දිවි නසාගෙන ජීවත් වීම!


අද සෙනසුරාදා වෙනදා වගේම පුතාගේ පිහිනුම් පන්තිය අතරේ දිවයින පත්තරේ බැලුවා.  මා දැන් මේ පත්තර වෙන වෙලාවට කියවන්නේ නැහැ. ඒත් මේ වගේ වෙලාවට නිකමට වගේ  කියවනවා. ඒ කියවීම ගැනත් සමහරවිට මා කනගාටු වෙනවා. මුල් පිටුවේ තියන තරමක් තියෙන්නෙම තිරිසන් බව ගැන කියවෙන ප්‍රවුර්ති මිසක් මිනිසත් බව නම් නොවේ.

අපේ පොඩි පුතා මේ දිනවල ගෙදර රූපවාහිණිය  තියන තැන බෝල  ගහනවා. බිත්තියේ තියන අපේ පවුලේ පින්තුරයක් මා එතනින් අරන් තිබ්බේ, මෙයා ඒක අද හෙට බිඳින බව  දැනගෙන. ඒත් බෝල ගහන්න එපා කියලා වැඩේ නවත්වන්න මා ගියේ නැහැ. පසුවදා බිරිඳ මේ පින්තුරේ ආයිත් බිත්තියේ සවි කළා. එදිනම පුතා එය බින්දා. ඇය  පුතාට සැර කළේ නැති වුනත්,  මොකද ඕක එළියේ කරන්න බැරිද කියා ඇහුවා. මා කිවේ මෙය නම් සොඳුරියගේ වරද කියා.

එය කුඩා කතාවක් විතරයි.  දැනට අවුරුදු කිහිපයකට කලින් එක්තරා ස්වභාවික යයි කිව හැකි විපතක් නිසා අපගේ භෞතික එකතු කිරීම් වලින් සෑහෙන දේවල් ගොඩක් නැත්තටම නැති  වුනා. ඔය ගංවතුර, ලැවූ ගිනි, සුනාමි, භුමි කම්පා නිසා වෙන විපත් ගැන ලියන  නමුත්, එහෙම විපතක් ජිවිතයම අත් දැක නැති පිරිස්,  ඒ අහිමි වීම ගැන දන්නවා කියා කියුවත් ලියුවත් එහෙම දෙයක් නොවී එය වටහා ගන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. ජිවිත නැති වීමත් මේ වගේ. මා නිතරම ලියන පරිදි, සමාජයේ අතුරුදහන් කරපු මිනිසුන්ගේ ඥාතින් දුක් විඳින ආකාරය ගැන අනෙක් අයට වැටහීමක් නැහැ.

ජිවිතයක් හා සසඳන විට තමන්ගේ දේපොළ සියල්ලක්ම නැති වුනත් එය එතරම් දෙයක් නොවේ යයි කියන්න පුළුවන්. ඒත් තමන්ගේ  ගෙදරත්, සබ්බ සකල මනාවත් නැති වීම එක වරම දරා ගන්න පුළුවන් දෙයක් නම් නොවේ. පසුගිය දිනවල තිබුන වියලි කාලගුණය හා අධික උෂ්ණත්වය නිසා හැම කෙනෙකුම පාහේ, පලා යාමේ සැලැස්මක් ඇතුව ජිවත් වෙන්නට නිතර උපදෙස් ලැබුනා. දැනට අවුරුදු දහයකට පෙර කැන්බරා වල තුනෙන් එකක්ම අලුවෙලා ගිහින් තියනවා.  අප බෑගයකට දැම්මේ අපේ සහතික ටික හා දවසක් ගත කරන්න හැකි වෙන විදිහේ ඇඳුම් දෙක තුනක්  පමණයි. අප දෙදෙනාම දන්නවා අනෙක් සියලු දේ නැවත අපට ලබා ගන්න පුළුවන් කියා.

