Monthly Archives: January 2013

මරණින් පසු (ජිවත් වන්නන්ගේ) ජීවිතය! The life after death!


මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන්නේ කුමන ලක්ෂණ වලින්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන් දීර්ඝ ලැයිස්තුවක් තියනවා. හැබැයි මේ නිතරම කියවෙන ලයිස්තුවේ නොකියවෙන එක දෙයක් තියනවා. ඒ තමයි, තමන්ගේ කෙනෙක් මැරුණහම, දේහය හිතාමතාම වත් පිළිවෙත් කර ඉවත් කිරීම. මේ දෙය ලෝකේ ඉන්න කවර සත්වයෙක් වත් කරන්නේ නැහැ. මි මැස්සන් කුඩුවේ මැරෙන, සහෝදර සතුන් එලියට ඇදලා දාන්නේ, ඒ දේහ ඉවත් කිරීමක් ගැන හිතලා නොවේ. මි වදය පිරිසිදුව තබා ගන්න. මිනිසාට ඉතාම සමීප, සතුන් වර්ගය වන චිම්පන්සින් පවා, ඔවුනගේ මැරුණු සතුන් ඉවත් කරන්නේ නැහැ.

මේ දේහය ඉවත් කිරීම නැත්නම් අවමගුල කියන එක ඇරඹුණේ කවදාද, කොහොමද කියලා එක මතයක් නැහැ. හැබැයි, එවැනි විධිමත් අයුරකින් දේහය ඉවත් කිරීම, අර මැරුණ කෙනාට වඩා ජිවත් ව ඉන්න අයට තමා වඩා වැදගත්. ලංකාව වැනි රටවල් වල දහස් ගණන් දෙනාට, මෙලොවින් සමුගත් (වඩා නිවැරදිව කියනවා නම් තුරන් කළ) තමන්ගේ ඥාතිනට මෙවැනි විධිමත් අයුරකින් සමු දෙන්න අවස්තාවක් ලැබුනේ නැහැ. මේ බටහිරත් එවැනි විශාල ගණනකට නොවුනත් සමහර දෙනාට ඒ අවස්තාව ලැබෙන්නේ නැහැ. ඒ මිනිසුන්ගේ මුළු ජිවිතයම එක්තරා අයුරකින් හිස් බවකින් පිරිලා තියනවා. දකුණේ භීෂණ සමයේ, සහෝදරවරුන් විසින් තුරන් කළ දේශ ද්‍රෝහීන්ගේ සිරුරු, ඉවත් කිරීමේ ක්‍රම වේද ගැන සිමා, “ඉතා යහපත් ලෝකයක්” ගොඩ නගන්න බලාපොරොත්තු උන එම කට්ටිය පනවා තිබුනා.

මේ “විප්ලවයට” එරෙහිව “නීතිමය ක්‍රියා මාර්ග” ගත් ජනතාවගේ නියෝජිතයන් යයි කියා ගත් පිරිස තුරන් කළ මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ සිරුරු දැවුනේ බලු කපුටන් මෙන් පාරවල් අද්දර. උතුරේ සිදු උන දේවල් දෑසින් දැක නැතත්, එහි නපුරු කම එක්කෝ මීටත් වඩා වැඩියි හෝ මෙයට සමාන යයි නිගමනය කරන්න පුළුවන්. එම “විමුක්ති කාමීන්” විසින් ඇටෙව්වය කියනා බෝම්බ නිසා දකුණේ මිය ගිය සමහර දෙනාගේ ඉතුරු උනේ නියපොතු වැනි සරීර කොටස් පමණයි. මේ සිරුරු තමන්ගේ පුතාගේ, දුවගේ, අම්මාගේ, තාත්තගේ, මාමගේ…. ආදී වශයෙන් සමහරුන් අඳුනා ගත්තත්, ඔවුනට අර සාමාන්‍ය මිනිසා අනුගමනය කරන පරිදි විධිමත් ලෙස සමු දෙන්න අවකාශය ඒ පිරිසට ලැබුනේ නැහැ. සමහරුනට දේහය දැක ගන්නවා තියා, මොකද උනේ කියා අද වෙන තුරු දැන ගැනීමට නැහැ. මේ ක්‍රියාවලිය තවමත් නැවතිලා නැහැ.

කුමන තත්වයක් යටතේ උනත් මිනිසුන් අතුරුදහන් කරන සමාජයක් ශිෂ්ට වන්නේ නැහැ. ඒ වගේම එවැනි දේවල් වලට සම්බන්ධ යයි චෝදනා එල්ල වුන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන සමාජයක් ශිෂ්ට වන්නේ නැහැ. ඊටත් වඩා, නිතිය ක්‍රියාත්මක උනා හෝ නොවුනා හෝ, එවැනි දේවල් වලට සම්බන්ද යයි සැක කළ හැකි අයට එරෙහිව ජනමතයක් නොමැති වීමත් ශිෂ්ට සමාජයේ ලක්ෂණයක් නොවේ (මෙහෙම චෝදනා තියන එක ප්‍රාදේශීය “උත්තමයෙක්” ගේ වකුගඩු දෙකම නරක්  වෙලා අඬන හැටි ඊයේ පෙරේදා පත්තරේක තිබුනා). මට නම් පොල් පොට් ලා වෙනුවෙන් අඬන්න කලින්, අඬන්න ඕනේ තරම් දේවල් තියනවා .

