංකාවේ නොවේ ලෝකේ කොහේ හිටියත් එය ලෙහෙසි දෙයක් නම් නොවේ. අනික ලෝකේ හැමෝම මේ වගේ ළමයි හත අටේ පවුල් උනොත්, හඳේ ජනාවාසත් ඉක්මනින් අවශ්‍ය වේවි. ලංකාව ගත්තොත් සාමාන්‍ය පවුලක් ළමයින් හතක් අටක් නඩත්තු කරන්නේ කොහොමද කියලා මහාචාර්ය තුමා නිකමට හිතුවාද? රස්සාවෙන් ඉහලට ගියාට රවී, ඥාණය ඉබේ පහල වෙන්නේ නැහැනෙ!

  3. Kenji @ Japan

    අපේ පවුල මම සමග පිරීමි 3 යි,ගැහැණු 3 යි මව/පියා ඇතුළුව 8යි.වෙඩිමකට වගේ යන්න තියෙද්දී නංගිලට ඇදුම් එකම පාටින් අම්ම නැන්දල එක්ක එකතුව මහනවා.ගමේ සැලුන් එකට යාබදව තිබෙන ටේලර් [සාප්පුව]ලගට තාත්ත අපි සෙට් එක සමග ගිහිල්ල එකම විදියට මහන්න ඕඩර් එක.මේ වගේ සුන්දර මතක පරිසරයක හැදුන මම,දෙන්න දෙමහල්ලෝ වෙන්න ඉද්දි හිතුවෙ තාත්තගෙ ගානට කිට්ටු වෙන්න 4ක් වත් හදන්න කියල.නමුත් දුව සහ පුතාගෙන් තිත තියල තියෙන්නෙ.අපේ ගරුතර සංඝ රත්නය බණට වඩා වැදිල්ල ලොකුයි කියල දෙසනවානම්,අපි වදන්න සුදානම් ලංකාවට ඇවිල්ල. අපි දෙදෙනාම අන්‍යාගමික තැන් වලින් මොකුත් කරගෙන නැහැ.[අපේ හාන්දුරුවනේ දෙන්නම ස්වයං පාලනයෙන් තමා වැඩේ වෙන්නෙ.ඔබ වහන්සේල අපේ එව්ව ට්‍රයි කරන්න එපා.වෙනද විදියටම වැඩේ ඉවර කරලා ඉංගිරිස් නමට පස්සෙ 2ඉලක්කම තියෙන පෙති දෙකම ගිල්ලවන්න] අපි වගේ අය පවුල් පිටින් ලංකාවට ඇවිල්ල බණ අසමින් වැදිල්ලට සුදානම්.අපිට ලැබෙන පහසුකම් මොනවාද?මටනම් අහන්න තියෙන්නෙ මේවයි රයිගම.:)!!!!!ඔබ දන්න සිසේරියන් සැත්කම් වලින් දරුවන් උපද්දවන දන්නා කරුනු ලිපියකින් පෙන්වාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.ගොඩක් අයගේ දැනගැනීම සදහා.

    • සමාජයේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න කොතරම් තියනවාද කෙන්ජි? වතු පිටි තියන පන්සල් වල ඉන්න ලොකු රැකියා කරන යතිවරයන් ඉන්නේ සමාජයට මෙන්ම බුදු දහමටත් එපිටින්. මිනිසුන් තවත් අමාරුවට පත්කෙරෙන දේශනා කොයි ආගමට හෝ අයත් උනත් ප්‍රචාරය සුදුසු නැහැ. මේ අනික් ආගම් වල අයියලත් ඔයිට දෙවෙනි නැහැ. කුඩා දරුවන්ට අපචාර කරන ගමන්, උපත් පාලන කොපු පාවිච්චියට විරුද්ධ හා වෙන රටවල් වල දහස් ගණන් මරණ යුද්ධ වලට පක්ෂ වෙන ගමන්, අම්මගේ ජිවිතේ අනතුරේ උනත්, ගබ්සාවකින් කළලය ඉවත් කරනවාට විරුද්ධ අයත් මේ රටවල් වල ඉන්නවා. මේ සියල්ලන්ම එක වල්ලේ පොල් !

  4. ඔය හැම ආගමිකයෙක් දිහාම බලන මටනම් පේන්නේ ආගමකට මිනිස්සුන්ට කොයි තරම් මුලා කරන්න පුළුවන්ද කියන එකයි. කොයි ආගමෙත් ජීවිතයට ගන්න හොඳ ටිකක් තියෙනවා. අවුලක් තියෙන්නේ මිනිස්සු ගන්නේ වැරදි ටිකමනේ!

    • එය තමයි ප්‍රධාන ප්‍රශ්නය. ඔබ හා මා නරකයි කියන දෙය තව කෙනෙක් දකින්නේ හොඳය කියලා. මේ කියමනත් වෙන තැනක තලු මරන්න පුළුවන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s