දැන් යමු මා කියන්න හදන  දෙයට. මේ දවස් ටිකේම ලියන මේ සෘණාත්මක  කතා වලින් ගොඩ යන්න ඕනේ කියා හිතුවත් අදත් ලියවෙන්නේ ඉන් එකක්. දිවයිනේ (09.02.13) එක පුවතක තිබුනේ, දරුවෙකු ගෙදර රූපවාහිණිය තමන් අතින් කැඩීම  නිසා, බියට දිවි නසා ගත් පුවතක්. කොතරම්  ඛේදනියද? මට නම් හිතා ගන්න පුළුවන් මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියා.

මා මිට කලින් පොඩි කතා දෙකකින් කියන්න උත්සහ කල දෙයක්  තමා, මිනිසුන් ගෙදර තියන භෞතික දේවල්, ගෙදර ජිවත් වන ජිවින්ට වඩා ඉහලින්  සැලකීම. රූපවාහිණි,  ශීතකරණ, පුටු සැටි විතරක් නොවේ දුරස්ථ පාලකත් භාවිතා කරනවාට වඩා, කවර දමලා පැත්තක තියනවා. කුඩා දරුවෙකු මේවා ඇල්ලුවත් මහා ඝෝරනාඩු  කරනවා. මා ඇහැට දැකලා,  කනට ඇහිලා තියන දේවල්. අන්තිමට දරුවන් ලොකු වෙලා ගෙදරින් යන කම්ම පුටු සැටි නම් දිලිසි දිලිසි තියනවා, දුරස්ථ පාලක වල ඉටි කවරත් එක්ක අලුත්ම ඒවා වගේ තියනවා. ඒත් ඒ පුටු වල ඉඳ ගන්න වත්,  දුරස්ථ පාලක ක්‍රියා කරලා රූපවාහිණිය බලන්න වත් ගෙදර කිසිවෙකු නැහැ.

අර දරුවාටත් ජිවිතයට මුහුණ දීමට බැරි තරම් භයක් දැනුනේ සාමාන්‍ය ජීවිතයේදී ඇයගේ ජීවිතයටත් ඉහලින් ගෙදර රූපවාහිණියට සැලකුව නිසා වෙන්න බැරිද?

ජීවිතය පිලිබඳ අන්ත අසරණ බවක් දැනෙනවා නම් ලංකා සුමිත්‍රයෝ පිහිට පතන්න.

Advertisements

14 Comments

Filed under Social

14 responses to “දිවි නසාගෙන ජීවත් වීම!

  1. ලංකාවෙ මිනිස්සු ජීවිතයේ වටිනා (irreplaceable) දේවලට වටිනාකමක් දෙන්නෙ නෑ… වටිනාකමක් දෙන්නෙ නොවටිනා නැවත් ලබාගතහැකි දේ වලට…. මේවා හැම ආගමකින්ම සංස්කෘතියකින්ම කියලා දෙන්න ඕන දේවල්.. ඉස්කෝලෙකින්, ගෙවල් වලින් පොඩි එවුන්ට මහ එවුන්ට කියලා දෙන්න ඕන දේවල්… නමුත් කවුද කියලා දෙන්නෙ ? හැමෝම දුවන්නෙ සල්ලි පස්සෙ….
    අන්තිමට අපි කොහේද නතර වෙන්නෙ ?

    • Raigama

      මේ තත්වය සමහරවිට රටෙන් පිට ගියත් දකින්න පුළුවන් නේද ඇල්කෙමියෝ? මේ වගේ දේවල් පවතින සමාජ ක්‍රමයට, දේශපාලකයන්ට, විෂය නිර්දේශයට පිටින් දාල අත පිහදා ගැනීම හැම විටම දකින්න ලැබෙන දෙයක්.