ඉහත සේරම පැත්තකට දැමුවත්, අඩු ගානේ තමන්ගේ මියගිය ඥාතියාගේ සිරුරට සමු දීම මිනිස් ශිෂ්ටාචාරයේ එක අංගයක්. එහෙම කරන්නට අවස්තාව අහුරපු සමාජයක එම ශිෂ්ටාචාරයේ එක අංගයක් නැහැ. එහෙම සිද්දි වලට මුහුණ නොදුන් බොහෝ දෙනාට, අනේ ඕවා අල්ලලා දාන්න කියන්න හරිම පහසුයි. ඒත් ඒ කිසිවෙකු මොහොතකට අර සපත්තුවට බැහැලා බලනවද?

අර කියුව එක යුගයක, මියගිය (මරා දැමුණ) ඥාතින් ගේ සිරුරු වලට සමු දීමේ පිළිවෙත් වලට සිමා පැනෙව්ව, එක කණ්ඩායමක කෙනෙක් පසුගිය දිනවල කියා තිබුනා, මියගිය අය සැමරීමට සියලු දෙනාට එක සමාන අවස්ථා දිය යුතුයි කියා. ඒ අය එහෙම කියන්නේ, එහෙම අවස්තාව නොදුන් එක පිරිසක් , තවමත් තමන්ගේ වීරයන් මෙන් සමරන අතරේ. එක අතකින් විප්ලවකාරින්, විමුක්තිකාමින්, ධනපතීන් හා ලිබරල් වාදීන් මේ කියන නොකියන සියල්ලන්ම එකඟ වෙන එකම කරුණ මෙවැනි අපරාධ යට ගැහීම විතරයි.

මිනිසා තමන්ගේ ඥාතින් ගේ සිරුරු මේ ආකාරයෙන් වත් පිළිවෙත් කර ඉවත් කිරීම නැත්නම් සමුදීම ඇරඹුණේ කොහොමද කියා මා සෙව්වේ මේ කතාවෙන් පස්සේ නොවේ. එවැනි දෙයක් හරියටම ආරම්භ උනේ කවදා කොහෙද කියන ප්‍රශ්නයට නිශ්චිත පිළිතුරක් සොයා ගෙන නැහැ. හැබැයි මෙයට වසර 120,000 කට පෙර මිනිසා විසින් ඕනේ කමෙන්ම වල දැමු මිනිස් සිරුරු ඊශ්‍රායලයේ ගුහා දෙකක (Skhul and Qafzeh) සොයා ගෙන තියනවා. මේ මිනිස්  සිරුරු හෝමෝ සාපියන්ස්ට  අයත් ඒවා. මේ කාල පරාසයටම අයත් මෙවැනි වල දැමු නියැන්ඩතාල් මානවයාගේ සිරුරුත් හමු වී තිබීමේන් කියවෙන්නේ, මිනිසා, තමන්ගේ ඥාතින් විධිමත් අයුරින් බැහැර කිරීම, ඒ කියන්නේ මරණින් පසු ජිවිතයක් ගැන සිතීමේ මූලික සංකල්ප ඇති කරගෙන තියෙන්නේ මේ අවධියේදී කියා.

එහෙම උනත් මේ කාලයේ හා මිට පසු ගත වුන විශාල කාල පරාසයක, මෙවැනි “සොහොන්” හමු වෙලා තියෙන්නේ, ඒ කාලය තුල මිය ගියා යයි සැලකෙන පිරිස හා සසඳන කොට අතලොස්සයි. ඒකෙන් කිය වෙන්නේ මෙවැනි භූමදාන කෙරිලා තියෙන්නේ විශේෂ අවස්ථාවල  නැත්නම් විශේෂ පුද්ගලයන් සදහා පමණයි කියා.

හැබැයි, මිනිස් සිරුරු භූමදාන කිරීමේ විධිමත් වත් පිළිවෙත් හා එවැනි භූමදාන කටයුතු හරි හමන් ලෙස ආරම්භ උනේ දැනට වසර 14, 000 කට ඉහත වගේ කියා හිතනවා. කෘෂිකර්මය හා ආගම්වල මූලික අවධියත් ආරම්භ උනේ මේ වකවානුවෙමයි.

සමහරු කියනවානේ ලෝකයේ දැනට ජිවත් වන පිරිස (එනම් බිලියන හතක පමණ ජනගහනය) මේ ලෝකේ එදා මෙදා තුර හිටපු සියලු මිනිස් ජනගහනයට වඩා වැඩියි කියා. එහෙත් ගණන් බලා තියන ආකාරයට නම්, එදා මෙදා තුර (එනම් පුර්ව ක්‍රි පූ 50,000 සිට අද දක්වා) මෙලොව ඉපදී මැරී ගිය හා අද ජිවත් ව ඉන්න මුළු මිනිස් ජනගහනය බිලියන 107.7 ක් වෙනවා. ඉන් 6.5% ක් තමා අද ජිවතුන් අතර ඉන්නේ.

පසු වදන

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කෙරුනේ හරියටම හෙටට  වසර තුනකට පෙරය. ඔහු  1971 සිට අද වන තුරු ලංකාවේ මෙවැනි සංවිධානාත්මක අතුරු දහන් කිරීම් වලට ලක් උන ගැහැණුන් හා පිරිමින් ගෙන් එක අයෙකු පමණි. ලංකාවේම එවැනි දහස් ගණනකගේ  ඥාතිහු දහස් ගණනක්,  ලෝකය පුරා සුසුම් ලමින් අදත් ජිවත් ජිවත් වෙති. තවත් සමහරුන් ඒ  සුසුම් මතින් මේ වන විට අර අතුරුදන්වූවන්ගේ ලෝකයටම ගොසිනි.  

(ඉතිහාස දත්ත සඳහා New Scientist, April, 2012 විශේෂ කලාපය ඇසුරු කෙරින).

9 Comments

Filed under Politics, Social