      • ඇත්ත, කොතැනත් මේක දකින්න පුළුවනි. නමුත් මා පිටරටදී දුටු දේ තමයි මිනිසුන් ලංකාවෙ අයට වඩා ජීවිතයේ වටිනාකම හරිහැටි අවබෝධකරගෙන තිබීම. මම කියන්නෙ සමාජයෙන් 100% නොවෙයි.. වැඩි ප්‍රතිශතයක්.. උදාහරණයක් වශයෙන් ජර්මනියෙ මිනිස්සු වාහන තියාගෙන බයිසිකල් වලින් වැඩට යන්නෙ ලෝභකමට නොවෙයි.. තමන්ගෙ දිනපතා ව්‍යායාම පංගුව ඒ සමඟම ලබා ගන්න.. ඒ මිනිස්සු හරිම ශක්තිමත්,… ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන ස්වභාවය වැඩියි…. මටම ලැජ්ජ හිතුනා මම කොයි තරම් අඩුවෙන් ද පයින් ඇවිදින්නෙ කියලා මේ මිනිස්සු දැක්කාම.. මම දැන් හැතැක්ම ගණන් පයින් ඇවිදිනවා… ඉස්සරට වඩා මගේ සෞඛ්‍යයත් යහපත්…
        මේක ආණ්ඩුවෙන් කළ යුත්තක් නොවෙයි… එකිනෙකා ජීවිතාවබෝධයෙන් කළ යුත්තක්… දවසෙ පැය 24 ම ටීවී එකේ එල්ලිලා හිටියට මේ අවබෝධය ලැබෙන්නෙ නෑ.. මිනිස්සු හිතන්න ඕන.. ඒත් ඒ මිනිස්සුන්ගෙ සිතීමේ හැකියාවයි වෙලාවයි හොරා අරන්… කව්ද ? අපිමයි.

        • ඔබ හා මා ඔය වගේ දෙයක් කියුවහම එයට වැරදි අර්ථකතන දෙන ඕනේ තරම් දෙනා ඉන්නවා. මොකද අප බටහිර ජිවත් වෙන නිසා. ඔබ ලංකාවේ හිටියත් දැන් හිතන අයුරේ වෙනසක් ඇති වේවි කියා මා හිතන්නේ නැහැ. ඒ වගේම මාත් කොහේ හිටියත් මෙයට වඩා වෙනස්ව හිතන්නේ නැහැ. මා හෙන්රිට ලියා ඇති පරිදි, අනික් විදිහට හිතන මිනිසුන් ලෝකේ අනික් කොනට ගියත් එයාල හිතන අයුරුත් වෙනස් වෙන්නේ නැහැ. අපේ දෙමාපියනුත් සල්ලි කාරයන් නොවුනත්, ගෙදර බඩු මුට්ටු වලට පළමු තැන දී, අපට දෙවැනි තැන දීලා නොහදපු නිසාම අප එහෙම හිතන්න පුරුදු වුනා වෙන්න පුළුවන්.

  2. Kenji @ Japan

    අනේ මන්ද රයිගම,දවස ගානෙ ලංකාවෙ වෙන දේවල් දැක්කම කියවල නිකන් ඉන්නව ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ.මේ ලගදි සෙන්න ලියපු ලිපියක් කියෙව්ව සේපාල ඒකනායක ගැන,ඒක කියෙව්වම හිතුන එදා සේපාල ගෙ වයසෙ මම අද හිටියනම් බඩේ බෝම්බයක් බැදගෙන පනිනව දියවන්නාවේ එකතු වෙලා පල් හෑලි කතාකරන 225 ම නැතිවෙන්න.එච්චරටම කේන්තියක් තියෙන්නෙ.ඉන්දියාවෙ ගිහිල්ල ශ්‍රී මහා බෝධීන් වහන්සේට නළල තියල ඇවිල්ල මොනව කරයිද දන්නේ නැහැ.කෝවිල්,ජෝතිශය ගැන ඔබ විශ්වාස නොකලට ඒ වලින් වැජබෙන උත්තමයො කොහොමද කියල පේනවා නේද?

    • Raigama

      සේපාල අයියා නම් ත්‍රස්තවාදියෙක් නේ! ඔබ දැකල තියනවද මෙරුන් එලියට එන හැටි. ඉන් දෙතුන් දෙනක් කුරුල්ලෝ අල්ලන් කෑවට, උන් ඒමේ අවසානයක් එකෙන් වෙන්නේ නැහැ.

      සේපාල ගැන අර සටහනේ මොනවා තිබුනද දන්නේ නැහැ කෙන්ජි. ඔබ මතක් කල නිසා මේ ටිකත් පසුව වුවත් ලියන්න හිතුනා. සේපාල ඔය ගුවන් යානා මංකොල්ල කාපු කාලේ මා පොඩි ළමයෙක්. ඔහුගේ “කඳුළු කතාව” අහපු අප ඔහුට අනුකම්පා කළා පමණක් නොවේ, ඔහු කරපු දෙයත් මහා වීර කමක් නොවුනත්, ටිකක් වීර කමක් ලෙස තමයි සැලකුවේ. ඒ විතරක් නොවේ, ඒ කාලෙ ගුවන් යානා මංකොල්ල කෑම ගැන ලංකාවේ නීති නොතිබුන නිසා, අතීතයට බලපාන නීති ගෙනත්, ඔහුට දඬුවම් දුන්න ජනාධිපති ජයවර්ධන ගැනත් හොඳක් හිතුවේ නැහැ. හැබැයි ලොකු මහත් වී ගුවන් යානයක යන්න අවස්තාව ලැබුන විට, ඒ කරපු ත්‍රස්තවාදී ක්‍රියාව තේරුම් ගන්න හරියටම පුළුවන් වුනා. එවැනි ක්‍රියාවක් ඔබ දුප්පත්ද, සමාජයෙන් අසාධාරණයට ලක්වුවෙක්ද, නැත්නම් වෙනත් හේතුවක් නිසා ද කියා හෝ සාධාරණිය කරණය කරන්න කොහොමටත් පුළුවන් කමක් නැහැ. එවැනි ත්‍රස්තවාදී ක්‍රියාවන්ට දැනට නීති පොතේ දඬුවම් නැත්නම්, නීති ගෙනත් හෝ දඬුවම් කල යුතු බව මට අද වැටහෙනවා.

  3. kathandarakaraya

    සමහරු තමන් ගේ ප්‍රයෝජනයට විවිධ බඩු අරගෙන ඉන් පසු ජිවත් වෙන්නේ ඒ බඩුව වෙනුවෙන්.

    සමහරු තමන්ගේ කාලය ඉතිරිකරගන්න සහ පහසුව තකා ගත් කාර් එක වෙනුවෙන් ඉන් වෙන වාසියට වඩා වැඩි කොටසක් ගත කරනවා.

    මං නං කාරෙකවත් හෝදන්නේ නෑ, වැස්ස දවසක එලියේ තයෙනවා ඇරෙන්න.

    • Raigama

      මෙතන ඔබ කතා කරන්නේ පන නැති දේවල් ගැන යයි උපකල්පනය කරනවා. සිංහලෙන් කියනවා වගේ වෙරි ට්රු කකා. මා ඔබටත් එහාට යනවා, නාන්නෙත් වැස්සට අහුවුනොත් පමණයි. 😀

  4. රයිගම්, උඹ ඔය කියලා තියෙන සමාජ ඛේදවාචකය මට තේරෙනවා. නමුත් ඕකෙ මෙහෙම පැත්තක් තියෙනවා. දැන් මේක ලියලා තියෙන ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන උඹට, එතකොට කමෙන්ට් කරපු ජපානෙ ජීවත් වෙන කෙන්ජිට, ඕස්ට්‍රේලියාවේම ජීවත් වෙන කතන්දරට සහ මේ ලියන මට ඇති මිලදී ගැනීමේ හැකියාව ලංකාවේ බහුතරයකට නෑ මචං.

    අපිට ටීවී එකක් හෝ රෙදි සෝදන යන්ත්‍රයක් කියන්නෙ ඉතාම සාමාන්‍ය දෙයක් වුනාව ලංකාවේ බහුතරයකට ඕවා කොටස් වශයෙන් ගෙවන්න කුලී සින්නක්කර පදනම යටතේ හිමිකරගන්න සිද්ධ වෙන ගන්න (අති) සුඛෝපබෝගී භාණ්ඩ.

    උඹලා පාවිච්චි කරලා විසි කරන ටීවී එක අයිති කරගන්න එක හීනයක් වෙන පවුල් කොච්චර ලංකාවේ ඉන්නවද කියලා මම දැකලා තියෙනවා.

    ඉතින් ඕක ඒ හැටි පුදුමෙකුත් නෙවෙයි මචං.

    • Raigama

      මචං උඹ එහෙම ලියුව එක හොඳයි. මා ලියන්න හැදුවේ, ලංකා දේශ සීමා වලින් එහාටත් යන දෙයක්. උඹ අහල තියනවනේ “කන්ද මාරු වුනාට සතාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ” කියලා. ඇල්කෙමියා, කතන්දර මතු කරන දෙයත් එයටම අදාලයි. මචං මා අර කලින් ලියුව කතා වලට පාදක උනේ ඕස්ට්‍රේලියාවේ සිද්දීන්. රටවල් වෙනස් වුනා කියා හෝ මිලදී ගැනීමේ හැකියාවන් වෙනස් වුනා කියා හෝ ආකල්ප වෙනස් වෙන්නේ නැහැ සමහර වෙලාවට. ගෙදර තියන බඩු භාණ්ඩ ප්‍රවේශම් කර ගන්න එක නරක දෙයක් කියා මා කොහෙත්ම අදහස් කලේ නැහැ. මා සටහනේ කියුව අර පින්තුරය නැවත, වීදුරුවක් දමා සකස් කර ගන්න ඩොලර් පනහක් පමණ යනවා (තව පහයි අඩු කළු ලේබල් බෝතලේකට: අයියෝ!). අපත් මහා සල්ලි කාරයන් නොවේ. ඒ ගාණත් නිකම් විසි කරන්න බැහැ. ඒ වුනත් දරුවාගේ සතුට කළු ලේබල් බෝතලේකට හිලවු කරන්න පුලුවන්ද?

      උඹ දන්නවා ඇතිනේ විශාල ගෙවල් හදා ගෙන ඉතා අසීරුවෙන් ඒවායේ ජිවත් වෙන හැටි. බිම සිරේවි කියා, බිත්ති කුණු ගෑවේවි කියා සමහර විට එළියේ මඩු හදා ගෙන ඒවායේ තමා වැඩිපුර ඉන්නේ. සමහර වෙලාවට ගෙදර බොහෝ තැන් දරුවනට තහනම් ප්‍රදේශ. එතකොට ගෙයක් හදා ගන්නේ පහසුවට ඉන්න නොවේද? හමින් නිම කල පුටු සැටි ගන්නවා. ඉඳ ගන්නේ ලී බංකු වල. අලුත් කාර් ගන්නවා. තියෙන්නේ ගරාජයේ. ගමන් බිමන් යන්න පරණ කාර් කටුවක් වෙනම තියාගෙන ඉන්නවා. කතන්දර කාරයා කියන්නේ අන්න ඒවාගේ දේවල්. සමහරුන් නවීන අංගෝපාංග දමලා මුළුතැන් ගෙවල් හදලා එළියේ හීතලේ මඩුවේ උයනවා.මේ සිදුවීම් ලංකාවේ නොවේ බන්.

      උඹ කියන දේ මට තේරෙනවා. උඹල, අප සාපේක්ෂව පහසු ජිවිතයක් ගත කරනවා තමයි. අප දෙන්නම පුතාලට ඒ ගැන හැම විටම මතක් කරනවා. හැබැයි අපේ සමහර ආකල්ප වලට දේශ සිමා, දුප්පත් පොහොසත් භේද හා ගැහැණු පිරිමි ආදී කිසිවක් අදාළ වෙන්නේ නැහැ.

      • රයිගම් හෙන්රි කියපු කතාව හරි ..
        ඔබ වැරදියි..කෙටියෙම්ම එච්චරයි ..
        ඔබ සමග අමනාපයක් නැහැ , ඒත්
        බඩ කට පිරුණම එන සමාජ ආලය
        ඇත්තක් නෙවේ..
        ( මා ඔබේ ලිපි කියවන කෙනෙක් , නමුත්
        මේ සිද්දියේදී ඔබ බොහෝ දුරයි ප්‍රයෝගික
        සිටුවේෂන් එක එක්ක ..)

        • ඔබ වගේ හිතන අයට මා කලින් පිළිතුරු දීලා තියනවා. ඔබ වැනි පිරිස් දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු නොවන වග මා දන්නවා. නමුත් මේ පිළිතුර වෙනත් කියවන අයටත් එක්ක ලියනවා. කියවන කට්ටිය දෙගොල්ලක් ඉන්නවා. විචාරශීලිව කියවන හා අවිචාරවත්ව කියලා. ඔබත් දෙවැනි කාණ්ඩයේ. මෙතන මා වැරදියි කියන්නට කලින් බලන්න මා සටහන අවසාන කරලා තියන තැන. එතන තිතක් නොවේ ප්‍රශ්නාර්ථයක් තියෙන්නේ. එයට හෙන්රි තව අදහසක් එකතු කළා පමණයි. ඔහුත් වචන තෝරලා බේරලා එය කලේ ඒ ප්‍රශ්නාර්ථය දැකීමෙන් වෙන්න ඕනේ. මා මේ සටහන ලියුවේ කන්න බොන්න නැතුව ඉන්න පවුල් වලට බලන්න හෝ ලංකාවේ දරිද්‍රතාවය නැති කරන්න නොවේ. කන්න බොන්න නැති මිනිසුන් බ්ලොග් බලන්නේ නැහැ. මා හෙන්රිට ලියුව පිළිතුරේ පරිදිම මේ කතාවට පාදක විය හැකි එක කරුණක්, ලංකාවේ නොවේ ඕනෙම රටක ජිවත් වෙන අප වගේ මධ්‍යම මධ්‍යම පාන්තිකයන්ටත් අදාළ වෙන බව තමා මෙතනින් කියන්නේ.

          දරුවෙක් දිවි නසා ගන්න එකට නොයෙක් හේතු තියෙන්න පුළුවන්. එයට වඩාත්ම වග කියන්න ඕනේ එයාලගේ ලඟින්ම ඉන්න දෙමාපියන්. දෙමාපියන්ගේ වගකීම දිළිඳු කම හා වෙනත් හේතුන් ඉස්සරහට දාල, එයින් නිදහස කිරීමට උත්සහ කිරීම හරිම සුලබ දෙයක්. එය වෙනම කතා කරන්න ඕනේ දෙයක් නිසා තමා අදාළ පුවතට මා ලින්කුවක් වත් නොදැම්මේ. එවැනි හේතු වලට පිළියම් සෙවීම බ්ලොග් කාරයන්ට කරන්න පුළුවන් දෙයක් නොවේ. මා එවැනි බලාපොරොත්තුවකින් බ්ලොගය නොලියන බව මිට කලින් ලියුවා.

          මා බ්ලොගය ලියන්නේ සමාජ ආලයකින් හෝ ඔබේ දැනුම් නිම් වළලු පුළුල් කිරීමේ අදහසින් නොවේ. මින් පෙර එය ලියා තියනවා. අර කකා වගේ මෙය ලියන්නේ විනෝදාංශයක් වශයෙන්. ඔබට කියවන්න පුළුවන් නම් එය බෝනස් එකක්. බිලියන හතක ජනගහනයක් අතරේ 50 දෙනෙක් පමණ තමා මා ලියන සටහනක් ඔබන්නේ. එයින් 70% එන්නේ ලංකාවෙන් නොවේ. එයිනුත් කි දෙනෙක් කියවනවාදැයි මා දන්නේ නැහැ. ඔබට තේරෙනවානේ මෙයින් සමාජ ආලයක් පතුරවන්න ගොඩාක් අමාරු බව.

          හැබැයි මා විශ්වාස කරන සමාජ ආලය තියෙන්නේ බඩගිනි අය ගාව නම් නොවේ. ඇල්කෙමියා, කෙන්ජි, කකා, හෙන්රි වැනි තම හැකියාවෙන් උපයාගෙන එයින් බඩ පුරවාගෙන ජිවත් වන මිනිසුන් කතා කරන සමාජ ආලය මා වඩාත් “ජෙනුවින්” කියා විශ්වාස කරන්නේ හේතු ඇතිව. මාත් අමාරුවෙන් ජිවත් නොවෙනවා යයි කියා ඔබෙන් හෝ වෙන කිසිවෙකුගෙන් සමාව ගන්න අදහසකුත් නැහැ.

          ඔබ අහල ඇතිනේ බුදුහාමුදුරුවන් ගැන. එතුමා ඉපදුනේ රජ පවුලක, ඔටුන්න හිමි කුමරු ලෙසින්. බඩගින්නේ ඉන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. හැබැයි ඒ සේරම දමලා ගියේ තමන්ට තිබුන ආලය නිසා නොවේ. සමාජ ආලය නිසා. එහෙම සමාජ ආලයක් නොතිබුනා නම් අප ඔහුව දන්නේ සිද්ධාර්ථ ගෞතම නම් ඉන්දියාවේ තවත් රජ කෙනෙකු ලෙස පමණක් වෙන්න තිබුනා. එතුමා අනුන්ට දැක්වුව කරුණාව නිසා මහා කාරුණිකයාණන් කියල කියනවා.බඩ ගින්නේ ඉන්න කෙනෙකුට බණ කියලත් වැඩක් නැහැ කියලයි කියවෙන්නේ. මොකද, ඒ වගේ අවස්තාවක නිරවුල්ව හිතන්න බැහැ.

          බඩගින්නේ ඉන්න සමහරුන්ගේ සමාජ ආලයේ සැබෑ ගතිය මතුවන්නේ ඔවුනගේ බඩ පිරුණු විට. කන්න නැතුව පත්තර කොළ වල නිදා ගත්, සමාජ වාදය ගැන මහා පම්පෝරි ගසන බොහෝ දෙනා, අනුන්ගේ දේ කඩා වඩා ගෙන හරි බඩ පුරවා ගත් විගසම, ඔවුනගේ සමාජ ආලයත් අන්තර්දාන වෙච්ච ආකාරයට උදාහරණ මා ඔබට දෙන්න අවශ්‍ය නැහෙනෙ.

  5. රයිගම් ඔබ මේ ලිපි කියවන්න ..
    ඊට පසු ඔබට මා ගැන වැටහේවි …
    වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

    මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)
    රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය (01) …

    එතෙක් ඔබේ කමෙන්ටුවේ ඇති දේ ගැන පිළිතුරු
    දීමෙන් පලක් නැහැ ..

    ඔබේ ද්වේශසහගත විවේචනය නොසලකා හරිමි පිළිකුලෙන් !

    • Raigama

      මා ඔබ ලියන දේවල් කියවනවා. ඔබ යහපත් මිනිසෙකු නොවන බවට සැක කරන්න කාරනා නැහැ. මා ලියුවේ පොදුවේ සමාජය ගැන. එහි ද්වේශයක් නැහැ. මට නොදන්නා ඔබට වඩා දන්නා දේවේශ කරන්න අවශ්‍ය ගොඩක් දෙනා ඉන්නවා. අඩුම ගානේ එක දෙයක් අප දෙන්නාටම පොදුයි. මාත් අකමැති දේවල් කියවන්නෙත් නැතුව පිළිකුලෙන් බැහැර කරනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s